Showing posts with label Cinema. Show all posts
Showing posts with label Cinema. Show all posts

11 July, 2017

පාසල් දරුවෙකුට පුළුස්සා වධදීලා - දින 25කට පසුව එක් අයෙක් අත්අඩංගුවට (Video)

School boy burnt Mawathagama

පාසල් දරුවෙකු උණුවතුරින් පුළුස්සා තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාවතගම පොලිසිය විසින් පුද්ගලයෙකු අද (11) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය විසින් මෙලෙස සැකකරු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර තිබුණේ මෙම අපරාධය සිදුකොට දින 25ක් ගතවීමෙන් පසුවවීම කනගාටුවට කරුණකි.

මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී තිබුණේ මාවතගම හිඳගොල්ල ප්‍රදේශයේ පාසලක නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.

ඉකුත් මස 16 වැනිදා උදෑසන දරුවා නිවස තුළ තනිවම රැඳීසිටියදී එහි පැමිණි තිදෙනෙකු විසින් විදුලි හීටරයකින් ජලය රත්කර එම ජලය සිසුවාගේ ඇඟට වත්කර තිබේ.

පසුව රත්වූ හීටරයෙන් සිසුවාගේ මුහුණද පුළුස්සා ඇති බවත්, එම අවස්ථාවේ
එම අවස්ථාවේදී දරුවාගේ මව සහ පියා නිවසෙන් බැහැරව සිට ඇති බවත් අප වාර්තාකරු පවසයි.

අනතුරුව ප්‍රදේශවාසින් විසින් දරුවා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර
රෝහල් බලධාරීන් පැවසුවේ දරුවා තවමත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

මීට වගකිව යුතු පුද්ගලයින් වෙනුවෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් දරුවාගේ මව්පියන් පොලිසියට චෝදනා කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී මාවතගම පොලිසිය කියා සිටියේ ඊයේ දිනයේදී පාසල් සිසුවාගෙන් කටඋත්තරයක් ලබාගැනීමෙන් අනතුරුව සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බවයි.

තවත් සැක කරුවන් දෙදෙනෙකු සොයා පරීක්ෂණ පවත්වන බවද පොලිසිය එහිදී වැඩිදුරටත් කියා සිටියේය.



(derana)

01 July, 2017

Despicable Me 3 ලොව පුරා තිරගත වීම අරඹුනා

Despicable Me 3

සෝබනයෙන් පිරි ප්‍රීතිමත් වඩාත් සාර්ථක ජිවිතයක් ගත කරන ගෲගේ නිවුන් සහෝදරයා ඩෲ ඉතාමත් දිගු කාලයකින් පසුව ඔහුට මුණගැසෙයි. ඔහුට අවශ්‍ය වන්නේ සදා මතකයේ රැඳෙන අපරාධ කණ්ඩායමක් නිර්මාණය කිරීමටයි.

එරික් ගුයිලෝන්, කයිල් බල්ඩා අධ්‍යක්ෂණය කළලොව පුරා ප්‍රසිද්ධියට පත්, වැඩිහිටි ළමා භේදයකින් තොරව රසවිඳි ඇනිමේෂන් සිනමාපටය “Despicable me” ඊයේ (30) සිට ලොව පුරා තිරගත වීම ආරම්භ විය.

Despicable me චිත්‍රපට මාලාවේ තෙවන චිත්‍රපටය ලෙසින් මෙය හැඳින් වේ.

පැය 1 විනාඩි 30 ක් පුරා ධාවනය වන සිනමාපටයට හඬ දායකත්වය ලබා දෙන්නේ ස්ටීව් කැරල් (ගෲ/ ඩෲ) ක්‍රිස්ටීන් විග් ( ලුසී) ට්‍රේ පාකර් ( බල්තසාර් බ්‍රට්) මිරැන්ඩා කොස්ග්‍රෝව් (මාගෝ) ඩානා ගේර් (ඊඩිත්) නෙව් චරෙල් (ඇග්නස්) යන පිරිසය. එසේම මිනියොන්ස් හඬ සංයෝජනය පියේර් කොෆින් සිදු කර ඇත.



(mirrorarts)

30 June, 2017

ලෝගන් හි රඟපෑ හියු ජැක්මන් ෂෝ මෑන් වෙයි (Video)

Hugh Jackman - The Greatest Showman

වුල්වරින් , ලෝගන් සුප්‍රසිද්ධ හොලිවුඩ් චිත්‍රපට තුලින් ප්‍රේක්ෂක ජනතාව අතර මහත් ජනප්‍රියත්වයක් හිමි කරගත් හියු ජැක්මන් ගේ නවතම සිනමාපටයේ ට්‍රේලර්පටය නිකුත් වී තිබේ.

සිනමාපටය හැඳින්වෙන්නේ The Great Showman නමිනි.

ගීතමය, නාට්‍යමය චරිත කතාවක් ලෙසින් මෙය නම් කර ඇත.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ මයිකල් ග්‍රේසි විසිනි.

හියු ජැක්මන්, රෙබෙකා ෆර්ගසන්, සැක් එෆ්රොන්, මිචෙල් විලියම්ස්, පෝල් ස්පාර්ක් ඇතුළු ප්‍රකට නළු නිලියන් රැසක් මෙහි රංගනයෙන් දායකත්වය සපයයි.

The Great Showman දෙසැම්බර් 25 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේදී තිරගත වීමට නියමිතය.


(mirrorarts)

26 June, 2017

බාහුබලි තාමත් පළවෙනියා

Bahubali 2 - III

2017 වසරේ බොලිවුඩ් සිනමාව තුළ මේ වනතෙක් තිරගත වී ඇති චිත්‍රපට අතුරින් ආරම්භක දිනයේම ඉහළම ආදායම් වාර්තා තැබූ සිනමාපටය ලෙසින් පළමුවන ස්ථානය නොවෙනස්ව රඳවා ගැනීමට බාහුබලි සමත්ව තිබේ.

ඒ රුපියල් කෝටි 41 සමඟිනි.

පසුගිය 23 දා තිරගත වූ සල්මන් කාන්ගේ ටියුබ් ලයිට් සිනමා පටය රුපියල් කෝටි 21.15 ක ආදායමක්ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසු වේ.

ශාරුක් කාන්ගේ රීස් රුපියල් කෝටි 20.42 ක් ද, අක්ශේ කුමාර්ගේ ජොලි LLB 2 රුපියල් කෝටි 13.20 ක් සහ වරුන් ධාවන්ගේ බද්‍රිනාත් කි දුල්හානියා 12.25 ක ආදායමක් ද වාර්තා කර ඇත.

කෙසේ වෙතත් මීළඟට තිරගත වීමට නියමිතව ඇති ගෝල්මාල් වන්ස් අගේන්, සික්‍රට් සුපර් ස්ටාර්, ජබ් හැරී මෙට් සේජල්, ටයිගර් සින්දා හේ වැනි චිත්‍රපට සමඟින් ඉහළ ස්ථාන පහ ඒ ආකාරයෙන්ම රඳවාගත හැකි වේදැයි ගැටළු සහගතය. (mirrorarts)

23 June, 2017

කරීනා "Student Of The Year- 10" වෙනි චිත‍්‍රපටයට නළු නිළියන් තෝරයි

Student Of The Year- 10 - Kareena

කරන් ජෝහරන් "student of the year" දෙවන චිත‍්‍රපටය ටයගර් ෂොරෆ් හරහා රීදි තිරියට ගෙන එන්න සූදානම් කියලා දැන් කවුරුත් දන්නවා.

සුපිරි නළු සල්මන්ගේ TubeLight කතාව

Salman - TubeLight

ඉන්දීය සුපිරි නළු සල්මන් කාන් ගේ නවතම සිනමා පටය TubeLight අද දින (23) ඉන්දියාවේ සිනමාශාලාවල ප්‍රදර්ශනය වීම ආරම්භ විය.

කබීර් කාන් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටයට සොහයිල් කාන්, ඕම් පුරි ඇතුළු නළු නිලියන් කිහිප දෙනෙක් සිය රංගන දායකත්වය ලබා දෙයි.

ඉන්දීය රුපියල් 1,550,000,000 ක පමණ මුදලක් වැයකරමින් නිපද වූ ටියුබ් ලයිට් හි ධාවන කාලය පැය 2 මිනිත්තු 34 කි.

සිය පවුලට ඇති ආදරය සහ පුද්ගලයකු සතුව ඇති නොසැලෙන විශ්වාසය මෙම චිත්‍රපටයට තේමාව වී ඇත.

සිනමා පටය විශේෂ දර්ශන අවස්ථාවක් සඳහා සල්මන් කාන් සිය රොමේනියානු පෙම්වතිය ජුලියා සමඟ සහභාගී වී සිටින ආකාරය දක්නට ලැබුණි.

සල්මන්ගේ මීළඟ සිනමා පටය “දබන්ග් 3” වනු ඇත.

22 June, 2017

බාහුබලී හි දේවසේනා වූ අනුෂ්කා ගේ රඟපෑමට විරාමයක්

Anushka Shetty

ලොව පුරා ප්‍රසිද්ධියක් අත් කරගත් බාහුබලි 2 හි ප්‍රධාන චරිතයක් වූ දේවසේනාට පණ පෙවූ අනුෂ්කා ෂෙට්ටි, ප්‍රේක්ෂකයන්ගේ හදවත වසඟ කරගැනීමට සමත් විය.

ඇය රංගනයෙන් දායකත්වය ලබා දුන් “භාග්මති” නම් ඓතිහාසික චිත්‍රපටය තිරගත වීමෙන් අනතුරුව රඟපෑමෙන් ටික කලක් ඉවත් වී සිටීමට අනුෂ්කා තීරණය කර තිබේ.

එරට මාධ්‍ය සඳහන් කරන ආකාරයට යෝග අභ්‍යාස කිරීමෙහි නිපුණයකු වූ ඇය එම ඉපැරණි කලාව පුහුණුවිම සඳහාත් ශරීර හැඩය නැවත ලබා ගැනීම සඳහාත් මාස කිහිපයක් කැප කරනු ඇත.

සුන්දර් සි අධ්‍යක්ෂණය කරන සංගමිත්‍රා සිනමා පටයේ ප්‍රධාන චරිතය බාර නොගැනීමටත් මෙය හේතුවක් වන බව ඇතැමුහු පවසති.

කෙසේ වෙතත් ගෞතම් වාසුදෙව් ගේ ඔන්ද්‍රාගා නිර්මාණයෙන්, නැවතත් අනුශ්කාගේ දක්ෂතාවයන් දැක ගත හැකි වන බවට විශ්වාසයක් ඇත. (mirrorarts)

21 June, 2017

Transformers: The Last Knight අද එළියට

Transformers The Last Knight - 02

මිනිසුන් සහ ට්‍රාන්ස්ෆොර්මර්ස් අතර දරුණු යුද්ධයක් ඇවිලී ගොසිනි. ඔප්ටිමස් ප්‍රයිම් සියල්ල හැර දමා නික්මී ඇත. අනාගත පරම්පරාව ආරක්ෂා කිරීමේ යතුර අතීතයේ රහස් අතරේ වැළලී තිබේ, එය පෘථිවියේ ජිවත් වූ ට්‍රාන්ස්ෆොර්මර්ස් ඉතිහාසය තුළ සැඟව ගොසිනි.

ට්‍රාන්ස්ෆෝමර්ස් කතා මාලාවේ නවතම සිනමා පටය Transformers: The Last Knight, අද දින එනම් ජුනි 21 ඇමරිකා එක්සත් ජනපදයේ දී තිරගත වීමට නියමිතය.

ක්‍රියාදාම,ත්‍රාසජනක සහ විද්‍යාත්මක ප්‍රබන්ධ ගණයේ චිත්‍රපටයක් ලෙස හැඳින්වෙන මෙය මිනිත්තු 149 ක කාලයක් පුරා ධාවනය වෙයි.

මයිකල් බේ ගේ අධ්‍යක්ෂණයෙන් යුත් Transformers 5 සඳහා මාර්ක් වැල්බර්ග්, ඇන්ටනි හොප්කින්ස්, ජොෂ් ඩුහමෙල්,ලෝරා හැඩොක්, සන්තියාගෝ කබ්‍රෙරා, ඉසබෙලා මෝනර් ඇතුළු රංගන ශිල්පින් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දෙයි.

Transformers: The Game නම් මෙහි පළමු සිනමා පටය තිරගත වුයේ 2007 වසරේදීය.

එම චිත්‍රපටය වසරේ හොඳම චිත්‍රපටයට හිමි MTV සිනමා සම්මානය ද දිනා ගන්නා ලදී.

ප්‍රේක්ෂකයන් අතරේ වඩාත් ජනප්‍රිය මෙම චිත්‍රපට මාලාවේ නවතම ආරම්භය, වාර්තා තබමින් ලොව පුරා තිරගත වනු ඇතැයි විචාරකයෝ මත පල කරති. (mirrorarts)

18 June, 2017

සුපිරි නළු ටොම් ත්‍රාසජනක රූගත කිරීමක

Tom Cruise - 02

‘මිෂන් ඉම්පොසිබල්’ චිත්‍රපට මාලාවට අයත් අවසන් වරට තිරගත වූ චිත්‍රපට යුගලයෙහි සුපිරි නළු ටොම් කෲස් රඟපෑ අතිශය ත්‍රාසජනක දර්ශන ප්‍රේක්ෂකයන්ගේ මනසින් කිසි දිනෙක ගිලිහෙන්නේ නැහැ.

මේ අතිදක්ෂ රංගන ශිල්පියාගේ නවතම රැඟුම් ඇතුළත් වන්නේ ලබන සැප්තැම්බර් මාසයේදී තිරගත වීමට නියමිත ‘ඇමෙරිකන් මේඩ්’ චිත්‍රපටයේ. ටොම් කෲස් මෙහි රඟන්නේ ද ත්‍රාසජනක දර්ශන රැසක්. ඔහු මේ චිත්‍රපටයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස චරිතයක් නිරූපණය කරනවා.

එක් දර්ශනයක ටොම් කුඩා ගුවන් යානයක් පදවාගෙන යන අවස්ථාවක් නිරූපණය කළා. ගුවන් යානය පදවාගෙන යන ඔහු, එහි තිබෙන කොකේන් අඩංගු පාර්සලයක් පොළොවට විසි කරනවා. ඔහු ඒ මොහොතේදී කොකේන් පාර්සලය විසි කරන්නේ ගුවන් නියමු කුටියෙන් පිටතට පැමිණයි. එය අතිශයින්ම අවදානම් සහගත අවස්ථාවක් බවයි චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඩෞග් ලිමාන් පැවසුවේ.

