Showing posts with label Sports. Show all posts
Showing posts with label Sports. Show all posts

14 October, 2017

ණුවන් ප්‍රදීප්ට අාබාධයක් - ළහිරු ගමගේ කැඳවයි

nuwan-pradeep-lahiru-gamage

අබායකට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් ප්‍රදීප්ට ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරග පහකින් සමන්විත වන එක්දින තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඔහු වෙනුවට කණ්ඩායමට කැඳවා අැත්තේ නවක වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු ගමගේ යි.

09 October, 2017

මේ මාගේ අන්තිම උත්සාහයයි - මහේල

mahela-jayawardene

කඩාවැටුණු ශ්‍රී ලංකා ක‍්‍රිකට් ගොඩගැනීමේ අවසන් උත්සාහයට ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු වන මහේල ජයවර්ධන පසුගිය අඟහරුවාදා පළමු පියවර තැබීය. ක‍්‍රීඩා අමාත්‍යවරයා පත්කළ හේමක අමරසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ ක‍්‍රිකට් උපදේශක කමිටුව එදින ක‍්‍රීඩා අමාත්‍යංශයේදී පළමුවරට හමුවිය.

එම අවස්ථාවට ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, හේමක අමරසූරිය, අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර යන මහත්වරු සහභාගි වූහ. මහේල ජයවර්ධන සාකච්ඡාවෙන් පසුව දැක්වූ අදහස් අනුව ඔහු තුළ මෙම කමිටුව පිළිබඳවද සැකයක් නැතැයි කිව නොහැක.

එහිදී මහේල මෙසේ පැවසීය.

“මේක මගේ නම් අවසාන උත්සාහය. මම කථාකරලා තමයි මේ ස්ථානයට ආවේ. ඇමතිතුමාට දැනුම් දීලයි. මොකද මට ලොකු කලකිරීමක් තියෙනවා. මම හිතනවා මේක මගේ අවසාන උත්සාහයයි.”

“අපි පාලක මණ්ඩලයේ කමිටුවක් නොවෙයි. ඒ සැළසුම් ක‍්‍රියාවට නංවන්න ඕනේ ඔවුන්. අපි හිතනවා ඒ විදියට වෙයි කියලා. එහෙම නොවුණොත් අපේ කාලය වැය කිරීමෙන් කිසිම පළක් වෙන එකක් නෑ. මම ගියවර අවුරුද්දක් වගේ කාලයක් ගත කළා. සැළැස්මක් ක‍්‍රියාත්මක වෙන්නේ නැත්නම් එපමණ කාලයක් වැය කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නෑ. මාස තුනක් ඇතුළත සැළැස්මක ක‍්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නොවුණොත් මග හැරලා යන්න වෙනවා.”

“එහෙම වුණොත් මම නම් පෞද්ගලිකව නැවතත් ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ගැන අදහසක් දක්වන්න කැමති නෑ. අපිට පුළුවන් දේ තමයි මේ කරන්නේ. හැමදාම අඬගහන අඬගහන වෙලාවට ඇවිල්ලා පැලැස්තර අලවන එක නොවෙයි වෙන්න ඕනේ. මෙය කමිටුවේ සාකච්ඡාවක් නොවෙයි. අපි දැනගන්න ඕනේ ක‍්‍රීඩා අමාත්‍යවරයා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා. අපි ඉදිරියේදී කමිටුවක් හැටියට සාකච්ඡා කරනවා.”

“අපි පළමුවෙන්ම කෙටි කාලීන සැළැස්මක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව කෙටි කාලීන සැළසුම් ස්ථාවර කිරීමට දිගුකාලීන සැළසුම් තියෙනවා. අපිව පත්කරලා තියෙන්නේ අදහස් විමසලා සැළසුමක් ගන්න නමුන් එය ක‍්‍රියාත්මක කිරීම ක‍්‍රීඩා අමාත්‍යංශයේ කාර්යයක්. අපි බලාපොරොත්තු වෙනවා එය ඒ විදියට වෙයි කියලා.”
මහේල ජයවර්ධනගේ අදහස් දැක්වීමට අනුව මෙය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කමිටුවක් නොවන බවත් ඒ හේතුවෙන් ඔහු ඊට සහභාගි වූ බවත් පැහැදිලි වේ.

මහේල ජයවර්ධන එහිදී පැවසුවේ තමන් ක‍්‍රීඩා ඇමතිවරයාට දුරකථනයෙන් සහ හමුවී දැනුවත් කර පැමිණි බවයි. එයින් පැහැදිලි වන්නේ ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ ආරාධනාව අහක දැමිය නොහැකි තත්ත්වයක් තුළ ඔහු මෙම කමිටුව නියෝජනය කළ බවයි.

එම අවස්ථාවට සහභාගි වූ කුමාර් සංගක්කාර පැවසුවේ ද මෙම කමිටුව ස්වාධීන එකක් බවයි.

“මෙය ස්වාධීන කමිටුවක්. මෙහි වඩාත් වැදගත් වෙන්නේ ඉදිරියට වෙන්නේ මොකද යන්නයි. මම හිතන්නේ හොඳ යෝජනා ටික අපි ක‍්‍රීඩා අමාත්‍යංශයට බාර දුන්නට පසුව හොඳ නම් ක‍්‍රියාත්මක වෙයි” සංගක්කාර පැවසීය.

aravinda-sangakkara-thilankga

මෙම හමුව අවසන් වීමෙන් පසුව මහේල, සංගක්කාර සහ අරවින්ද ක‍්‍රීඩා අමාත්‍යංශයේ රථගාල තුළ පැයකට ආසන්න කාලයක් සාකච්ඡා කිරීම කැපී පෙනුණි.

ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමුව අවසානයේ පැවසුවේ මහේලගේ අවසන් අවස්ථාව අපතේ නොහරින බවයි. මෙහිදී මහේල ජයවර්ධන, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමට යෝජනා කරනවාට සැක නැත. ඒ සඳහා ක‍්‍රිකට් ලොක්කන් නම් කිසිදු කැමැත්තක් නොමැති බව විශ්වාසයෙන් කිය හැකිය. එය එසේ වුවහොත් එය මෙම කමිටුවේ අවසානයද විය හැකිය.

මෙම කමිටුවද ශ්‍රී ලංකාවේ අමාත්‍යවරුන් පත්කරන සෙසු කමිටු මෙන්ම වාර්තාවලට සීමා වන එක්ක වේද යන්න බලා සිටීම පමණක් ක‍්‍රිකට් ප්‍රේක්ෂකයන්ට කළ හැකිය.

I සටහන: යොහාන් භාසුර (දේශය)

08 October, 2017

ප්‍රදර්ශන තරගයේ ජය ඕල්ඩ් ස්ටාර්ස් පිලට

TITLE

මරදාන සහිරා විදුහල් ක්‍රීඩාංගණයේදී ඕල්ඞ් ස්ටාර්ස් කණ්ඩායම සහ ක්‍රිකට් ස්ටාර්ස් කණ්ඩායම අතර පැවැති ප්‍රදර්ශන පාපන්දු තරගයෙන් ගෝල 1-0 ක ජයක් අත්කර ගැනීමට ඕල්ඞ් ස්ටාර්ස් කණ්ඩායම සමත් විය.

ඕල්ඞ් ස්ටාර්ස් කණ්ඩායම වෙනුවෙන් මොහොමඞ් අමුනුල්ලා 57 වැනි විනාඩියේදී ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය.

පැරණි පාපන්දු ක්‍රීඩකයන් පිරිසකගෙන් ඕල්ඞ් ස්ටාර්ස් කණ්ඩායම සමන්විත වූ අතර පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසකගෙන් ක්‍රිකට් ස්ටාර්ස් කණ්ඩායම සමන්විත විය. එහිදී මහේල ජයවර්ධන, චමින්ද වාස් සහ උපුල් චන්දන යන ක්‍රීඩකයන්ද ක්‍රිකට් ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කළහ.



(කෙළිමඬල)

07 October, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට හැඳි දෙකකින් බෙදයි?

dikwella-gunathilaka

ශ්‍රී ලංකා ක්‍රිකට් විනය කමිටුව (Disciplinary Committee) සිදුකළ විනය පරීක්ෂණයෙන් පසුව වරද පිළිගෙන ඇති ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරග 06ක තහනමක් පැනවුවද ඔහු හා එක්ව එම වරදම කර ඇති තවත් ආරම්භක පිතිකරුවෙක්ට මෙතෙක් විනය පරීක්ෂණයක් හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමක් සිදුව නොමැත.

