16 June, 2017

‘ස්වීප් ටිකට්’

Sweep tickets

‘ස්වීප් ටිකට්’ චිත්‍රපටය තිරගත වූයේ 1965 නොවැම්බර් 5 වනදාය. මෙහි අධ්‍යක්ෂ ලෙස ප්‍රසිද්ධියට පත්වූයේ ‘සුජාතා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් එක් රැයකින් ප්‍රසිද්ධියට පත්වූ ෆ්ලොරිඩා ජයලත්ය.

ප්‍රථම කාන්තා අධ්‍යක්ෂවරිය යැයි බහුතරයක් විසින් ෆ්ලොරිඩා ජයලත් නිළියව හඳුන්වා දී තිබේ. පුවත්පත්වල පළවූයේද එසේය. එහෙත් ‘ස්විප් ටිකට්’ අධ්‍යක්ෂණයට හවුල් වූ තවත් අයෙක් සිටියේය. ඔහු රාජා ජෝසුවා නම් ද්‍රවිඩ ජාතිකයෙකි. මගේ දැනීමේ හැටියට නම් ෆ්ලොරිඩා ජයලත් හැඳින්විය යුත්තේ ප්‍රථම සම අධ්‍යක්ෂවරිය වශයෙනි. එය එසේ වන්නේ චිත්‍රපටයේ නාමාවලිය ප්‍රදර්ශනය වෙද්දීත් වෙනත් මුද්‍රිත මාධ්‍යවලත් ෆ්ලොරිඩා ජයලත්, රාජා ජෝසුවා යන නම් දෙකම එකට පළවූ නිසාය.

රාජා ජෝසුවා ද්‍රවිඩ අයකු වූ නිසා ඔහුට අසාධාරණයක් නොවන්නට විය යුතුව තිබුණේ ප්‍රථම කාන්තා සම අධ්‍යක්ෂවරිය ෆ්ලොරිඩා ජයලත් යැයි සඳහන් කිරීමය. මගේ ලිපි පෙළේ නිතරම සත්‍යය එසේම ලියන නිසා මෙය හෙළිදරව් කළා මිස අභාවයට පත්ව සිටින නිළියකට අගෞරවයක් වන්නට මෙය ලීවා නොවන බවද සඳහන් කළ යුතුයි.

ජොසපින් ජයලත් නිළිය බි. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ චිත්‍රපටවල රඟපාන නිළියකි. ෆ්ලොරිඩා ජයලත් නමින් ඇයට නැගෙණියක් සිටියාය. අක්කාගේ තනියට යන ෆ්ලොරිඩාව බි. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ ඇස ගැටුණි. තම චිත්‍රපටවලට නැටුම් කණ්ඩායමක් ඇතුළත් කිරීමේ උවමනාවෙන් සිටි බි. ඒ. ඩබ්ලිව්. ෆ්ලොරිඩා ජයලත් ද ඇතුළත් කර නැටුම් කණ්ඩායමක් ඇති කළේය. “උමතු විශ්වාසය” චිත්‍රපටයේ නැටුම් කණ්ඩායමේ නර්තන ශිල්පිනියක් ලෙස ෆ්ලොරිඩා ජයලත් සුළු චරිතයක් රඟපෑවාය. එහෙත් ෆ්ලොරිඩා ජයලත් පවසන පරිදි ඇය රඟපෑමට සිහින මැවූ හෝ කැමැත්තෙන් සිටි අයකු නොවේ.

‘සුජාතා’ චිත්‍රපටයේ නිළියක් සොයමින් සිටි අවධියේ අක්කා ජොසපින් ජයලත් සොයා මාරවිල නිවසට ගිය අවස්ථාවේ අක්කා ගෙදර නොසිටි අතර ගෙදර සිටි ෆ්ලොරිඩා ජයලත්ව දුටු ටී. සෝමසේකරන් සුළු චරිතයක් රඟපෑමට ඇයව තෝරාගෙන ඇත. ඒ සඳහා ඉන්දියාවට ගිය අවස්ථාවේ ‘සුජාතා’හි ප්‍රධාන චරිතයට තෝරාගෙන සිටි නිළියට වඩා ෆ්ලොරිඩා එයට ගැළපෙන නිසා ඇයට ප්‍රධාන චරිතය රැඟපෑමට අවස්ථාව උදාවිය.

මේ වන විට පාසල් අධ්‍යාපනය ලබමින් සිටි ෆ්ලොරිඩා පාසල් නිවාඩු කාලය තුළදී රඟපෑමට ඉන්දියාවට ගියත් මාස තුනක් පමණ යනතුරු ආපසු ඒමට නොහැකි විය. චිත්‍රපටය ප්‍රදර්ශනය වෙද්දී පාසලෙන් විවිධ ප්‍රශ්න එල්ල වෙමින් තිබියදී ‘සැඩසුළං’ චිත්‍රපටයේද ප්‍රධාන චරිතයට ඇය තෝරා ගැණිණ.