“ඒක ඇත්තෙන්ම ලොමු දැහැගන්වන දර්ශනයක්. ඒක රූගත කළේ ගුවන් යානයත් එක්ක ගමන් කළ හෙලිකොප්ටර් එකක ඉඳන්. ටොම්, අර පාර්සලය බිමට දමද්දී නියමු කුටියේ කිසි කෙනෙක් හිටියෙ නැහැ. ටොම්, ඒ ගුවන් යානයේ පිටිපස්සට ඇවිල්ලයි පාර්සලය අතහැරියේ.” අධ්‍යක්ෂවරයා එලෙස කීවේ ටොම්ටත් වඩා බියපත් වෙලයි. (mirrorarts)

16 June, 2017

‘ස්වීප් ටිකට්’

Sweep tickets

‘ස්වීප් ටිකට්’ චිත්‍රපටය තිරගත වූයේ 1965 නොවැම්බර් 5 වනදාය. මෙහි අධ්‍යක්ෂ ලෙස ප්‍රසිද්ධියට පත්වූයේ ‘සුජාතා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් එක් රැයකින් ප්‍රසිද්ධියට පත්වූ ෆ්ලොරිඩා ජයලත්ය.

ප්‍රථම කාන්තා අධ්‍යක්ෂවරිය යැයි බහුතරයක් විසින් ෆ්ලොරිඩා ජයලත් නිළියව හඳුන්වා දී තිබේ. පුවත්පත්වල පළවූයේද එසේය. එහෙත් ‘ස්විප් ටිකට්’ අධ්‍යක්ෂණයට හවුල් වූ තවත් අයෙක් සිටියේය. ඔහු රාජා ජෝසුවා නම් ද්‍රවිඩ ජාතිකයෙකි. මගේ දැනීමේ හැටියට නම් ෆ්ලොරිඩා ජයලත් හැඳින්විය යුත්තේ ප්‍රථම සම අධ්‍යක්ෂවරිය වශයෙනි. එය එසේ වන්නේ චිත්‍රපටයේ නාමාවලිය ප්‍රදර්ශනය වෙද්දීත් වෙනත් මුද්‍රිත මාධ්‍යවලත් ෆ්ලොරිඩා ජයලත්, රාජා ජෝසුවා යන නම් දෙකම එකට පළවූ නිසාය.

රාජා ජෝසුවා ද්‍රවිඩ අයකු වූ නිසා ඔහුට අසාධාරණයක් නොවන්නට විය යුතුව තිබුණේ ප්‍රථම කාන්තා සම අධ්‍යක්ෂවරිය ෆ්ලොරිඩා ජයලත් යැයි සඳහන් කිරීමය. මගේ ලිපි පෙළේ නිතරම සත්‍යය එසේම ලියන නිසා මෙය හෙළිදරව් කළා මිස අභාවයට පත්ව සිටින නිළියකට අගෞරවයක් වන්නට මෙය ලීවා නොවන බවද සඳහන් කළ යුතුයි.

ජොසපින් ජයලත් නිළිය බි. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ චිත්‍රපටවල රඟපාන නිළියකි. ෆ්ලොරිඩා ජයලත් නමින් ඇයට නැගෙණියක් සිටියාය. අක්කාගේ තනියට යන ෆ්ලොරිඩාව බි. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ ඇස ගැටුණි. තම චිත්‍රපටවලට නැටුම් කණ්ඩායමක් ඇතුළත් කිරීමේ උවමනාවෙන් සිටි බි. ඒ. ඩබ්ලිව්. ෆ්ලොරිඩා ජයලත් ද ඇතුළත් කර නැටුම් කණ්ඩායමක් ඇති කළේය. “උමතු විශ්වාසය” චිත්‍රපටයේ නැටුම් කණ්ඩායමේ නර්තන ශිල්පිනියක් ලෙස ෆ්ලොරිඩා ජයලත් සුළු චරිතයක් රඟපෑවාය. එහෙත් ෆ්ලොරිඩා ජයලත් පවසන පරිදි ඇය රඟපෑමට සිහින මැවූ හෝ කැමැත්තෙන් සිටි අයකු නොවේ.

‘සුජාතා’ චිත්‍රපටයේ නිළියක් සොයමින් සිටි අවධියේ අක්කා ජොසපින් ජයලත් සොයා මාරවිල නිවසට ගිය අවස්ථාවේ අක්කා ගෙදර නොසිටි අතර ගෙදර සිටි ෆ්ලොරිඩා ජයලත්ව දුටු ටී. සෝමසේකරන් සුළු චරිතයක් රඟපෑමට ඇයව තෝරාගෙන ඇත. ඒ සඳහා ඉන්දියාවට ගිය අවස්ථාවේ ‘සුජාතා’හි ප්‍රධාන චරිතයට තෝරාගෙන සිටි නිළියට වඩා ෆ්ලොරිඩා එයට ගැළපෙන නිසා ඇයට ප්‍රධාන චරිතය රැඟපෑමට අවස්ථාව උදාවිය.

මේ වන විට පාසල් අධ්‍යාපනය ලබමින් සිටි ෆ්ලොරිඩා පාසල් නිවාඩු කාලය තුළදී රඟපෑමට ඉන්දියාවට ගියත් මාස තුනක් පමණ යනතුරු ආපසු ඒමට නොහැකි විය. චිත්‍රපටය ප්‍රදර්ශනය වෙද්දී පාසලෙන් විවිධ ප්‍රශ්න එල්ල වෙමින් තිබියදී ‘සැඩසුළං’ චිත්‍රපටයේද ප්‍රධාන චරිතයට ඇය තෝරා ගැණිණ.

දෙමළ අධ්‍යක්ෂවරුන් යටතේ සිංහල නළුනිළියන් රඟපාද්දී ඔවුන්ගේ අනසක යටතේ රඟපෑවත් ‘තරු’ ලෙසින් නළුනිළියන් හැඳින්වූ ඒ යුගයේ එක රැයින් බිහිවූ ජනප්‍රිය තරුවක් වූයේ ෆ්ලොරිඩා ජයලත්ය. ‘සැඩසුළං’ රඟපෑමට ගොස් සිටියදී ඉන්දියාවේ මදුරාසියේ අනිල් කුමාර් චොප්රා වෙතින් නර්තනය හැදෑරුවාය.

ටී. ආර්. සුන්දරම් සහ ඩී. වී. රාජ් සුජාතා මෙහෙයවූ අතර වැඩිපුරම රඟපා ඇත්තේ ටී. සෝමසේකරන්ගේ චිත්‍රපටවලය. ‘සරදම’, ‘සේපාලි’, ‘අවිශ්වාසය’, ‘පිරිමියෙක් නිසා’, ‘දරුවා කාගෙද’, ‘දේව සුන්දරී’, වෙන ස්වර්ගයක් කුමටද’, ‘හෙට ප්‍රමාද වැඩියි’, ‘ස්විප් ටිකට්’ ආදී චිත්‍රපටවල රඟපෑ ඇයගේ අවසන් චිත්‍රපටය ‘සුදු දුව‘ වූවාය. ගුරු අභ්‍යාස විද්‍යාලයේ ශාරිරික අභ්‍යාස ගුරුවරයකු වූ ඇන්ටන් ප්‍රනාන්දු සමග විවාහ වූ ඇය ‘සුදු දුව‘ තිරගත කිරීමෙන් පසු රඟපෑම අත්හැරියාය.

ඇය මෙහෙයවූ අධ්‍යක්ෂවරුන් අතර ටී. සෝමසේකරන්, ටී. ආර්. සුන්දරම්, රාජා ජෝසුවා, ඩබ්ලිව්. එම්. එස්. තම්‍පෝ, ඩී. වී. රාජ් හැරුන කොට කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා සහ ලෙනින් මොරායස් ද විය. මාරවිල ග්‍රාමයේ උපත ලත් ඇය රෝමානු කතෝලික කන්‍යාරාමයෙන් අධ්‍යාපනය හැදෑරීය.

‘ස්විප් ටිකට්’ කතා සාරාංශය මෙසේය.
වික්‍රම හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ජීවත්වන කොණ්ඩය බඳින වචනයේ පරිසමාප්තයෙන්ම අහිංසක ගැමියෙකි. ඔහු විවාහ වී සිටින්නේ නාගරික අධ්‍යාපනය ලැබුවත් ඔහු මෙන්ම අහිංසක සුනීතා නම් තරුණියක් සමගය. වික්‍රමට රුපියල් ලක්ෂයක ලොතරැයි දිනුමක් ඇඳීම ඔවුන්ගේ ජීවිතවල ගැටුමක් ආරම්භ වීමට හේතුවේ. වික්‍රම මෙම රුපියල් ලක්ෂය ලබා ගැනීමට තනියම කොළඹ එන අතර දුම්රියේදී හමුවන සමාජශාලා හිමියෙක් ඔහුගේ මුදල වංචාවෙන් ලබා ගැනීමට වික්‍රම සමග මිතුරු වී ඔහු ක්‍රමයෙන් සංකර ගතිවලට හා දුෂ්චරිතයට ‍පොලඹවයි. ඔහුගේ කොණ්ඩය කපා කලිසම් කමිස අන්දවා මැත්පැනට හුරු කරන සමාජශාලා හිමියා වික්‍රමට රූමත් නළඟනක්ද මිත්‍ර කර දෙයි. වික්‍රම අත දිගහැර වියදම් කරන අතර ඔහුගේ බිරියද අමතක කර දමයි.

තම සැමියාගේ ප්‍රමාදය සොයා බැලීමට කොළඹට පැමිණෙන සුනීතා වික්‍රම සොයා විත් නැවත ගමට යාමට කතා කරයි. නගරයේ රසයෙන්මත්ව සිටින වික්‍රම කරනුයේ තම බිරිය පන්නා දැමීමයි. සුනීතා මෙම සිද්ධියෙන් කලබල නොවෙයි. තම සැමියාත් ඔහුගේ මුදලත් බේරා ගැනීමට අදිටනින් ඇයද රංගනයක් ආරම්භ කරයි. කොළඹ ජීවත්වන ඇයගේ මිතුරු යුවළක් වන රාජ් සහ ඔහුගේ බිරියගේ උපකාරයෙන් සුනීතා නාගරික තරුණියක ලෙස වෙස් වළා ගනී. ඉන්පසු වික්‍රම හා මිත්‍රවෙයි. ඔහුගේ ඉතිරි මුදල් සියල්ල කපටිකමින් ඩැහැ ගන්නා ඇය අතුරුදන් වෙයි.

වික්‍රමගේ මුදල් සියල්ල හමාර බව දැනගන්නා සමාජශාලා හිමිකරුත් නළඟනත් වික්‍රම පලවා හරී. කවුරුවත් නොමැතිව නගරයේ අතරමංවන වික්‍රම තීරණය කරන්නේ අවසානයේ ගමට යාමටයි. ගමට ගොස් තම බිරිය හමුවී නැවත ජීවිතය ආරම්භ කිරීමටයි. සුනිතා වික්‍රමව පිළිගනී. මුදල් අහිමිවීම පිළිබඳ නොතැවෙන ලෙසත් තමන්ටද රුපියල් හැත්තෑපන්දහසක ලොතරුයියක් ඇදුන බවත් සුනීතා පවසයි. අවසානයේ වික්‍රම හා සුනීතා යුවළ නැවතත් සතුටින් පවුල් ජීවිතය ආරම්බ කරයි. ෆ්ලොරිඩා ස්වීප් ටිකට් තුළින් පවසන්නේ යහපත් බිරිඳකට කළ හැකි දේ පිළිබඳවයි.

‘ස්වීප් ටිකට්’ 120 වන සිංහල චිත්‍රපටය වේ. කොළඹ 5 ලංකා චිත්‍රාගාරයේදීත් වැල්ලම්පිටිය ආර්. ටී. චිත්‍රාගාරයේදීත් කඳානේ එස්. පී. එම්. චිත්‍රාගාරයේත් ‘ස්වීප් ටිකට්’ නිෂ්පාදනය කෙරුණි. ආර්. ආර්. ෆිල්ම්ස් වෙනුවෙන් ආර්. රාජාබ් අලි විසින් මෙය නිෂ්පාදනය කෙරිණි. මෙහි තිරනාටකය සහ කතාව ලෙනිස් මොරායස් ගෙනි. ආර්. ආර්. චිත්‍රපට සමාගමේ කතා අංශයෙන් කතාව රැගෙන ඇත. කැමරාවද ලෙනින් මොරායස්ගෙනි.

දෙබස් ඒ. ජේ. ද සොයිසාගෙන් වන අතර සංස්කරණය එඩ්වඩ් කේ. ලීටන්ගෙනි. වේෂ නිරූපණය රෙජී ද සිල්වාගෙනි. මෙහි ගීත ප්‍රබන්ධය චිත්‍රානන්ද අබේසේකර, විල්ෆ්‍රඩ් සිල්වා සහ සිරිල් ඒ සීලවිමලගෙනි.

හොඳ සිරියාවයි ආකාසේ
ආවා පෙම්වතා යන්නේ
මේලෝකේ සියල්ලෝ

වැනි ගීත මේ චිත්‍රපටයෙන් ශේෂ වූ මතක සටහන්ය. ගීත තැටිගත කිරීම සරසවි චිත්‍රාගාරයේදී සිදු විය. සංගීත අධ්‍යක්ෂණය පී. එල්. ඒ. සෝමපාලගෙනි. කලා අධ්‍යක්ෂණය ජේ. ඒ. වින්සන්ට් වන අතර නිෂ්පාදන කළමනාකරු බර්ටි තලගලය. පසුබිම් ගායනා සුජාතා පෙරේරා, ඇන්ජලීන් ලැනරෝල් සහ එච්. ආර් ජෝතිපාලගෙනි.
රඟපෑම් ජෝ. අබේවික්‍රම, ෆ්ලොරිඩා ජයලත්, විජිත මල්ලිකා, බන්දු මුණසිංහ, රීටා රත්නායක, අශෝක ‍පොන්නම්පෙරුම, ඩී. ගුණදාස, ඩී. නෙත්තිකුමාර, වර්නා කැස්පර්ස්. සුදේශ් ගුණරත්න.
සිලෝන් තියටර්ස් සමාගම මගින් ප්‍රදර්ශනය කරන ලදී. (rivira)

15 June, 2017

රතු සමනල හීනයට යළිත් අන්තර්ජාතික සම්මානයක්

Red Butterfly dreams

ප්‍රියන්ත කළු ආරච්චි විසින් අධ්‍ය‍ක්ශණය කරන ලද රතු සමනල හීනයක් චිත්‍රපටියට මෙවර ප්‍රංශයේ පැවති Nice අන්තර්ජාතික චිත්‍රපට උලලේදී විදේශ භාෂා සිනමාපට අංශය යටතේ පිරි නමන ලද හොඳම සිනමා කැමරාකරාකරණයට (Best Cinematography in Foreign Language Film) සඳහා වූ සම්මානයෙන් පිදුම් ලැබීමට එහි කැමරා අධ්‍ය‍ක්ෂක විශ්වජිත් කරුණාරත්න සමත් විය. මෙම චිත්‍රපටය මීට ප්‍රථම ජාත්‍යන්තර චිත්‍රපට උලෙලවල් 8ක් නියෝජනය කරන ලදී.

