27 May, 2017

දොස්තර තමීරව 44 වැනි බිල්ල කරගත් මාකෙළි ඇල්ල රටට කියන කතාව

Dr Thameera Makeli Ella

මහනුවර අරුප්පල පදිංචි තමීර දිසානායක සහ තාරක දිසානායක පවුලේ නිවුන් සොහොයුරන්ය. ඔවුන්ගේ පියා වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙකි. නම කරුණාසේන දිසානායකය. දැනට වසර නවයකට පමණ පෙර අභාවප්‍රාප්ත වූ ඔවුන්ගේ මව වන මැණිකේ වීරසූරියද ගුරුවරියකි.

තමීර සහ තාරක මවුපියන් විසින් රැකගත්තේ ඔවුන්ගේ දෙනෙත් මෙනි. කුඩා කල සිටම එකට හැදී වැඩුණු මේ නිවුන් දරුවන්ගේ වැඩිමලා කවුරුන්දැයි කාටවත් කියන්නට බැරිය. තමීර වැඩිමලා වෙමින් තාරකට කතා කරන්නේ මල්ලී කියාය. තවත් වරෙක තාරක වැඩිමලා වී තමීරට කතා කරන්නේ මල්ලී කියාය. සෑම විටම දෙදෙනා දෙදෙනාටම මල්ලිලාය.

තමීර සහ තාරක දෙදෙනාම ඉගෙනීමට අති දක්ෂයන්ය. එමෙන්ම ක්‍රීඩාවටද එවන් හපන්කම් දැක්වූවන්ය. දෙදෙනාම පාසල් ගියේ මහනුවර රණබිම රාජකීය විදුහලටය. දෙදෙනාම එම විදුහලට ඇතුළත් කිරීමේ විභාගයන් සමත් වූයේද එකටමය. අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිටි තමීර සහ තාරක උසස් පෙළ සමත් වූයේද ඒ ආකාරයෙන්මය. දෙදෙනාම රණබිම රාජකීය විදුහලේ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලැබුවේද උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළු වන්නේද එකටමය.

නමුත් තමීර ඇතුළු වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයටය. තාරක ඇතුළු වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයටය. දෙදෙනාම විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරන්නේද එකටමය. දෙදෙනාටම මීළඟට තිබුණේ සීමාවාසික වෛද්‍ය පුහුණුවය. තමීර කොළඹ මහරෝහලේ සීමාවාසික පුහුණුව ලැබූ අතර තාරක කරාපිටිය රෝහලේ සීමාවාසික වෛද්‍ය පුහුණුව අවසන් කළේය. විසි අට හැවිරිදි මේ දෙදෙනාම තම වෛද්‍ය පත්වීම් එනතෙක් ඇඟිලි ගණිමින් සිටියහ.

වෛද්‍යවරුන්ට ඉංග්‍රීසි මෙන්ම ද්‍රවිඩ භාෂාව හැදෑරීමටද අවශ්‍ය වන්නේය. එම නිසා තමීර අගලවත්තේ ඩාර්ටන්ෆීල්ඩ්හි පිහිටි ජාතික භාෂා පුහුණු මධ්‍යස්ථානයට පැමිණ එහි නේවාසිකව ද්‍රවිඩ භාෂාව පුහුණුවීම්වල නිරත විය. ඒ අතරතුර පසුගිය විසිවැනි දින භාෂා පුහුණු මධ්‍යස්ථානයෙන් සංවිධානය කළ ක්‍ෂේත්‍ර චාරිකාවක් සඳහා තමීර ඇතුළු ආධුනික වෛද්‍ය සිසුන් 85 දෙනකු පමණ එක්විය. මෙම ක්‍ෂේත්‍ර චාරිකාව යොදා තිබුණේ බදුරලිය මාකෙළි ඇල්ල නැරැඹීමටය. ඒ සඳහා බස් රථ දෙකක්ද යොදාගෙන තිබිණි. බස් රථ දෙකෙන් ගමන් ගත් සියල්ලෝම මහත් විනෝදයෙන් මෙම

ක්‍ෂේත්‍ර චාරිකාවට එක්වූහ. මාකෙළි ඇල්ල ආසන්නයට පැමිණ සියල්ලන්ම බස් රථවලින් බැසගත් අතර බදුරලිය මාකෙළි ඇල්ල ප්‍රදේශයේ අවට සිරි නරඹමින් තමීර ඇතුළු තවත් ඔහුගේ මිතරෝ් කීප දෙනෙක් ඉදිරියෙන්ම ගමන් ගත්හ. අවට සිරි නරඹමින් මහත් සේ විනෝද වුණු තමීර තවත් මිතුරන් කීප දෙනකුත් සමඟ මාකෙළි ඇල්ල දෙසට ඇති පඩිපෙළ දිගේ පහළට බසින්නට වූහ. ඔවුන්ට පිටුපසින් අනෙක් සිසුහුද පඩිපෙළ දිගේ පහළ ඇල්ල ඇති ප්‍රදේශයට ගමන් කළහ. ඉදිරියෙන්ම ගිය තමීර ඇතුළු පිරිස පඩිපෙළ දිගේ පහළට බැස ගල් තලාවට ගොඩවුණි. ගල් තලාවේ හිඳ මාකෙළි ඇල්ල නැරැඹීමට තමීරට තිබුණේ පුදුම හදිසියකි. ඒ හදිසිය මරුවාට අතවැනීමක් බව තමීර කිසිසේත් දැන සිටියේ නැත.