ධනුෂ්ක ගුණතිලක සිදුකළ විනය විරෝධී ක්‍රියා කිහිපයකට මෙම දඬුවම ලබාදුන්නද ඉන් එක් වරදක් මේ කියන අනෙකුත් ආරම්භක පිතිකරුවා සිදුකර ඇති අතර, අදිසි හස්තයක් ඔහුට පක්ෂව කටයුතු කිරීම හේතුවෙන් මෙතෙක් එම ක්‍රීඩකයාට එරෙහිව නිසි පියවරක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ විනය කමිටුව අපොහොසත්ව තිබේ.

පිටිය තුළදී හා පිටියෙන් එපිටදී වැරදි කරන හා වැරදි පූර්වාදර්ශ සපයන ක්‍රීඩකයන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා නිසි විනය ක්‍රියාමාර්ග ගැනීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිපත්තිය අගය කළ යුතු වුවද එම ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා සියලු ක්‍රිකට් ක්‍රීඩකයන්ට එක හා සමානව ක්‍රියාත්මක විය යුතුය.

එසේ නොමැතිව එක් ක්‍රීඩකයෙකුට එක හැන්දකිනුත් තවත් ක්‍රීඩකයෙකුට තවත් හැන්දකිනුත් බෙදීම අනුමත කළ නොහැකිය. මින් සිදුවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් යහපත් චේතනාවෙන් කළ මෙවැනි ක්‍රියාදාමයන් පිළිබඳ විශ්වාසය ගිලිහීයාමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ මේ ආකාරයෙන් දෙබිඩි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වන්නේදැයි හා අදාළ අනෙකුත් ක්‍රීඩකයාට විනය පරීක්ෂණයක් නොකරන්නේ ඇයිදැයි විමසීමට අප ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය කළමනාකරු ඇමතුවද ඔහු කෙටි පණිවිඩයක් යොමු කරමින් පැවසුවේ, 'පසුව අමතන' ලෙසයි.එහෙත් පුවත්පත මුද්‍රණයට යනවිටත් ඔහුව සම්බන්ධ කරගැනීමට නොහැකි විය. (පැතුම් ශ්‍රී විජේරත්න - අද)

04 October, 2017

"මැච් එක දින්නේ මම නිසා චන්දි පුතා මා ලගට එවූ දයාසිරි ඇමතිතුමාට ස්තුතියි" කලකට පසු ලද ජයත් සාස්තර කාරියකගෙලු

TITLE

කළකට පසු පාකිස්තානය පරදා පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබා ගත්තා. කෙසේ වෙතත් මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් දෛවඥවරියක් යැයි කියාගන්නා කාන්තාවක් ඊයේ (03) දින සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් හේතුවෙන් මේ වන විට දැඩි කතාබහක් ආරම්භවී තිබෙනවා.

එම ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය ෆේබුක් ගිණුමට සටහනක් තබන මෙම කාන්තාව පවසන්නේ,

"දිනේෂ් චන්දිමාල් පුතා පකිස්තාන සංචාරයට යන්න පළමුව පැමිණ මාගෙන් ආශිර්වාද ගත් මොහොත බොහොම අසීරැ අඩියට වැටී තිබුණ අපේ කණ්ඩායම ට නායකත්වය බාරදුන් මොහොතේ පැමිණ මාගෙන් ආශිර්වාද ගෙන නික්මුණේ. අදින් පසු ලාංකේය ක්රිකට් ක්‍රීඩාවට ස්වර්ණමය යුගය මම උදාකර දෙන්නෙමි. මාගේ විශේෂ ස්තූතිය දයාසිරි ජයසේකර ඇමතිතුමාටත් ඈශ්ලි ද සිල්වා මැතිතුමාටත් පිරිනමමි. මොකද මේ දරැවො මගෙ ළඟට යොමු කිරීමට පෙළඹවූ නිසා." යනුවෙනි.

මෙම සටහනත් සමගින් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් එම කාන්තාව සමග සිට ලබාගත් ඡායාරූපයක්ද ඇය විසින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුනා.

එම සටහනට අනුව ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් මෙම කාන්තාව වෙත යොමු කර තිබුණේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරු වන අතර ඒ පිළිබදව ඇය ඔවුන් දෙපළට ස්තූතිකර තිබුණා.

කෙසේ වෙතත් ඇයගේ මෙම සටහන සමාජජාලා වෙබ් අඩවි වල ක්‍රිකට් රසිකයන් අතර දැඩි හාස්‍යයට ලක් වී තිබුණා. ඇතැම් ක්‍රිකට් රසිකයන් ප්‍රශ්න කර තිබුනේ පසුගිය ඉන්දීය තරගාවලියේ '9-0ක් ලෙස අන්ත පරාජයට ලක් වූ අවස්ථාවේ අදාළ සාස්තරකාර කාන්තාව සිටියේ කොහේද?' යන්නයි.

මෙතෙක් මේ පිළිබඳව කිසිඳු නිළ ප්‍රකාශයක් නිකුත් වී නොමැති අතර මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සත්‍ය අසත්‍ය තාවය මේ වන තෙක් හෙළිවී නැහැ.

එම ෆේස්බුක් වෙබ් අඩවියේ තැබු සටහන පහතින්.

gangasudarsani-zoiza-fb-post1


gangasudarsani-zoiza-dinesh-chandimal

29 September, 2017

නාළිකාවක් හෝ නොමැති ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නාළිකා ප්‍රධානියෙක්

kamal-deshapriya

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නාළිකා ප්‍රධානී (Head of Channel) වශයෙන් දක්ෂ ක්‍රිකට් විස්තර විචාරකයෙකු හා රංගන ශිල්පියෙකු වන කමල් දේශප්‍රිය මහතා පත් කිරීමට වත්මන් ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබේ. ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන තරග විකාශ කටයුතු (රූපවාහිනී හා ගුවන් විදුලි) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්ම සිදු කිරීමට නියමිතය.

මෙහිදී තරග විකාශ කටයුතුවලින් වෙනත් රූපවාහිනී හා ගුවන් විදුලි නාළිකා වෙත ගලා යන සුවිශාල ධනස්කන්ධය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතම රඳවාගෙන එම මුදල් ක්‍රිකට් අනාගතය සඳහා ආයෝජනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි ‘අද’ට අනාවරණය වේ.

මේ වනතෙක් අදාළ ක්‍රිකට් තරගාවලි ආවරණය කිරීමට පහසුකම් හෝ මෙවලම් ක්‍රිකට් ආයතනයට ආනයනය කර හෝ වෙනත් පාර්ශ්ව වෙතින් ලබාගෙන නොමැති පසුබිමක මෙන්ම නාළිකාවක් හෝ නොමැතිව නාළිකා ප්‍රධානියෙකු පත් කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ මුදල් නාස්තියක් සිදුව ඇතැයි පිරිසක් චෝදනා කරති.

ඉහළ වැටුපකට හිමිකම් කියන කමල් දේශප්‍රිය මහතා අදාළ තනතුරේ වැඩ භාරගෙන මාසයකට ආසන්න කලක් ගතව ඇතත් එවැනි නාළිකාවක් හෝ මෙතෙක් ආරම්භ කිරීමට අවශ්‍ය පදනම හෝ සකස් කර නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට්වලට හිතැති පිරිස් පෙන්වා දෙති.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, ක්‍රිකට් තරග විකාශ කටයුතු සඳහා අවශ්‍ය පදනම සකසාගෙන මෙවැනි පත්වීම් සිදු කළේ නම් එය වඩාත් ඵලදායී වනු ඇති බවයි.

අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර එහිදී එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ, කමල් දේශප්‍රිය මහතා තනතුරට අදාළව මූලික වාර්තාවක් ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල මහතා වෙත ලබාදී ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සතුව මේ වනවිට නාළිකාවක් ලෙස පවතිනුයේ වෙබ් රේඩියෝව පමණක් වන අතර, එහි නීත්‍යනුකූල අයිතියද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් ලබාගෙන නොමැති බව හෙළිවේ. එහි අයිතිය (Author) පවතිනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවයේ නියුතු තොරතුරු තාක්ෂණ උපදේශක (IT Consultant) නදීශාන් සුරියආරච්චිටය. මෙය අදාළ වෙබ් රේඩියෝ අන්තර්ජාල යෙදවුමට (Application) ගොස් බැලූවිට පැහැදිලිව දර්ශනය වන්නේය. මෙතෙක් එහි හිමිකාරීත්වය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අපොහොසත්ව තිබේ.

මේ අතර වත්මන් ක්‍රිකට් බලධාරීන් පරිපාලනයට පැමිණි දින පවසා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව අතිරික්ත කාර්යමණ්ඩලයක් (Over Staff) සිටින බවත් එනිසා එහි සේවකයන්ගෙන් පිරිසක් ඉවත් කර (සියලු දීමනා හා ගෙවීම් ලබාදී) අනෙක් සේවකයන් පළාත් ක්‍රිකට් සංගම් වෙත අනුයුක්ත කිරීමට පියවර ගන්නා බවයි. එය ඒ ආකාරයෙන්ම සිදුවූ අතර පිරිසකට රැකියා අහිමිවිය.

