Showing posts with label EduScTech. Show all posts
Showing posts with label EduScTech. Show all posts

14 October, 2017

ඉහළ මට්ටමක හැකියාවන් එකතුවක් අඩු මිලකට Huawei Honor 9

huawei-honor-9

Huawei සම්බන්ධයෙන් කියැවෙන සටහනක මේ දිනවල වැඩි වශයෙන්ම දැකිය හැක්කේ Huawei Mate 10 උපාංගය වුවත්, මෙම සටහන වෙන්වන්නේ පසුගිය ජුනි මාසයේදී එළිදැක්වුණු වෙනත් Huawei ස්මාට්ෆෝනයක් සම්බන්ධයෙනි. මේ Huawei Honor 9 ස්මාට්ෆෝනයයි. මෙයට Hybrid Dual SIM තාක්ෂණයෙන් සිම්පත් දෙකක් අන්තර්ගත කළ හැක. LTPS IPS LCD capacitive touchscreen තිරය අඟල් 5.15ක ඉඩක් ගනියි.

Android 7.0 (Nougat) මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන Huawei Honor 9 උපාංගයට HiSilicon Kirin 960 චිප් පද්ධතියක් අන්තර්ගත කර ඇත. මෙහි ඇත්තේ Octa-core ප්‍රොසෙසරයකි. අභ්‍යන්තර මතකය ගිගාබයිට් 64 සහ 128 ලෙසින් සමන්විත ස්මාට්ෆෝන් සංස්කරණ දෙකක් පැමිණෙන අතර, පිටතින් ගිගාබයිට් 256ක් දක්වා මතකය ඉහළ දැමිය හැක.

මෙහි ද්විත්ව කැමරා පද්ධතියක් පසුපස ප්‍රධාන කැමරාවේ කාර්යභාරය ඉ‍ටු කරයි. එනම් 20MP + 12 MP ලෙසිනි. f/2.2, phase detection autofocus, 2x lossless zoom, dual-LED (dual tone) flash ලෙසින් හැකියාවන් සහ සැකසුම් දැක්වෙන මෙම කැමරා පද්ධතියට Geo-tagging, touch focus, face detection, HDR, panorama යන විශේෂාංග ඇතුළත්ය.

Glacier Grey, Sapphire Blue, Midnight Black, Gold, Blue Bird, Robin Egg Blue ලෙසින් වර්ණ පෙළකින් මෙය පැමිණෙන නිසා, පරිශීලකයින්ට ‍තෝරාගැනීමට මනා විවිධත්වයක් මෙහි ඇත. Huawei Honor 9 උපාංගය පෙණුමින් තරමක් දුරට තාරුණ්‍යයට ඔබින බවක් හැඟවුනද, මෙහි වඩාත් ප්‍රබල දෘඩාංගයන්ද සමග ගත්විට මෙය සාධනීය වැඩ කොටසක් ඉටු කරගත හැකි ස්මාට්ෆෝනයක් බව බැලූ බැල්මට පෙනෙයි. පොදුවේ Huawei Mate උපාංග පෙළ තබා ඇති ඉහළ ස්ථානයේ තබා Huawei Honor 9 ස්මාට්ෆෝනය මැනීමට නොහැකි වුවත්, ප්‍රබල දෘඩාංග, පහසු මිල සහ නොයෙකුත් හැකියාවන් සමගින් ස්මාට්ෆෝනයකින් ඔබ බලාපොරොත්තු වන සියලු කටයුතු මෙම උපාංගයෙන් ඉටු කරගත හැකි බව නම් කිවයුතුමය. (රච්න්ත ජයවර්ධන -
අද)

09 October, 2017

විවිධාකාර කැක්කුම්

difficult-pains

පුරුෂයන් මුහුණ දෙන ලිංගික ගැටලු ගැන කරන කතාබහට ඇතුළත් වූ කරුණු වලින් වඩාත්ම බහුලව අසන්නට ලැබෙන්නේ ලිංගාශ්‍රිතව හටගන්නා විවිධාකාර වේදනා කැක්කුම් ගැනයි.

ශිෂ්ණය ආශ්‍රිතව ඇතිවන විවිධ රෝගාබාධ හේතුකොට හටගන්නා වේදනා කැක්කුම් හේතුවෙන් අපේ අය කැලඹීමට, භීතියට වගේම ලජ්ජාවටත් පත්වෙනවා. මේ නිසාම ඔවුන් විවිධ ව්‍යාජ ප්‍රතිකාර ක්‍රමවේදවල ගොදුරැ බවට පත්වෙනවා. එයින් නොසිතූ විරූ අසරණභාවයකට පත්වෙන්නත් පුළුවන්.

ශිෂ්ණය ආශ්‍රිතව හටගන්නා විවිධ කැක්කුම් සහ එයට හේතු මෙන්ම ඒ සඳහා ගත හැකි ප්‍රතිකාර ගැන පොදුවේ කතාබහ කරන්නට හිතුවේ ඒ මගින් තමන්ට ඇති යථා තත්ත්වය තේරුම් ගෙන නියම ප්‍රතිකාර සඳහා යොමු වීමට උනන්දු කරවීම සඳහායි.
ශිෂ්ණයේ වේදනාවක් හටගන්නට මුල්වන කාරණාවක් හැටියට අපි මුලින්ම සඳහන් කළ යුත්තේ පසුගිය සතියේ කතා කළ පෙරසම පිටුපසට නොයාම හෙවත් පයිමෝසිස් තත්ත්වයයි. එයට ප්‍රතිකාරය ලෙස දැක්වූයේ සුන්නත් කිරීම හෙවත් සර්කම්සිශන් සැත්කමයි.

ඊළඟට පෙරසම ශිෂ්ණයට බැඳී ඇති ප්‍රිනියුලමය හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේ දී නූල කියලා හඳුන්වන කොටස තද සහ කෙටි නම් එවිටත් කැක්කුම හටගන්නවා. එහිදී සැත්කමක් මගින් සහනයක් සැලසෙනවා.

ලිංගික ක්‍රියාවලියේ දී වේදනාකාරී බවක් ඇති වීමට එක් ප්‍රධාන හේතුවක් තමා යෝනි මාර්ගයේ වියළි බව. මෙහිදී ජෙලි හෝ වෙනත් ලිස්සන සුළු ආලේපනයක් වෛද්‍ය උපදෙස් මත භාවිතා කළ යුතුයි.

පුරුෂ ලිංගයේ වේදනාවට හේතුවන තවත් එක් හේතුවක් තමා ලිංගික හර්පිස් රෝගය. මෙම රෝගය නිසා හටගන්නා වේදනාකාර බිබිලි දමා ඇතිවිට නිර්දේශිත ක්‍රීම් භාවිතා කළ යුතුයි.

ගොනෝරියා, වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් හටගැනීම හෝ මුත්‍රා ආසාදන නිසාත් කැක්කුම් ඇති වෙනවා. එහිදී වෛද්‍යවරයකු හමුව සුදුසු ප්‍රතිජීවක භාවිතා කළ යුතුයි.

පිරිමින්ට මාරකයක් හැටියට නිතර කතාබහට ලක්වෙන පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව හටගන්නා ආසාදන හේතුවෙනුත් කැක්කුම් හටගන්නවා. එහිදීත් ප්‍රතිජීවක තමා ප්‍රතිකාරකය. හැබැයි වෛද්‍ය අනුමැතිය යටතේ තමා එය භාවිතා කළ යුත්තේ.

ශිෂ්ණ මුණ්ඩය වණවීම නැත්නම් Balanitis බැලනටිස් ගැන අපි කතා කළා. මේකත් වේදනාවට හේතුවක්. මෙහිදී ප්‍රතිජීවක ලබාගත යුතු අතර, රෝගයට හේතුව දියවැඩියාව නම් එය දැන ප්‍රතිකාර ගත යුතුය. ප්‍රිපැසිසම් හෙවත් දිගටම ප්‍රාණවත්ව තිබීමේ තත්ත්වය ගැන අපි කලින් කතා කළා. ඒ සඳහා ශල්‍යකර්මයක් මගින් රුධිර කැටියක් ඇත්නම් ඉවත් කළ යුතුයි. ඊළඟට රුධිරගත රෝගයක් වේ නම් සුදුසු වෛද්‍යවරයකු මගින් ප්‍රතිකාර ගත යුතුයි.

සමහර විට ශිෂ්ණයේ කඳෙහි එක් පැත්තක් ප්‍රදානයට පත්විය හැකියි. එවිට කැලලක් ඇති වී එය මඳක් ඇදවිය හැකියි. මෙයට කියන්නේ පෙරෝනිස් රෝගය කියලයි. මෙහිදී ඇද වූ ලිංගය ප්‍රාණවත් වන විට වේදනාවක් ඇති වෙනවා. සමහර අවස්ථාවලදී මේ සඳහා මෙගා විටමින් මගින් ප්‍රතිකාර ලබා දෙනවා. තවත් වෛද්‍යවරු මෙහිදී සැත්කමක් කළ යුතු බව තීරණය කරනවා.

මුත්‍රා දැවිල්ල, ඇස් රතු වීම සහ හන්දිපත් රුදාව සමග ශිෂ්ණයෙන් සැරව වැනි දියරයක් පිටවෙනවා නම් එය රෝගයක් බව සිහි තබාගන්න. රයිටර්ගේ සින්ඩ්‍රෝමය ලෙස හැඳින්වෙන මේ රෝග ලක්ෂණ එකතුව සඳහා ප්‍රතිජීවක ඖෂධ මගින් ප්‍රතිකාර කළ යුතුයි. හැබැයි වෛද්‍ය උපදෙස් මත ඒවා ගත යුතුයි. ශිෂ්ණයේ පිළිකා හෝ වෙනත් ගෙඩියක් නිසා හටගන්නා වේදනාවට ඇති එකම ප්‍රතිකර්මය වෛද්‍ය උපදෙස් මත සැත්කමකට ලක්වීමයි.

උපදෙස් / විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ (දේශය)

08 October, 2017

හතරවැනි මාදිලියේ නව චොකලට් විශේෂයක්

ruby-chocolate

පැණි රසැති ආහාර වලට ප්‍රියකරන පාරිභෝගිකයන්ගේ සතුට වඩවන හතරවැනි මාදිලියේ නව චොකලට් විශේෂයක් විද්‍යාඥයින් විසින් නිපදවා තිබේ. මෙය දැනට පවතින චොකලට්ම රතුකැට ආකාරයෙන් මිහිරැති මිශ්‍රණයක් ලෙස ඉදිරිපත් කිරීමක් නොවේ. වසර 80 ක් වැනි දිගු කාලයකට පෙර සුදු චොකලට් ලොවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඉදිරිපත් කළ ප්‍රථම නවතම චොකලට් වර්ගය ලෙස මෙය හදුන්වාදී තිබේ.

නව චොකලට් රෝස පැහැති වීමට හේතුව ඒ සදහා යෙදු වර්ණක හෝ සායම් නොවේ. Ruby Chocolate (රතුකැට චොකලට්) නිෂ්පාදනය කිරීමට යොදා ගත් Ruby කොකෝවා තුල අන්තර්ගත වර්ණ ස්වරුපය නිසා නව චොකලට් සදහා රෝස පැහැය ලැබී තිබේ.

