07 October, 2017

සමනළ තටුවල වර්ණ රටා රහස්

butterfly
සමනළ තටු (පියාපත්) වල වර්ණ සහ රටා වෙනස් කිරීමට විද්‍යාඥයින් සමත් වී ඇති බව වාර්තා වේ. “painting gene (චිත්‍රණ ජාන)” සුළු වශයෙන් වෙනස් කිරීමෙන් ඔවුන් මෙම ප්‍රතිපල ලබා ගෙන තිබේ.

සමනළයාගේ සාමාන්‍ය පියාපතක් (වම් පස) හා ජාන වෙනස් කර ඇති කළ පියාපතක් (දකුණු පස) අතර සංසන්දනාත්මක වෙනස රුපයෙන් දැක්වේ.

මෙහිදී පර්යේෂකයන්ගේ ප්‍රධාන අරමුණ වුයේ “rule of life (ජිවන රීතිය)” ලෙස හදුන්වන ජාන සහ පරිණාමනය මගින් ජෛව විවිධත්වය සිදුවන ආකාරය පිළිබද යම් අවබෝධයක් ලබා ගැනීමයි.

WntA ජානයේ ක්‍රියාකාරිත්වය අධ්‍යනය සදහා පර්යේෂක කණ්ඩායම දියුණු ජාන සංස්කරණ තාක්ෂණයක් වූ CRISPR/Cas9 මගින් ස්වභාවධර්මයේ විශ්මිත නිමැවුමක් වූ සමනළ තටුවල වර්ණ සහ රටා වෙනස් කළේය. සමනළ විශේෂ 7 කගේ ජාන ඉවත්කිරීමෙන් උන්ගේ පෙනුම විප්ලවීය ලෙස වෙනස් කිරීමට පර්යේෂකයෝ සමත් වුහ. ඔවුන් බලාපොරොත්තු නොවූ ආකාරවලින් පියාපත්වල වර්ණ සහ රටා වෙනස් වී ඇත.

සමනළයින්ට ඉතා වර්ණවත් ලස්සන තටු ලැබී ඇත්තේ සහකාරයින් සොයා ගැනීම සදහා ආකර්ශනීය ලිංගික වර්ණ යොදා ගැනීමට හෝ විලොපයන්ගෙන් උන් ආරක්ෂා වීම සදහා යම් ආකාරයක වර්ණ හා රටා අනුවර්තනයකට බව අපගේ පිළිගැනිම යැයි පවසන පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධාන විද්‍යාඥ ඇමෙරිකාවේ ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ Arnaud Martin තවදුරටත් සදහන් කළේ “අභිරහස නම් සමනලයින් එසේ කරන්නේ කෙසේද ? රේඛා, තිත් හා සංකිර්ණ නිමැවුම් මෙන්ම යම් ලක්ෂණයක් දීර්ඝ පරිණාමන කාල පරාසයක් තුල පවත්වා ගන්නේ කෙසේද?”

CRISPR තාක්ෂණය මගින් එක් සමනළ විශේෂයක් තුල මෙම ජානයේ විවිධ ක්‍රියාකාරිත්වයන් ක්‍රමයෙන් විකාශනය වන බව පැහැදිලි කරන අතර පොදු ප්‍රකෘතියක් මත විවිධත්වයක් සහිත රටා පරිණාමය වීම පිලිබදව සමනළ විශේෂයන් අතර සුවිශාල සංසන්දනයක්ද නිරූපණය කරයි.

මෙම සොයාගැනීම මිනිසා ඇතුළු වෙනත් සත්ව විශේෂයන් පිළිබද අධ්‍යනයෙදී ප්‍රයෝජනවත් වනු ඇතැයි පර්යේෂකයෝ පවසති. ජාන සංස්කරණය සම්බන්ධව CRISPR තාක්ෂණය විප්ලවීය වේ. සමහර විද්‍යාඥයින් මානව කළල ජාන සම්බන්ධව පරීක්ෂණ පවත්වන බවත් මේ සියල්ලන්ගේම අවසාන ඉලක්කය ජානමය රෝග වැලැක්වීම බවත් වාර්තාවේ සදහන් කර තිබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර (ප්‍රභාස්වර)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සමනළ තටුවල වර්ණ රටා රහස්"

    Post a Comment