තවත් පිරිසක් පළාත් සංගම්වලට අනුයුක්ත වූහ. එවැනි වටපිටාවක් තුළශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් පාලනාධිකාරිය තවත් කොන්ත්‍රාත් සේවකයන් රාශියක් ඉහළ වැටුප් ගෙවමින් සේවයට මේ වනවිට බඳවාගෙන තිබේ. මේ ඉන් තවත් එක් බඳවා ගැනීමක් පමණි. මෙවැනි පත්වීම් කිහිපයක් ක්‍රිකට් ආයතනය තුළ මේ වනවිට ක්‍රියාත්මක වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කරන රාජකාරියක් නැතැයි ක්‍රිකට් සේවකයෝ චෝදනා කරති.

එනිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තරග විකාශ අයිතිය ලබාගෙන ඉන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට මුදල් ආයෝජනය කිරීමට ගත් තීරණය පැසසිය යුතු අතර, මේ ආකාරයෙන් කිසිදු විනිවිදභාවයකින් තොරව පත්වීම් සිදුකිරීම සම්බන්ධයෙන් නිසි බලධාරීන් වහා මැදිහත් විය යුතුය. ඒ මෙවැනි පත්වීම් නිසි ක්‍රමවේදවලට සිදුකළ යුතු හෙයිනි. තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පාලනාධිකාරිය එය අවබෝධ කරගෙන නොමැති වීම කනගාටුවට කරුණකි. (පැතුම් ශ්‍රී විජේරත්න - අද)

28 September, 2017

ඔස්ට්‍රේලියාවත් ලංකාව වගේ - හර්බජන් සිං

harbjan-singh

වත්මන් ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට සමාන බව ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජන් සිං පවසයි.

ඔහු පවසන්නේ කහ ජර්සිය හැඳගෙන ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමක් බවට මේ වනවිට ඔස්ට්‍රේලියා කණ්ඩායම පත්ව ඇති බවයි.

ඉන්දියා ටුඩේ පුවත් සේවයට අදහස් දක්වන හර්බජන් පවසන්නේ විරාත් කෝලි ක්‍රියාත්මක වන ඉන්දු - ඔස්ට්‍රේලියා එක්දින තරගාවලිය ද 5-0ක් ලෙස ජයගැනීමට තමන් අපේක්ෂාවෙන් සිටින බවයි.

“ ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කරන ආකාරය හරියට කහ ඇඳුම ඇඳගෙන ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම වගෙයි” යැයි ඔහු සඳහන් කරයි.

ඉන්දු - ඔස්ට්‍රේලියා තරග පහකින් යුත් එක්දින තරගාවලිය මේ වනවිටත් තරග 3-0ක් ලෙස ඉන්දියාව ජයගෙන තිබේ. (රුවන් කාශ්‍යප - අද)

27 September, 2017

“අලුත් තේරීම් කමිටුවත් පරණ වරදම කරලා..”-ඉන්දීය මාද්‍යයක් කරණ හෙළිදරව්ව..

graeme-labrooy-sanath-jayasuriya

පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ගත් ඇතැම් තීරණ දැඩි ලෙස විවේචනයට ලක්වූ පසුබිමක සනත් ජයසුරියගේ නායකත්වයෙන් යුතු පැරණි තේරීම් කමිටුව ඉල්ලා අස්වීමත් සමඟ පත්වුණේ ග්‍රැහැම් ලැබ්රෝයිගේ සභාපතිත්වයෙන් යුතු තේරීම් කමිටුවකි.අලුත් තේරීම් කමිටුවද පරණ තේරීම් කමිටුව සිදුකල වරද ඒ ආකාරයටම ඉදිරියට ගෙන ගොස් ඇති බව ඉන්දියාවේ ක්‍රීඩා වෙබ් අඩවියක් වන ක්‍රිකට් ඒජ් පලකල වාර්තාවක දැක්වේ.ඔවුන් මෙලෙස කරුණු දක්වන්නේ පාකිස්ථානය සමඟින් වන ටේස්ට් තරඟ දෙක වෙනුවෙන් නම් කල සංචිතය සම්බන්දයෙනි.

සනත් ඇතුළු තේරීම් කමිටුව කල ආකාරයට පුදුම සහගත තේරීම් සමඟින් යම් ධනාත්මක තේරීමද අලුත් තේරීම් කමිටුව සිදු කර ඇති බව මෙම ඉන්දීය වෙබ් අඩවිය සදහන් කර ඇත.

ශ්‍රී ලංකා පළමුපෙළ තරඟාවලියේ වැඩිම ලකුණු ලාබියාමෙන්ම දේශීය පිටියේ වඩාත් සාර්ථකම පිතිකරුවා ලෙසින් පසුගිය කාලයේ දක්ෂතා දැක්වූ සධීර සමරවික්‍රම සහ මහේල,තිලාන් වැනි මැදපෙළ පිතිකරුවෙකු සොයමින් යන ශ්‍රී ලංකා කණ්ඩායමට දේශීය පිටියේ සිටින වඩාත් ස්තාවරම මැදපෙළ පිතිකරුවා වන රොෂේන් සිල්වා කැඳවීම අලුත් තේරීම් කමිටුවේ හොඳ තීරණයක් බව මෙම වෙබ් අඩවිය දක්වා ඇත.

සධීර වඩාත් හොඳින් ලකුණු අතර සිටින අවස්ථාවේ බංගලාදේශය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කල අවස්ථාවේ ඔහු කණ්ඩායමට කැඳවීමට පැරණි තේරීම් කමිටුව තීරණය නොකිරීමද සනත් ඇතුළු පැරණි තේරීම් කමිටුවේ වැරදි තීරණයක් ලෙස දක්වා ඇත.

පසුගිය ඉන්දීය කණ්ඩායම සමඟ එක්දින තරඟාවලියට කැඳවීම සමඟ යම් සාර්ථකත්වයක් පෙන්වූ ලහිරු තිරිමාන්න මාස 15 කට පසුව ඔහු වඩාත් අසාර්ථක ටෙස්ට් ක්‍රිකට් පිටියට උපනායකත්වයේ වගකීමද පවරමින් කැඳවීම අලුත් තේරීම් කමිටුවේ පුදුම සහගත තීරණයක් බව ක්‍රිකට් ඒජ් වාර්තාවේ හෙළි කර ඇත.

දඟ පන්දු යවන්නන් හමුවේ ලෝකයේ වඩාත් සාර්ථකම කණ්ඩායම වන ඉන්දීය කණ්ඩායම හමුවේ තම මංගල තරඟයේ දක්ෂතා දැක්වීමට නොහැකි වුවද දෙවන තරඟයේ ඉන්දීය පිතිකරුවන්ට පීඩනයක් එල්ල කරමින් ඉන්දීය කඩුලු 3ක් දවාගත් මාලින්ද පුෂ්පකුමාර සංචිතයෙන්ද ඉවත්කර දැමීමත්,ස්ථාවර ස්ථානයක් නොමැතිවීමෙන් කණ්ඩායමෙන් හැලීගිය ධනංජය සිල්වාගේ හැකියාවන් කෙරෙහි අවධානය යොමු නොකිරීමත් අලුත් තේරීම් කමිටුවේ තවත් අඩුපාඩුවක් බව මෙම වෙබ් අඩවිය පෙන්වා දී ඇත.

සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදීප් ප්‍රධාන වේගපන්දු යවන්නන් ලෙස සංචිතයේ සිටියදී වේගය භාවිතා කරමින් පිතිකරුවන් මෙල්ල කල හැකි ලහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර දෙදෙනාගෙන් එක අයෙකු හෝ සංචිතයට එකතුවිය යුතු බවද මෙම වාර්තාවේ දක්වා ඇත.

කෙසේ වෙතත් මෙම කරුණු වල ඇති සාධාරණ අසාධාරණ බව තරඟාවලියේ ප්‍රතිපලය සමඟ විසදෙනු ඇත.මෙම ඉන්දීය වෙබ් අඩවිය හෙළිකරන කරුණු වලට ඔබ එකඟ වන්නේද නොවන්නේද යන්නත් ඔබේ පිළිතුරට හේතුවත් දැක්වීමට ඔබට හැක.

තරඟාවලියේ සියළු තොරතුරු දැනුවත් වීමට ඉහල ඇති like button 1ක click කර අප සමඟ එකතු වන්න.

ශ්‍රී ලංකා සංචිතය.