Ruby Chocolate (රතුකැට චොකලට්) පලතුරු රසයකින් සහ සුළු ඇඹුල් රසයකින් යුක්තය. මෙම පැණිරස සංග්‍රහය නිර්මාණය කිරීම සදහා Zurich නුවර පිහිටි Barry Callebaut සමාගම වසර 13 කට වැඩි කාලයක් පර්යේෂණ කළ බව වාර්තා වේ. නව චොකලට් පිලිබදව හදුන්වාදෙමින් සමාගම ප්‍රකාශ කළේ එය ඉන්ද්‍රිය කුල්මත් කරන්නක් බවයි. berry පලතුරු සහ අතිමධුර මෘදු බව අතර තත්වයක් එහි ඇති බව ඔව්හු තවදුරටත් සදහන් කළහ.

පසුගිය මස Shanghai නුවර පැවැත්වූ විශේෂ උත්සවයකදී හතරවැනි මාදිලියේ Ruby Chocolate ප්‍රථම වරට ලොවට හදුන්වාදෙන ලද අතර දැනට විශාල පරිමාණයෙන් ලොව පුරා සිටින රසකැවිලි අලෙවිකරුවන් වෙත පමණක් එය නිකුත් කරයි. නුදුරු අනාගතයේදී Ruby Chocolate සාමාන්‍ය වෙළදපොලෙන් මිලදී ගැනීමට හැකිවනු ඇතැයි සමාගම ප්‍රකාශ කරයි.



අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර (ප්‍රභාස්වර)

07 October, 2017

සමනළ තටුවල වර්ණ රටා රහස්

butterfly
සමනළ තටු (පියාපත්) වල වර්ණ සහ රටා වෙනස් කිරීමට විද්‍යාඥයින් සමත් වී ඇති බව වාර්තා වේ. “painting gene (චිත්‍රණ ජාන)” සුළු වශයෙන් වෙනස් කිරීමෙන් ඔවුන් මෙම ප්‍රතිපල ලබා ගෙන තිබේ.

සමනළයාගේ සාමාන්‍ය පියාපතක් (වම් පස) හා ජාන වෙනස් කර ඇති කළ පියාපතක් (දකුණු පස) අතර සංසන්දනාත්මක වෙනස රුපයෙන් දැක්වේ.

මෙහිදී පර්යේෂකයන්ගේ ප්‍රධාන අරමුණ වුයේ “rule of life (ජිවන රීතිය)” ලෙස හදුන්වන ජාන සහ පරිණාමනය මගින් ජෛව විවිධත්වය සිදුවන ආකාරය පිළිබද යම් අවබෝධයක් ලබා ගැනීමයි.

WntA ජානයේ ක්‍රියාකාරිත්වය අධ්‍යනය සදහා පර්යේෂක කණ්ඩායම දියුණු ජාන සංස්කරණ තාක්ෂණයක් වූ CRISPR/Cas9 මගින් ස්වභාවධර්මයේ විශ්මිත නිමැවුමක් වූ සමනළ තටුවල වර්ණ සහ රටා වෙනස් කළේය. සමනළ විශේෂ 7 කගේ ජාන ඉවත්කිරීමෙන් උන්ගේ පෙනුම විප්ලවීය ලෙස වෙනස් කිරීමට පර්යේෂකයෝ සමත් වුහ. ඔවුන් බලාපොරොත්තු නොවූ ආකාරවලින් පියාපත්වල වර්ණ සහ රටා වෙනස් වී ඇත.

සමනළයින්ට ඉතා වර්ණවත් ලස්සන තටු ලැබී ඇත්තේ සහකාරයින් සොයා ගැනීම සදහා ආකර්ශනීය ලිංගික වර්ණ යොදා ගැනීමට හෝ විලොපයන්ගෙන් උන් ආරක්ෂා වීම සදහා යම් ආකාරයක වර්ණ හා රටා අනුවර්තනයකට බව අපගේ පිළිගැනිම යැයි පවසන පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධාන විද්‍යාඥ ඇමෙරිකාවේ ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ Arnaud Martin තවදුරටත් සදහන් කළේ “අභිරහස නම් සමනලයින් එසේ කරන්නේ කෙසේද ? රේඛා, තිත් හා සංකිර්ණ නිමැවුම් මෙන්ම යම් ලක්ෂණයක් දීර්ඝ පරිණාමන කාල පරාසයක් තුල පවත්වා ගන්නේ කෙසේද?”

CRISPR තාක්ෂණය මගින් එක් සමනළ විශේෂයක් තුල මෙම ජානයේ විවිධ ක්‍රියාකාරිත්වයන් ක්‍රමයෙන් විකාශනය වන බව පැහැදිලි කරන අතර පොදු ප්‍රකෘතියක් මත විවිධත්වයක් සහිත රටා පරිණාමය වීම පිලිබදව සමනළ විශේෂයන් අතර සුවිශාල සංසන්දනයක්ද නිරූපණය කරයි.

මෙම සොයාගැනීම මිනිසා ඇතුළු වෙනත් සත්ව විශේෂයන් පිළිබද අධ්‍යනයෙදී ප්‍රයෝජනවත් වනු ඇතැයි පර්යේෂකයෝ පවසති. ජාන සංස්කරණය සම්බන්ධව CRISPR තාක්ෂණය විප්ලවීය වේ. සමහර විද්‍යාඥයින් මානව කළල ජාන සම්බන්ධව පරීක්ෂණ පවත්වන බවත් මේ සියල්ලන්ගේම අවසාන ඉලක්කය ජානමය රෝග වැලැක්වීම බවත් වාර්තාවේ සදහන් කර තිබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර (ප්‍රභාස්වර)

30 September, 2017

වේදනාව හඳුනන පරිගණකය

computer-system-detects-faces

පුද්ගලයා කොතරම් වේදනාවකින් පෙළෙන්නේදැයි ඔහුගේ හෝ ඇයගේ මුහුණු නිරීක්ෂණය කර වෛද්‍යවරයාට වාර්තා කිරීමට සමත් පරිගණක ක්‍රමවේදයක් නිර්මාණය කර තිබේ. රෝගියාට කළ යුතු ප්‍රතිකාර පිළිබඳ වෛද්‍යවරයාට විශාල සහයක් මෙමගින් ලැබේ. එක් එක් පුද්ගලයාට අදාල මුහුණේ සියුම් ඉරියව් හඳුනාගැනීමෙන් හා ක්‍රමාංකනය කිරීමෙන් සකස් කර ඇති නව පරිගණක ක්‍රමවේදය මගින් සාමාන්‍යෙයන් මිනිස් ඇසට තිබෙන සියුම් ඉරියව් හඳුනාගැනීමේ අපහසුතා මගහැරී ඇත. එනම් ව්‍යාජ නිරිභීත භාවයක් පෙන්වා නව ක්‍රමවේදය රැවටිය නොහැකි බව වාර්තා වේ.

මෙම ප්‍රමිතිය මගින් සත්‍ය හා ව්‍යාජ වේදනාව වෙන්කර හඳුනාගත හැකි බව එක්සත් ජනපදයේ Pittsbburgh විශ්ව විද්‍යාලයේ Jeffrey Cohn පවසයි. ඇබ්බැහිවීමේ ප්‍රවනතාවයන් සහිත වේදනා නාශක සාවද්‍ය වේදනා සඳහා නිර්දේශ නොකිරීමටද මෙය උපකාරී වේ.

වේදනාවේ ප්‍රමාණය මැනීම දුෂ්කර කාර්යයක් බව නව ක්‍රමයේ නිර්මාතෘ මැෂචුසේට්ස් තාක්ෂණ ආයතනයේ (MIT) Dianbo Liu සදහන් කර තිබේ. මිනිසුන් අත්දකින සහ ඔවුන්ගෙන් ප්‍රකාශ වෙන වේදනාව විවිධාකාර වන නිසා රෝගියාගේ වේදනාව පිළිබද වෛද්‍යවරයාගේ නිරීක්ෂණය සමහරවිට රෝගියාගේ ස්වයං වාර්තාවට වඩා වෙනස් වේ.

පර්යේෂණයේදී Liu සහ ඔහුගේ කණ්ඩායම මිනිසුන් වේදනාවෙන් පිඩා විදින විට ඔවුන්ගේ මුහුණු පුලුටුවිම වැනි වෙනස් වීම් අවස්ථා වීඩියෝගත කර පර්යේෂණය සදහා විවිධාකාරයෙන් භාවිතා කර තිබේ. උරහිස් වේදනාව සහිත රෝගීන් විශාල පිරිසක් සහභාගී කර ගනිමින් ඔවුන්ට වේදනාව දැනීමට හේතුවන විවිධ ශාරීරක චලනයන් සිදුකිරිමට යොමු කර ඔවුන්ගේ මුහුණේ ඉරියව් මගින් ප්‍රකාශ වන වේදනාව පටිගත කර ඇත.

ඉන්පසුව එක් එක් ඉරියව් වලදී ඇතිවූ වේදනාව වර්ගීකරණය කිරීමේ පරිගණක ක්‍රමවේදයක් (ඇල්ගොරිදමයක්) සකසා සාමාන්‍යයෙන් තේරුම් ගැනීමට අපහසු මුහුණේ ඉරියව් අනුව එක් එක් පුද්ගලයාට වේදනාව දැනීමේ ප්‍රමාණය අනුමාන කරන ලද බව වාර්තාවේ සදහන්ය.

වේදනාව ප්‍රධාන වශයෙන් හොදින් නිරුපනය කරන මුහුණේ සුවිශේෂී කොටස් තිබේ. උදාහරණයක් ලෙස නාසය හා මුඛය අවට සිදුවන චලනයන් ස්වයං වේදනා වාර්තා ඉදිරිපත් කිරීමට සමත් ය. වයස, ලිංගිකත්වය සහ සමේ වර්ණය අනුව වේදනාව නිරුපණය වීම විවිධාකාර බව Liu ප්‍රකාශ කරයි.

මිට අමතරව නව පරිගණක ක්‍රමවේදය මගින් වේදනාවේ ප්‍රමාණය හදුනාගැනීමේ නිරවද්‍යතාවය 85% ක ප්‍රතිශතයක් වූ අතර පුහුණුව ලද මිනිසුන් විසින් වේදනාවේ ප්‍රමාණය හදුනාගැනීමේ නිරවද්‍යතාවය 55% ක ප්‍රතිශතයක් විය. පරීක්ෂණය සදහා රෝගීන්ගේ වේදනාව පටිගත කරීමේදී බොහෝ දුරට පරිපුර්ණ ආලෝකකරණ සහ ජායාරුපකරණ තත්ත්ව භාවිතා කළ බවද වාර්තා වේ.කෙසේවෙතත් නව පරිගණක ක්‍රමවේදය තවදුරටත් දියුණු කළ යුතු බවද Liu ඇතුළු කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර. (ප්‍රභාස්වර)

29 September, 2017

වැඩි වේදනාවක් (පීඩාව) ලබාදෙන වෙන්වීම

sad-couple

වැඩි වේදනාවක් (පීඩාව) ලබාදෙන වෙන්වීම පිළිබදව මෑතකදී විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් කරන ලද අධ්‍යනයක තොරතුරු වාර්තා වී තිබේ. ඔබට සත්‍යවශයෙන්ම දැඩි වේදනාවක් (පීඩාව) දැණුනු වෙන්වීම් පිලිබද මතක තිබේද? එයින් ඔබ කොතරම් අපහසුතාවයකට පත්වුයේද? ආහාර ප්‍රිය නොවීම, නින්ද නොයාම මෙන්ම ඇත්තවශයෙන් ඔබ තවදුරටත් නොපවතින්නේය යන හැඟීම් සහ අවස්ථාවන්ට ඔබ මුහුණ දුන්නේද?