ඒ අතර නිව් යෝක් ඉන්දියන් සිනමා උලෙල,(Newyork Indian Film Festival) කේරල අන්තර්ජතික චිත්‍රපට උලෙල,(Kerala International Film Festival) ඩකා අන්තර්ජතික චිත්‍රපට උලෙල(Dhaka International film Festival) ආදිය අයත් වේ.

මෙම චිත්‍රපටය දෙමළ තරුණියක් නිධානයක් ලබාගැනිම සඳහා බිලිදීමට යාමේදී ඇයව බේරා ගැනීමට යන සිංහල තරුණයකු වටා ගෙතී ඇත.

මෙවර ප්‍රන්ශයේ Nice අන්තර්ජාතික උලෙල සදහා චිත්‍රපට 700 ක් පමණ ඉදිරිපත් වූ අතර සම්මාණ ලබා දුන් චිත්‍රපට කිහිපය අතරට එක්වීමට රතු සමනල හීනයක් චිත්‍රපටය සමත්විය.

70 වසරක සිංහල සිනමාවේ වෘතාන්ත සිනමා පටයක සිනමා කැමරාකරාකරණයට ලැබුනු 4 වන අන්තර්ජාතික සම්මානය ලෙසින් මෙම සම්මාණය ගෞරවයට පාත්‍ර වෙයි. රතු සමනල හීනයක් චිත්‍රපටය මෙරට ප්‍රේක්ශකයන් වෙතට ඉක්මනින් ගෙනයාම එම නිශ්පාදන කණ්ඩායමේ ඒකායන බලාපොරොත්තුවයි. (mirrorarts)

Cars 3 ළඟදීම (Video)

Cars 3

ලොව පුරා වෙසෙන ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටි ලෝලීන්ට Cars චිත්‍රපටි අමතක වෙන්න විදියක් නැහැ. 2006 අවුරුද්දෙ නිර්මාණ වුණු මුල්ම Cars චිත්‍රපටියට වගේම 2011 අවුරුද්දෙ නිර්මාණය වුණු Cars 2 චිත්‍රපටියටත් ප්‍රේක්ෂකයන්ගෙන් හිමි වුණේ ඉහල ප්‍රතිචාරයක්.

ඒ සුවිශාල ජනප්‍රියත්වය නිසාම Cars චිත්‍රපටි මාලාවේ 3 වැනි චිත්‍රපටියත් නිර්මාණය කරන්න අදාල නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබෙනවා. සුප්‍රසිද්ධ Walt Disney Pictures සහ Pixar Animation Studios හි නිර්මාණ කටයුත්තක් විදියටයි Cars 3 චිත්‍රපටියත් එළි දකින්නෙ.

Cars සහ Cars 2 චිත්‍රපටි අධ්‍යක්ෂණය කළ John Lasseter වෙනුවට මෙවර Cars 3 අධ්‍යක්ෂණය පැවරුණේ Brian Fee ට. Owen Wilson, Cristela Alonzo, Armie Hammer, Larry the Cable Guy සහ Bonnie Hunt ඇතුළු ශිල්පීන් රැසක් හඬ දායකත්වය සපයා ඇති Cars 3 චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂකවරයා වෙන්නෙ Cars මුල්ම චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂවරයා විදියට කටයුතු කළ සම්මානනීය Randy Newman.

ජුනි 16 වැනිදා ඇමරිකාවේ තිරගත වීම ආරම්භ කරන මේ චිත්‍රපටිය සම්බන්ධයෙන් දැනටමත් නිෂ්පාදන සමාගම්, සිනමා විචාරකයන් සහ සජීවීකරණ චිත්‍රපටි ප්‍රියකරන ලොව පුරා සිනමා ප්‍රේක්ෂකයන් තම අවධානය දල්වා තිබෙනවා. Cars 3 චිත්‍රපටය Walt Disney Studios බෙදාහැරීමක්.



(mirrorarts)

14 June, 2017

අලි කතාවට තායිලන්තයෙන් අලි නළුවෙක් ඇවිත්

Sunil Ariyarathne-2017-06-13_22-51-52

ඔබේ නිර්මාණයක් මේ දිනවල තිරයට ඇවිත්?

ඔව්. අලි කතාව චිත්‍රපටය තිරගත වෙන්න අරගෙන දැන් දින කිහිපයක් ගත වෙලා තියෙනවා.

ඔබ මීට කලින් ළමා චිත්‍රපටයක් නිර්මාණය කරලා නෑ. ඇයි ළමා චිත්‍රපටයක් කරන්න යොමු වුණේ?

ඔව්. මං මීට කලින් ළමා චිත්‍රපටයක් කරලා තිබුණේ නෑ. නමුත් මං කලා ලෝකයට පිවිසුණේ ළමා ලේඛකයෙක් හැටියට. මට වයස අවුරුදු එකොළහේදී මං "අහිංසකගේ" කියලා ළමා කෙටි කතා පොතක් ලිව්වා. අලි කතාව නිර්මාණය කරන තුරු මං ළමා චිත්‍රපටයකට අත ගැහුවේ නෑ. හැබැයි මීට අවුරුදු විස්සකට විතර කලින් මං ලියපු "අයන්න කියන්න - ලොවටම ඇහෙන්න", "මගෙ පොඩි යාලු" කියන ගීත ඉතාමත් ජනප්‍රිය වුණා.

ළමා චිත්‍රපට ලේබලයෙන් චිත්‍රපට නිර්මාණය වුණත් ඒ චිත්‍රපට තුළ බොහෝ අවස්ථාවල ගැබ් වෙන්නේ වැඩිහිටියන්ගේ කතා. අලි කතාව චිත්‍රපටය නිර්මාණය කරද්දි ඔබ අරමුණු කළේ ළමා පාර්ශ්වය විතරක්මද?

අද නිර්මාණය වෙන බොහෝමයක් චිත්‍රපට ළමයින් සඳහාම කරන නිර්මාණ නෙවෙයි. මොකද ඒ ඇතුළේ යන්නේ වැඩිහිටියන්ට අදාළ වුණු කතාවක්. මගේ අලි කතාව මට සුරංගනා සංකල්පයකට නිර්මාණය කරන්න අවශ්‍ය වුණාට මං චිත්‍රපටය තුළින් ගේන්නේ ලොකු පණිවුඩයක්. ඒ තමයි පරිසරයට, ඇළට, ‍ෙදාළට, සතාට ආදරය කරන්න ඕන, කියන දේ ඇත්තටම මේ පණිවුඩය අපේ අනාගතය භාරගන්න ඉන්න ළමා පරම්පරාවට දෙන්න ඕන එකක්. පරිසරයට ආදරය කරන්න පුංචි කාලෙදිම පටන් ගත්තේ නැතිනම් වැඩිහිටියන් වුණාම කවදාවත් හදාගන්න බෑ. මේ පණිවුඩය ළමයින්ට ප්‍රක්ෂේපණය කරන්න තමයි මං "අලි කතාව" චිත්‍රපටයකට නැඟුවේ.

ටෙලිනාට්‍ය තුළින් ධනංජය සිරිවර්ධනව නිතර දකින්න ලැබුණත් ඔහු චිත්‍රපටවල රංගනයේ යෙදෙන්නෙ පළමු වතාවට. චිත්‍රපටවලට ආධුනිකයෙක් වූ ශිල්පියෙක්ව අලි කතාවේ රජ චරිතයකට යොදා ගන්න හිතුවේ ඇයි.?

ඇත්තටම 'අලි කතාව' සුරංගනා කතාමය ස්වරූපයේ චිත්‍රපටයක්. කවුරු හරි කෙනෙක් මේ කතාව චිත්‍රණය කළොත් ඒ චිත්‍රවල සුරූපී වගේම සුන්දර චරිත තමයි ඉන්න ඕන. ඉතින් මං මුල ඉඳන්ම කල්පනා කරලා බැලුවා 'අලි කතාව'ට සුරූපී රූපයක් මවලා දෙන්න. චිත්‍රපටයේ කුඩා ළමයින් දෙන්නාගේ චරිතවලටත් රජතුමාගේයි බිසවගෙයි චරිතවලටත් සුන්දරත්වය ආරෝපණය කරන ගමනේදී තමයි මං ධනංජයව දකින්නේ. සීරජ නාට්‍යයේදී ඔහු ඉතාමත් හොඳ රංගනයක යෙදුණා. ධනංජයගෙත් තාරුකාගෙත් රඟපෑමේ දක්ෂතාව එක්කම බාහිර සුන්දරත්වය මගේ චිත්‍රපටයට ඉතා හොඳින් ගැළපුණා.

නිර්මාණයට සම්බන්ධ කරගත්ත නළු නිළි පිරිස නිර්මාණයට සාධාරණයක් ඉටු කළා කියල ඔබ හිතනවද?

අනිවාර්යෙන්ම. මං හිතන්නේ චිත්‍රපටයක් කියලා කියන්නේ සාමූහික ව්‍යායාමයක්. එතැනදි නළු නිළි පිරිසට විශාල වගකීමක් තියෙනවා ඉෂ්ට කරන්න. මගේ චිත්‍රපටවල කලින් රංගනයේ යෙදුණු පිරිසගෙන් අලි කතාවේ ඉන්නේ රවීන්ද්‍ර රන්දෙණිය විතරයි. අනෙක් නළු නිළි පිරිස මගේ චිත්‍රපටයක පළමුවැනි වතාවට තමයි රඟපෑවේ. ඒ හැමෝම නිර්මාණ කාර්යයට හොඳ සාධාරණයක් ඉටු කළා කියලා මං විශ්වාස කරනවා.

සාමාන්‍යයෙන් මනුෂ්‍යයෙක්ව රංගන කර්තව්‍යයට මෙහෙය වීම පහසු දෙයක්. නමුත් අලි කතාවට මූලිකවම රංගනයෙන් දායක කරගෙන ඉන්නේ අලි පැටවෙක්. අලි පැටවකු නළුකමට මෙහෙයවීම හිතන තරම් පහසු නෑනේද?

මේ අලි පැටවාට වයස අවරුදු දෙකයි. දිගු කාලයක ඉඳලා මම චිත්‍රපටයට ගැළපෙන අලි පැටියෙක් හෙව්වා. අපි හැම වෙලාවෙම මේ චරිතයට ලංකාවේ අලි පැටියෙක්ව ගන්න ලොකු උත්සහායක් දැරුවා. ඒත් අපි තෝරාගෙන හිටපු අලි පැටව් කීප දෙනෙක්ම නඩු භාණ්ඩ විදියට රජයෙන් අත්අඩංගුවට ගත්තා. මේ හේතුව හින්දා අපිට සිද්ධ වුණා විදේශ රටකින් අලි පැටියෙක් සොයන්න. ඒ හොයන ගමනේදී තමයි තායිලන්තයෙන් මේ අලි පැටියා හම්බවෙන්නේ. අලියෙක් හොයා ගත්තට එයාව ලංකාවට ගේන්න බැරි නිසා අපිට සිද්ධ වුණා නළු නිළියන් වගේම කාර්මික ශිල්පීන් ඇතුළුව විසිපස් දෙනකුගෙන් යුතු කණ්ඩායමකට තායිලන්තෙ යන්න. දවස් විස්සක් විතර අපි එහේ රූපගත කිරීම් කළා.

මේ අලි පැටියා ලැබුණු නිසා අපිට ලොකු වාසියක් වුණා. ලංකාවේ අලි පැටව් ගොඩක් හීලෑ නෑ. ඒත් මේ තායිලන්ත අලි පැටියා අලි ගාලකම ඉපදිලා මිනිස්සු එක්කම හිටපු පැටියෙක්. ඒ හින්දා පිටපතේ ලියලා තිබුණු හැමදේම කරගන්න අපිට පුළුවන් වුණා.

ඔබගේ අනෙක් චිත්‍රපට තරමටම මේ චිත්‍රපටයටත් මේ වෙනකොට ප්‍රේක්ෂක පිරිසක් එකතු වෙලා ඉන්නවාද?

මං කරපු පත්තිනි, කුසපබා, උත්පලවන්නා වගේ චිත්‍රපටත් එක්ක බැලුවම ඒ චිත්‍රපටවලට වනිතා පාර්ශ්වයේ ආකර්ෂණය හොඳින් තිබුණා. නමුත් අලි කතාවේ අලි පැටියෙක් එක්ක ළමයින් රංගනයේ යෙදෙන නිසා ළමා ප්‍රේක්ෂක පිරිසක් එතැනදී එකතු වෙනවා. මගේ චිත්‍රපට වටා එක් රැස් වුණු නරඹන සංඛ්‍යාව වගේම ප්‍රේක්ෂක සංඛ්‍යාවට ළමා පිරිසකුත් එකතු වුණා කියලා මට හිතෙනවා.

"සුනිල් ආරියරත්න" කියන නම වටා එක්තරා ප්‍රේක්ෂක පිරිසක් හැදිලා ඉන්නවා නේද?

ඔව්. මං විශ්වාස කරනවා මගේ කලින් චිත්‍රපටත් එක්ක එකතු වෙලා හිටපු පිරිස දිහා බැලුවම මට පැහැදිලි කරගන්න පුළුවන් කරුණක් තමයි යම් නරඹන්නන් පිරිසක් මගේ චිත්‍රපටවලට එකතු වෙලා ඉන්නවාය කියලා. සමහර අවස්ථාවලදී ඒක තහවුරු වෙලත් තියෙනවා. චිත්‍රපටයක් බලන්න එන පිරිස ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මත විශ්වාසය තියලා තමයි සිනමා ශාලාව කරා එන්නේ.