# දිනේෂ් චන්දිමාල් - නායක
# ලහිරු තිරිමාන්න - උපනායක
# දිමුත් කරුණාරත්න
# කෞෂාල් සිල්වා
# කුසල් මෙන්ඩිස්
# සදීර සමරවික්‍රම
# රොෂේන් සිල්වා
# නිරෝෂන් දික්වැල්ල
# රංගන හේරත්
# ලක්ෂාන් සඳකන්
# ඩිල්රුවන් පෙරේරා
# සුරංග ලක්මාල්
# නුවන් ප්‍රදීප්
# විෂ්ව ප්‍රනාන්දු
# ලහිරු ගමගේ

(ක්‍රිකට්ලංකා)

21 September, 2017

පාකිස්තාන් තරඟාවලියේදී ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවන දෙයක් ගැන තිරිමාන්න කියයි

lahiru-thirimanne

එළඹෙන පාකිස්තාන් තරඟාවලිය ජයගැනීමට තමන් ඇතුලු කණ්ඩායම සූදානම් බව ලහිරු තිරිමාන්න පවසනවා.

පසුගිය දින දෙක තුනේදී ඒ වෙනුවෙන් පුහුණු කඳවුරක්ද පැවැත්වූ බවයි ඔහු කියා සිටින්නේ.

මේ අතර මෙම තරඟාවලියේදී ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව මුහුන දෙන දිවා-රාත්‍රී ටෙස්ට් තරඟය ගැනත් ඔහු අදහස් දක්වා සිටියා.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම මෙවැනි තරඟයකට මුහුණ දී නැති අතර මෙය එක්තරා ආකාරයකට ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත්ම අත්දැකීමක්ද වන බවයි ඔහු කියා සිටින්නේ.

කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශක්තිය ගැන වැඩි විස්වාසයක් තබා ගත යුතු බවත් නිමාවුණු ඉන්දීය කණ්ඩායමේ සංචාරයේදී තම කණ්ඩායමේ මානසිකත්වය ඉහළ මට්ටමක පැවති බවත් ඔහු පවසනවා

18 September, 2017

ක්‍රිකට් ක්‍රීඩකයන්ට මඩ ගහන ලොක්කෝ

sl-cricket-team

ක‍්‍රිකට් ලොක්කන්ගේ ඇඟිලි ගැසීම් නිසා ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිල අගාධයට වැටී ඇති බවට චෝදනා එල්ලවීමත් සමඟ ඇතැම් ක‍්‍රිකට් ලොක්කන් සහ ක‍්‍රීඩා බලධාරීන් ක‍්‍රීඩකයන් මුදලට තරග පාවාදෙන බවට මඩ ගැසීමේ ඉතාමත් පහත් ව්‍යාපෘතියක් දියත්කර තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරීන් කණ්ඩායම තේරීම්වලට බලපෑම් කරන බවට චෝදනා එල්ල වෙද්දී ඇතැම් නිලධාරීන් පැවසුවේ කණ්ඩායමේ විෂබීජ දෙකක් සිටින අතර ඒ දෙන්නා ගැන අපි බලගන්නම් යනුවෙනි.

මෙවර හිටපු නායකයකු, ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරුවකු සහ පිට දඟපන්දු යවන්නකු පසුගිය ඕස්ට්‍රේලියානු සංචාරයේදී තරග පවා දුන් බවට ඇතැම් වෙබ් අඩවි හරහා මුදලට තරග පාවා දුන් බවට චෝදනා එල්ල කර තිබුණි. එහිදී එක් ක‍්‍රීඩකයකු ජපානයේදී ඊට අදාළ මුදල් ලබාගත් බවට චෝදනා කර තිබූ අතර ඔහු එම චෝදනාව ප‍්‍රතික්ෂේප කර තිබුණි.

ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විද්‍යුත් මාධ්‍යකට පැමිණ ක‍්‍රීඩකයන් පොඩි බබ්බු දැයි ප‍්‍රශ්න කළේය. එහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අදාළව ඔට්ටු අල්ලන බව තමන්ට දැනගන්නට ලැබී ඇති බවත් එවැනි තැන් තිබේ නම් තමන්ට දැනුම් දෙන ලෙසත්ය.

එම ප‍්‍රකාශය ඉතාමත් බරපතළ තත්ත්වයකි. වගකිවයුතු ඇමතිවරයකු ලෙස ක‍්‍රීඩා අමාත්‍යවරයා එවැනි ප‍්‍රාථමික දෙයක් පවා නොදන්නේ නම් ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩාවට දෙවියන්ගේම පිහිටයි කිව හැකිය. නීතිඥයකු ද වන ක‍්‍රීඩා අමාත්‍යවරයා එම රූපවාහිනී සාකච්ඡාවේදී පැවසුවේ ශ්‍රී ලංකාවේ නීති අනුව ක‍්‍රිකට්වලට ඔට්ටු ඇල්ලීම ද වරදක් නොවන බවත් ලෝකය බොහෝ තැන්වල එය සිදුවන බවත්ය.

එහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී පැවසුවේ ඊට පෙර මුදලට තරග පාවාදීමේ සිද්ධීන්වල වාර්තා තමන් සතුව තිබෙන බවයි. එහිදී ක‍්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ චාමර කපුගෙදර කාසියේ වාසිය ලබා කණ්ඩායම් තීරණයට පටහැනිව පන්දුවට පහරදීමට තීරණය කිරීම පිළිබඳව මෙන්ම සිම්බාබ්වේ පිලට එරෙහිව තරගාවලියේදී ලසිත් මාලිංගට පන්දු යැවීමට අවස්ථාව නොදීම පිළිබඳව ද සඳහන් කළේය.

මෙවැනි ගැලරියට ක්‍රීඩා කරන ක‍්‍රීඩා ඇමතිවරයා තවදුරටත් ඇමති ධුරයේ රැදී සිටියහොත් ‘ක‍්‍රිකට්වලට දෙයියන්ගේම පිහිටයි’ යැයි සමහරු කියති.

මීට මාසයකට පෙරද තරග පරාජයට පත්වෙත්ම ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගේ මැදිහත්වීමෙන් ක‍්‍රීඩකයන්ගේ කළමනාකරුවන්ගේ ලැයිස්තුවක් කරළියට පැමිණි අතර එහි එක ක‍්‍රීඩකයකුගේ කළමනාකරුගේ නම පමණක් ‘ටිපෙට්ස්’ යොදා මකා තිබුණි. එංගලන්තයේ පදිංචි යැයි කියන ‘ටිපෙට්ස්’ යොදා මකා දැමූ කළමනාකරු ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන තනතුරක් දරණ නිලධාරියකුගේ සමීපතමයෙකු යැයි පැවසේ.

ක‍්‍රිකට් ලොක්කන් තම ගැලවිජ්ජාවට ක‍්‍රීඩකයන්ට චෝදනා කිරීම නතර නොකළහොත් ශ්‍රී ලංකා පිල තවදුරටත් අගාධයට වැවීම වැළැක්විය නොහැක. මුදලට තරග පාවාදීම පිළිබඳව පරීක්‍ෂණ කරන්නේ නම් පළමුවෙන්ම නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ කළ යුතුය. ඉන්පසුව ක‍්‍රීඩකයන් දෙසට හැරෙන්නේ නම් වඩාත් හොඳය.

► විශේෂ ලියුම්කරුවකු විසිනි (දේශය)

17 September, 2017

තණකොළ කපන බ්ලේඩ් එකෙන් ක්‍රීඩකයන් මානසිකව වට්ටන හැටි මාලිංග හැඟීම්බරව හෙළිකරයි

lasith-malinga

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති අර්බුධකාරී තත්වය මුල්කරගනිමින් පසුගිය දිනක ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කළ ක්‍රිකට් වැඩමුළුවක් කොළඹදී පැවැත්වුණා.

එයට සහභාගී වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පසුගිය තරගාවලි කිහිපයේදී ඇති වූ එහෙත් සිදු නොවිය යුතු සිද්ධින් කිහිපයක් ගැන සිය අදහස් පැවසුවා.

ලසිත් මාලිංක එහිදී දැක්වූ අදහස් පහතින්,

"අපි තණතීරුවට ගියාම මැච් එකට කලින් කියනවා අපිට මේ වගේ තණකොළ තියලා දෙන්න කියලා.. හැබැයි එහෙම කියලා අඩි දෙකක් එහාට මෙහාට ගිහින් එනකොට තණකොළ කපලා.. ඇහුවාම කියනවා.. බ්ලේඩ් එක වැරදුණා කියලා.. ජාත්‍යන්තර තලයේ පිටිය සකස් කරන කෙනෙක් එතන ඉන්නවා නම්.. බ්ලේඩ් එක වරදිනවා නම්... මං හිතන්නේ නෑ.. එයා ඒ පිටිය සකස් කරන්න සුදුසු පුද්ගලයෙක් කියලා.