“Comparative Rejection (සංසන්දනාත්මක ප්‍රතික්ෂේපවිම )” ලෙස හදුන්වන වැඩි වේදනාවක් ලබාදෙන වෙන්වීම සම්බන්ධව අන් අයගේ බලපෑම පිළිබද වාර්තාවක් Personality and Social Psychology (පෞරෂය හා සමාජ මනෝවිද්‍යාව) සඟරාවේ පළවිය. මෙම වාර්තාව Cornell විශ්වවිද්‍යාලය මගින් කළ අධ්‍යනයකි. සංසන්දනාත්මක නොවන හේතු මත සිදුවන ප්‍රතික්ෂේප කිරීමකට වඩා බොහෝ සේ වැඩි වේදනාවක් සංසන්දනාත්මකව සැලකීමේ හේතු මත සිදුවන ප්‍රතික්ෂේප කිරීමෙන් සිදුවන බව පර්යේෂණයෙන් පැහැදිලි වූ බව එම වාර්තාවයි. සංසන්දනය නිසා සිදුවන ප්‍රතික්ෂේප කිරීම මගින් තමා බැහැර කිරීම පිලිබදව හැඟීම වැඩිවීමත් සමග තමාගේ හිමිකාරිත්වය අඩුවන හැඟීම් ඇතිවන ආකාරයේ වෙන්වීමක් සිදුවීම මෙයට හේතුව ලෙස දක්වා තිබේ.

මෙම අධ්‍යනයේදී පුද්ගලයින් 600 කගේ සහභාගිත්වයෙන් පර්යේෂණ වර්ග 4ක් ක්‍රියාත්මක කර තිබේ. පළමු පරීක්ෂණයට විද්‍යාඥයින් සමග රහස්‍ය ලෙස එක්ව සේවය කරන කාන්තාවන් 2 ක් හා බාහිර එක පුරුෂයෙක් ඇතුලත් විය. එහිදී එක් කාන්තාවකට ප්‍රහේලිකාවක් විසදීමට බාරදෙන ලද අතර ඇයට ඉතිරි කාන්තාව හෝ පුරුෂයා යන දෙදෙනාගෙන් එක් අයෙකු සහය සදහා එක්කර ගැනීමට හෝ කිසිවෙකුගේ සහය ලබා නොගැනීමට ප්‍රසිද්ධියේ උපදෙස් දෙන ලදී. එහෙත් පුරුෂයා සහයට එක්කර නොගන්නා ලෙස රහස්‍ය පණිවිඩයක් ඒ සමගම එම කාන්තාවට පමණක් ලබාදෙන ලදී. එනිසා එම කාන්තාව පුරුෂයා ප්‍රතික්ෂේප කිරීම හෝ පුරුෂයාව කණ්ඩායමෙන් ඉවත් කිරීම, ප්‍රතික්ෂේප වීම හෝ වෙන්වීම සිදුවිය. එමගින් පුරුෂයාට ඇති වූ වේදනාව (පීඩාව) නිරීක්ෂණය කරන ලදී.

දෙවන පරීක්ෂණයට වැඩි පිරිසක් සහභාගී වූ අතර එහිදී ඔවුන් සියලුදෙනාගේම තම ජිවිත කාලයේදී වෙන්වීම හෝ ප්‍රතික්ෂේප කිරීම නිසා ලද අත්දැකීම් පිළිබද ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

මෙම පරීක්ෂණ දෙකෙහිම ප්‍රතිපල නිරීක්ෂණයේදී තමා වෙනුවට වෙනත් අයෙකු තෝරා නොගෙන කළ ප්‍රතික්ෂේප කිරීම හෝ වෙන්වීමේ වේදනාවට වඩා වැඩි සියුම් වේදනාවක් තමා වෙනුවට වෙනත් අයෙකු තෝරාගන්නා ලද අවස්ථාවලදී ඇතිවී තිබෙන බව හදුනාගෙන තිබේ.

තවත් පරීක්ෂණයකදී තමා තෝරා නොගැනීමට හේතුව පිළිබද පැහැදිලි පිළිතුරක් ලබා ගැනීම සදහා ඔවුන් බොහෝ වෙහෙස වූ බව නිරීක්ෂණය විය. පිළිතුරු නොලද විට තමා තෝරා නොගැනීමට හේතුව ලෙස පරීක්ෂණයට අදාළ නොවූ රහස් පුද්ගලයකු හෝ සම්බන්ධ බවට ඔවුන් උපකල්පනය කළ බවද නිරීක්ෂණය විය.

ප්‍රතික්ෂේප කිරීම මගින් වෙන්වීම නිසා ඇතිවන වේදනාව (පීඩාව) පිළිබද පර්යේෂකයන්ගේ උපදේශය වුයේ අප කැමති හෝ අකමැති වුවද ප්‍රතික්ෂේප වීම /වෙන්වීම මගින් වැඩි වේදනාවක් ඇතිවීම මෙම පර්යේෂණවල ප්‍රතිපල මෙන් සාමාන්‍ය තත්වයක් බව අවබෝධයෙන් උපේක්ෂා සහගතව එයට මුහුණ දිය යුතු බවයි. පවුලේ කිසිවකු නොමළ නිවසකින් අබ සොයාගත නොහැකි වීමෙන් මරණය ප්‍රායෝගික තත්වයක් බව අවබෝධ කරගෙන වියෝවේ වේදනාවට යම් සහනයක් ලබා ගත් බව මෙහිදී සිහිපත් කළ යුතුය.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර (ප්‍රභාස්වර)

28 September, 2017

රසායණික පාලකයෝ

prolactin-oxytocin

testosterone පිරිමින්ගේ හිසකෙස් අඩුවීමට බලපානවද? මිතුරු බව වැඩි කරන හෝමෝන තිබේද? ගර්භානිභාවයේ හෝමෝන කාන්තාවන්ගේ මොලයට බලපෑම් කරයිද? මෙලෙස හෝමෝන මගින් ශරීරයට සහ මනසට සිදුකරන බලපෑම පිළිබද පවතින මත අතර යම් සත්‍යතාවයක් ඇති අවස්ථා සහ ප්‍රබන්ධ වෙන් කර හදුනාගැනීමට New scientist සඟරාව යෙදුනු උත්සහයක වාර්තාවක් පලවී තිබේ.

අපගේ හැසිරීම් අපගේ සම්පුර්ණ පාලනයෙන් තිබිය යුතු බව බොහෝදෙනා කල්පනා කරති. අපගේ සිතුවිලි සැමවිටම අපගේ සිහියේ (සවිඥානයේ) පාලනය යටතේද අපගේ ක්‍රියාවන් වඩාත් සාධාරණ ලෙසද සිදුවේ යන්න අපගේ මුලික පිළිගැනීමයි. පුරාතනයේ සිට පැවතෙන මනස පාලනය හෝ හෝමෝන ක්‍රියාකාරිත්වය මගින් අපගේ හැසිරීම වෙනස් කිරීමට හැකියාවක් තිබේද? යන්න මෙහිදී වැදගත්ය.

හෝමෝන පාලකයෝ ලෙස වඩාත් ප්‍රසිද්ධ ප්‍රෝටීන පාලකයෝ මෙහිලා මුලික කර්තව්‍යක් ඉටු කරයි. උදාහරණයක් ලෙස ඉන්සුලින් සහ රුධිරයේ සිනි ප්‍රමාණය. එපමණක් නොව ඔවුන් රසායනික තොරතුරු වලින් මොලය සෝදා අප අවට ලෝකය සහ එහි මිනිසුන් පිළිබද යම් පණිවිඩයක් ලබාදේ.

සමහර හෝමෝන වල දැඩි ක්‍රියාකාරිත්වය නිසා සම්පුර්ණයෙන් වෙනස් පුද්ගලයකු ලෙස හැසිරීමට අපව යොමු කරන බව හැගේද? එය එසේනම් ජීව රසායනික සංඥා මගින් අපව වෙනස් කරන අයුරු පිළබදව ඇති ප්‍රබන්ධ හා සත්‍ය වෙන් කර ගත යුතුය.

Oxytocin හෝමෝන වැඩි මහජන සම්බන්ධතා ඇති කිරීමට හේතුවන බව සැලකේ. සහෘද හෝමෝනය ලෙස ප්‍රසිද්ධ මෙමගින් මිනිසුන් අතර හොදහිත ව්‍යාප්ත කෙරෙන බවට කීර්තියක් ඇත. ස්වෙච්ජනාව (autism), සංකාව (anxiety), විෂාදය (depression) සහ කල්පවතින වේදනාව (chronical pain) වැනි රෝගී තත්ත්ව මගහැරීමට උපකාරිවීමේ විභවයක් ඇතැයිද වාර්තා වේ.

බොහෝ සතුන් තුල මාතෘ හා සහකරු බන්ධන හැසිරවිම්වලට පෙළඹවිමට මෙන්ම oxytocin මගින් දරු ප්‍රසුතියේදී හා මව් කිරිදීමේදී ඇතිකරන මෙම ශාරීරක ක්‍රියාවලිය, බාහිරව ක්‍රියාත්මක කිරීමට 2005 වසරේදී පර්යේෂණ කර තිබේ. එහිදී oxytocin නාසික ඉස්නාවක් (nasal spray) ලෙස ලබාදීමෙන් පර්යේෂණයට සහභාගී වුවන් තුල අන්‍යයන් කෙරෙහි කෙරහි ඇති විශ්වාෂය වැඩි කළ හැකි වී තිබේ. ඉන්පසුව ක්‍රියාත්මක කළ පර්යේෂණ වලදී oxytocin ඉරීම මගින් නිර්ලෝභීත්වය, සහයෝගිතාව හා සහකම්පනය වැඩිවී තිබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ :හර්ෂ ලංකේශ්වර (ප්‍රභාස්වර)

27 September, 2017

ඉතා ශක්තිමත් මකුළු නූල් (දැල සැදුණු නුල්) වර්ගයක්

spider-net

ග්‍රැෆීන් සහ මකුළුවා එකතුවීමෙන් පුදුමාකාර ලෙස ශක්තිමත් නූල් (පට/කෙඳි/තන්තු) විශේෂයක් විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ. මකුළුවාගේ බමන වියමන් සවිගැන්වීමට කාබන්නැනෝටියුබ් හෙවත් ග්‍රැෆීන් යොදාගත හැකි පහසු ක්‍රමයක් සැකසීමට පර්යේෂකයින් සමත්ව තිබේ. එහෙත් ඒ සඳහා ඔවුන් රොබෝ යාන්ත්‍රයනයක් හෝ මකුළුවාගේ ජාන සමඟ පර්යේෂණ පවත්වා නැත. ඒවෙනුවට සරල ලෙස නැනෝ ද්‍රව්‍ය සහිත ජලයට මකුළුවා නිරාවරණය කිරීම මගින් මෙම ප්‍රතිඵල ලබාගැනීම විශේෂයකි.

