27 May, 2017

දකුණු අප්‍රිකා තරගයට මාලිංග නෑ

Lasith Malinga-06

එංගලන්තයේදී බ‍්‍රහස්පතින්දා (01) ආරම්භ වන අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය ලබන සෙනසුරාදා (ජූනි 03) දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලන්ඩන්හි කිංග්ස්ටන් ඕවල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

අයි.පී.එල්. තරගාවලියට සහභාගි වූ ජ්‍යෙෂ්ඨ වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පසුගිය බදාදා ලන්ඩන් නුවරදී සංචිතයට එකතු වූ අතර මාලිංග පළමු වටයේ තරගවලට සහභාගිවීම මෙම සටහන තබන මොහොත දක්වා අවිනිශ්චිතව තිබුණි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියකු පැවසුවේ මාලිංග බොහෝ විට කණ්ඩායමේ අවශ්‍යතාව මත ක‍්‍රීඩා කරනු ඇති බවයි.

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ සියලුම ක‍්‍රීඩකයන් හොඳ ශාරීරික යෝග්‍යතාවෙන් පසු වන බව එංගලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. සංචිතය නම් කරන විට චාමර කපුගෙදර සහ නුවන් කුලසේකර මස්පිඬු පෙරළීමේ ආබාධයකට ලක්ව සිටියද මේ වනවිට එම දෙපළ සම්පූර්ණ සුවය ලබා සිටින බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකා පිල ඕස්ට්‍රේලියාවට එරෙහිව පසුගිය සිකුරාදාද, නවසීලන්තයට එරෙහිව ලබන අඟහරුවාදා ද, ශූරයන් කුසලාන තරගාවලියේ නිල පුහුණු තරග දෙකට සහාගිවීමට නියමිතව තිබුණි. ශ‍්‍රී ලංකා පිල පසුගිය සතියේ එංගලන්තයේදී ස්කොට්ලන්තයට එරෙහිව සහභාගි වූ පළමු පුහුණු තරගයේදී කඩුලු 7 කින් පරාජයට පත්වීමෙන් ශ්‍රී ලාංකිකයෝ තිගැස්සීමට පත්වූහ. එහිදී ස්කොට්ලන්ත පිල ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව ලකුණු 291 හඹාගොස් ජය ලැබීම කැපී පෙනුණි.

මෙම තරගාවලියේදී පිට දඟපන්දු යවන්නාගේ සේවය ලබා ගැනීමට සූදානම් කර සිටින අසේල ගුණරත්න සහ මැජික් පෙන්වීමට ඇතුළත්කර සිටින ලක්‍ෂාන් සඳකැන් දැඩි ප‍්‍රහාරයකට ලක්වීම අවධානය යොමු කළ යුතු තත්ත්වයකි.
කෙසේ වෙතත් දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා පිල කඩුලු 9 ක පහසු ජයක් ලැබීය. එම තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් විවේක ගත් අතර උපුල් තරංග නායකයා ලෙස කටයුතු කළේය. ලක්‍ෂාන් සඳකැන් එම තරගයේදී කඩුලු 4 ක් දවා ගැනීම තරමක අස්වැසිල්ලක් බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකාව පසුගිය බංග්ලාදේශ තරගාවලියේදී භාග ක‍්‍රීඩකයන්ගෙන් තරගවලට සහභාගිවීමෙන් පාඩමක් ඉගෙනගෙන නොමැති බව තවදුරටත් පෙනෙන අතර මෙම තරගාවලියේදී ඒ පිළිබඳව තවදුරටත් දැකිය හැකිවනු ඇත. ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියේ දෙවැනි තරගයේදී ලබන බ‍්‍රහස්පතින්දා ප‍්‍රබල ඉන්දීය පිල හමුවීමට නියමිතය.

 යොහාන් භාසුර (deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දකුණු අප්‍රිකා තරගයට මාලිංග නෑ"

    Post a Comment