මුදලක් වැය කරලා ලබා ගන්න ප්‍රවේශ පත්‍රයට අපි අනිවාර්යයෙන්ම සාධාරණයක් ඉටු කරන්න ඕනෑ. ඉතින් මං තවදුරටත් රැකගන්න ඕන දෙයක් තමයි රසික පිරිස මං කෙරෙහි තබන විශ්වාසය. මොකද අධ්‍යක්ෂවරයෙක්ට ප්‍රේක්ෂක විශ්වාසය කියන දේ බෙහෙවින්ම වටිනවා.

"අලි කතාවට" නරක විවේචනයක් ලැබිලාම නැද්ද?

විචාර, විවේචන කියන්නේ ඕනෑම නිර්මාණයකට අත්‍යවශ්‍ය දේවල්. අලි කතාවටත් සමහර විට අසුබවාදී විචාර එල්ල වෙලා තියෙන්න පුළුවන්. නමුත් තාමත් මගේ කනට එහෙම දෙයක් ඇහිලා නෑ. මගේ වටේ ඉන්න මගේ මිතුරු පිරිස වගේම පරිබාහිර ප්‍රේක්ෂකයනුත් චිත්‍රපටයේ ගුණාත්මක පැත්ත ගැන විතරයි කතා කරලා තියෙන්නේ. මට ලැබෙන දුරකතන ඇමතුම්වලින් පවා බොහෝ අය චිත්‍රපටයේ සංගීතය, රංගනය, කැමරාකරණය වගේ බොහෝමයක් දේවල්වල ගුණාත්මක පැත්ත ගැන මට අදහස් දක්වනවා.

ඔබ අධ්‍යක්ෂවරයෙක් විදියට සිනමාවේ දකින ගැටලුකාරී තැන් මොනවාද?

ඇත්තටම අද වෙනකොට ප්‍රවීණත්වයට පත් වුණු තරුණ සිනමාවේදීන් පිරිසක් ලංකාවේ දකින්න ඉන්නවා. ඒක සතුටට පත් වෙන්න පුළුවන් විශේෂ කාරණයක්. චිත්‍රපට නිර්මාණය කිරීම සාර්ථක වුණත් ප්‍රදර්ශනය කරන්න තමයි ලොකු ගැටලුවක් ඇතිවෙලා තියෙන්නේ. මේ වෙද්දි ප්‍රදර්ශනය කරගන්න බැරි වුණු චිත්‍රපට කිහිපයක්ම මං නැරැඹුවා. ඒවා සමාජයට අනිවාර්යෙන්ම අරගෙන යන්න ඕන. චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට නොහැකි වන අවස්ථාවලදී රජය සහ චිත්‍රපට සංස්ථාව මැදිහත් වෙලා ඒකට උදවු කරන්න ඕනෑ. මොකද නිර්මාණය කරපු චිත්‍රපටයක් ප්‍රදර්ශනය කර ගන්න බැරි වෙන එක චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ අනාගතය ගැන ප්‍රශ්නයක්.

නලිනිකා ලක්ෂාණි (MB WEB)

09 June, 2017

කොල්ලන්ට කෙල්ලන්ට හදපු නිනෝ ලයිව්

Nino Live - 2017-06-09_10-02-34

නිනෝ ලයිව් කියන්නේ ඔබගේ අධ්‍යක්ෂණයක්. මුලින්ම ඔබගේ අධ්‍යක්ෂණ කාර්යය ගැන කතා කරමු?

මේ මගේ පළමු සිනමා අධ්‍යක්ෂණය. 2008 වසරේදියි මේ නිර්මාණය අවසන් කරන්නේ. මේක කොල්ලෝ කෙල්ලන්ට නරඹන්න කරපු නිර්මාණයක්. චිත්‍රපටය තිරගත කරන්න ප්‍රමාද වුණේ සිනමා ශාලා ඩිජිටල්කරණය නොවුණු නිසයි.

චිත්‍රපටය නිර්මාණය කරලා වසර කීපයක් ගතවෙලා. අවුරුදු නවයකට පෙරදී ඔබ බලාපොරොත්තු වුණා වගේ අදත් ප්‍රේක්ෂකයින් මේ නිර්මාණය ආදරයෙන් වැලඳ ගනියිද?

කතන්දරය පරණයි කියලා නම් හිතෙන්නේ නැහැ. හොඳම උදාහරණය ලෝකයේ වගේම රියැලිටි ෂෝ කියන්නේ තවමත් තරු බිහිකරන, මිනිස්සු ආසා කරන දෙයක්නේ. මිනිස්සු තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක හදාගන්නත් රියැලිටි ෂෝ උදව්කර ගන්නවානේ. තාමත් ටීවී චැනල් මාරු කළොත් රියැලිටි වැඩසටහන් පැවැත්වෙනවා එදා වගේම. ඒ දවස්වල තමයි රියැලිටි ෂෝ ආරම්භ කළේ.

ඒ දවස්වල තිබුණේ සිංදු කියන ගායක ගායිකාවන් තෝරන රියැලිටි ෂෝනේ. අද විවිධ විදියේ රියැලිටි ෂෝ තිබෙනවා. පෞද්ගලිකව මම හිතනවා එදාට වඩා අද සාමාන්‍ය මිනිස්සුන්ට රියැලිටි ෂෝ කියන සංකල්පය හොඳින් දැනෙයි.

මේ සිනමා පටය නැරඹූ පිරිසගෙන් ඔබට ලැබුණු ප්‍රතිචාර මොන වගේද?

2011 වසරේ සිට විවිධ රටවල විවිධ ප්‍රේක්ෂකයින්ට චිත්‍රපටය පෙන්වලා තිබෙනවා. එතකොට ලැබුණ ප්‍රතිචාර ඇත්තටම හොඳයි. මාධ්‍ය දර්ශනයෙදිත් ඒ විදිහටම හොඳ ප්‍රතිචාර ලැබුණා. වෙනසක් වුණේ නැහැ.

මේ නිර්මාණයෙදි ඔබ වගේම බොහෝ රංගන ශිල්පීනුත් ආධුනිකයි. එය නිර්මාණය ගොඩනැඟීමේදී බාධාවක් වුණේ නැද්ද?

2008 විතරනේ මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ. මට ඒ කාලේදී ඕන වුණේ චිත්‍රපටයේ කතාවේ හැටියට සාමාන්‍ය කොල්ලෝ කෙල්ලන්ගේ කතාවක් නිර්මාණය කරන්න. එතැනට යන්න නම් ඉතාම ප්‍රසිද්ධ චරිතයක් යොදා ගත්තොත් මම සිතන නිර්මාණය බිහිකරන්න බැහැ කියලා හිතුණා. මට ඕන වුණේ අලුත් මූණු ටිකක් යොදා ගන්න. ඒ දවස්වල ළමා චිත්‍රපට රැල්ලක්, අතීත කතා රැල්ලක් යන්න පටන් ගත්තු කාලය. ඒවත් එක්කයි මේ නිර්මාණය සංසන්දනය වෙන්නේ. ඒ නිර්මාණවල සිටින රංගන ශිල්පීන් යොදා ගත්තොත් කතාවේ අනන්‍යතාව නැති වෙනවා කියලා හිතුණා.

ප්‍රවීණයන් පිරිසකුත් ඔබ සමඟ කටයුතු කර තිබෙනවානේ. එය මොන වගේ අත්දැකීමක් වුණාද?

මේක මගේ පළමුවෙනි චිත්‍රපටය. මෙතනට සම්බන්ධ වූ බොහෝ දෙනා ආවේ පොඩි කොල්ලෙක් වැඩක් කරනවා ඒකට උදව් කරන්න ඕන කියලා හිතාගෙන. "උඹට ඕන විදිහට වැඩේ වෙන එකක් නැහැ. ඒ ගොල්ලෝ වැඩේ අතට ගනියි" කියලා ගොඩක් අය කීවා. එහෙම කිසිම දෙයක් වුණේ නැහැ. අධ්‍යක්ෂවරයා ලෙස මගේ අවශ්‍යතාවය සපුරන්න තමයි ඒ අය එදා කටයුතු කළේ.

මට කාගෙන්වත් එහෙම බලපෑම් ආවේ නැහැ. ආධුනිකද ප්‍රවීණද කියලා එහෙම කිසිම වෙනසක් තිබුණේ නැහැ. ඇත්තම කතාව මේ චිත්‍රපටය කරන කොට අපි එකිනෙකාට විශ්වාසයෙන් කටයුතු කළා. කිසිම අපහසුතාවයක් වුණේ නැහැ. ප්‍රවීණ කැමරා ශිල්පියෙකු වන චන්න දේශප්‍රියත් අප සමඟ වැඩ කළා. චාන්දනි සෙනෙවිරත්න වැනි ප්‍රවීණ රංගන ශිල්පිනියනුත් මේ නිර්මාණයට දායක වුණා. ඔවුන් සියලු දෙනාම මා සමග සහයෝගයෙන් කටයුතු කළා.

විදග්ධ මට්ටමේ සිනමා නිර්මාණයක් නොකර සරල නිර්මාණයක් කරන්න හිතුවේ ඇයි?

කලා නිර්මාණයක් කියන්නේ යම්කිසි ව්‍යාපෘතියක් කිරීම. ඒ නිර්මාණය කරන්නේ බොහොම ආශාවෙන්. එය කරනකොටම අපි හිතන්න ඕන මේක විකුණන්නද ගෙදර කාමරේ තියා ගන්නද ලෝකය පුරාම අලෙවි කරන්නද කියන එක. ඒ වගේම මම දැනගන්න ඕන මම මොන ප්‍රේක්ෂකයින්ටද කතා කරන්නේ කියලා. චිත්‍රපටය හදන කාලේ මට ඕන වුණේ ඒ දවස්වල හැදුණු චිත්‍රපටවලට වඩා මා වින්දනය ලබන ජාතියේ සහ මම ආසා කරන ජාතියේ නිර්මාණයක් කරන්නයි. කොල්ලන්ට කෙල්ලන්ට කරන නිර්මාණයක් විදිහට මගේ සලකුණක් තිබෙන, මං ආසා කරන විදිහට හදපු චිත්‍රපටයක් මෙය.

ප්‍රේක්ෂකයන්ට රසවිඳින්න සුදුසු නිර්මාණ අපේ රටේ බිහිවෙනවා කියලා ඔබ හිතනවාද?

ලංකාවේ සිනමාවේ අර්බුද තිබෙනවා කියලා කීවත් ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ චිත්‍රපට බලනවා. චිත්‍රපට ශාලාවලට ගිහින් හැමෝම චිත්‍රපට බලන්නේ නෑ. චිත්‍රපට හැදෙනවා. ඒ හදන නිර්මාණ කුමන ප්‍රේක්ෂකයින්ටද හදන්නේ කියන එක තීරණය කරන්න ඕන. ප්‍රමාණාත්මකව චිත්‍රපට හැදුනට වැඩක් නැහැ මිනිස්සු චිත්‍රපට ශාලාවලට ඇවිත් බලන්නේ නැත්නම්.

ඒ කියන්නේ ඔබ ප්‍රේක්ෂකයන්ව අල්ලා ගන්නද නිර්මාණය කළේ්?

චිත්‍රපටයක් කළාට වැඩක් නැහැ. ඒක මිනිස්සු බලන්නත් ඕන. විදග්ධ ගණයේ නිර්මාණවලටත් ප්‍රේක්ෂකයින් ඉන්නවා. ඒ ප්‍රේක්ෂකයින් ඉලක්ක කරගෙනත් නිර්මාණ හදනවා. හැම ජාතියකම නිර්මාණ පවතින්න ඕන. ඒක තෝරන්න ඕන වාරණ මණ්ඩලයකින් නෙවෙයි. ප්‍රේක්ෂකයින් විසිනුයි.

අපේ රටේ හැදෙන බොහෝ නිර්මාණවල රසවින්දනය ඉහළයි කියලා ඔබට කියන්න පුළුවන්ද?

ලෝකයේ චිත්‍රපට කර්මාන්තයේ රසවින්දනය තිබෙනවා. ඒත් ලංකාවේ කර්මාන්තයේ එහෙම රසවින්දනයක් නැහැ. අපේ රටේ චිත්‍රපට කර්මාන්තය හදන්න නම් එය ජන ජීවිතයට බද්ධ කරන්න ඕන. ජනතාවගෙන් වියුක්තව මේ ගමන යන්න බැහැ. මීයෝ දුවන, වවුලෝ පියාඹන, ගඳ, වතුර වැක්කෙරන චිත්‍රපට ශාලාවලට කාටද යන්න හිතෙන්නේ. මුලින් ඒ ටික හදන්න ඕන.

රසිකා හේමමාලි (MB WEB)

06 June, 2017

'ලංකාවෙ බිහිවුණු කියුට්ම ලව්ස්ටෝරි එකක්'

Nino Live - Yureni

නිනෝ ලයිව් ගැන මට තියෙන්නෙ ඉමෝෂනල් කියවීමක්. ඒක ෆිල්ම් එකකට වඩා ලංකාවෙ එක පරම්පරාවක කතාවක්. ඒ අතින් කල්ට් මාස්ටර්පීස් එකක්. නිනෝ ලයිව් ස්ක‍්‍රීන් එකේ දැක්ක ගමන් මට ආපු ඇඟ කිළිපොලා යන හිතුවිල්ල, උද්දාමය වුනේ ලංකාවෙ මීට අවුරුදු දහයකට විතර කලින් පටන් ගත්ත සිනමා නව රැල්ලෙ ප‍්‍රතිඵල තිරය උඩට මුදාහැරීම ඇරඹුනා කියන එකයි.

යථාර්තවාදය එක්ක එක දිගට හතිවැටෙන කල් පොරබැදපු, ජීවිතේ දුක්ඛ සත්‍යය පසක් කළ ආධ්‍යාත්මයකින් හෙබි, ගමේ සෞන්දර්යයෙන් සහ කර්කශත්වයෙන් මෝහනය වුණු එක සිනමා ධාරාවක අවසානය නිනෝ ලයිව් සටහන් කරනවා. ඇත්තටම මේ සිනමාව පටන් ගත්තෙ මීට දශකයකට විතර කලින්. ඒත් ඒ පරම්පරාවෙ සිනමාකරුවන් නොදැනුවත්වම වුනත් හරි කාලය එනකල් ඒ චිත‍්‍රපටි පුස්කන්න නියමිතව තිබුනා. ඒ දශකය බාර වුනේ රජකතා බණකතා සිනමාවට.