2D Material සඟරාව මෑතකදී පල කරන ලද සත්‍ය විද්‍යාත්මක පර්යේෂණයක් වූ මෙය සුපිරි වීරයෙකු නිර්මාණය කරන ප්‍රබන්ධ චිත්‍රපටියක් මෙනි. මිනිස්සු වසර දහස් ගණනක සිට සිල්ක් (පට/නූල්) නිපදවීමට පටපණුවා භාවිතා කරති. එහෙත් මෑතකදී නූල්/කෙඳි නිපදවීම සඳහා මකුළුවාගේ දැලේ කෙඳි භාවිතය පිළිබඳ පර්යේෂණ කර එහි ඉතා හොඳ යාන්ත්‍රික ලක්ෂණ හදුනාගෙන තිබෙන බව පර්යේෂණ කණ්ඩායමේ නායක හා ඉතාලියේ Toronto විශ්ව විද්‍යාලීය මහාචාර්ය Nicola Pugno පවසයි.

ආතන්‍ය (ඇදෙන සුළු) ශක්තිය, පරම ප්‍රාතතිය සහ විශේස ශක්‍යතතාව සැලකූ විට නවතම බහුඅවයවික තන්තු Kevlar වැනි වෙනත් කෘතිම තන්තුවලටද වඩා ඉදිරියෙන් සිටියි.

“කෘමීන්ගේ හකු හා දත් වැනි දෘඩ පටක මෙන්ම ප්‍රෝටීනවල දක්නට ලැබෙන ඛනිජ වර්ග පිළිබඳ අප දැනගෙන සිටියා. එහෙත් අපේ අධ්‍යයනයට යොමු වූයේ මකුළුවාගේ දැල්නූල් වල ගතිලක්ෂණ වැඩි කිරීම සදහා ඒවායේ ජෛව විද්‍යාත්මක ප්‍රෝටීන ව්‍යූහයට විවිධාකාර නැනෝ ද්‍රව්‍ය අන්තර්ගත කිරීමයි.” Nicola ගේ ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වේ.

මෙම ක්‍රමය මකුළු වර්ග තුනකට පරීක්ෂා කරන ලදුව සැමවිටකම සුපිරි ශක්තිමත් හා ප්‍රාතතියට ඉතා තදින් ප්‍රතිවිරෝධී සේද (නුල්) නිපදවීමට හැකි වී තිබේ. එය සිදුවූ ආකාරය පැහැදිලි නැතත් ඒ සඳහා මකුළුවාගේ විශේෂ වෙනස්කමක් බලපා නැත.

වානේ මෙන් 200 ගුණයකින් ග්‍රැෆීන් ශක්තිමත්වන අතර මිනිස් කෙස් ගසකින් මිලියනයකින් පංගුවක් සිහින් වේ. මකුළු දැල්ද සාමාන්‍යයෙන් ශක්තිමත්ය. ඒ නිසා මෙම උපාංග දෙක එකතුවෙන් සෑදුණු තන්තු (කෙඳි) ඉතා දැඩිය. එම තන්තුවක් මිනිසකුට තොටිල්ලක් ලෙසද භාවිතා කළ හැකි වේ.

පර්යේෂණ ප්‍රතිඵල මූලික අවධියේ පසු වුවද වඩාත් ශක්තිමත් එහෙත් සැහැල්ලු ද්‍රව්‍යයක් පහසුවෙන් සකස් කර ගැනීමේ මඟ මෙමගින් විවර වී ඇති අතර වවිද්‍යාත්මක ව්‍යුහ (bionicomposites) අමුද්‍රව්‍ය ස්වාභාවික ක්‍රියාවලි මගින් සවිගැන්වීමට හැකි බව සනාථ වුයේ යැයි නව්‍ය නියලුම පිළිබඳ මෙම වාර්තාවේ සඳහන් කර තිබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ :හර්ෂ ලංකේශ්වර (ප්‍රභාස්වර)

24 September, 2017

පොකට්ටුවේත් දාගෙන යා හැකි කුඩාම පරිගණකය

TITLE

තාක්ෂණික දියුණුවේ මහිමයක් ලෙස ඔබ නිතර අත්විඳින දෙයක් වන්නේ, ජවය, බලය, ක්‍රියාකාරිත්වය, වැඩිවන තරමට නවෝත්පාදන ප්‍රමාණයෙන් කුඩා වීමයි. ස්මාර්ට් ෆෝන්වලට පමණක් එය සීමා නොවී, OCKEL SIRIUS B WINDOWS 10 MINI COMPUTER, එයට ගත හැකි හොඳම උදාහරණයයි.

2GB RAM සහ Built in wifl සහ Bluetooth වලින් සන්නද්ධ SIRIUS B, ඔබට Computer එකෙන් කළ හැකි සියලුම ක්‍රියාකාරකම් එලෙසම කිරීමේ හැකියාව සලසා තිබෙනවා. HOMI PORZT, MICRO SD Card slot, USB 2.0 Ports සහ Au in/Aux out මෙම Computer එක ඕනෑම උපකරණයක් සමඟ සම්බන්ධ කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා.

HDMI display නිසා Power outlet එකකට Connect කළ විට, ඕනෑම තිරයක Display එක නැරඹීමේ හැකියාවද ඔබට ලැබෙනවා.

Windows 10 බලැති මෙයට desktop Computer එකකට කළ හැකි සියලුම දේ කළ හැකි අතර, එහි මිල වන්නේ ඩොලර් 190යි. (මව්බිම)

19 September, 2017

ඇවීදීමේ අපහසුතා ජය ගැනීමට රෝබෝ ඇඳුම්

robot-suit-helps-walk

කෘත්‍යයාත්මක සහ ව්‍යවාහරික ජීව යන්ත්‍ර අංශය, පුනරුත්ථාපන වෛද්‍ය දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය සායන මධ්‍යස්ථාන සඳහා වු ජාතික ආයතනය වැනි එක්සත් ජනපදයේ පිහිටි විවිධ වෛද්‍ය ආයතන විසින් බාහිර සැකිලි පාද මඟින් රෝගී දරුවන් නිවැරදිව ඇවිදීමට යොමු කරන බව වාර්තා වේ.

ළමා කාලයේදී දැකිය හැකි භෞතික ආබාධයක් ලෙස Cerebral Palsy නම් ( මොළයේ අඩුපාඩුවක් නිසා ඇවිදීමට අපහසු වීම) රෝගය සැලකිය හැකිය. මෙවැනි Cerebral Palsy (මස්තිෂ්ක පක්ෂගාත) රෝගී දරුවන් වැඩිවිය පැමිණි විටද ඇවිදීමට හැකිවීමේ ප්‍රවණතාවය 50% ක පමණ ප්‍රතිශතයකි. මෙම තත්වය වෙනස් කරමින් රෝගී දරුවන් නිවැරදිව ඇවිදීමට යොමු කිරීමට නව රොබෝ පාද සැකිලි සමත් වෙනු ඇතැයිද එහි සදහන් වේ.

රෝගී දරුවන්ට නිවැරදිව ඇවිදීමට පහසුකම් සලසන වත්මන් සමහර සායන වල ඇති රොබෝ උපකරණ බොහෝ විශාලය. ඒවා බොහෝ විට සිවිලිමට සවි කළ කප්පි පද්ධතියක ආධාරයෙන් ක්‍රියාත්මක වන නිසා නිවසේදී භාවිතා කිරීම අපහසුය.

එහෙත් Maryland හි ජාතික සෞඛ්‍ය ආයතනය සංවර්ධනය කර ඇති නවතම උපකරණය සම්පූර්ණයෙන්ම එහා මෙහා ගෙන යා හැකි එකකි. රොබෝ බාහිර සැකිලිපාද හි ඇති සංවේදක දරුවාගේ සෑම පියවරක්ම අධ්‍යයනය කර පිටුපස ඇති පරිගණකය මගින් ඒවා නිවැරිදිව මෙහෙයවමින් ක්‍රියාත්මක වීමට කටයුතු කරයි. එමඟින් අවශ්‍ය නිවැරදි අවස්ථාවෙිදී ක්‍රියාත්මක වී නිවැරදි ඉරියව්වක් සහ අඩු පීඩනයක් සහිත ඇවිදීමකට අවශ්‍ය පේශීමය අභිවෘද්ධියක් ලබා දේ.

චලන දුෂ්කරතා වලට මූලික වන Cerebral Palsy රෝගය හේතුවෙන් වර්ධනය වෙමින් පවතින මොළයේ අඩු පාඩු හෝ එයට සිදුවන හානි නිසා ක්‍රමවත් ඇවිදීමට බාධා ඇතිවේ. එවැනි රෝගි දරුවන් බොහෝ විට ඇවිදීමට සමත් වුවද මෙම රෝගය මගින් වකුටු වූ ස්වරෑපයේ ඇවිදීමක් හෝ දණහිස් ප්‍රමාණය ඉක්මවා නැවීමක් සහිත ඇවිදීමක් ඇති කරයි. එනිසා නිවැරදි ඇවිදීමකට වැඩි කායබලයක් සහ ශක්තියක් අවශ්‍ය වේ. දරුවන් වැඩීම නිසා සිදුවන බර වැඩි වීම දරා ගැනීමට ඔවුන්ගේ මාංශ පේශී වලට නොහැකි වීමෙන් වැඩිහිටි වියේදී ඇවිදීම සම්පූර්ණයෙන් අපහසු විය හැකිය. නව බාහිර රොබෝ සැකිලි පාද මෙම දුරුවලතාවය මග හැරීමට උපකාරී වේ.



අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර (ප්‍රභාස්වර)

17 September, 2017

කෙල්ලෙක් වගේ පියයුරු විශාල වෙලාද?

gynecomastia

පුන් පියයුරු එහෙමත් නැතිනම් පිරුණු පියයුරු කාන්තාවන්ගේ ද්විතියික ලිංගික ලක්ෂණයක්. නමුත් පිරිමින්ගේ එහෙම නැහැනේ. ඒත් කලාතුරකින් සමහර පිරිමින්ගේ පියයුරු විශාල වෙනවා. කාන්තාවකගේ වගේම විශාල වන අවස්ථා දකින්නත් පුළුවනි. ඉතින් මේක මහා වදයක්නේ. මේ නිසා බොහෝදෙනා මනසින් කඩා වැටෙනවා. සමාජයට එන්න ලජ්ජයි. ප්‍රසිද්ධියේ කමිසය ගලවන්නේවත් නෑ. මෙහෙම වෙන්නේ ඇයි?

පිරිමි අයගේ පියයුරු මේ වගේ කලාතුරකින් විශාල වීමට ලක්වීම හඳුන්වන්නේ Gynecomastia ගයිනෙකොමැස්ටියා හැටියටයි. ඒ සඳහා බලපාන කරුණු කාරණා කිහිපයක්ම හඳුනාගත හැකියි.