මම මේ දේ පුළුවන් හැම තැනදිම කිව්වා.. ඒත් ඒ දේවල් වුණා.. එක පාරක් නෙමෙයි දෙපාරක් මේක වෙලා තියෙනවා. එතනින් එහාට මම දන්නේ නෑ.. අපි හිතන දේ.. කියන දේ වෙන්නෙ නැතිව සිදුවීම් වුණාම තරග පරාජය වෙන්න බලපානවා.. ඒකම එකම හේතුව කියලා නෙමෙයි මම කියන්නේ.. හැබැයි ක්‍රීඩකයින් මානසිකව වැටෙනවා..

මොකද ක්‍රීඩකයන් බලාපොරොත්තුවක් ඇතුව තරගයට යන්නේ අපි කියපු දේ අපිට ලැබිලා ඇතියි කියලා.. එහෙත් පිටියට ගියාම ඒ දේ නෙමෙයි තියෙන්නේ.. අපේ සැළසුම් සම්පූර්ණයෙන් වෙනස් කරන්න වෙනවා. ඒ වගේ සිදුවීම් පසුගිය කාලයේ අපි ක්‍රීඩා කරද්දි සිදු වුණා.

එක පන්දුවක් එහෙට මෙහෙට වුනොත් ඕන තරම් බනින්න අය ඉන්නවා... පසුගිය කාලයේ ක්‍රීකට් ක්‍රීඩකයන්ට මොන මොන දේවල් කිව්වත්.. අපි බැඳිලා ඉන්න ආයතනයේ මීඩියා යුනිට් එකෙන් ඒක නිවරැදි කරන්න හෝ ඒ වෙනුවෙන් පෙනී ඉන්න කටයුතු කලේ නැහැ. අපි හැමතිස්සෙම තනි වුණා.

ක්‍රීඩකයාට පාරට බහින්න බැරි තරමට දේවල් කිව්වා.. ඒත් කිසිම පියවරක් ගත්තේ නැහැ. එහෙම කරන්න එපා.. ක්‍රීඩකයාට මානසිකව ඒවා බලපානවා.. සමාජ ජාල මාධ්‍ය අද ප්‍රබල තැනක ඉන්නවා.. වයස් බේදයකින් තොරව ඒකේ තියෙන දේවල් ජනතාව අතරට යනවා.. ඒවයේ දාන දේවල්වල සත්‍ය අසත්‍යතාව පෙන්නන්න අපේ මීඩියා යුනිට් එකට හැකියාවක් තියෙන්න ඕනේ."

ශ්‍රී ලංකා ක්‍රිකට්‌වල පුහුණුකරු වෙන්නත් හොඳ වාතාවරණයක්‌ තියෙන්න ඕන - වැටුණ ක්‍රිකට්‌ ගැන මහේල කතා කරයි

mahela-jayawardene

► ක්‍රිකට්‌ සැලැස්‌ම හදන්න මාස අටක්‌ ගියා

► ක්‍රීඩකයන් ගැන විශ්වාසය නැති වුණහම ඔවුන් ස්‌ථානය රැක ගන්න උත්සාහ කරනවා. එවිට ජයග්‍රහණ ලැබෙන්නේ නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වත්මන් තත්ත්වය අබ්බගාත වු රෝගියකු මෙනි. නමුත් ඒ රෝගියාව සුවපත් කරන්නට ඕනෑ තරම් ප්‍රතිකාර තිබුණද තවමත් හරි ප්‍රතිකාරය නොලැබීමෙන් මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාව දැඩි අර්බුදයකට ලක්‌ව තිබේ. ලෝකයම කතා කරන ක්‍රිකට්‌ විරුවන් බිහිවූ ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාව එසේ වන්නේ කෙසේද? එයට ප්‍රතිකාරය හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට ඇහුම්කන්දී ඔවුන්ගේ සැලැස්‌ම ක්‍රියාත්මක කිරීමද? නමුත් තවමත් ප්‍රශ්නය උඩු දුවමින් තිබේ.

වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාව වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා මෙරට ක්‍රිකට්‌ වෙනුවෙන් දහඩිය වැහිරූ මහේල ජයවර්ධන නම් සුපිරි ක්‍රීඩකයා අනාගතය වෙනුවෙන් සැලැස්‌මක්‌ ඉදිරිපත් කළේය. එය ක්‍රියාවට නැංවීම ඔහුගේ රාජකාරිය නොවේ. නමුත් මෙරට ක්‍රිකට්‌ ඔසවා තබන්නට ශක්‌තියක්‌ වීමට ඔහු තවදුරටත් සූදානම්ය. හරි දේ හරි විදියට කෙරෙන තැන, උපරිම සහය දීමට එක පයින් සූදානම් මහේල ජයවර්ධන "දිවයින ඉරිදා සංග්‍රහය" සමග මෙසේ දීර්ඝ කතිකාවතක යෙදුණි.

දිවයින - ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ස්‌වර්ණමය යුගය මහේල සහ සංගක්‌කාරගේ යුගයෙන් පස්‌සෙ අවසන් වෙලා තියෙනවා. දැන් ඇතිවී ඇති තත්ත්වය ගැන ඔබට දුක හිතෙන්නෙ නැද්ද මෙතැනින් ගොඩ ගන්න යමක්‌ කරන්න ඕන කියලා.

මහේල - ඇතිවී තියෙන තත්ත්වය ගැන මට කනගාටුයි. නමුත් මට බලෙන් ඇවිල්ලා මුකුත් කරන්න බැහැ. මම ක්‍රිකට්‌ කමිටුවකත් හිටියා. එතනදි මම ක්‍රිකට්‌ සැලැස්‌මක්‌ හැදුව මට පුළුවන් විදිහට. මම කියන්නෙ නැහැ ඒක ක්‍රියාත්මක කරන්න කියලා. තව කවුරු හරි ඊට වඩා හොඳ සැලැස්‌මක්‌ හදනවනම් හොඳම දේ ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම වෙනසක්‌ වෙන්නෙ නැතිව අපේ ක්‍රිකට්‌ ගොඩ ගන්න බැහැ කියල අපි ගොඩක්‌ කල් ඉඳල කියනවා.

දිවයින - ඔබ සකස්‌ කළ ක්‍රිකට්‌ සැලැස්‌මට අගමැතිවරයා සහ ක්‍රීඩා ඇමැතිවරයාත් අනුමැතිය දුන් බවට වාර්තා වුණා. නමුත් දැන් ඒක සොයා ගන්නවත් නැහැ. ඇත්තටම ඔබ මහන්සියෙන් හදපු දෙයට වටිනාකමක්‌ නැති නිසා කලකිරීමෙන්ද ඉන්නෙ?

මහේල - ඇත්තටම මට ඒ සැලැස්‌ම හදන්න මාස අටක්‌ විතර ගියා. රටවල් පහක පළමු පෙළ සහ අනෙකුත් ක්‍රිකට්‌ ආකෘති නිරීක්‍ෂණය කරල සෑහෙන මහන්සි වෙලා හැදුවා. ඉතින් මට පුළුවන් දේ මම කරල දුන්නා. ඒක ක්‍රියාත්මක කරනවද නැද්ද කියන තීරණය මට ගන්න බැහැ. නමුත් මම ආයිත් ඒ වාර්තාව නැතිව ක්‍රිකට්‌ දියුණු කරන වැඩ පිළිවෙලකට එන්නෙ නැහැ. ඒ කියන්නෙ මගේ වාර්තාවම ක්‍රියාත්මක කරන්න ඕන කියල නෙමෙයි. වඩාත් හොඳ දෙයක්‌ සිදුවිය යුතුයි.

දිවයින - ඔබ හදපු ක්‍රිකට්‌ සැලැස්‌මට සිදත් වෙත්තමුණි ඇතුළු මෙරට ක්‍රිකට්‌ ප්‍රවීණයන් බොහෝ සතුටු වුණා. නමුත් දැන් ක්‍රිකට්‌ පරාජය වෙනවා. මේකට හේතුව පරිපාලනයේ අවුලද?

මහේල - මම පිළිගන්නෙ නැහැ අවුරුදු දෙකේ ක්‍රිකට්‌ පාලනය කරපු අය හින්දම ක්‍රිකට්‌ වැටුණා කියලා. කවුරු මොනව කිව්වත් අපේ පළමු පෙළ ක්‍රිකට්‌ වෙනස්‌ වෙන්නෙ නැතිව සුපිරි ක්‍රීඩකයන් හදන්න අමාරුයි.

දිවයින - ක්‍රිකට්‌ ආයතනය පළාත් තරගාවලියක්‌ පවත්වනවා. ඒ පළාත් තරගාවලියට ක්‍රීඩා කරන්නෙ කණ්‌ඩායම් හතරයි. ඊට වැඩිය එහා ගිය සැලැස්‌ම මොකක්‌ද?