දෙමළ අධ්‍යක්ෂවරුන් යටතේ සිංහල නළුනිළියන් රඟපාද්දී ඔවුන්ගේ අනසක යටතේ රඟපෑවත් ‘තරු’ ලෙසින් නළුනිළියන් හැඳින්වූ ඒ යුගයේ එක රැයින් බිහිවූ ජනප්‍රිය තරුවක් වූයේ ෆ්ලොරිඩා ජයලත්ය. ‘සැඩසුළං’ රඟපෑමට ගොස් සිටියදී ඉන්දියාවේ මදුරාසියේ අනිල් කුමාර් චොප්රා වෙතින් නර්තනය හැදෑරුවාය.

ටී. ආර්. සුන්දරම් සහ ඩී. වී. රාජ් සුජාතා මෙහෙයවූ අතර වැඩිපුරම රඟපා ඇත්තේ ටී. සෝමසේකරන්ගේ චිත්‍රපටවලය. ‘සරදම’, ‘සේපාලි’, ‘අවිශ්වාසය’, ‘පිරිමියෙක් නිසා’, ‘දරුවා කාගෙද’, ‘දේව සුන්දරී’, වෙන ස්වර්ගයක් කුමටද’, ‘හෙට ප්‍රමාද වැඩියි’, ‘ස්විප් ටිකට්’ ආදී චිත්‍රපටවල රඟපෑ ඇයගේ අවසන් චිත්‍රපටය ‘සුදු දුව‘ වූවාය. ගුරු අභ්‍යාස විද්‍යාලයේ ශාරිරික අභ්‍යාස ගුරුවරයකු වූ ඇන්ටන් ප්‍රනාන්දු සමග විවාහ වූ ඇය ‘සුදු දුව‘ තිරගත කිරීමෙන් පසු රඟපෑම අත්හැරියාය.

ඇය මෙහෙයවූ අධ්‍යක්ෂවරුන් අතර ටී. සෝමසේකරන්, ටී. ආර්. සුන්දරම්, රාජා ජෝසුවා, ඩබ්ලිව්. එම්. එස්. තම්‍පෝ, ඩී. වී. රාජ් හැරුන කොට කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා සහ ලෙනින් මොරායස් ද විය. මාරවිල ග්‍රාමයේ උපත ලත් ඇය රෝමානු කතෝලික කන්‍යාරාමයෙන් අධ්‍යාපනය හැදෑරීය.

‘ස්විප් ටිකට්’ කතා සාරාංශය මෙසේය.
වික්‍රම හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ජීවත්වන කොණ්ඩය බඳින වචනයේ පරිසමාප්තයෙන්ම අහිංසක ගැමියෙකි. ඔහු විවාහ වී සිටින්නේ නාගරික අධ්‍යාපනය ලැබුවත් ඔහු මෙන්ම අහිංසක සුනීතා නම් තරුණියක් සමගය. වික්‍රමට රුපියල් ලක්ෂයක ලොතරැයි දිනුමක් ඇඳීම ඔවුන්ගේ ජීවිතවල ගැටුමක් ආරම්භ වීමට හේතුවේ. වික්‍රම මෙම රුපියල් ලක්ෂය ලබා ගැනීමට තනියම කොළඹ එන අතර දුම්රියේදී හමුවන සමාජශාලා හිමියෙක් ඔහුගේ මුදල වංචාවෙන් ලබා ගැනීමට වික්‍රම සමග මිතුරු වී ඔහු ක්‍රමයෙන් සංකර ගතිවලට හා දුෂ්චරිතයට ‍පොලඹවයි. ඔහුගේ කොණ්ඩය කපා කලිසම් කමිස අන්දවා මැත්පැනට හුරු කරන සමාජශාලා හිමියා වික්‍රමට රූමත් නළඟනක්ද මිත්‍ර කර දෙයි. වික්‍රම අත දිගහැර වියදම් කරන අතර ඔහුගේ බිරියද අමතක කර දමයි.