එය උපතේදීම හටගන්නා තත්ත්වයක් වන්නට පුළුවනි. තවත් අයගේ යොවුන් වයසේදී හටගන්නා හෝමෝන වෙනස්කම් නිසා සිදුවන්න පුළුවනි. ස්ත්‍රී හෝර්මෝනය වැඩියෙන් ශ්‍රාවයවීම මෙයට හේතුව වෙන අවස්ථා තියෙනවා. සමහර ඖෂධවර්ග භාවිතා කරනවිටත් මේ තත්ත්වය ඇතිවෙනවා. ඒ වගේම වඩාත් වැදගත්ම කාරණාව තමා මත්පැන්. දිගුකලක් අධිකව මත්පැන් ගන්නා විට ශරීරයේ හෝර්මෝන සමතුලිත බව කඩා වැටෙනවා. වෘෂණ කෝෂ හරියට වැඩ නොකර යනවා. ටෙස්ටොස්ටෙරොන් කියන හෝමෝනය නිපදවීම අඩුවෙනවා. මේ නිසා කාන්තා ලක්ෂණ ඉහළ යනවා. එහි ප්‍රධානම ලක්ෂණය තමා පියයුරු විශාල වීම.

පියයුරු විශාල වීම ඖෂධයක් නිසා සිදුවන්නේ නම් ඒ ඖෂධය නවත්වා දැමූ පසු සාමාන්‍ය තත්ත්වයට කුඩා වෙන්න ගන්නවා. මත්පැන් පානය කරන අයට ඇති හොඳම බෙහෙත පානය නතර කර දැමීමයි. යොවුන් වියේදී පියයුරු සාමාන්‍යයෙන් සුළු වශයෙන් විශාල වුවත් ඒක ටික කලකින්ම නැතිවෙලා යනවා. එතැන්දී මේ ස්වභාවික තත්ත්වය ගැන පහදලා දීලා හිත හැදීමයි කළයුතු.

පියයුරු විශාලවීම දිගුකලක් පවතින විට ඒ සඳහා ඇත්තේ එකම විසඳුමයි. ඒ තමා ප්ලාස්ටික් ශල්‍යකර්මය. මුලින්ම පවුලේ වෛද්‍යවරයා වෙත යොමුවී පරීක්ෂා කර ගත යුතුයි. ඊළඟට ඔහුගේ උපදෙස් අනුව සුදුසුකම් ලත් ශල්‍ය වෛද්‍යවරයකු හමුවිය යුතුයි. දැන් රජයේ රෝහල් හැමකෙකම වාගේ ප්ලාස්ටික් ශල්‍යකර්ම සිදුකරන නිසා මේ ගැන තැවි තැවී සිටින්න ඕනෑ නැහැ. (දේශය)

නිවෙසේ සෞඛ්‍යවත් වටපිටාව මනින නෙටැට්මෝ (Netatmo) (ගෙදර සෞඛ්‍ය උපදේශක)

netatmo

නිවෙස යනු එහි වෙසෙන්නන්ගේ සෞඛ්‍යය හා සුව පහසුව වර්ධනය විය යුතු ක්ෂේම භූමියකි. "නෙටැට්මෝ" යනු නිවෙසක අභ්‍යන්තර ආර්ද්‍රතාව, වායුවේ තත්ත්වය, ශබ්ද තීව්‍රතාව හා උෂ්ණත්වය යන ප්‍රධාන කරුණු හතර නිරන්තර නිරීක්ෂණයට භාජන කරමින් සිය සෞඛ්‍ය තත්ත්වය හොඳින් පවත්වා ගැනීමට නිවැසියනට උපකාරී වන උපකරණයකි.

නිවැසියන්ගේ සෞඛ්‍ය කෙරෙහි අහිතකර වන යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වන ලකුණු පෙනේ නම් මෙම උපකරණය ඒ බව නිවැසියන්ට කල් තියා දැන්වීමෙන් පමණක් නොනැවතී ඒ සම්බන්ධයෙන් ඔවුන් ගත යුතු පියවර පිළිබඳ උපදෙස්ද සපයයි. පවුලේ කෙනකු ඇදුම රෝගයෙන් පෙළෙන්නේ නම් ඔහු හෝ ඇය නිවෙස තුළ ආර්ද්‍රතාව අඩු වැඩි වීම කෙරෙහි විශේෂයෙන්ම සංවේදී විය හැකිය. ආර්ද්‍රතාව අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වුවහොත් ඒ පිළිබඳව අනතුරු අඟවන නෙටැට්මෝ වායු සමීකරණ යන්ත්‍රය හෝ ආර්ද්‍රතාව ඉවත් කරන යන්ත්‍රය ක්‍රියාත්මක කරන ලෙස උපදෙස්ද දෙයි.

නෙටැට්මෝ - ගෙදර සෞඛ්‍ය උපදේශක දුරස්ථයකින් ක්‍රියාත්මක කළ හැකි ඒ පිළිබඳ විශේෂ උපදෙස් අවශ්‍ය නොවන සරල උපකරණයකි. (මව්බිම)

13 September, 2017

කාඩ්බෝඩ් සහ පිදුරුවලින් හදන්නට යන ටයර්

cardboard-stalls-tires

විෂන් යනුවෙන් හැඳින්වෙන නව මිචෙලින් ටයරය දෙස බැලූ බැල්මට පෙනෙන්නේ අනාගතයේ ලොව භාවිත වන රෝදයක චිත්‍රයක් දුටු විට දැනෙන පුදුමාකර හැඟීමයි.

මෙම නිල් පැහැති මකුළු දැලක් සේ වූ ව්‍යුහය ඔබට දැක හුරු පුරුදු කළු පැහැති ටයරයට හාත්පසින්ම වෙනස්. එනමුත් එය හුරු පුරුදු කළු ටයරය මෙන්ම ශක්තිමත්.

ඒ වගේම එයට ඉතාමත් දියුණු පරිසර හිතකාමී අමුද්‍රව්‍ය ඇතුළත් වෙනවා. මෙම ටයරය මිචෙලින් පවසන පරිදි තිරසර චල්‍යතාව සඳහා ඔවුන්ගේ සැලසුම්වල පූර්ව දර්ශනයක්.

පසුගිය සතියේ මෙම විෂන් නම් ටයරය ඇමෙරිකාවේදී එළිදැක්කා. අනාගතයේ පොදු වෙළෙඳපොළට ගලා එන්නට සැලසුම් කරන මෙම විෂන් ටයරයේ වැදගත්කමක් වන්නේ එය රෝදයත්, හුළං අනවශ්‍ය ටයරයත් යන දෙකම එකට නිමවා තිබීමයි.

එම නිසා මෙම ටයර්වලට හුළං ගැසීමක් හෝ වාහන රිම් අවශ්‍ය වන්නේ නැහැ. මෙම ටයරයේ යාන්ත්‍රික ව්‍යුහය මුළු රථයේම බර දරාගෙන සිටීමට තරම් ශක්තිමත් මෙන්ම, පීඩනය සහ ගැටුම්වලට ඔරොත්තු දෙන නම්‍යතාවකින්ද යුක්ත වෙනවා. විෂන් ටයර් වාහනයට සවි වන්නේ හබ් කනෙක්ෂන් එකකින්.

මෙම ටයර් කාබනික, ප්‍රතිචක්‍රීකරණ අමුද්‍රව්‍යවලින් පෙරා ගත් රබර්වලින් නිමවා තිබෙනවා. මෙහි රේසින් නිමවා තිබෙන්නේ පෙට්‍රෝලියම් වෙනුවට ‍ෙදාඩම් ලෙලි භාවිතයෙන්, උක්පැණි නැතහොත් සර්කරා ද මෙහි කෘත්‍රිම අමුද්‍රව්‍යයකට විකල්පයක් ලෙස භාවිත කරනවා. පිදුරු, කඩදාසි සහ ලෝහ මෙය නිමැවීමට භාවිත කරන අනෙකුත් ද්‍රව්‍යයයි.

මෙම ටයර් ජෛවීයව ඛාදනය වන අමුද්‍රව්‍යවලින් තැනී ඇති බැවින්, විෂන් ටයරය පහසුවෙන් නැවත තේ‍රඩ් කරන්නත් පුළුවන්. ඒ වගේම වාහනයේ ඇති සංවේදක හරහා ටයරයේ භාවිතය පිළිබඳ සංජනනාත්මක තොරතුරු ද ලබා ගැනීමට පුළුවන්. (මව්බිම)

10 September, 2017

සුද යැමේ රෝගය සුවකිරීමට ආයුර්වේදය සතුව ප්‍රතිකාර තිබෙනවා

creamy-white-discharge

* කාන්තාවන්ට මෙතෙක්‌ වැළඳෙන ශ්වේත ප්‍රදරය හෙවත් සුද යැමේ රෝගය ඇතිවීමට ප්‍රධාන හේතු ලෙස දැක්‌විය හැක්‌කේ මොනවාද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -

මෙම රෝගය වැළඳීමේ ප්‍රධානතම හේතුවක්‌ ලෙස දැක්‌විය හැක්‌කේ සිරුරේ ඇතිවන අධික උෂ්ණාධික බවයි. විශේෂයෙන්ම උෂ්ණාධික ආහාර ගැනීම තුළින් සිරුරේ උෂ්ණාධික බව ඉහළ යැමෙන් මෙම සුද යැමේ රෝගී තත්ත්වය ඇතිවීමට හේතුවක්‌ විය හැකියි. විශේෂයෙන්ම කාන්තාවන් විසින් සිදුකරන නොයෙක්‌ වැරදි ක්‍රියාකාරකම් හා වැරදි සෞඛ්‍ය පුරුදු මෙම රෝගය ඇතිවීමට ප්‍රධාන ලෙසම බලපෑම් කරනු ලබනවා. මෙන්න මේ නිසා මෙම රෝගය වැළඳෙන රෝගයකට වඩා වැළඳ ගන්නා රෝගයක්‌ යෑයි කීවොත් නිවැරැදියි.

තමාගේ සනීපාරක්‍ෂාව නිවැරැදි ලෙස පවත්වා නොගැනීම, හොඳ සෞඛ්‍ය පුරුදු නොමැතිවීම, කෘමි ආසාදන (පණු රෝග) ලිංගික චර්යාවන්, වැඩිපුර සිටගෙන සිටීම හෝ වැඩිපුර හිඳගෙන සිටීමද, බර ඉසිලීම, පොදු වැසිකිළි හෝ අපිරිසිදු වැසිකිළි භාවිතය, බහු පුරුෂ සේවනය කියාද මෙම සුද යැමේ රෝගය ඇති වීමේ හේතු ලෙස දැක්‌විය හැකියි.

* මෙම රෝගය සමගම වෙනත් රෝගයන්ද ඇතිවිය හැකිද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -

ඇත්තටම මේ සුද යැමේ රෝගය සමඟ ඒ පසුපසට එන තවත් රෝග රැසක්‌ද තිබෙනවා. ඒ අතරින් ආහාර අරුචිය, මළ බද්ධය, විටින් විට අක්‍රමවත් ලෙස මළ පිටවීම සිදුවිය හැකියි. මීට අමතර ශරීරය ක්‌ෂය වීම, කැසීම් ඇතිවීම, පලු දැමීම හා විවිධ සමේ රෝග ඇතිවීම, පීනස තත්ත්වය වර්ධනය වීම, අර්ශස්‌ රෝගය ඇතිවීම, හිස කැක්‌කුම, ශරීරයේ අප්‍රාණිකත්වය, අධික කේන්ති යැමද ඇතිවිය හැකියි.

* මෙම රෝගය වැළඳුණු කාන්තාවන්ට ඇතිවන අපහසුතා ගැන සඳහන් කළොත්.