ඒක ගැන මට අප‍්‍රසාදයක් නෑ. ඇත්තටම ඒ දශකයේ සිනමාව විසින් ලංකාවෙ මහා සිනමාව වෙනස් කළා. ආන්ඩුවේ දේශපාලන මතවාදී බලයේ සපෝර්ට් එකෙන් වුනත් වෙනත් ජනප‍්‍රිය සිනමාවක් නිර්මාණය වුනා. මහින්දගේ දේශපාලන ව්‍යාපෘතියේ මාධ්‍යයක් වීම ඇරුනත් ඒකෙ ලංකාවෙ ඇත්ත ජනප‍්‍රිය සිනමාවක යම් ලක්ෂණ තිබුනා කියල මං හිතනවා.

ඒත් ස්මාර්ට් ෆෝන්, ඉන්ටර්නෙට් එක්ක ගතවෙන අලූත් තාරුණ්‍යයට ලංකාවෙ සිනමාවක් හැදුනෙ නෑ. නගරය සම්පූර්ණයෙන්ම අයින් කරලයි තේමාවන් නිර්මාණය කළේ. අපිට කොහේ හරි වැරදුනා කියන එක තමයි හැමෝම බාරගන්න ලෑස්ති හැඟීම වුනේ. නගරයේ වුනත් මිනිස්සුන්ට තිබුනෙ පොඩි ඇපොලොජටිකල් හිතීමේ සහ වින්දනයේ රටාවක්. ඒ හින්දම කලාව බර වුනෙත් වමට. අලූත් පරම්පරාව සිංහල චිත‍්‍රපටි නොබලා ටොරන්ට් ඩවුන්ලෝඩ් කරගෙන පිටරට චිත‍්‍රපටි බැලූවා. සිනමා ශාලාවලට යන සංස්කෘතිය ටික ටික ඩීවීඩී සංස්කෘතියකට පෙරලූනා.

මේ වෙනස්වීම් අතරෙ, රට නතර වෙලා තියෙද්දි ඇත්තටම වැඩකළේ ටීවී එකයි. දැවැන්ත රියැලිටි ටීවී වැඩසටහන් මාලාවක් ඇතුලෙ ලංකාවෙ පොප් එක වැඩකරන්න පටන් ගත්තා. සිනමාවෙන් ගිලිහිච්ච හීන නඩත්තු කරන්න ටීවී එක ඇපකැප වුනා. ඒක ලොකු ලාබ ලබන ව්‍යාපෘතියක් වුනා. හරියටම බැලූවොත් රියැලිටි ටීවී ආර්ට් එක හරියට දැනගෙන හිටියෙ සිරස විතරයි. ආන්ඩුවේ සහ යුද්දයේ ව්‍යාපෘතියෙන් හිරකරපු පොප් ආසාවලට සිරස තරු හීන හදලා දුන්නා.

ඒ කාලෙ සිනමාවෙ ප‍්‍රවීනයො විසින් ප‍්‍රතික්‍ෂේප කරපු පොඩි ඩිජිටල් කැමරා අරගෙන තරුණ උන් වැඩකළා. ඒ වැඩ කලින් තිබුනු සිනමාවට වඩා වෙනස් සිනමාවක් යෝජනා කළා. වෙනස් තේමාවන්, වෙනස් මිනිස්සු, කොටින්ම වෙනස් සිනමා ආකෘතියක් ඒ චිත‍්‍රපටිවල හැදුනා. හරියටම බැලූවොත් මොලිවුඞ් නව රැල්ල (මලයාලම් සිනමාවෙ) හැදෙන්නත් කලින් ලංකාවෙ මේ නව රැල්ල නිර්මාණය වුනා. ඒත් අපේ ප‍්‍රවීනයන්ගෙ කුහකකම, පසුගාමීත්වය සහ රටේ අතීතකාමය ඇතුලෙ මේ චිත‍්‍රපටි ධාරාව හිරවුනා. දැන් අවුරුදු 10ට විතර පස්සෙ අපි මේ නරඹමින් ඉන්නෙ අපිට පුරෝගාමී වෙන්න තිබුණු සිනමා රැල්ලක මගහැරුනු ඒ මොහොත. අලූත් නිර්මාණකාරයො තමන්ගෙ වැඩකොටස කළා. ඒත් රට ලෑස්ති වෙලා තිබුනෙ නෑ,

නිනෝ ලයිව් වලින් පටන් ගන්න මේ සිනමාවෙ කසකාරයා වුනේ බූඩි. ඒ නිම්නයක හුදකලාවත් එක්ක. ඒ ෆිල්ම් එකත් අවුරුදු නවයක් විතර පදම් වුනා. බූඩි ඊට පස්සෙ කරපු මාතා පවා කලින් රිලීස් වුනා. ඒකයි මං කියන්නෙ කාලය එනකල් අපිට ඉන්න වුනා කියල. නිනෝගෙන් පස්සෙ මේ විදිහෙ චිත‍්‍රපටි රැල්ලක්ම එන්න තියෙනවා. පරක්කු වෙලා හරි ඒ රැල්ල විසින් වෙනස් සිනමාවක් ස්ථාපිත කරනවා. ඒක අඳුරගන්න නිනෝ ලයිව් හොඳ විවරයක් හදනවා.

නිනෝ ලයිව් පටන් ගන්නෙ ලංකාවෙ ජනප‍්‍රිය හීනය නතර වුන තැනින්. ඒ කියන්නෙ ටීවී එකෙන්. අවුරුදු දහයකට කලින් සිනමාවෙන් ගැලවිලා ටීවී එකට ගිය පොප් එක නැවත සිනමාවට ගේන්න නිනෝ ලයිව් ට‍්‍රයි කරනවා. ටීවී එක ඉස්සරහ ඉන්න අයව හෝල් එකට ගේන්න අභියෝගයක් ඒ ගොල්ලො බාරගන්නවා.

ඒක ලව් ස්ටෝරි එකක්. හරියටම කිව්වොත් මෙතෙක් ලංකාවෙ බිහිවුණු කියුට්ම ලව්ස්ටෝරි එකක්. මීට කලින් මෝටර් බයිසිකල් වලත් මේ මොඩර්න් කියුට් ආදරය ටච් කරලා තිබුන. නිනෝ ලයිව් ඊට වඩා ලේයර්ඞ් අත්දැකීමක්.

ෆිල්ම් එකට පාදක කරගන්නෙ පීටර් වොයර්ගෙ ටෲමන් ෂෝ කියන ෆිල්ම් එක. ලංකාවෙ ගොඩක් අය වෙන ෆිල්ම්වලින් බඩුගන්න බයයි. ගත්තත් හොරෙන් ගන්නවා මිසක් කෙලින් කියල, ඒ දේට ගරුත්වය දීලා ගන්න විදිහ දන්නෙ නෑ. ඒ වෙනුවට තිසර සහ පිරිස ටෲමන් ෂෝ එකට හොමාජ් එකක් විදිහටම තමන්ගෙ කතාව නිර්මාණය කරනවා. ඒක විතරක් නෙමෙයි, ෂොන් පියර් ෂූනෙ ගෙ ‘අමෙලි’ ෆිල්ම් එකේ ආභාෂයත් තදටම දැනෙනවා. විශේෂයෙන්ම නැරේෂන් එකත් එක්ක කතාව බිල්ඞ් අප් වෙන විදිහ. ඒත් ඉන්ටවල් එකට කලින් ටෲමන් ෂෝ එකේ කලාපය ඉවර වෙනවා. රියැලිටි ෂෝ එක ඉවරයි. ඊට පස්සෙ ඒක බලපු උන්ගෙ රියැලිටි එක.

අපේ ටීවී බලන ඕඩියන්ස් එක ජීවත් වෙන්නෙ ටීවී එකෙන් නිර්මාණය කරලා දීපු යතාර්ථයකයි. දැන් ඉන්ටර්නෙට් ඇවිත් තත්වෙ ටිකක් වෙනස් වුනත් මාස් එක පරණ විදිහමයි. ඒ ගොල්ලො හිතන්නෙ, පතන්නෙ විතරක් නෙමෙයි කතා කරන්නෙ, ආදරේ කරන්නෙ වුනත් ටීවී එකෙන් කියල දීපු විදිහට. තිසරගේ කතාව වෙන්නෙ රියැලිටි ෂෝ අස්සෙ එක කට්ටියක් කෙළවා ගනිද්දි තව කට්ටියක් කෙළවාගන්න ආසාවෙන් පොරකන එකයි. ඇත්තටම ගත්තොත් නොදැන කෙලවා ගැනීම කියන එක දැනගෙන කෙලවා ගැනීමේ ආතල් එකක්, උන්මාදයක් බවට පෙරලෙන එකයි. ‘කෙලවා ගැනීම’ කියන්නෙමත් සාපේක්ෂ අදහසක් විතරයි. මොකක්වත්ම නැති ජීවිතේක කෙලවාගැනීම කියන්නෙත් ලොකු දෙයක් වෙන්න පුළුවන්.

මේ අලූත් රැල්ලෙ චිත‍්‍රපටි එක්ක අලූත් නළුනිළියො සෙට් එකකුත් සමාජගත වෙනවා. දස්සා ඒකෙ ප‍්‍රමුඛයෙක්. ලංකාවෙ කියුට් පෙම්වතා කියන අලූත් ආකෘතිය හැදෙන්නෙ දස්සා අතින්. මෙච්චර කල් චන්ඩි පෙම්වතා, සීරියස් පෙම්වතා, රොමැන්ටික් පෙම්වතා හිටියට මේ හුරතලේට හදාගන්න ආස හිතෙන කියුට් කොල්ලා අපේ සිනමාවෙ හිටියෙ නෑ. දස්සා එක්ක සමනලී, යුරේනි, උමාලි, නිනෝ, ජගා, කළණ වගේ වෙනම විදිහක නළු නිළි පරම්පරාවක් මේ සිනමාව අයිති කරගන්නවා. පරණ තරු ක්ලැසික්වලට සීමා වෙනවා.

නිනෝ කියන්නෙත් සුවිශේෂ සොයාගැනීමක්. උගේ ර`ගපෑමෙ මොකක්ද රියල් එකට එහා ගතියක් ස්වභාවිකවම තියෙනවා. ඒක වෙනම ස්ටයිල් එකක් සහ ලස්සනක් ගේනවා. මේ දේවල් අපි නිතර දකින ස්ටීරියෝටිපිකල් ර`ගපෑම් සහ ර`ගපාන්න ට‍්‍රයිකිරීම් ඉක්මවා යනවා. උන් ඇත්තටම නළුවො කියන එක අපිට දැනෙනවා.

තුසිත ඉන්නෙ හරිම පුංචි කෑල්ලකට වුනත් උගේ සල්ලාල නැටුම මේ ලියන වෙලාවෙත් මතක් වෙන තරම් ප‍්‍රබලයි. හම්බුවෙන පොඩි චරිතෙ වුනත් පුළුවන් උපරිමෙන් කරන්න හැමෝම ට‍්‍රයි කරලා තියෙනවා. යාලූකම්, මනුස්සකම් සහ ෆිල්ම් ගැන තියෙන නොනිමෙන ඇම්ම කියන එක චිත‍්‍රපටිය පුරාම දැනෙනවා.

තිසර අතින් නිර්මාණය වෙන කතාවට වඩා මං දකින්නෙ ඒ කතාවෙ සිද්දි නිර්මාණය වෙන ලස්සන. යුරේනි ඉඹින්න කලින් පැලට් එක ගලවන්න හදන තැන වගේ මේකට හොඳ උදාහරණ. පුංචි පුංචි ඞීටේල් වලින් ලස්සන කරලා ඒ විදිහෙ සිද්දි හරහා හරිම සැහැල්ලූවෙන් ගැඹුරු කතාවක් කියාගෙන යන එකයි තිසරගෙ ටැලන්ට් එක. මේ සම්මාන හෝ කලාත්මක සිනමාව නෙමෙයි. නිනෝ ලයිව් කියන්නෙ අපේ වාණිජ සිනමාවට හොඳ බෙන්ච් මාර්ක් එකක්.

රියැලිටි තරුවක් විදිහට එලියට ආපු සංක දිනෙත්ට නිනෝ ලයිව් ලොකු ඇඞ් එකක්. ඒකෙ ටීවී තරුවක් විදිහටම සංක පෙනී ඉන්න අතරෙම ෆිල්ම් එකේ මියුසිකුත් කරනවා. නිනෝ ලයිව් කියන්නෙ මියුසිකල් ෆිල්ම් එකක්. වෙන විදිහකට කිව්වොත් ෆිල්ම් එක පුරාම තියෙන්නෙ මියුසික්. ඕනකරන රොමැන්ටික් මූඞ් එක හදන්න සහ දිගටම පවත්වාගෙන යන්න සංක එතන ලොකු වැඩකොටසක් කරනවා. ඇත්තටම සංක කියන්නෙ රියැලිටි ෂෝ වලින් හැදිච්ච ඇත්ත එකෙක්. ජනප‍්‍රිය සංගීතයේ නාඩිය ගැන ඌට හොඳ වැටහීමක් තියෙනවා. කලින් මියුසික් කරපු කලර් ෆිල්ම් එකේදී වගේම නිනෝ ලයිව් වලත් සංක මතක හිටින සංගීතයක් නරඹන්නාගෙ ඔලූවෙ ඉතුරු කරනවා.

මියැදෙන්නට පෙර මොහොතක් වත්... ජීවත් වෙන්න.... වගේ තැන් හිරිඟඩු පිපෙන තරම් ආතල්.
නිනෝ ලයිව් ෆිල්ම් එක ඇතුලෙ ඒ කාලෙ ෆිල්ම් කරන්න, ආර්ට් කරන්න ද`ගලපු හැම කෙනෙක්ම වගේ ඉන්නවා. පස්සෙ මද්දුම බන්ඩාරට බැනපු කසුන්- ශ‍්‍රීනාත් ඩබල ලිෆ්ට් එකක් ඇතුලෙ ඉන්න එක එහෙම ෆන් එකට කළත් මරු වැඩ. ෆිල්ම් කියන්නෙ අපේ ලයිෆ්මයි කියන එක දැනෙන තැන්. ඒ කාලෙම මායි උදයයි කරපු ‘ආදරේ අංශු මාත‍්‍රයක්’ ෆිල්ම් එකෙන් කෑල්ලකුත් තියටර් එකක් ඇතුලෙ ප්ලේ වෙනවා. මේ එකලස් කිරීම් හරි අපූරුයි. ඒවා අපේ රටට අලූත්.

