07 October, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැඳි දෙකකින් බෙදයි?

dikwella-gunathilaka

ශ්‍රී ලංකා ක්‍රිකට් විනය කමිටුව (Disciplinary Committee) සිදුකළ විනය පරීක්ෂණයෙන් පසුව වරද පිළිගෙන ඇති ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 06ක තහනමක් පැනවුවද ඔහු හා එක්ව එම වරදම කර ඇති තවත් ආරම්භක පිතිකරුවෙක්ට මෙතෙක් විනය පරීක්ෂණයක් හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමක් සිදුව නොමැත.

ධනුෂ්ක ගුණතිලක සිදුකළ විනය විරෝධී ක්‍රියා කිහිපයකට මෙම දඬුවම ලබාදුන්නද ඉන් එක් වරදක් මේ කියන අනෙකුත් ආරම්භක පිතිකරුවා සිදුකර ඇති අතර, අදිසි හස්තයක් ඔහුට පක්ෂව කටයුතු කිරීම හේතුවෙන් මෙතෙක් එම ක්‍රීඩකයාට එරෙහිව නිසි පියවරක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ විනය කමිටුව අපොහොසත්ව තිබේ.

පිටිය තුළදී හා පිටියෙන් එපිටදී වැරදි කරන හා වැරදි පූර්වාදර්ශ සපයන ක්‍රීඩකයන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා නිසි විනය ක්‍රියාමාර්ග ගැනීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිපත්තිය අගය කළ යුතු වුවද එම ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා සියලු ක්‍රිකට් ක්‍රීඩකයන්ට එක හා සමානව ක්‍රියාත්මක විය යුතුය.

එසේ නොමැතිව එක් ක්‍රීඩකයෙකුට එක හැන්දකිනුත් තවත් ක්‍රීඩකයෙකුට තවත් හැන්දකිනුත් බෙදීම අනුමත කළ නොහැකිය. මින් සිදුවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් යහපත් චේතනාවෙන් කළ මෙවැනි ක්‍රියාදාමයන් පිළිබඳ විශ්වාසය ගිලිහීයාමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ මේ ආකාරයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන්නේදැයි හා අදාළ අනෙකුත් ක්‍රීඩකයාට විනය පරීක්ෂණයක් නොකරන්නේ ඇයිදැයි විමසීමට අප ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමනාකරු ඇමතුවද ඔහු කෙටි පණිවිඩයක් යොමු කරමින් පැවසුවේ, 'පසුව අමතන' ලෙසයි.එහෙත් පුවත්පත මුද්‍රණයට යනවිටත් ඔහුව සම්බන්ධ කරගැනීමට නොහැකි විය. (පැතුම් ශ්‍රී විජේරත්න - අද)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැඳි දෙකකින් බෙදයි?"

    Post a Comment