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා

මෙම රෝගය වැළඳුණු කාන්තාවන්ට විවිධාකාර ගැටලු තත්ත්වයන්ට මුහුණදීමට සිදුවෙනවා.

විශේෂයෙන්ම යෝනි මාර්ගය අවට නිතර කැසීමේ තත්ත්වයක්‌ ඇතිවීම, ඉකිලි ආශ්‍රිත ප්‍රදේශය දක්‌වාම එය පැතිරීම, නිතර නිතර මුත්‍රා ආසාදනවලට ගොදුරු වීම බහුලවම දැකිය හැකි අපහසුතාවනුයි.

ඊට අමතරව පිරිස්‌ අතර ගැවසීමේදී පොදු මගී ප්‍රවාහන සේවාවලදී, කාර්යාලයේදී, මෙවැනි රෝගී කාන්තාවන් දැඩි අපහසුතාවලට ලක්‌විය හැකියි.

* මෙම රෝගී තත්ත්වය වැළඳුනු කාන්තාවන්ගේ රෝග ලක්‍ෂණ මොනවාද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -

සෑම කාන්තාවකටම සරු කාලයේදී ඩිම්බ පිටකිරීම සිදුකරන අතර එවැනි අවස්‌ථාවල පිටකරන ස්‍රාවයේ ගන්ධයක්‌ හෝ වර්ණයක්‌ නොමැත. නමුත් මෙම රෝගී තත්ත්වය වැළඳුණු විට ඇතැම් විට කිරි පැහැයටද තරමක උකු ස්‍රාවයක්‌ ලෙසද පිටකිරීම සිදුකරනවා. තවද සුදු පැහැති ලෙස යෝනි මාර්ගය අවට පැතිරී පැවතීමද සිදුවිය හැකියි. මීට අමතරව රතු පැහැයට හා ලා රතු පැහැයටද, කහ මෙන්ම තද කහ පැහැයෙන්ද මෙම ස්‍රාවයන් පිටවිය හැකියි. එවිට එම කාන්තාවන්ට මෙම රෝගී තත්ත්වය වැළඳී ඇති බව තීරණය කළ හැකියි.

* ශ්වේත ප්‍රදර රෝගය සුවකිරීම සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර තිබෙනවාද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -

ශ්වේත ප්‍රදරය රෝගය සඳහා පමණක්‌ නොව ඕනෑම රෝගයක්‌ සඳහා ආයුර්වේදය සතුව ඖෂධ තිබෙනවා. විශේෂයෙන්ම කිව යුතුයි ආයුර්වේද ප්‍රතිකාර තිබෙන්නේ රෝග සුවපත් කිරීම සඳහා නොව එම රෝග නිට්‌ටාවටම සුව කිරීම සඳහායි. ඒ අනුව ශ්වේත ප්‍රදරය රෝගයටද ආයුර්වේදය සතුව ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. ඒ සඳහා රෝගීන් නිසි දැනුමක්‌ සහිත වෛද්‍යවරයා තෝරා ගැනීම කළ යුතු වෙනවා. මෙම රෝගයට ප්‍රතිකාර කිරීමේදී ඒ හා සම්බන්ධ අනිකුත් රෝගාබාධයන්ද වැළඳී ඇත්දැයි නිවැරැදි පරීක්‍ෂාවකින් පසු රෝගීන්ට නිවැරැදි ප්‍රතිකාර ලබාදීමෙන් මෙය සුවකිරීමේ හැකියාව ආයුර්වේදයට තිබෙනවා.

* විශේෂයෙන්ම කාර්යබහුල කාන්තාවන්ට ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීමේදී ඒවා සොයා ගැනීමේ අපහසුව තිබෙනවා නේද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -

වර්තමානයේ ආයුර්වේද ඖෂධ වෙනදා මෙන් සොයා යැම අවශ්‍ය නොවේ. මන්ද දැන් සියලුම ඖෂධ සකස්‌ කළ ඒවා ලෙස තිබෙන නිසා ඕනෑම කාර්යබහුල අයෙකුට මෙම ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුව දැන් තිබෙනවා. එම නිසා ඕනෑම රෝගියකුට දැන් කිසිදු අපහසුවකින් තොරව ආයුර්වේද ප්‍රතිකාර කරා යොමු වීමෙන් රෝග සුවකර ගැනීමේ හැකියාව පවතිනවා.

dr-ranpatha-ruwan-rathnayake

(දිවයින)

05 September, 2017

ඔක්සිජන් නොමැතිව මාස ගණනක් ජිවත්වන ගෝල්ඩ්ෆිෂ්

goldfish

ගෝල්ඩ්ෆිෂ් (රන්මසු), කාෆ් (කාපියා) සහ එම පරපුරේ මත්ස්‍යයින්ට මාස 5 ක දිගු කාලයක් ඔක්සිජන් ආශ්වාස නොකර ජීවත්විය හැකිය. ඔක්සිජන් ප්‍රමාණය ඉතා පහල මට්ටමක තිබෙන විට කාබෝහයිඩ්රේට් මධ්‍යසාර බවට පත්කළ හැකි එන්සයිම කාණ්ඩයක් මෙම මත්ස්‍යයින්ට පරිනාමනයෙන් ලැබී තිබේ. මෙලෙස මධ්‍යසාර බවට කාබෝහයිඩ්රේට් පරිවර්තනය වූ පසු ඒවා උන්ගේ ශරීරයෙන් ඉවත්වේ.

මිනිසා ඇතුළු බොහෝ සතුන්ට ඔක්සිජන් හිග වීම විනාඩි කිහිපයකදී මරණය සිදුවීමට හේතු වේ. ඔක්සිජන් නොමැතිව කාබෝහයිඩ්රේට් පරිවෘත්තිය කිරීමට මිනිසුන් සමත් වුවද එම ක්‍රියාව නිසා විෂ සහිත ලැක්ටික් අම්ලය නිපදවීම සිදු වේ. ඒවා ඉක්මණින් ශරීරය තුළ තැන්පත් වේ. මෙම ක්‍රියාවලියට මත්ස්‍යයින්ට මුහුණ දීමට සිදුවුයේ නම් ඔවුන් විශාල අනතුරකට භාජනය වනු ඇත. කාෆ් මත්ස්‍යය වර්ගය බොහෝ විට පොකුණු සහ විල් වල ජිවත්වන අතර උතුරු යුරෝපයේ හා ආසියාවේ පිහිටි පොකුණු හා වී ශිත සෘතුවේදී ඝනීභවනය වීම නිසා අයිස් දියවෙන තෙක් මාස කිහිපයක් ඔක්සිජන් නොමැතිව ජීවත්වීමට මත්ස්‍යයින්ට සිදු වේ.

මෙම තත්වය සදහා කාබෝහ්යිද්රේට් නිර්වායුමය ලෙස පරිවෘත්තිය ක්‍රියාවකට පරිවර්තනය වීමට එනම් විශ් ලැක්ටික් අම්ලය නොව ශරීරයෙන් වඩාත් පහසුවෙන් පිට කළ හැකි මධ්‍යසාර නිපදවීම මගින් මත්ස්‍යයින් මාස 5 ක කාලයක් ආරක්ෂාව සලසා ගන්නා අතර ඒ කාලය තුලදී උන්ගේ ශරීරය තුළ රුධිරය මිලිග්‍රෑම් 100 ක මිලිග්‍රැම් 55ක මධ්‍යසාර පවතියි.

පාරසරික තත්ව අනුව මෙවැනි ගැඹුරු පරිවර්තනයකට පරිණාමනය වසර මිලියන 8 කට පෙර සිදුවී තිබේ. එහෙත් එවැනි පරිණාමනයක් සතුන් අතර දක්නට ලැබෙන දුර්ලභ ලක්ෂණයක් බව මෙම පර්යේෂණ අධ්‍යනයේ සාමාජිකයකු වූ එංගලන්තයේ Liverpool විශ්ව විද්‍යාලයේ Micheal Berenbrink පවසයි.



අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර (ප්‍රභාස්වර)

02 September, 2017

ජංගම ප්‍රොජෙක්ටරයන් අතරට වැඩි බැටරි බලයක් සහිත තරගකරුවෙක්

nebula-mars-portable-cinema

ප්‍රොජෙක්ටරයක් නැති නම් ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් බොහෝ විට ඉගැන්වීමේ කටයුතුවලදී මෙන්ම කාර්යාල කටයුතු වලදීද ස්ලයිඩ් ඉදිරිපත් කිරීම් හෝ වීඩියෝ ක්ලිප් ඉදිරිපත් කිරීම් සඳහා බහුලව යොදාගැනේ. ඒ සඳහා භාවිත කළ හැකි වඩාත් හුරුබුහුටි, ජංගම ප්‍රොජෙක්ටරයක්ද මේ වනවිට නිර්මාණය වී තිබේ.

කෙසේ නමුත් සිනමා දසුන් නැරඹීම වැනි කර්තව්‍යයක් සඳහා එවැනි සාමාන්‍ය ගුණාත්මක භාවයක් ලබාදෙන ප්‍රොජෙක්ටරයක් සුදුසු නොවේ. ඒ සඳහා ගැලපෙන්නේ තියුණු, සුපැහැදිලි දසුන් සහ වර්ණයන් ලබාදෙන, ඉහළ ගුණාත්මක මට්ටමක අන්තර්ගතයන් ප්‍රතිදානය කරනා ප්‍රොජෙක්ටරයක් වේ.

අතීතයේ මේ සඳහා තිබූ ප්‍රොජෙක්ටර් යන්ත්‍රයන් එහා මෙහා ගෙනයෑමට අසීරු තරම් විශාල වූ නමුත්, වර්තමානය වනවිට සිනමා අත්දැකීම් ලබාදෙන ප්‍රොජෙක්ටරයන්ද වඩ වඩාත් සංයුක්ත ප්‍රමාණයෙන් සහ හුරුබුහුටි නිමාවෙන් යුතුව නිෂ්පාදනය වනු දක්නට ලැබේ.

හඳුන්වාදෙන Nebula Mars Portable Cinema ජංගම සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍රය මෙම ප්‍රමාණයෙන් නිෂ්පාදනය වූ ප්‍රථම ජංගම ප්‍රොජෙක්ටරය නොවේ. කෙසේ නමුත් ඔබට කඳවුරු භූමියක, එළිමහනක නැතිනම් නිවස තුළ පවා භාවිත කළ හැකි මෙම ප්‍රොජෙක්ටරය කරුණු කීපයක් සමගින් සුවිශේෂී වනු ඇත.

වඩාත් සුපැහැදිලි දසුන් හා තියුණු වර්ණයන් සමගින් වඩාත් ඉහළ මට්ටමක රූප ගුණාත්මක භාවයක් ලබාදීම, වඩාත් පැහැදිලි සහ ඉහළ හඬකින් යුතු ශ්‍රව්‍ය ප්‍රතිදානය මෙන්ම සාපේක්ෂව වැඩි බැටරි කාලය මෙයින් කීපයක් ලෙසින් දැක්විය හැක.

මෙම Nebula Mars Portable Cinema ප්‍රොජෙක්ටරයට නිවෙස් තුළ පරිහරණයට නිර්මාණය කර ඇති ඉහළ මට්ටමේ ප්‍රොජෙක්ටර් යන්ත්‍රයන්ට මෙන් 1080p දසුන් ප්‍රක්ෂේපණය කළ නොහැකි වුවත්, එය වෙනත් ජංගම ප්‍රොජෙක්ටරයන්ට වඩා හොඳ ගුණාත්මක තත්ත්වයකින් යුතු පික්සල් 1280 x 800 විභේදනයක දසුන් ලබාදෙන්නට සමත් වනු ඇත.