ෆිල්ම් එකේ අඩුපාඩු කොතෙකුත් තියෙනවා. ඒත් ඒ කිසි දෙයක් මට අදාල වෙන්නෙ නෑ. ඒ අඩුපාඩු ගැන හිතන්නවත් බැරි තරම් දුරට නිනෝ ලයිව් මාව ඉමෝෂනලි අරන් ගිය දුර හින්ද. කතාව ඉවර වෙන විදිහ එහෙම පට්ට. ඒ විදිහෙ අවසානයන්ට අපේ සිනමාවෙ කලින් උදාහරණ නෑ. කවුරු හරි අහස් ගව්ව, හංස විලක්, බඹරු ඇවිත් වගේ ෆිල්ම් ලංකාවෙ සිනමාවෙ මාර තැන් කියල මාර්ක් කරනවා නම් මං කියන්නෙ නිනෝ ලයිව් කියන්නෙත් ඒ වගේ මාර තැනක්.

මේ ෆිල්ම් එක පෙන්නන්න අවුරුදු හතක් පුරා එක එක ප‍්‍රදර්ශකයො පස්සෙ ගියා. ඒත් මේකෙ තියෙන පොටෙන්ෂලිටි එක දකින්න ඒ කිසි ප‍්‍රදර්ශකයෙකුට පුළුවන් වුනේ නෑ. මේ අභියෝගය බාරගන්න කිසි කෙනෙක් හිටියෙ නෑ. ඒකෙ තේරුම වෙන්නෙම කර්මාන්තයක් විදිහට ඉස්සරහ ඊළ`ග ස්ටෙප් එක අඳුරගන්න තරමෙ ප‍්‍රදර්ශකයො අපේ සිනමාවෙ නෑ කියන එක.

මේ අලූත් සිනමාව හිරවෙලා තියෙන මැෂින් වලින් එලියට අරන් තිරයක් උඩ පෙන්නන්න අවස්ථාවක් හදන එකට සුනිල් ටී ට විශේෂයෙන් ප‍්‍රශංසාව හිමිවෙන්න ඕන. ඇත්තටම ගත්තොත් සිනමාවෙ අනාගතය වෙනුවෙන් අවශ්‍යම වැඩකොටසක් මේ වෙද්දි මේ චිත‍්‍රපටි වෙළෙන්දා අතින් ඉටුවෙමින් තියෙනවා.



- චින්තන ධර්මදාස (mirrorarts)

05 June, 2017

වික්ටෝරියානු මාවතක අවසන් ගමන් ගිය නොමළ ගැහැණියකගේ හෘද සාක්ෂිය - 28 (ශ්‍රී)

Semini Iddamalgoda

ඇගේ නම සුද්දීය. එදා මෙදාතුර සෑම ගමකම සුද්දීලා සිටින්නීය. තරමක සංස්කෘතික විවෘත භාවයකින් යුතුව සමාජය තුළ හැසිරෙන සහ නිත්‍ය සම්ප්‍රදායකට අනුකූල නොවූ රූපසම්පත්තියෙන් යුක්ත වූ කාන්තාවන් ‘සුද්දියන් සේ හැසිරෙන්නී’ වැනි අරුතක් ආරෝපණය කරමින් සුද්දී නමින් හඳුන්වන ලද්දේ ඇය නියෝජනය කළ ගම තුළම විසූ අන්‍ය කාන්තාවන් හෝ ගැමියන් විසිනි. එවන් ගැහැනියක සෑම විටම පුරුෂයන්ගේ ලිංගික සූරා කෑමට මෙන්ම අන්‍ය ගැහැණුන්ගේ ද්වේශයටද ලක්විය. සයිමන් නවගත්තේගම ලිවුවේද එවන් සුද්දීලා පිළිබඳවය. නමුත් ප්‍රසන්න ජයකොඩිගේ 28 සිනමා පටය තුළින් නිරූපණය වන සුද්දී ගේ කතාව ඊට වෙනස් එකකි. එය අනන්‍යතාවක් සහිතව වෙනම කියවිය හැකි ගැහැණු චරිතයකට වඩා පොදුවේ කාන්තාවන්ට සමාජ පැවැත්ම තුළ මුහුණ දීමට සිදුවන අර්බුධ අරභයා ගොඩනැගුණු සමාජීය සංලාපයකි.

කාන්තාවන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක දිනය ලෙස සෑම වර්ෂයකම මැයි 28 වන දින නම් කර ඇතත් සෑම මසකම දින 28 ක ජීවවිද්‍යාත්මක චක්‍රයකට යටත් වූ ශරීරයක හිමිකාරත්වය ඇති ඇයට සමාජ වටිනාකමක් සහිතව පැවතිය හැකි සංස්කෘතික පසුබිමක් ලංකාවේ සමාජය තුළ තවමත් නිර්මාණය වී තිබේද යන්න ගැටළුවකි. අනෙක් අතට ස්ත්‍රියගේ ලිංගිකත්වය සමාජීය ගැටළුවක් බවට පරිවර්තනය වන්නේ පුරුෂයාට තම ලිංගිකත්වය පිළිබඳව පවතින අපැහැදිලිතාවය ද නිසාය. 

ස්ත්‍රියක විසින් පුරුෂයකු වසඟයට ගන්නා උපාය මාර්ග හෝ ලිංගික චර්යාවන් පිළිබඳ ලියවී ඇති ලේඛණ හොර රහසේ කියවා උගෙන ගන්නා පිරිමි භාවික ජීවිතය තුළ ප්‍රායෝගිකව මුණගැහෙන ස්ත්‍රියකගේ ශරීර බස මෙන්ම ආත්මීය බසද අවබෝධ කර නොගනිති. සුද්දී ගමේ සිට නගරයට එන්නේ ද නගරයේ සිට අවසානයේ ගමට යන්නේද තමන්ගේ ශරීර භාෂාව වරදවා වටහාගත් පිරිමින්ගේ හූ හඬ මධ්‍යයේය. ඇගේ ජීවිතයට ආරම්භයක් නැත. සිනමාපටය ආරම්භ වන්නේ ඇගේ අවසානයත් සමගය. එනම් කවරකු විසින් හෝ දුෂණය කර ඇයව මරා දැමූ තැන් සිටය.

අතීතයෙහි ගම ඉතා නිදහස් සංස්කෘතික ඒකකයක් විය. ලිංගික ජීවිතය පවා දොර ජනෙල් ආවරණ වලින් තොර අතිශය නිදහස් වූවක් විය . එකල ගමෙහි ප්‍රධාන සංස්කෘතික මධ්‍යස්ථානය වූයේ තොටුපලයි. දියකෙළි, ඕපදූප , කෙළි කවටකම්, සංලාප ආදී සියල්ලට ම ගැමියා අවසරය ලද්දේ ස්නානය කිරීම සඳහා ලද කාලයයි. අතිශය වෙහෙසකාරී ජීවනෝපායන් නිමකර දාහය නිවාගන්නා ගැමියෝ ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැතිව දියකෙළියෙහි නියුක්ත වූහ.රජවරු පවා සිය ජීවිතයේ සුවිශේෂ අවස්ථාවන් සැමරුවේ වැව සමඟ ඒකාත්මික වෙමිනි. 

වැව, දාගැබ සහ කෙත යන අවස්ථා ත්‍රිත්වය හරහා ග්‍රාමීය ජීවනෝපාය, සංස්කෘතිය සහ අධ්‍යාත්මීය ව්‍යුහය ඉපැරණි ගැමි සමාජය තුළ මනාව කළමනාකරණය විය. සාහිත්‍ය භාවිතාවේදී කිසියම් කාව්‍යයක් මහා කාව්‍ය්‍යක් වීමට නම් දියකෙළි වැණුම අත්‍යවශ්‍යය අංගයක් වශයෙන් සැලකූයේද ගැමි ජන ජීවිතයෙහි ප්‍රධාන සංස්කෘතික හැඩතල ඒ ඔස්සේ නිර්මාණය වී තිබූ හෙයිනි. එනිසා සෑම සංදේශ කාව්‍ය්‍යක් තුළම දියකෙළි වැණුමක් ඇතුළත් වූ අතර ඒ අතරින් හංස සංදේශයෙහි එන දියකෙළි වර්ණනාව තුළ ස්ත්‍රී සහ පුරුෂ යන දෙකොට්ඨාශයෙහි කෙලිලෝලත්වය සඳහා ලිංගිකත්වය බාධාවක් නොව බවට නිදර්ශන පවතී. 

අඩක් නිරුවත් සිරුරෙහි රත් පැහැ ලාක්ෂා තවරාගත් ස්ත්‍රීන් ද පුරුෂයන් ද වතුරේ ගිලෙමින්, පිහිනමින් හා උනුන් හා කවටකම් කරමින් රිසිසේ ප්‍රීති වූ අතර අන්‍ය ස්ත්‍රියක් කෙරෙහි හිත ගිය තරුණයකු දිය ක්‍රීඩාවෙහිදී එය පළකරන සියුම්තාවත් එය දකින ඉවුරෙහි වූ සැමියාගේ මානසිකත්වයත් යනාදිය එමොහොතට පමණක් වලංගු ක්ෂණිකව හසුරුවාගත හැකි සුන්දර සිතිවිලි ලෙස හංස සඳෙසෙහි නිරූපණය කෙරේ. පුරාණ ලංකාවෙහි ලිංගිකත්වය පිළිබඳව පැවති නිදහස් භාවය වික්ටෝරියානු සංස්කෘතිය වැළඳගැනීමත් සමග විනාශ වූ අතර ඉන් පසු ගම නමැති ඒකකය සුහදත්වය සහ සංස්කෘතික විවෘතභාවයකින් තොර වූ ගුප්ත සහ අසහනකාරී ඒකකයක් බවට පරිවර්තනය විය. 

ස්වකීය සැමියා සමග ගංගාවේ ස්නානය කරන සුද්දීට ගමෙහි වුන් සෙසු පිරිමින්ගෙන් තොටුපලේදී විවිධ බලපෑම් එල්ලවන්නේ එවන් පසුබිමක් තුළදීය . ඉන් පසු ස්වකීය විවාහ ජීවිතය තුළ උද්ගත විය හැකි අභාග්‍ය සම්පන්න තත්වය වලක්වා ගැනීම සඳහා සුද්දීගේ ඉල්ලීම පරිදි ගමට ඇති එකම නානකාමරය ඔවුන්ගේ නිවසේ ඉදිවෙයි. නමුත් එහි ඇති කවුලුව තුළින් මාමණ්ඩියගේ බැල්ම සුද්දීගේ නිරාවරණ සිරුරට වැටෙන්නේ නොසිතූ ලෙසය. නමුත් අවසානයේ නානකාමරය තුළ නිරුවතින් නෑම වරදක් ලෙස නිහඩව බාර ගෙන කවුළුවෙන් එබුණු මාමණ්ඩියට සමාව පිරිනමා නිවසින් පිටව ගිය සුද්දීව නැවත සැමියාට මුණ ගැහෙන්නේ වසර පහළවකට පසුවය. ඒ ද මල මිනියක් ලෙසය. ඔහු සිය බිරිඳ පූර්ණ නිරුවතින් දකින්නේ මිනී පෙට්ටි සාප්පුව තුළ එම්බාම් කටයුතු සඳහා සූදානම් කර තිබෙන විටය. ජීවමාන මනුෂ්‍යයා සෑම විටම පරිපූර්ණ සත්‍යයෙන් බහිර්ජන්‍යය. සෑම කෙනාගේම සත්‍යය අවධිවන්නේ මරණයෙන් පසුවය.

අභයපාල, මනී සහ ලෙනින් නම් වාමාංශික නමක් හිමි, දකුණට බරයයි තමා විසින්ම කියාගන්නා අයිස්ක්‍රීම් වෙළෙන්දා විසින් 28 ශ්‍රී අංක දරන වෑන් රථයෙන් අවසාන ගමන සදහා සුද්දීව ගමට රැගෙන යයි. 28 චිත්‍රපටයට පාදක වන්නේ ඒ අවමංගල චාරිකාවයි. නම ලෙනින් වුවත් රියදුරා මිනී වලට මෙන්ම සමාජයේ අර්බුධකාරී අවස්ථාවන්ට දායක වීමටද ප්‍රිය නොකරයි. හිස් මිනී පෙට්ටියකැයි පළමුකොට මුසාවක් පවසා මිනිය වාහනයේ වහලය මත රඳවාගෙන ගියද අතරමගදී එය බිම වැටීමෙන් මිනී පෙට්ටිය බිඳී යයි. එසේ අඩක් බිඳුනු මිනී පෙට්ටිය තුළින් සුද්දීගේ මුහුණ මදක් නිරාවරණය වෙයි. විටෙන් විට තමා වෙනුවෙන් හඬ නැගීමට ඇය ශක්තිය ලබන්නේ එතැන් සිටය. තවමත් සක්‍රීයව මනී අතේ පවතින තම දුරකථනයට පැමිණෙන ඇමතුම් වල පූර්වාපර සන්ධීගැලපීම සුද්දී විසින්ම සිදු කරනු ලබන අතර කුසුම්ගේ කතාව නිරාවරණය වන්නේ එලෙසය. 

ගැහැණියට සිය විවාහය තුළ අර්බුධයකට ලක්වීමට සිදුව ඇත්තේ එකිනෙකට වෙනස් ජවනිකා දෙකක් එකවර නිරූපණය කිරීමට ඇයට විවාහය විසින් පවරන හෙයිනි. වඩාත් හොඳ ගැහැනිය වීමත්, වෙසඟනක සේ නිදියහන තුළ විවෘත වීමත් යන පරස්පර ජවනිකා දෙකෙහි එකවර පෙනී සිටීමට වඩා ගණිකාවක බවට පත්වීම හැම අතින්ම ලිබරල්ය. එතැනදී ඇයට හොඳ ගැහැණියක ලෙස රඟපෑම සඳහා වෙර දරන්නට අවශ්‍ය නැත. ඇය මේ මොහොතේ සිටින්නේ ස්වභාවික ජීවවිද්‍යාත්මක පැවරුම තුළ පූර්ණ ලෙස නිදහස්වය. අර්ථකතන වලින් තොර ජීවිතය සැබැවින්ම ඉතා සාමකාමී එකකි. එය මරණයටත් වඩා නිදහස්ය. ගණිකාවකගේ ප්‍රීතිය බිරිඳකගේ භුමිකාවේදී ගැහැණියකගෙන් විනිර්මුක්ත වන්නේ ස්ත්‍රිය මෙන්ම පුරුෂයාද උනුන් ඉදිරියෙහි රංගනයක නියුක්තවන හෙයිනි. එබැවින් ස්ත්‍රී පුරුෂ ලිංගික එක්වීම් යනු ව්‍යාජ හැසිරීම් සහිත නාටකයකි. සෑම විටම ඒ නාටක අවසන් වන්නේ ඛේදන්තයක් ලෙසිනි.