මහේල - මෙහෙමයි. පළාත් තරගාවලියක්‌ කියල කණ්‌ඩායම් හතරකට ක්‍රීඩකයන් බෙදල පැවැත්තුවට හොඳ ක්‍රීඩකයන් බිහි වෙන්නෙ නැහැ. එක්‌ එක්‌ පළාත්වලට මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවල ඒ ඒ පළාතේ ක්‍රීඩකයන් ක්‍රීඩාකරන වැඩපිළිවෙලක්‌ තමයි සකස්‌ කළ යුත්තේ. එහෙම අවුරුදු දෙක තුනක්‌ ක්‍රීඩා කරන විට ක්‍රීඩකයන් සොයා ගන්න පුළුවන්. ඒ නැතිව ක්‍රීඩකයන් ටිකක්‌ අරගෙන පළාත් හතරට බෙදල පවත්වන එක සාර්ථක නැහැ.

දිවයින - ඔබ ක්‍රිකට්‌ අතින් පෝෂණය වූ ක්‍රීඩකයකු බව ලෝකයම දන්නවා. ක්‍රියාවෙනුත් පෙන්වලා තියෙනවා. ඔබට බැරිද ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරු ලෙස ඇවිල්ලා කණ්‌ඩායම ගොඩ දාන්න. පුහුණුකරු ලෙස වැඩ කරන්න අත්දැකීම් මදි කියල ක්‍රිකට්‌ සභාපතිවරයා කියපු කතාවට පැත්තකට වෙලා ඉන්නවාද ?

මහේල - ඔහුට හිතෙන දේ වෙන්න ඇති කියන්නෙ. මොකද ඕන කෙනෙකුට ඕන දෙයක්‌ කියන්න නිදහස තියෙනවා. මම පුහුණූකරුවකු ලෙස වැඩ කරල නැහැ තමයි. නමුත් මට අවුරුදු විස්‌සක ජාත්‍යන්තර ක්‍රිකට්‌ අත්දැකීම් තියෙනවා. මම පළමු වරට පුහුණුකරුවකු ලෙස කටයුතු කළේ මුම්බායි කණ්‌ඩායමට. එතනදි අපි ශූරතාව දිනා ගත්තා.

දිවයින - මුම්බායි කණ්‌ඩායම දිනවපු පුහුණූකරුවා ඔබයි. ඒ සමග ඔබේ දක්‍ෂතාව තවත් පැහැදිලි වුණා. සචින් ටෙන්ඩුල්කාර් පවා කිව්වා අවසන් තරගය ජය ගන්න මහේල ක්‍රීඩකයන්ට කතා කරපු දේ අති විශිෂ්ටයි කියලා. මොකද එතන වුණේ

මහේල - මුම්බායි කණ්‌ඩායම ශූරතාව දිනා ගත්තෙ මගේ දක්‍ෂතාවය නිසා නොවෙයි. ඒ කණ්‌ඩායමේ ගොඩක්‌ දක්‍ෂ ක්‍රීඩකයන් හිටපු නිසා. අවසන් තරගයේදී අපි අඩු ලකුණු සංඛ්‍යාවක්‌ ලබාගෙන තිබුණෙ. එතනදි මම ක්‍රීඩකයන්ට ලොකු දෙයක්‌ කිව්වෙ නැහැ. ඔවුන්ගෙ තියෙන දක්‍ෂතාව සහ ඔවුන්ට කළ හැකි දේ අවබෝධ කරල දුන්නා.

දිවයින - ඔබට ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පුහුණුකරු හෝ තේරීම් කමිටුව භාර ගන්න කියල ආරාධනා කළොත් ප්‍රතික්‌ෂේප කරනවද? භාර ගන්නවද?

මහේල - මෙහෙමයි. මම අපේ රටේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට ආදරෙයි. නමුත් මේ දේවල් භාර ගන්නෙ හරි වාතාවරණයක්‌ උඩ වැඩ කරන්න පුළුවන් වුණොත් විතරයි. එහෙම නැතිව මම භාර ගන්නෙ නැහැ.

දිවයින - එහෙම ආරාධනාවක්‌ ඔබට ලැබිල තියෙනවද

මහේල - මේ වන තෙක්‌ කවුරුත් මට එහෙම ඉල්ලීමක්‌ කරල නැහැ. මගේ තියෙන වැඩ රාජකාරිත් එක්‌ක මට පුහුණුකරුවකු වෙන්න බලාපොරොත්තුවකුත් නැහැ. නමුත් ලංකාවෙ ක්‍රිකට්‌ වෙනුවෙන් ඕනම දෙයක්‌ කරන්න මම සූදානම්. දැනුත් මට පුළුවන් විදිහට ක්‍රීඩකයන්ට අවවාද දෙන අවස්‌ථා තියෙනවා.

දිවයින - ඇත්තටම ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට වැරදුනේ කොතනින්ද

මහේල - මම කියන්නෙ නැහැ කරපු හැම දෙයක්‌ම වැරදියි කියලා. යම් කිසි තැන්වල ස්‌ථාවරත්වයක්‌ තිබුණෙ නැහැ. උදාහරණයක්‌ විදිහට ධනංජය ද සිල්වා ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ටෙස්‌ට්‌ තරගාවලියේදී වීරයා බවට පත් වුණා. පස්‌සෙ ඔහු කණ්‌ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කළා. එතනදි අසාර්ථක වුණහම ඔහුට පරණ තැන දෙන්න ඕන. නමුත් ඔහුට දිගටම අවස්‌ථාව දුන්නෙ නැහැ. එහෙම වුණහම ක්‍රීඩකයන්ට විශ්වාසය නැති වෙනවා. විශ්වාසය නැති වුණහම ක්‍රීඩකයන් තරග දිනවන සැලැස්‌මට වඩා තමන්ට ලකුණු ගන්න උත්සහ කරනවා. ඒක සාමාන්‍ය දෙයක්‌. නමුත් ක්‍රීඩකයනුත් දැන ගන්න ඕන ඔවුන්ගෙ වගකීම ඉටු කරන්න. මේ දෙක හරියට සිදු වුණේ නැහැ.

දිවයින - ඔබ ක්‍රීඩා කරන කාලයේ මානසික වැටුණ අවස්‌ථා නැති නිසා තරග දිනුව කියලද කියන්නෙ?

මහේල - මම කියන්නෙ ඕනෑම අවස්‌ථාවක ක්‍රීඩකයන්ට එක එක පීඩන එන්න පුළුවන්. අපි ඒවා කළමනාකරණය කරගෙන ඉදිරියට යන්න ඕන. ක්‍රීඩකයන් දැන ගන්න ඕන ඔවුන්ගෙ වගකීම අරගන්න. ඒකට අනිත් අය සහය දෙන්න ඕන කියන එකයි මම කියන්නෙ.

දිවයින - මහේල සහ සංගා අනාගතය සඳහා ක්‍රීඩකයන් ආයෝජනය කළේ නැහැ කියල ඇතමුන් චෝදනා කරනවා.

මහේල - අපිට පුළුවන්ද ක්‍රීඩකයන් හදන්න. පුහුණුකරුවන්, තේරීම් කමිටු සහ තවත් පරිපාලකයන් තමයි ක්‍රීඩකයන් හදන්න ඉන්නෙ. නමුත් අපි ගහන කාලේ ඇන්ජලෝ මැතිව්ස්‌, දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න ක්‍රීඩා කළා. ඊට පස්‌සෙ කුසල් පෙරේරා, තිසර පෙරේරා, දිමුත් කරුණාරත්න වගේ ගොඩක්‌ අය ක්‍රීඩා කළා.

දිවයින - දැන් තියෙන තත්ත්වය අනුව අපේ ක්‍රිකට්‌ ගොඩ ගැනීම අපහසු තැනකට වැටිලද තියෙන්නෙ

මහේල - මගේ පෞද්ගලික ස්‌ථාවරත්වයක්‌ තියෙනවා. ඒ කියන්නෙ අපේ ක්‍රිකට්‌වලට ගැලපෙන සාරධර්ම තියෙන්න ඕන. මේ තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න අමාරු නැහැ. හැබැයි වෙනස්‌කම් කරන්න ඕන. සමහර ඒවා ටිකක්‌ බැරෑරුම් වෙනස්‌කම්. ඒ අනුව යම් කිසි සැලැස්‌මකට ගියොත් තව අවුරුදු දෙකකින් අපිට ලෝකයේ හොඳම කණ්‌ඩායම වෙන්න නැවතත් පුළුවන්.

අසේල විතාන (දිවයින)

16 September, 2017

ලංකාව පරද්දන්න ඉන්දියාව කළ සැළසුම් මෙන්න - වැරදීමකින් ඉන්දීය කණ්ඩායම ප්ලෑන ක්‍රීඩාගාරයේ දමා ගිහින්...!!!