එක්වරම තමීරගේ පය ලිස්සා ඔහු මාකෙළි ඇල්ලට ඇද වැටිණි. සියල්ලෝම 'තමීර ඇල්ලට වැටුණා' කියමින් කෑගසන්නට වූහ.

ඒ අසල සිටි ඔහුගේ මිතුරකු ගල් පරයක එල්ලී තමීරට අල්ලා ගැනීමට සිය පාදයක් දික් කළේය. තමීරට මිතුරාගේ පාදය අල්ලා ගැනීමට නොහැකි විය. ජල පහර සමඟ පොර බදමින් තමීර අඩි ගණනාවක් පහළට ඇදී ගියේය. තමීරගේ මිතුරෝ වහා ඒ අසල පිහිටි උණ ගසක් ගලවා තමීරට අල්ලා ගැනීමට ඒ උණ ගස දියට විසි කළහ. ඒත් ඒ වන විටත් තමීර දිය යට සැඟවී ගොස් හමාරය. තමීර සමඟ සිටි මිතුරන්ට කරකියාගත හැකි කිසිදු දෙයක් නොවීය. ඔවුන් වහා 119 දුරකතන අංකයට ඇමැතීය. ඒ මේ අත දිවයන විට දුටු යුද හමුදා කඳවුරකටද සිද්ධිය දැන්වීය. ඒ වන විටත් පොලිසිය සහ අසල්වාසීහුද එම ස්ථානයට පැමිණ සිටියහ.

එම අවස්ථාවේදී සිද්ධිය බේරුවල නාවික කඳවුරට දැනුම් දුන්නත් නාවික නිලධාරීන් කීවේ දැන් රාත්‍රිය නිසා මළසිරුර සෙවීමට අපහසුය. පසුදින මළ සිරුර සොයා දීමට කටයුතු කරන බවත්ය. ඒ නිසා අනෙක් සිසුන් අගලවත්ත භාෂා පුහුණු මධ්‍යස්ථානය වෙත නැවත යොමු කිරීමට කටයුතු යෙදිණි. තමීරගේ මිතුරෝ අට දෙනෙක් එම ස්ථානයේ රැය පහන් කළහ. ඒ තමීරගේ සිරුර රාත්‍රියේ හෝ ගොඩට ඒවි යන සැකයෙනි. ඊට පසු දින එළිවෙද්දී නාවික කඳවුරේ සෙබළුන් පැමිණ අඩි විස්සක් පමණ පහළ දිය යට කිමිදී ගල් පර අතරේ තිබූ තමීරගේ නිසල දේහය ගොඩ ගනු ලැබූහ.

මතුගම නාගරික හදිසි මරණ පරීක්ෂක ගාමිණී ලියනගේ සිද්ධිය වූ ස්ථානයේ ස්ථාන පරීක්ෂාවක් සිදු කළේය. නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර මෙම මරණය දියේ ගිලී හුස්ම සිරවීමෙන් සිදු වූ මරණයක් බවට නිගමනය කළේය.

ඉන් අනතුරුව තමීරගේ දේහය මහනුවර අරුප්පල පිහිටි ඔහුගේ නිවෙසට ගෙන එන තෙක් ප්‍රදේශවාසීන් සහ තමීරගේ මිතුරෝ හැඬු­ කඳුළින් යුතුව මඟ බලා සිටියහ. තමීරගේ නෑදෑයන්, පාසල් මිතුරන්, විශ්වවිද්‍යාල මිතුරන් තමීරගේ වියෝව දරාගත නොහැකිව තැනින් තැන ඉකි බිඳිමින් උන්හ. තමීරගේ වියෝව තමීරගේ පියාගේ එක ඇසක් අන්ධ වී ගියා සේය. තමීරගේ මවගේ අඩුව දැනෙන්නට නොදී දහසකුත් එකක් බලාපොරොත්තු තබාගෙන වසර ගණනාවක් රැකගත් සිය පුතුගේ වියෝව දරාගැනීමට නොහැකිව තමීරගේ පියාට ඇති දුක කියාගන්නට නොහැකි තරම්ය.

කුඩා කල සිට එකට හැදි වැඩී එකට අකුරු කර එකට විශ්වවද්‍යාලයට ගිය මලලීගේ නිසල දේහය බදාගෙන තාරක හඬන හැඬුම පළාතම කම්පනයට පත් කෙළේය. අනාගතයේ දක්ෂ වෛද්‍යවරයකු වී රෝගීන් දහස් ගණනක් සුවපත් කිරීමට සිටි ප්‍රාර්ථනා සමඟ තමීරගේ නිසල දේහය පස්ගොඩකට වැළලී ගියේය. තමීරගේ නිසල දේහය පිළිබඳ අවසන් කටයුතු මහයියාව පොදු සුසාන භූමියේදී පසුගිය 22දා සවස සිදු කෙරිණි.

ගයා ශ්‍රී කාරියවසම් (mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දොස්තර තමීරව 44 වැනි බිල්ල කරගත් මාකෙළි ඇල්ල රටට කියන කතාව "

    Post a Comment