සිනමාපටය ස්ත්‍රී පුරුෂ සමාජබාවය සම්බන්ධ අති සියුම් ප්‍රකාශනයක් වීම වළක්වාලන බාධාකාරී අවස්තා කිහිපයක්ද වේ. එනම් සිනමාපටය ආරම්භ වන්නේ මරා දැමූ සුද්දීගේ මිනිය සහ නඩු භාණ්ඩ වශයෙන් ගැනෙන අත් භෑගය , ජංගම දුරකථනය කිසිදු බාධාවකින් තොරව ලබාගත් ඇගේ සැමියා සහ ගෝලයා විසින් මිනී පෙට්ටියක දමාගෙන වාහනයක රැගෙන එන දර්ශනයකිනි.ඒ එන අතරමග මිනී පෙට්ටිය මග වැටී යළිත් ඒ ස්ථානයට ඔවුන් යන අවස්ථාවේ සෙනග රැස් වී හිඳිති. 

ඒ සෙනග පලවා හැරීමට අබපාල ව්‍යාජ ගැටුමක් මණී සමග ඇති කර ගනී. එ සුනිල් සෝම පීරිස් ගේ චිත්‍රපටයක දැකිය හැකි අන්දමේ සීනිබෝල ප්‍රයෝගයකි. එමෙන්ම සෙනග පලවාහැරීමෙන් අනතුරුව ඒ අසලම පාලමක් යට මිනිය තබාගෙන එහි ඇඳුම් සෝදමින් බොහෝ විවේකයෙන් විනෝදයෙන් පසුවන දර්ශනයද අතිශය අභව්‍යය. එසේ නම් එය යථාර්තවාදී පසුතල, සාමාන්‍ය වැසියන්ගෙන් තොර මායාකාරී ක්‍රමවේදයක් තුළ ඉදිරිපත් කරන්නට තිබුණු අතර මෙම රූපරාමු නැරඹූ ඕනෑම අයකුට සිතෙන්නේ මලමිනියක් පාරේ නවත්තා විහිලු කරමින් සිටින්නට තරම් නිදහස් රටක මේවා ප්‍රශ්නද යන්නයි. 

සුද්දී වරකෙ තම වයස අවුරුදු 37ක් බව පවසයි. නමුත් ලෙනින් නම් රියදුරු අත පත් වන ඇගේ ගුවන් ගමන් බලපත්‍රයේ සමීප රූපය අනුව ඇගේ උපන්දිනය 1974 ලෙස සටහන් වේ. සිනමාපටය නිෂ්පාදනය කළ වර්ෂය සහ එය තිරගත වන වර්ෂ අතර පරස්පරතාව මීට හේතු විය හැකි වුවත් ප්‍රෙක්ෂකයා එය ගණන් බලන්නේ තමා සිනමාපටය නරඹන වර්තමානය සමග සසඳමිනි. එබැවින් නිත්‍ය ලෙස සුද්දී තහවුරු කරන දෙය සර්වකාලීනව පවත්වාගැනීම සඳහා ඇගේ ගුවන් ගමන් බලපත්‍රය සම්බන්ධ සමීප රාමුව සංස්කරණයේදී ඉවතිවිය යුතුව තිබිණි. 

සංස්කරණ ශිල්පියාට සහ කලා අධ්‍යක්ෂවරයාට මගහැරුණු අවස්ථා කිහිපයක් නිසා සිනමාපටයෙහි රිද්මයට මද වශයෙන් හානියක් සිදු වුවද තම මෙහෙය නියමාකාරයෙන් වටහා ගන්නා සංගීත අධ්‍යක්ෂවරයා නිසා සුද්දීගේ ආත්මයේ හඩ තීව්‍රවෙයි. ස්ත්‍රිය හදුකලා එක්කයක් ලෙස කියවීමත්, ඇය පිරිමියකු හා බද්ධ කොට සමාජීය ඒකකයක් ලෙස කියවීමත්, ඇය ස්ත්‍රී පුරුෂ සමාජ භාවය තුළ පොදු විග්‍රහයක් ලෙස අර්ථකතනය කිරීමත් යන අතිශය සංකීර්ණ ක්‍රියාවලිය තුළ දේශක බමුණුමුල්ල ගේ සංගීතය අති සියුම් සහ ප්‍රබල උපක්‍රමික උපකරණයක් බවට පත්වෙයි. අවසානයෙහි එය සේ සුද්දීගේ මෙන්ම සිනමාපටයෙහි ද ආත්මය බවට පත්වේ.

සේමිණී ඉද්දමල්ගොඩ පළමු වරට තමා රංගන ශිල්පිණියක බව තහවුරු කරන්නේ 28 සිනමාපටය තුළිනි. ඇය විසින් ස්වකීය රංග පෞර්ෂ්‍යය ප්‍රතිභාන්විත රංගවේදියකු වූ මහේන්ද්‍රපෙ රේරා සමග සමස්ථානයක පවත්වාගැනීමට සමත් වන්නීය. එමෙන්ම සහය නළුවන් ලෙස සරත් කොතලාවල සහ රුක්මල් නිරෝෂ් ගේ දායකත්වයද සුවිහේෂය. ඔවුහු තම චරිත නිරූපණය උදෙසා සඳහා ලද අවසරය නිරායාසික ජීවන අවබෝධයක් තුළ සිනමාකෘතියට මුදාහරිති. එය අතිශය නිදහස් සහ සැහැල්ලු ඉදිරිපත් කිරීමකි. මේ සියළු දෙනාගේ අභිනයන් සියුම් ලෙස උකහාගන්නා චන්දන ජයසිංහගේ කැමරාව ද සුවිශිෂ්ටය. එය මනස සහ මසැස අතර රික්ත සොයමින් නව මානයන් සොයා ගිය කැමරාවකි.

විවාහය සඳහා දෙපැරැන්දේ ඇති අවයවය පමණක් ප්‍රමාණවත්ය සිතන, කුප්පිලාම්පුව නිමාගෙන රති සුව විඳින, පුරුෂයා නිදහස අත්විඳින්නේ මුත්‍රා කිරීම තුළ පමණි. බහිස්‍රාවය මුදා හිරීමේදී ලබන සුවයවත් ඔවුහු රමණයෙන් නොලබති. ආදරය සහ ලිංගිකත්වයේ ඇති ආත්මීය බැඳීමත් ජීව විද්‍යාත්මක ප්‍රහර්ෂයත් මග හැරගන්නා පුරුෂයාට අනෙකාගේ හැඟීම් සහ ප්‍රතිචාර යනු අතිශය අර්බුධකාරී අවස්ථාවන් බවට පත්වේ. එබැවින් ඔවුහු සුවය ලබන්නේ ප්‍රතිචාරයක් නොමැති නිසල භෞතික වස්තුවක් සමග රමණය කිරීමෙනි. එබැවින් ඔවුහු රිසි ලෙස ස්ත්‍රියක විඳින්නේ ඇයගේ මරණයෙන් පසුවය. මල්ශාලාවේදී සුද්දීගේ නිරුවත දැක භාවාර්ද්‍ර වන අභයසිරිත්, සුද්දීව දූෂණය කොට මරා දැමූවන්ගේ සිතිවිලිත් යන දෙකම සමාන වේ. 

සැබැවින්ම දූෂකයෝද අනුකම්පාවට පත්විය යුත්තෝය. ජීවිතය තුළ පවතින්නට බැරි මිනිසුන් මලවුන් සමග ගණුදෙණු කරති. විධිමත් ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම, මිත්‍යා විශ්වාස, සංස්කෘතික කුහකභාවය , අතීතයෙහි ගිහි ජන ජීවිතයෙහි සැකැස්ම කෙරෙහි පන්සල තුළින් ලැබුණු අධ්‍යාත්මික පිටුබලය ද ගම තුළින් ගිලිහී ගියේය. ගෝත්‍රිකත්වයේදී ස්වබාවධර්මය සමග වූ ඒකාබද්ධතාව මුළුමණින්ම බිඳ දමා අවබෝධයක් තුළ වින්දනය කළ යුතු ජීව විද්‍යාත්මක සන්ධිස්ථාන සහ ක්‍රියාවලීන් හුදු සංස්කෘතික උත්සවයක් තුළ නිෂ්ප්‍රයෝජන චාරිත්‍රයක් බවට පත්කොට විකෘති කිරීම තුළ මළවුන්ගෙන් ජීවිතය සොයා යෑමට පුරුෂයන්ට සිදු වූ අතර ඒ උදෙසා ස්වකීය ජීවිතය පිරිනැමීමේ අවධානම ස්ත්‍රීන්ගේ නිත්‍ය ඉරණම බවට පත් විය.

- උපේක්ෂා නුවන්ශ්‍රීනි -

04 June, 2017

Wonder Womanට ලෙබනනය හරස් වෙයි

Wonder Woman

ඊයේ (02දා) දින සිට ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹි Wonder Woman චිත්‍රපටය ලේබනනයේ පමණක් තහනම් කිරීමට එරට ආරක්ෂක දෙපාර්තමෙන්තුව විසින් ඉල්ලීමක් කර ඇත.

ඊට හේතුව වී ඇත්තේ මෙහි සුපිරි කාන්තාවගේ චරිතයට පණ පොවන හොලිවුඩ් නිළි ගැර්ල් ගැඩොට් ඊශ්රායල් ජාතික කාන්තාවක වීම නිසාය.

පැටි ජේකින්ස් (Patty Jenkins) ගේ නිර්මාණයක් වූ Wonder Woman හැලන් හේර්න්බග් (Allan Heinberg) ගේ තිර රචනයකි.

බ්‍රිතාන්‍යයේ රූ ගත කර ඇති මෙම චිත්‍ර‍පටය විකාශන කාලය විනාඩි 141 කි. සුරූපි හොලිවුඩ් නිළි ගැර්ල් ගැඩොට් (Gal Gadot) ඩයනා කුමරිය හෙවත් සුපිරි වීරවරිය ලෙස ප්‍ර‍ධාන භූමිකාවට පණ දෙන අතර ක්‍රිස් පැනේ(Chris Pine) රොබින් රයිට්, ඩැනී හූස්ටන්,ඩේවිඩ් දෙවිල්ස්, එලීනා අන්‍යා වැනි සුපිරි හොලිවුඩ් නළු නළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙති.

Wonder Woman හෙවත් ඇය විස්මිත ගැහැනියකි. නමුත් ඈ සතු සුපිරි බලය පිළිබඳ කිසිවක් කවුරුත් නොදනි. මේ විස්මිත ගැහැනිය හෙවත් ඩයනා අද සිට ඔබ හමුවන්නේ සුපිරි හොලිවුඩ් චිත්‍ර‍පට ලොවට එක් වන කාන්තාවගේ චරිතය මත පදනම් වූ ප්‍ර‍ථම සජිවි ක්‍රියාදාම සිත්තම වූ ‘Wonder Woman‘ චිත්‍ර‍පටයෙනි. (mirrorarts)

02 June, 2017

ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපට නිෂ්පාදකට ඇප

Ehelepola Kumarihami Movie

'ඇහැලේපොළ කුමාරිහාමි' චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම සඳහා යැයි කියමින් රුපියල් මිලියන 10ක් ලබාගෙන නැවත නොදී විශ්වාසය කඩකළයි යන සිද්ධියක් සම්බන්ධයෙන් එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද(1) නියෝග කළේය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා එම නියෝගය ලබාදුන් අතර එසේ ඇපමත මුදාහරිනු ලැබුවේ බත්තරමුල්ලේ පදිංචි ප්‍රසන්න ගයාන් රණවීර ය.

මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණේ රෝයල් ඉන්ස්ටිටියුට් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයකු වූ ගමගෙදර ටිකිරි බණ්ඩාර මහතා වන අතර පසුගියදා රහස් පොලිසිය විසින් චිත්‍රපට අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

නිමන්ති රණසිංහ (mirrorarts)

01 June, 2017

ප්‍රසන්නගේ 'විසි අට' පොදු ප්‍රේක්ෂකයන් වෙනුවෙන්

Prasanna Jayakody - 28 Film


ඔබ තිරයට ගෙනෙන මොකක්ද මේ 'විසි අට'?

මගේ තුන්වැනි චිත්‍රපටය තමයි 'විසි අට' කියන්නේ. ලංකාවේ අපටම ආවේණික සමාජ ගැටලුවක් මූලික කරගෙනයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. නමුත් මේ ගැටලුව සමාජ ගැටලුවක් ලෙසත් සංවේදී සංසිද්ධියක් ලෙසත් විශ්වීය ගනුදෙනුවක් ලෙසත් එකම චිත්‍රපටයක් ඇතුළේ ඉදිරිපත් කෙරෙනවා. ජුනි 2 වැනිදා සිට චිත්‍රපටය තිරගත කරන්න සූදානම්.

චිත්‍රපටයට 'විසි අට' කියන නාමය යෙදීම තුළ ලොකු ගැඹුරක් අන්තර්ගත කර තිබෙනවා නේද?

හඳේ චක්‍රයටත් ගැහැණියගේ ඔසප් චක්‍රයටත් ගත වෙන්නේ දින 28ක්. ලිංගිකත්වය කියන්නේ ස්වභාවධර්මයාගේ දේශපාලන ක්‍රියාවක්. විසි අට කියන නම යොදා ගැනීම තුළ තිබෙන්නේ ඒ අදහස.

ලිංගිකත්වය කියන කාරණාව ලාංකේය සංස්කෘතියට තිබෙන දුරස්ථභාවය තමයි ඔබ මේ චිත්‍රපටයට පාදක කරගන්නේ?

ඔව්. ලිංගිකත්වය පිළිබඳ තිබෙන සංස්කෘතික දුරස්ථභාවය ගැන තමයි මේ චිත්‍රපටයෙන් කතා කරන්නේ. අපි සමාජයේ දකින චරිත ටිකකට වඩා සමස්ත ගැහැනිය සහ පිරිමියාගේ හඬ නොනඟින දෙබස් තමයි මෙයින් එළියට මුදා හරින්නේ. මේ චිත්‍රපටයේ සිටින සුද්දි කියන ගැහැනිය හඬ නඟලා කියනවා 'ඇත්ත කියන්න පුළුවන් මැරිච්ච කෙනෙක්ට විතරයි කියලා. සරල දෙබස් ඇතුළේ සමාජයේ සංකීර්ණ ගැටලුවක් ගැන තමයි එලෙස කතා කරන්නේ.