TITLE

ඉන්දීය කණ්ඩායමට 9-0ක පූර්ණ තරගාවලි ජයග්‍රහනයක් අත් කර දෙමින් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පසුගිය දා නිමා වුනා.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ක්‍රීඩාංගනයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා සියල්ල ගොනු කර ඔවුන් දවා ගැනීමට ඉන්දීය කණ්ඩායම සෑදු පන්දු යැවීමේ සැළැස්ම අඩංගු පත්‍රිකාව මේ වන විට හෙළිවී තිබෙනවා.

ඒ ඉන්දීය කණ්ඩායම විසින් අත්වැරදීමකින් ගාල්ල ක්‍රීඩාංගණයේ ඉන්දීය කණ්ඩායම භාවිතා කළ සැළසුම් කාමරයෙහි එය දමා ගොස් තිබීම හේතුවෙන්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන්ගේ දුර්වලතා සහ ඔවුන් දවා ගත යුතු අයුරු මෙම පත්‍රීකාවේ පැහැදිලිව විස්තර කර ඇති අතර පිතිකරුවන්ගේ දක්ෂතා මෙන්ම ඔවුන් දුර්වලව මුහුණදෙන පන්දු ඉන්දීය කණ්ඩායම විසින් මැනවින් අධ්‍යනය කර තිබෙනවා.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරාද පිතිකරුවෙක් සේ සලකා ඔහුත් දවා ගැනීමට සැළසුම් කර තිබීමයි.

එම සැළසුම් පත්‍රීකාව පහතින්.

TITLE

15 September, 2017

කෝටි ගණනක වෙළෙඳ දැන්වීමක් ප්‍රතික්ෂේප කරමින් ලොව පුරා ක්‍රීඩකයන්ට කෝලි දුන් අපූරු ආදර්ශය...!

virat-kohli-fitness

විරත් කෝලි කියන්නේ පුවත් මවන චරිතයක්.ඒ විතරක් නෙමෙයි ලෝකෙම බලා ඉන්න තරුවක්. ඔහු ගන්න සෑම පියවරක් දිහාම බොහෝ දෙනා බලන් ඉන්නවා. සල්ලි පස්සේ විතරක් දුවන ක්‍රීඩකයන්ට අපූරු ආදර්ශයක් දෙමින් කෝලි කළ වැඩක් නිසා බොහෝ දෙනාගේ අවධානය නැවතත් කෝලි වෙත යොමුවෙලා.

හින්දු පුවත්පත වාර්තා කරන ආකාරයට කෝලි මිලියන ගණනක සිසිල් බීම ගණුදෙනුවක් ප්‍රතික්ෂේප කරලා. ඔහු වායුකෘත බීම වර්ග පාවිච්ච නොකරන නිසාත්, වායුකෘත සිසිල් බීම පාවිච්ච නොකරන සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුමනය කරන නිසාත් කෝලි මේ තීරණය අරන් තියනවා කියලයි වාර්තාවෙන්නේ.

ලංකාවට එන්න කලින් ඉන්දියාවේ ක්‍රීඩකයන්ට තිබුණු 'Yo-Yo' endurance පරීක්ෂනයෙදි වැඩිම ලකුණු අරන් තියෙන්නෙත් කෝලි. කෝලි මේ පරීක්ෂනයෙදි ලකුණු 21 අරන් තියෙන්නේ ඉන්දියානු කණ්ඩායමේ හොඳම ෆිට්නස් තියන ක්‍රීඩකයා වෙමින්. ලෝකේ හොඳම ෆිට්නස් කියන කණ්ඩායම ලෙස සැලකෙන්නෙත් ඉන්දියානු කණ්ඩායමයි.

virat-kohli-fitness

13 September, 2017

මහමුදුල්ලා හා රබෙල් හුසේන් නැවතත් සංචිතයට

TITLE

එළඹෙන සැප්තැම්බර් මස 28 වන දා ආරම්භ වීමට නියමිත බංගලාදේශ් – දකුණු අප්‍රිකා ටෙස්ට් සංචාරය සඳහා බංගලාදේශ කණ්ඩායමට මහමුදුල්ලා හා රබෙල් හුසේන් කැඳවා ඇත.

ශකීබ් අල් හසන්ගේ මාස 6ක විරාමය බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තහවුරු කිරීමත් සමඟ ඔවුන් දෙදෙනාට මෙම අවස්ථාව ලබා දුන් බව බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

මේ මස ආරම්භ වීමට නියමිත දකුණු අප්‍රිකා ටෙස්ට් තරග සංචාරය සඳහා වේගපන්දු යවන්නන්ගෙන් බලවත් වූ සංචිතයක් ප්‍රකාශයට පත් කර ඇති අතර බංගලාදේශ දඟපන්දු යවන ක්‍රීඩක නසීර් හුසේන් මෙවර සංචිතයෙන් ඉවත් කර ඇත. සංචිතයේ 15 වෙනි ක්‍රීඩකයා ලෙස වේගපන්දු යවන ක්‍රීඩක සුබාසිස් රෝයි නම් කර ඇත.

රබෙල් පසුගිය ජනවාරි මාසයෙන් පසුව ටෙස්ට් තරගයකට සහභාගි නොවූ අතර මහමුදුල්ලා ද බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වූ 100 වෙනි ටෙස්ට් තරගයටත් සහභාගි නොවීය. මහමුදුල්ලා මෙවර සංචිතයට කැඳවා ඇත්තේ, මාස 6ක විරාමයකට ටෙස්ට් පිටියෙන් බැහැරව සිටින ශකීබ් අල් හසන්ට ආදේශකයක් ලෙසයි.

2011 ඔක්තෝබර් මස තම මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ නසීර්, මේ වන විට ටෙස්ට් තරග 19ක දී කඩුලු 8ක් දවාගෙන ඇත. ඔහුගේ සාමාන්‍ය 55.25ක අගයක පවතී. නසීර් අවසාන වරට ටෙස්ට් තරගාවලියට සහභාගි වූයේ 2015 ජූලි මාසයේ දී ය.

බංගලාදේශ කණ්ඩායමේ ප්‍රධාන තේරීම් නිලධාරි මින්හජුල් අබෙඩින් මාධ්‍ය වෙත පවසා සිටියේ, මහමුදුල්ලා කණ්ඩායමට ඇතුළත් කර ඇත්තේ ඔහුට වේගපන්දු වලට ඉතා හොඳින් මුහුණ දීමේ හැකියාවක් ඇති නිසා බවයි. තවද ඔහු පවසා සිටියේ ශකීබ් එළඹෙන දකුණු අප්‍රිකා ටෙස්ට් සංචාරය සඳහා බලාපොරොත්තු නොවන බවත්, ශකීබ්ට හැකි නම් මෙම තරගාවලියට සහභාගි විය හැකි බවත්ය. මින්හජුල් මහතා වැඩිදුරටත් පවසා සිටියේ ශකිබ් අල් හසන් ටෙස්ට් සංචාරය සඳහා සහභාගි නොවුවත්, එක්දින තරග 3ට හා විස්සයි විස්ස තරග 2ට ඔහු අනිවාර්යයෙන් සහභාගි වන බවයි.

බංගලාදේශ සංචිතය

නායක හා කඩුලු රකින ක්‍රීඩක රහීම්, තමිම් ඉක්බාල්, සෞම්‍ය සාකර්, ඉම්රුල් කායස්, සබීර් රහමාන්, මහමුදුල්ලා, ලිටන් දස්, මෙහෙදි හසන්, ටයිජුල් ඉස්ලාම්, මුශ්ෆිකර් රහාමාන්, රබෙල් හුසේන්, ශෆියුල් ඉස්ලාම්, ටස්කීන් අහ්මඩ්, ශුබාසිස් රෝයි, නොමිනුල් හක්. (ද පපරේ)

12 September, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් මීළග පුහුණුකරු මහේල?

mahela-jayawardene

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස මේ වන විට කටයුතු කරන්නේ නික් පෝතාස් මහතායි.

ඒ, කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රැහැම් ෆෝර්ඩ් මහතා සි‍ය තනතුරෙන් ඉවත්වීම හේතුවෙන්.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ස්ථිර පුහුණුකරුවෙක් පත් කිරීම ළඟදීම දිනයක සිදුවන බව වාර්තා වනවා.

එම ධූරය සදහා සළකා බැලිය හැකි පුහුණුකරු ලයිස්තුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්දන මහතා ද සිටින බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ කීර්තිමත් ප්‍රවීණ ක්‍රීඩකයෙක් වන නායක මහේල ජයවර්ධන මහතා මේ වනවිට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

කෙසේ වෙතත් ඔහු මෙතෙක් ඒ සඳහා සිය එකගතාවය පළ කර ඇද්දැයි වාර්තා වන්නේ නැහැ.