තම සැමියාගේ ප්‍රමාදය සොයා බැලීමට කොළඹට පැමිණෙන සුනීතා වික්‍රම සොයා විත් නැවත ගමට යාමට කතා කරයි. නගරයේ රසයෙන්මත්ව සිටින වික්‍රම කරනුයේ තම බිරිය පන්නා දැමීමයි. සුනීතා මෙම සිද්ධියෙන් කලබල නොවෙයි. තම සැමියාත් ඔහුගේ මුදලත් බේරා ගැනීමට අදිටනින් ඇයද රංගනයක් ආරම්භ කරයි. කොළඹ ජීවත්වන ඇයගේ මිතුරු යුවළක් වන රාජ් සහ ඔහුගේ බිරියගේ උපකාරයෙන් සුනීතා නාගරික තරුණියක ලෙස වෙස් වළා ගනී. ඉන්පසු වික්‍රම හා මිත්‍රවෙයි. ඔහුගේ ඉතිරි මුදල් සියල්ල කපටිකමින් ඩැහැ ගන්නා ඇය අතුරුදන් වෙයි.

වික්‍රමගේ මුදල් සියල්ල හමාර බව දැනගන්නා සමාජශාලා හිමිකරුත් නළඟනත් වික්‍රම පලවා හරී. කවුරුවත් නොමැතිව නගරයේ අතරමංවන වික්‍රම තීරණය කරන්නේ අවසානයේ ගමට යාමටයි. ගමට ගොස් තම බිරිය හමුවී නැවත ජීවිතය ආරම්භ කිරීමටයි. සුනිතා වික්‍රමව පිළිගනී. මුදල් අහිමිවීම පිළිබඳ නොතැවෙන ලෙසත් තමන්ටද රුපියල් හැත්තෑපන්දහසක ලොතරුයියක් ඇදුන බවත් සුනීතා පවසයි. අවසානයේ වික්‍රම හා සුනීතා යුවළ නැවතත් සතුටින් පවුල් ජීවිතය ආරම්බ කරයි. ෆ්ලොරිඩා ස්වීප් ටිකට් තුළින් පවසන්නේ යහපත් බිරිඳකට කළ හැකි දේ පිළිබඳවයි.

‘ස්වීප් ටිකට්’ 120 වන සිංහල චිත්‍රපටය වේ. කොළඹ 5 ලංකා චිත්‍රාගාරයේදීත් වැල්ලම්පිටිය ආර්. ටී. චිත්‍රාගාරයේදීත් කඳානේ එස්. පී. එම්. චිත්‍රාගාරයේත් ‘ස්වීප් ටිකට්’ නිෂ්පාදනය කෙරුණි. ආර්. ආර්. ෆිල්ම්ස් වෙනුවෙන් ආර්. රාජාබ් අලි විසින් මෙය නිෂ්පාදනය කෙරිණි. මෙහි තිරනාටකය සහ කතාව ලෙනිස් මොරායස් ගෙනි. ආර්. ආර්. චිත්‍රපට සමාගමේ කතා අංශයෙන් කතාව රැගෙන ඇත. කැමරාවද ලෙනින් මොරායස්ගෙනි.

දෙබස් ඒ. ජේ. ද සොයිසාගෙන් වන අතර සංස්කරණය එඩ්වඩ් කේ. ලීටන්ගෙනි. වේෂ නිරූපණය රෙජී ද සිල්වාගෙනි. මෙහි ගීත ප්‍රබන්ධය චිත්‍රානන්ද අබේසේකර, විල්ෆ්‍රඩ් සිල්වා සහ සිරිල් ඒ සීලවිමලගෙනි.

හොඳ සිරියාවයි ආකාසේ
ආවා පෙම්වතා යන්නේ
මේලෝකේ සියල්ලෝ

වැනි ගීත මේ චිත්‍රපටයෙන් ශේෂ වූ මතක සටහන්ය. ගීත තැටිගත කිරීම සරසවි චිත්‍රාගාරයේදී සිදු විය. සංගීත අධ්‍යක්ෂණය පී. එල්. ඒ. සෝමපාලගෙනි. කලා අධ්‍යක්ෂණය ජේ. ඒ. වින්සන්ට් වන අතර නිෂ්පාදන කළමනාකරු බර්ටි තලගලය. පසුබිම් ගායනා සුජාතා පෙරේරා, ඇන්ජලීන් ලැනරෝල් සහ එච්. ආර් ජෝතිපාලගෙනි.
රඟපෑම් ජෝ. අබේවික්‍රම, ෆ්ලොරිඩා ජයලත්, විජිත මල්ලිකා, බන්දු මුණසිංහ, රීටා රත්නායක, අශෝක ‍පොන්නම්පෙරුම, ඩී. ගුණදාස, ඩී. නෙත්තිකුමාර, වර්නා කැස්පර්ස්. සුදේශ් ගුණරත්න.
සිලෝන් තියටර්ස් සමාගම මගින් ප්‍රදර්ශනය කරන ලදී. (rivira)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "‘ස්වීප් ටිකට්’"

    Post a Comment