ඔබට අවශ්‍ය වුණේ සමස්ත සමාජය වෙනුවෙන් පාපෝච්චාරණයක් කරන්නද?

මෙය පාපෝච්චාරණයක් කියලා යම් පුද්ගලයෙක්ට කියන්න පුළුවන්. අපේ ජීවිතවල තියෙන දුක, සතුට කියාගන්න අවස්ථාවක් ආවම අපි කවුරුන් හෝ එක්ක විවෘත වෙනවා. මේ චිත්‍රපටයේ ගැහැනිය විවෘත වෙන්නේ ප්‍රේක්ෂකයන් එක්ක. මෙයින් ඔවුන්ගේ ජීවිතවල ඝට්ටනය අමු අමුවේ එළිදරව් වෙනවා. ඒ හරහා චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයාටත් තමන්ව විවෘත කරගන්න මොහොතක් එනවා.

චිත්‍රපටයෙන් කියන්නට උත්සාහ කරන දාර්ශනික යථාර්ථය පොදු ප්‍රේක්ෂකයාට ඒ ආකාරයෙන් ග්‍රහණය කර ගැනීමේ හැකියාව පවතිනවා කියලා ඔබ විශ්වාස කරනවද?

මගේ සංකාරා සහ කර්ම කියන චිත්‍රපට ගත්තොත් ඒ චිත්‍රපට සිනමා අවබෝධය එක්ක ග්‍රහණය කරගත හැකි චිත්‍රපට. 'විසි අටෙන්' මට ඕන වුණා ලංකාවේ පොදු ප්‍රේක්ෂකයාව ග්‍රහණය කරගන්න. යමෙක්ට පොතක් කියෙව්වත් එය ග්‍රහණය කරගන්න අත්දැකීම්, පරිකල්පන ඥානයේ ප්‍රමාණය බලපානවා. ඒ සීමා මේ චිත්‍රපටය නැරැඹීමේදීත් තියෙන්න පුළුවන්. නමුත් මේ චිත්‍රපටයේ තල තුනක් තියෙනවා. එක් එක් පුද්ගලයාගේ අත්දැකීම් ප්‍රමාණය අනුව මේ චිත්‍රපටය ග්‍රහණය කරගන්න පුළුවන්. ඒක තමයි මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය. මෙහි සිටින ගැහැනිය හැම ගැහැනියක් වෙනුවෙන්ම පෞද්ගලික ජීවිතය එළියට දානවා. ලිංගිකත්වය අර්බුදයක් වෙන්නේ කෙසේද කියන එක ග්‍රහණය කර ගන්න පුළුවන් මට්ටමට තමයි චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ.

ඒ කියන්නේ ඔබේ අනෙක් චිත්‍රපට ද්විත්වයට වඩා 'විසි අට' පොදු ප්‍රේක්ෂකයා දිනා ගනියිද?

ඇත්තටම මම හිතනවා සංකාරා සහ කර්ම චිත්‍රපට දෙකට වඩා මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයා අතරට යන චිත්‍රපටයක් වෙයි.

මේ වෙනකොට යම් සිනමා ප්‍රේක්ෂක පිරිසක් චිත්‍රපටය නරඹලා තියෙනවා. ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර සුබවාදිද?

බහුතර ප්‍රේක්ෂක ප්‍රතිචාර සුබවාදියි. කොළඹ අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලෙදී ලාංකේය ප්‍රේක්ෂකයන්ට චිත්‍රපටය නරඹන්න පුළුවන් වුණා. එදා චිත්‍රපටය බලන්න අතිවිශාල පිරිසක් හිටියා. සමහරුන්ට හැරිලා යන්නත් සිද්ධ වුණා. එදා චිත්‍රපටය බලපු ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර තාමත් මට ලැබෙනවා.

ලිංගික කාරණා ගැන කතා කරද්දිත් ඔබ එය සිනමා නිර්මාණයෙන් ඉදිරිපත් කරන්නේ සංයමයකින්. එවැනි සංයමයක් ගොඩනැංවූවේ ස්වයං වාරණයක් නිසාද? නැතිනම් නිර්මාණයට අවශ්‍ය හැඩය එය නිසාද?

ලිංගිකත්වය ගැන කතා කළාට මේ චිත්‍රපටයේ නිරුවත් දර්ශන නැහැ. මෙය සියලුම ප්‍රේක්ෂකයන්ට නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. මේක මනසේ කතාබහක් විවෘත කරන අවස්ථාවක්. ලිංගිකත්වය පෙන්වීමට හෝ සැඟවීමට නෙවෙයි මට වුවමනා වුණේ. සමාජ සංස්කෘතික ගැටලුවක් චිත්‍රපට මාධ්‍ය ඔස්සේ කතා බහට ලක් කරන්නයි මම උත්සාහ කළේ.

චිත්‍රපටය ප්‍රේක්ෂකයා අතරට ගේන්න වසර හතරක් බලාගෙන ඉන්න වුණානේ. හැබැයි ඔබේ පිළුණු නොවෙන තේමාව නිසා කාලය ඔබට ගැටලුවක් නොවෙන්න ඇති?

මේ චිත්‍රපටය කළේ අවුරුදු හතරකට කලින්. නමුත් මේ කතා කරන දෙය තාමත් යාවත්කාලීනයි. හැත්තෑව දශකයෙ කතා කළාත් අද කතා කළාත් හෙට කතා කළත් මේ ප්‍රශ්නය තියෙනවා. ඒ නිසා චිත්‍රපටය දැන් ප්‍රේක්ෂකයා අතරට එන එක ගැටලුවක් නැහැ.

මේ චිත්‍රපටය ගලාගෙන යන්නේ ප්‍රධාන චරිත හතරක් වටා. චිත්‍රපටය සාර්ථක කරගන්න නම් නළු නිළියන්ව සූක්ෂමව තෝරා ගන්න සිද්ධ වෙනවා. ඔබත් නිර්මාණය වෙනුවෙන් හොඳම චරිත තෝරා ගැනීමක්ද කරලා තිබෙන්නේ?

පැහැදිලිවම. මගේ එක නිර්මාණයක ඉන්න කෙනෙක් මගේ තව නිර්මාණයක නැහැ. මම යම් චරිතයකට ගන්න කෙනා ඒ වගේ චරිතයක් මීට කලින් කර නොතිබෙන්න පුළුවන්. මහේන්ද්‍ර කියන්නේ දක්ෂ නළුවෙක්. චිත්‍රපටයේ දර්ශනවල දිග ප්‍රමාණය අනුව ඒ රංගනය කරන්න පුළුවන් දක්ෂ නළුවෙක්ට විතරයි. දැනට ඉන්න දක්ෂ නළුවෙක් තමයි මහේන්ද්‍ර කියන්නේ. එක් එක් මනෝභාවයන් පෙන්නුම් කරමින් රඟපෑම සරල නැහැ. ඒ වගේම සරත් කොතලාවල, රුක්මල් නිරෝෂ්, සේමිණි, මේ වගේ චිත්‍රපටයට ගෙනත් තියෙන හැමෝම ප්‍රවීණයන්.

ප්‍රවීණයන්ම චිත්‍රපටයට දායක කර ගන්න හිතුවේ?

ශිල්පීන්ගේ රංගන කුසලතාවය මත පදනම් වෙලා තමයි මේ චිත්‍රපටය දුවන්නේ. මගේ අනෙක් චිත්‍රපටවල රූපයට තමයි ප්‍රමුඛත්වය ලැබෙන්නේ. නමුත් මේ චිත්‍රපටයේ ප්‍රමුඛතාව තියෙන්නේ රංගනයට. ප්‍රවීණ රංගන ශිල්පීන්ට ඒ කාර්යය කරන්න පුළුවන්. ඔවුන්ව සම්බන්ධ කර ගැනීමේ ප්‍රතිඵලය දැන් දකින්න තියෙනවා.

ඒ කියන්නේ ඔබ සෑහීමකට පත්වෙන උපරිමය ඔවුන්ගෙන් නිර්මාණයට ලැබිලා තියෙනවා කියන එකද?

අනිවාර්යයෙන්ම. ඔවුන් උපරිම දායකත්වය ලබා දීලා තියෙනවා.

ඔබේ චිත්‍රපට ඔබම තිර රචනය කරන්න විශේෂ හේතුවක් තියෙනවද?

අපි සුළු සිනමා සම්ප්‍රදායක ඉන්න නිර්මාණකරුවෝ. ඒ සිනමාව ජයග්‍රහණය කරන්න නම් නිර්මාණකරුම පිටපත ලිවිය යුතුයි කියන තැන මම ඉන්නවා. මොකද තමන්ගේ චින්තනය පිටපතෙන් එළියට දාන්න පහසුයි. අනුන්ගේ පිටපතකින් සාර්ථක වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. තමන්ම තිර පිටපත කළොත් කරන වැඩේ සාර්ථක කරගන්න පුළුවන්.

මේ වෙනකොට '28' ජාත්‍යන්තර ඇගයුම් ලබලත් තියෙනවනේ. ඒ ගැනත් මතක් කරමු?

මේ චිත්‍රපටය සිනමා උළෙල ගණනාවකට ඉදිරිපත් වුණා. ඒ අතරින් නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සිනමා උළෙලින් ව්ඡ්ඊර්ථීඒඛ් සම්මානය හිමිවුණා. ඕස්ට්‍රේලියාවේ බි්‍රස්බේන් නුවර පැවැති ඒඵඪච ර්ථීචජඪටඪජ ඉජපඥඥද ඒඹචපඤඵ සිනමා සම්මාන උළෙලේදී මහේන්ද්‍ර හොඳම රංගනය වෙනුවෙනුත් මම හොඳම තිර රචනය වෙනුවෙනුත්, චිත්‍රපටය වෙනුවෙන් නොම්නේට් වුණා. ඒ වගේම බේ්‍රලෙඩ් සිනමා උළෙලේදී ජූරියේ විශේෂ සම්මානයකුත් ලැබුණා.

ඔබේ සිනමා වෑයම චිත්‍රපටය ජාත්‍යන්තර ඇගයුමට ලක් කිරීමද නැත්නම් ප්‍රේක්ෂකයෝ දිනා ගැනීමද?

මේක ජාත්‍යන්තරය අරබයා කරපු චිත්‍රපටයක් නෙමෙයි. මේක ලංකාවේ ප්‍රේක්ෂකයන්ට තියෙන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය යූරෝපීයන්ට තේරෙන්නේ නැහැ. මොකද ඒ අයට ලිංගිකත්වයට තිබෙන සංස්කෘතික දුරස්ථභාවය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. සිනමා උළෙලවලට ගියාමත් ඔවුන් මගෙන් ඇහුවේ ලංකාවේ ස්වාමියා සහ බිරිය අතර ලිංගික රහස් තියෙනවද කියලා. මේක ලංකාවේ ප්‍රේක්ෂකයන්ව අරමුණ කරගෙන කළේ. ඕනෑම නිර්මාණකරුවෙක්ට තමන්ගේ නිර්මාණයෙන් ලෝකය ග්‍රහණය කර ගැනීමේ බලාපොරොත්තුවක් තියෙන්න පුළුවන්. එය වරදක් නැහැ. හොඳ නිර්මාණයක ලක්ෂණය තමයි එය ඕනෑම ප්‍රේක්ෂකයකුට ග්‍රහණය කරගත හැකිවීම.

හැබැයි ජාත්‍යන්තර ඇගයුම් ලබන බොහෝ චිත්‍රපට ලංකාවේ ප්‍රේක්ෂකයෝ දිනා ගන්නේ නැහැ. එයටත් හේතුවක් ඇති?

එයට ප්‍රශ්න තියෙනවා. දැන් පොදුු ප්‍රේක්ෂකයා සිනමාව රසවිඳින්න පෙලඹෙන්නේ හරි අඩුවෙන්. සමහරු සිනමා ශාලාවකට ගිහින් චිත්‍රපටයක් බලලා තියෙන්නේ කාලෙකට කලින්. සිනමාවට පුරුදු වුණ ප්‍රේක්ෂකයෝ තමයි සිනමා ශාලාවකට යන්නේ. කලාත්මක චිත්‍රපටයකට වුණත් යම් ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. හැබැයි ඒ එන ප්‍රේක්ෂක පිරිසවත් සිනමා ශාලාවලට ගෙන්වන ක්‍රමවේදය පොහොසත් නැහැ. ඒ ක්‍රමවේදය තව තව හැදෙන්න ඕනෑ.

ඊළඟ සිනමා නිර්මාණයන්ට ඔබ මොන වගේ සූදානමකද ඉන්නේ?

මගේ ඊළඟ චිත්‍රපටය දඩයක්කාරයා. ඒ චිත්‍රපටය නිම කරමින් තියෙනවා. ඒ වගේම තවත් පිටපතක් ලියමිනුත් ඉන්නවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ (MB WEB)

30 May, 2017

ජැකී චෑන් සහ ස්ටැලෝන් එකම වැඩක

Sylvester Stallone - Jackie Chan

සිල්වෙස්ටර් ස්ටැලෝන් ප්‍රවීණ නළු ජැකී චෑන් එකම චිත්‍රපටයක රඟපෑමට සුදනම් වන බව වාර්තා වනවා.

ස්ටැලෝන් මේ පිළිබඳ පවසා ඇත්තේ ජැකී චෑන් සමඟ චිත්‍රපටයක රඟපාන්ට ඇරයුම් ලබද්දී තමා යම් තරමක තිගැස්මකට ලක්වු බවයි.

පුළුල් තිරයේ දැවන්තයෝ දෙදෙනා මෙලෙස එක්ව චරිත නිරූපණය කරන්නේ Ex-Baghdad නම් වූ ක්‍රියාදාම චිත්‍රපටයෙයි.

' ජැකී චෑන් කියන බලවත් එඩිතර සටන් නළුවා සමඟ රඟපාන්න දර්ශන තලයට යද්දී මට දැනුනේ ලොකු සතුටක් ඒ දිනය මට අමතක වෙන්නේ නැහැ 'ස්ටැලෝන් ඒ පිළිබඳ අදහස් දක්වමින් පවසා තිබෙනවා.

මීටපෙර ද ස්ටැලෝන් ජැකී චෑන් සමඟ බියුරා හොලිවුඩ් බියුරා නම් වූ චිත්‍රපටයේද ඔහු රංගනයේ නියැළි තිබෙනවා. 


(mirrorarts)