එය බොහෝ විට 720p ගුණාත්මක තත්ත්වයේ වුවත්, ඔබේ රසවින්දනයට එය බාධාවක් නොවනු ඇත. වඩාත්ම වැදගත් කරුණ වන්නේ මෙම ප්‍රොජෙක්ටරයේ ප්‍රක්ෂේපණයන් ලුමන් 3,000ක බලයකින් යුතු බල්බයකින් සිදුවන අතර, ඒ නිසා මෙයින් ප්‍රක්ෂේපණය කෙරෙනා දසුන් ඉතාමත් ඉහළ දීප්තියකින් සහ වැඩි කළ හැකි තීව්‍ර බවකින් (5000:1 contrast ratio) යුක්ත වීමයි.

මේ දැක්වූයේ දිවා කාලයේදී ඔබට දකින්නට ලැබෙනා ප්‍රක්ෂේපණය වන අතර, ඒ නයින් රාත්‍රී කාලයේ මෙම ප්‍රොජෙක්ටරයෙන් ලබාගත හැකි දීප්තිය ඔබට වටහාගත හැක.

මෙම ප්‍රොජෙක්ටරයෙන් ලැබෙනා දසුන් වල ගුණාත්මක භාවය හරි හැටි විස්තර කරන්නේ නම්, එයින් 800p තත්ත්වයේ වීඩියෝ දසුන්, අඟල් 150ක් දක්වා විශාලත්වයක් ප්‍රක්ෂේපණය කරනු ඇත. මෙය සැබවින්ම ඔබට සැබෑ සිනමා ශාලාවක දැක්වෙන අන්දමේ අත්දැකීමක් ලබාදෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඔබ එළිමහනක බිත්තියක් මතට හෝ තිරයක් මතට Nebula Mars Portable Cinema ප්‍රොජෙක්ටරයෙන් දසුන් ප්‍රක්ෂේපණය කොට සිනමා අත්දැකීමක් ලබාගැනීමට සිතන්නේ නම්, ඔබට ඉහළ ගුණාත්මක මට්ටමක ශ්‍රව්‍ය ප්‍රතිදානයක්ද ලැබිය යුතු බව අනිවාර්යය කරුණකි.

මෙම ප්‍රොජෙක්ටරයේ වොට් 10ක JBL ස්පීකරයන් දෙකක පද්ධතියක් තිබෙන අතර, එය ඔබට හෝම් තියෙටර් සිස්ටම් එකක අත්දැකීමක් ලබා නොදුන්නත්, ඔබ තෘප්තිමත් වෙන ආකාරයේ ශ්‍රව්‍ය ගුණාත්මක භාවයක් ලබාදෙනු ඇති බවට සහතික විය හැක.

සැබවින්ම මෙවැනි ජංගම ප්‍රොජෙක්ටරයක ඔබ මෙතෙක් දැක නොමැති ආකාරයේ ශ්‍රව්‍ය ගුණාත්මක භාවයක් මෙයින් ඔබට ලබාදෙනු ඇත.

මෙම Nebula Mars Portable Cinema ප්‍රොජෙක්ටර් යන්ත්‍රයේ බැටරිය සම්බන්ධයෙන් විශේෂයෙන්ම සඳහන් කළ යුතුවේ. මෙය 19,500mAh ධාරිතාවයෙන් යුතු බැටරියක් වන අතර, එක් වරක් ආරෝපණය කිරීමෙන් පසුව එක දිගට පැය තුනක කාලයක් පුරා සිනමා ප්‍රක්ෂේපණයක් සහ ශ්‍රව්‍ය ප්‍රතිදානයක් ලබාදීමට එය සමත් වනු ඇත.

මෙය සැබවින්ම ජංගම ප්‍රොජෙක්ටර් උපාංගයන් සම්බන්ධයෙන් සැලකීමේදී ජයග්‍රහණයක් ලෙසින් හඳුන්වා දිය හැක. එසේම මෙය ඔබට පහසුවෙන්ම ඕනෑම බිත්තියක ඇති බල සැපයුම් සොකට්ටුවකට සවි කොට ආරෝපණය කිරීමටද හැකියාව ඇත.

අඟල් 7 x 4.8 x 5.4 ප්‍රමාණයේ මානයන්ගෙන් යුක්ත සංයුක්ත උපාංගයක් වන මෙම ප්‍රොජෙක්ටර් යන්ත්‍රය පහසුවෙන්ම ඔබේ ගමන් බෑගයක ඇසිරීමට හැකියාව ඇත. එසේම මෙහි USB 3.0 සහ HDMI පෝට් දෙකක් තිබෙන අතර, ඒ නිසා පහසුවෙන්ම ඔබේ ලැප්ටොප් උපාංගයට හෝ වෙනත් ඕනෑම වීඩියෝ උපාංගයකට ඈඳීමටද හැකියාව ඇත. (පැතුම් පුංචිහේවා-අද)

01 September, 2017

ලොකු ලොක්කන් බ්ම වට්ටන පාර්කින්සන්

TITLE
ඇඩොල්ෆ් හිට්ලර්, මොහොමඩ් අලි, සැල්වදෝර් ඩාලි වගේ ලොකු ලොක්කන්ටත් හැදුණු පාර්කින්සන් රෝගය වෛද්‍ය ජේම්ස් පාර්කින්සන් විසින් හඳුනාගන්නේ 1817දීය. ශ්‍රී ලංකාවේ ලක්ෂයකට 187ක් පමණ පර්කිසන් රෝගය වාර්තාවන බවටයි වෛද්‍යමතය. දැන් මේ පිළිබඳ දැනුවත් භාවය හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර සොයා එන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති නිසා රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් තිබෙනවා.

ඇඟපත වෙව්ලීම, චලනයන්ගේ වේගය අඩුවීම, මාංශපේෂීන්ගේ තද බව සමස්ත ක්‍රියාශිලිත්වය අවම වීම මෙහිදී දක්නට පුළුවන්. කොටින්ම මේ අයට අනෙක් කෙනෙකුගේ උපකාරයක් නොමැතිව ඔවුන්ගේ එදිනෙදා කටයුතු කරගන්නට බෑ. නැවතත් ළදරු වියට ගියා වගේම තමා. ඉතින් ඔබටත් පාර්කින්සන් රෝගය වැළදීමේ අවදානම තිබෙනවද? නැතිනම් ඔබ දැනටමත් පාර්කින්සන් ගොදුරක් බවට පත්වෙමින් සිටිනවාද යන්න දැනගන්නට ඔබත් කැමති ඇති. බලන්න මේ පහත කියැවෙන අමුතු ලක්ෂණ ඔබටත් පහළ වෙලාද කියලා. මෙයින් එකක් හරි දක්නට ලැබෙනවා කියන්නේ ඔබ ඉන්නේ අවදානමට ලක්වෙලා කියන එකයි. මේවගේ ලක්ෂණ දෙක තුනක් ඇතිනම් වහාම ඔබ වෛද්‍යවරයකු හමුවී උපදෙස් පැතිය යුතුමයි.

TITLE

වෙව්ලීම හෝ ගැස්ම

ඔබේ ඇඟිල්ලක්, විශේෂයෙන්ම මහපට ඇගිල්ල, අත, කම්මුල හෝ තොල හදිසියේ වෙව්ලීමට ගැස්සීමකට ලක්වෙනවද? ගාත්‍රාවල ඇතිවන වෙව්ලීම, ගැස්සීම, පාර්කින්සන් වල මූලික ලක්ෂණයක්.

හැබැයි සමහර ඖෂධ වර්ග ගත් විට, අනතුරකට, තුවාලයකට ලක්වූ විට එහෙමත් නැතිනම් තද ව්‍යායාමයකට පසුව ශරීරයේ ගැස්ම ඇතිවීම සොබාවිකයි.

අත්අකුරු වෙනස් වීම

ඔබේ සුපුරුදු අත්අකුරු රටාව හදිසියේ වෙනස් වීමකට භාජනය වෙලාද. අත් අකුරු කුඩා වී වචන එකට ගොඩගැසී ඇති තත්ත්වයකට පත්වෙලාද. එහෙනම් එය පාර්කින්සන් ගැන තදබල අනතුරු ඇඟවීමක්.

සාමාන්‍ය තත්ත්වයකදී ඇත්තටම ඔබ වයසට යන විට අත්අකුරු වෙනස්වීම ස්වභාවිකයි. අත් දල දඬු වීම ඇඟිලිවල තද බව හරි ඇස් පෙනීමේ දුර්වලතා මෙයට බලපෑ හැකියි. නමුත් මේ තත්ත්වය මතුවෙන්නේ හිටි අඩියේම නොවේ. කාලාන්තරයක් යන විට ක්‍රම ක්‍රමයෙනුයි. නමුත් පාර්කින්සන් වලදී මෙය ගහෙන් ගෙඩි එන්නාක් මෙන් හිටි අඩියේ සිදුවන වෙනසක්.

ගඳ සුවඳ නොදැනීම

සමහර ආහාර වර්ගවල සුවඳ දැනෙන් නෑ කියලා වැටහෙනවද? කෙසෙල් වැනි පලතුරක අච්චාරුවක් වගේ ආහාරයක ගඳ සුවඳ නොදැනේද? එසේනම් ඔබ වෛද්‍යවරයකු කරායාම සුදුසුයි.

සාමාන්‍ය තත්ත්වයේදී උණ, සෙම්ප්‍රතික්ශ්‍යාව, නාසයේ සෙම හිරවීම වගේ අවස්ථාවලදීත් ගඳ සුවඳ දැනෙන්නේ නැහැනේ. නමුත් ඒවා තාවකාලිකයි.

නින්ද අවුල්ද?

ඔබේ නින්ද අවුල්සහගතද? නින්දෙන් දඟලනවාද? අතපය ගසා දමනවද? තව කෙනෙකුට ඔබ සමඟ ඇදේ නිදාගන්න නොහැකි තරම් අතපය විසිකරනවද. නැතිනම් බොහෝවිට නිදාගන්නේ ඇඳේ වුණාට උදේ නැගිටින විට බිමද. මේ කියන්නේ පාර්කින්සන් අවදානම ගැන තමා.

සාමාන්‍යයෙන් නින්ද නැතිව ඇදේ පෙරැළි පෙරැළි ඉන්න එක අමුත්තක් නොවේ. නමුත් නිතරම තමන් නොදැනුවත්වම අතපය එහෙ මෙහෙ විසිවෙන එක දමාගසන එක ගැනයි මේ කියන්නේ.

ඇවිදීම අත් පා චලනය අසීරුද?

අතපය ශරීරය තද දළ දඬු ස්වභාවයක් ඔබට දැනෙවද? නමුත් සමහර විට ඔබ ඇවිදින විට චලනය ආරම්භ කරන විට ඒ ගතිය නැතිව යනවා ඇති. ඉතින්, එසේ නොවෙනවා කියන්නේ පාර්කින්සන් අවදානම ඇතිවිය හැකි බවයි. ඔබ ඇවිදිනවිට අත්දෙක චලනය නොවී තිබෙන බව පෙනෙනවද? උරහිසේ සහ ඉඟටියේ තද බව හෝ වේදනාවක් දැනෙනවද? මේ කියන්නේ පාර්කින්සන් ගැනයි. සමහරු තමන්ගේ කකුල් පොළවට ඇලවිලා වගේ දැනෙනවා කියලත් කියනවා.

සාමාන්‍යයෙන් අතරයිටිස් වගේ රෝග වලදිත්, උරහිස අත්පා, ඉඟපස ප්‍රදේශයන්හි ඇතිවන අනතුරු නිසා මේ අන්දමේ රෝග ලක්ෂණ දක්නට පුළුවන්. නමුත් ඒවා තාවකාලිකයි.

මළ බද්දය දිගටම

දිගින් දිගටම මළ බද්ධය තත්ත්වය පාර්කින්සන් ගැන අනතුරු ඇඟවීමක් විය හැකියි.

සාමාන්‍යයෙන් අවශ්‍ය තරම් ජලය සහ කෙඳිති ද්‍රව්‍ය ආහාරයට එක්කර ගන්නේ නැති වීටත් මළ බද්ධය ඇතිවෙනවා. සමහර ඖෂධ වලිනුත් මේ තත්ත්වය ඇතිවෙනවා. නමුත් ඒවාගේ සාධාරණ හේතුවක් නැතිව එන මළ බද්ධය ගැනයි මේ කියන්නේ.

කටහඬ අවුල්ද?

මම හොඳට කතා කරද්දිත් මේ අයට ඇහෙන්නේ නෑනේ කියලා හිතෙන වෙලාවල් ඇති. ඔබ සාමාන්‍ය විදියට කතාකළත් ඔබේ හඬ සිහින් දුර්වල හඬක් ලෙස පිටවෙනවා නම් එයත් පාර්කින්සන් ගැන සොයාබලන්න දෙන අනතුරු සංඥාවක්.

සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ ආසාදන වෛරස ආසාදන නිසාත් හඬ දුර්වල වෙනවා. නමුත් ඒවා තාවකාලිකයි.

වෙස් මුහුණක් ඇන්දා වගේද?

කිසිම ගැටලුවක් තරහක් නැතිවත් බුම්බාගත් තරහගිය තද ඇදීගිය මුහුණුවරක් නිතරම ඔබෙන් දිස් වෙනවාද. හරියට වෙස්මුහුණක් ඇන්දා වගේ මුහුණේ මාංශ පේශීන් ඉහිල්ව ලිහිල් ගතියකින් තොරව හැමවිටම දක්නට ලැබෙනවාද?
ඒ වගේම ඔබේ ඇස්වල කිසිම ප්‍රාණවත් ගතියක් හැඟීමක් නැති බවක් දිස්වෙනවාද? ඇසිපිය ගහන වේගය අඩුද එහෙනම් පාර්කින්සන් ගැන පරීක්‍ෂාව හොඳයි.

සමහර බෙහෙත් වර්ගවලටත් ඔයවගේ හැඟීම් දැනීම් නැති වෙස්මුහුණු තත්ත්වය ඇතිවුණත් එය බේත් නැවැත්වූ පසු සාමාන්‍ය බවට පත්වෙනවා.

TITLE

කැරෙකෙන ගතිය සහ ක්ලාන්තය

හිඳගෙන හිටියත් නැගිටින හැම විටම කැරකිල්ල වගේ විසිවෙන ගතියක් දැනෙනවාද? එය අඩු රුධිර පීඩනය ගැන අනතුරු හැඟවීමක්. එකවර හිටගන්නා විට ඉඳහිට ඇතිවෙන අසම බර බව සාමාන්‍යයක්. නමුත් දිගටම ගියොත් එය අනතුරු ඇගවීමක්.

කුදු ගැහීම

පුරුදු පරිදි කෙලින් සිටගන්න අසීරුද කුදු ගැහිලා ඉදිරියට වාංගුවෙලා වගේ වෙරක් අරගෙන හිටගන්නවානම් එය දිගටම තියනවානම් පාර්කින්සන් ගැන වෛද්‍යවරයා එක්ක කතා කරන ඒක හොඳයි.

ඇස්වල ආබාධ හන්දි කැක්කුම් තුවාල හෝ සමහර රෝග තත්ත්ව නිසාත් මෙබඳු තත්ත්වයක් ඇතිවුවත් ඒවා තාවකාලිකයි. නමුත් දිගින් දිගට මේ තත්ත්වය ඇත්නම් ඒ ගැන සැලකිලිමත් විය යුතුය.

♦ සුගත් පී කුලතුංගආරච්චි (දේශය)

31 August, 2017

විභාග වංචාවන්ට යොදා ගන්නා අලුත්ම ගැජට් මෙන්න (Photos)

exam-scam-gadgets
පසුගිය දා පැවති උසස් පෙළ විභාගයක් අතරතුර දී රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය ඉලෙක්ට්‍රොනික ආකාරයෙන් පිටවීමක් වාර්තා විය. පසුව කරන ලද විමර්ෂනවලින් අනාවරණය වූයේ මෙය ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා අතිසූක්ෂම විභාග වංචාවක් බවයි.

මෙහිදී ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන් සිසුවා තම කමිසයේ රඳවාගත් රහස්‍ය කැමරාවක් ආධාරයෙන් ප්‍රශ්න පත්‍රය ඡායාරූපගත කොට එසැණින් පුද්ගලික සමාජ ජාල පිටුවකට යවා තිබේ. එහිදී අදාළ සිසුවාගේ ටියුෂන් ගුරුවරයා සිදුකර ඇත්තේ එම පත්‍රයේ ඇති ප්‍රශ්නවලට පිළිතුරු වාචිකව ලබා දීමයි. ගුරුවරයා විසින් කියනු ලබන අදාළ පිළිතුරු ශ්‍රවණය කිරීමට, සිසුවා සිය කනෙ හි සූක්ෂම ආකාරයෙන් බ්ලූටූත් උපකරණයක් රඳවා තබා ගෙන ඇත.

අදාළ සිදුවීමට සම්බන්ධ සිසුවා, ඔහුගේ පියා වන වෛද්‍යවරයා සහ ටියුෂන් ගුරුවරයා මේ වන විට රක්ෂිත බන්ධනාගාර කොට ඇත. මේ සම්බන්ධ වැඩිදුර විමර්ෂනවලින් අනාවරණය වී ඇත්තේ මෙම මෙහෙයුමට යොදා ගෙන ඇති තාක්ෂණික මෙවලම් විදේශයකින් ආනයනය කර ඇති බවයි. ඒ සඳහා විශාල මිලක් ද ගෙවා ඇති බව අනාවරණය වී තිබේ.

මෙම සිද්ධියත් සමඟම මෙවැනි නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් යොදා ගනු ලබන තාක්ෂණික උපකරණ පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබේ. අද වන විට ඉතා සූක්ෂම ආකාරයෙන් පටිගත කිරීම් සඳහා යොදා ගත හැකි රහස්‍ය කැමරා නිපදවා ඇති අතර මේ වන විට දේශීය වෙළෙඳපොළෙන් ද එවැනි උපකරණ මිල දී ගැනීමට හැකියාව ඇත.

පහත දැක්වෙන්නේ එවැනි උපකරණ කිහිපයකි.

exam-scam-gadgets
exam-scam-gadgets
exam-scam-gadgets

Samsung Galaxy Note 8 එළිදක්වන දිනය නිළ වශයෙන් ප්‍රකාශ කෙරේ

samsung-galaxy-note-8
නවතම Samsung Galaxy Note 8 උපාංගය එළිදැක්වීම පිළිබඳව ලොව වටා බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙන අතර එ් සම්බන්ධයෙන් මේ වන විට නිල වශයෙන් නිවේදනයවී තිබෙනවා.

එ් අනුව සැප්තැම්බර් මස 14 වන දා ඉතාලියේදී Galaxy Note 8 නවතම උපාංගය නිල වශයෙන් එළිදැක්වීමට නියමිතයි.

බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ මේ සඳහා පෙර ඇණවුම්ද සිදු කිරීමට හැකියාව තිබෙන බවයි.

30 August, 2017

කාන්තාවන්ට වැඩේ ලේසි කරන උපකරණයක් (Photos)

ladies-standing-pee

මේ කියන්න යන දේ ප‍්‍රසිද්ධියේ කියන එකත් ඒ තරම් හරි නැති දෙයක් කියා ඔබට කියන්න පුළුවන්. මේක කියවන කාන්තාවන් පුංචි ලැජ්ඡාවකට පත්වෙන්නත් පුළුවන්. වැඩි දෙනෙක් ප‍්‍රසිද්ධියේ නොකිව්වත්,‍ ‍මේක පෞද්ගලිකව කතා බහ කරන දෙයක්. ඒ තමයි හදිසි අවස්ථාවක දී කාන්තාවන්ටත් පිරිමින් හා සමාන ඉරියව්වකින් සිටගෙන මුත‍්‍රා කරන්න පුළුවන් නම් කොයි තරම් හොඳද කියන එක.

කාන්තාවන් විශේෂයෙන් මේ ගැටලූවට මුහුණ දෙන්නේ දුරබැහැර විනෝද චාරිකා වැනි ගමන් බිමන්වලදී. මේක ගැටලූවක් විදියට ලෝකයේ හැම තැනම කතා වෙන නිසා එයට කදිම විසඳුමකුත් දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ විසඳුම තමයි Mate Standing Pee Device නමින් හඳුන්වන්නේ. මේක කුඩා සරල උපකරණයක්. මෙහි උදව්වෙන් ඕනෑම කාන්තාවකට පිරිමින් හා සමානව අපහසුවකින් තොරව සිටගෙන මුත‍්‍රා කිරීමේ හැකියාව ලබා දෙනවා. ඔබ කුමන ඇඳුමක් ඇඳගෙන සිටියත්, කිසිදු ගැටළුවකින් තොරව භාවිත කිරීමේ හැකියාව මේ උපකරණයෙන් ලබා දෙනවා.

නියම ආකාරයෙන් ස්ථාන ගත කළාට පසුව කිසිදු කාන්දුවකින් හෝ ශරිරයට බලපෑමකින් තොරව ඒ කාර්යය කරගන්නට පුළුවන්. එය කුඩා නිසා අපහසුවෙකින් තොරව බෑගයේ දමාගෙන යන්නටත් පුළුවන්. ඇමරිකානු ඩොලර් 5.95 (රු. 906.00ක්) වන මෙය ඇතුළු අන්තර්ජාලයේ ඇති බොහෝ කඩ සාප්පුවලින් මිලට ගන්නට පුළුවන්. ඇතැම් විට මිල ගණන්වල සුළු වෙනස්කම් තියෙන්නට පුළුවන්.

නමුත් නගරයෙන් දුර බැහැර විනෝද ගමනක් යන ඔබට කුමන ඇඳුමක් ඇඳ සිටියත් කාන්තාවන්ට අපහසු කාර්යයක් පිරිමින් වගේ බොහොම පහසුවෙන් කරගන්නට මේ පුංචි උපකරණයෙන් ලොකු සහයක් ලැබෙනවාට සැක නැහැ.

mate-standing-pee-device

ප්‍රතිභා රත්නසුරිය (ලක්බිම)