මහේල ජයවර්ධනට අමතරව

# නික් පෝතාස්,
# ඩීන් ජෝන්ස්,
# ස්ටීවන් ෆ්ලෙමිං,
# මාවන් අතපත්තු සහ
# පෝල් නික්සන් ද

නාම යෝජනා ලබා දුන් පුහුණුකරුවන් අතර සිටින බවයි ක්‍රිකට් ආරංචිමාර්ග පවසන්නේ.

10 September, 2017

ක්‍රිකට්‌ පැරදුණේ 'ඇදගෙන නා ගැනීමෙන්ද'

nic-pothas-sri-lanka-cricket-coach

මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාව දැන් වැටී ඇත්තේ ගැඹුරු ප්‍රපාතයකටය. මේ ප්‍රපාතයෙන් ගොඩ එන්නට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කරවන ඉහළ බලධාරීන් දැන්ම 'සුපිරි ගේමක්‌' ක්‍රියාත්මක නොකළහොත් එම ගැඹුරු ප්‍රපාතයේම ක්‍රිකට්‌ වැළලී යනු ඇත. නමුත් තවමත් සිදුවන්නේ පරණ තැටියම කරකැවීම බැවින් ක්‍රිකට්‌ ගොඩ ගන්නට නම් අලුත් තැටියක්‌ සොයාගත යුතු යෑයි අප දිගින් දිගටම සඳහන් කර සිටියෙමු. අවාසනාවකි. බලධාරීහු ඇස්‌ නොපෙනෙන කන් නොඇසෙන සේ පටි තද කරගද්දී ක්‍රිකට්‌ තවත් එරී ඇති සෙයකි.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මේ ගැන සොයාබලන බවට ඒත්තු ගැන්වීමට හෝ මොනයම් විකල්පයක්‌ සොයාගැනීම උදෙසා හෝ මෙරට සිටින සියලුම ක්‍රිකට්‌ විශේෂඥයන්ව කැඳවා විසඳුමක්‌ සෙවීමට සැලැස්‌මක්‌ සකස්‌ කර තිබේ. එම අදහස්‌ විමසීම ලබන 15 වැනිදා සිදුවන අතර එයත් 'අතීසාරයට අමුඩ ගැසීමක්‌' වේදැයි ඇත්තේ දෙගිඩියාවකි. කෙසේ වෙතත් ක්‍රීඩා ඇමැතිවරයාගේ සිට ක්‍රිකට්‌ පරිපාලනයේ ඉහළ පුටුවල සිටින සියලු දෙනාම මෙරට ක්‍රිකට්‌ කප්පාදුවේ කොටස්‌කරුවන්ය. ඒ මෙරට ක්‍රිකට්‌ වැඩිම පරාජයන් ගොන්න ලැබුවේ ඔවුන්ගේ සමයේදීය.

කෙසේ වෙතත් අදාළ පරාජයන් සමඟ මුලින්ම ඉවත් වූයේ ශ්‍රී ලංකා පුහුණුකරු ග්‍රැහැම් ෆොaඩ්ය. ඒ වෙනුවට පත්වූ නික්‌ පෝතාස්‌ගේ බාහුවේ ඇත්තේ බුදුරුවක 'පච්චයක්‌' බව ක්‍ෂේත්‍රයේ ප්‍රසිද්ධ කතාවකි. එම නිසා දෝ පෝතාස්‌ අත් දිගට දමාගෙන මාධ්‍ය හමුවලට පැමිණීම පුරුද්දක්‌ කරගෙන ඇත. ඒ පච්චයත් ශ්‍රී ලංකාවේ පරාජයට සාපයක්‌ විය හැකිය. ඔහු පුහුණුකරු ධුරය පටන් ගත් දා සිට ක්‍රිකට්‌ ආකෘති තුනේදීම ශ්‍රී ලංකාව සහභාගි වූ තරග 15 කින් 11 ක්‌ම පරාජය වී තිබේ. 'ශ්‍රී ලංකා කණ්‌ඩායමට 'කෝකියෝ' ගොඩක්‌ ඉන්නවා යෑයි කියූ පෝතාස්‌ එම ප්‍රකාශයෙන් පැය 48 ක්‌ ඇතුළත ඇතුළේ සියල්ල හොඳින් බව තවත් දෙබිඩි කතාවක්‌ කීවේ රැකියාව ආරක්‌ෂා කරගැනීමට විය හැකිය.

2019 වැනි තෙක්‌ නායකත්වයේ ඔටුන්න පළඳා සිටි ඇන්ජලෝ මැතිව්ස්‌ හිටි හැටියේම ඔටුන්න ගලවා දැමුවේ ගහෙන් ගෙඩි එන්නාක්‌ මෙනි. එංගලන්තයේ පැවැති චැම්පියන්ස්‌ කුසලාන තරගාවලියේ පළමු තරගයට සූදානමින් සිටි මැතිව්ස්‌ට නායකයා ලෙස විවේකයක්‌ ලැබුණි. ඒ ඔහුගේ ආබාධය සුව නොවීම යෑයි කතාවක්‌ පැතිරුණ ද මැතිව්ස්‌ තරගයට පෙර දිනයේ ඕවල් පිටියේ අපූරුවට වට කිහිපයක්‌ දුවගොස්‌ ශාරීරික ව්‍යායාම්වල ද නිරත විය. කෙසේ හෝ සිම්බාබ්වේ තරගාවලියේ ටෙස්‌ට්‌ තරගයට පැය 48 ක්‌ පමණ තිබියදී මැතිව්ස්‌ ඉල්ලා අස්‌වීම තීන්දු කර දැමුවේය. මැතිව්ස්‌ගෙන් පසු චන්දිමාල්ට ටෙස්‌ට්‌ පිලත් තරංගට එක්‌දින හා විස්‌සයි විස්‌සත් ඔටුන්න හිමිවිය. අවාසනාව මෙයයි. ඉන්දියාව සමඟ පැවති ටෙස්‌ට්‌ තරග තුන සහ එක්‌දින තරග පහ ඇතුළත ශ්‍රී ලංකා පිල මෙහෙයවීමට නායකයන් පස්‌ දෙනෙක්‌ පත්කිරීමට සිදුවිය. ඊට හේතුව තරග තහනම් සහ ආබාධය. එක්‌ තීරණයකින් කණ්‌ඩායමක්‌ කණපිට පෙරළෙන්නේ සිදුනොවිය යුතු වෙනස්‌කම් නිසා බැවින් බව ක්‍රිකට්‌ ගැන අග සිට මුලටම දන්නා 'පණ්‌ඩිතයන්ට' නොවැටහීම ද එක්‌තරා කරුමයකි.

පියවරෙන් පියවර ලොව ඉහළටම ගිය මෙරට ක්‍රිකට්‌ හිටි හැටියේ හතර හන්ඳි කැඩෙන්නට පොළොවේ ගසා දැන් අවසන්ය. දැන් ඇත්තේ ප්‍රතිකාර සෙවීමයි. එබැවින් කවුරු මොන 'බයිලා' ගායනා කළ ද මෙරට ක්‍රිකට්‌ යනු ඉතාමත් ගාම්භීර ලෙස දලු ලා වැඩුනු වෘක්‌ෂයක්‌ බව අතීතයේ ඕනෑ තරම් සාක්‌ෂි තිබේ. නමුත් එසේ තිබූ බටහිර ඉන්දීය කොදෙව්වන් සහ සිම්බාබ්වේ වැනි රටවලට සිදුවූ ක්‍රිකට්‌ වින්නැහිය මෙරට ද දැන් සේන්දුවී ඇති සෙයකි.

පන්දුවාර පනහ (1996) සහ විස්‌සයි විස්‌ස (2014) ලෝක ශූරතා දිනූ ශ්‍රී ලංකාව තවත් ලෝක කුසලාන තරගාවලි හතරකම අනුශූරයෝ බවට පත්විය. ලොව වැඩිම ටෙස්‌ට්‌ සහ එක්‌දින කඩුලු බිඳ දැමූ සුපිරි පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන් ද බිහිවූයේ ක්‍රිකට්‌වලටම උපන් දේශයක්‌ වන ශ්‍රී ලංකාවේදීය. එපමණක්‌ ද නොව ලෝකයේ ඕනෑම ජගතකු මට්‌ටු කළ අරවින්ද, සනත්, සංගක්‌කාර සහ මහේල වැනි පිතිකරුවෝ බිහිවූ දෙරණ ද මෙයම වේ. ඉන්දියාව අපිට පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ඉතිහාසයේ මව්බිමේදී උරුම කරදුන් දරුණුතම පරාජය උරුම කරමින් ගෙදර ගියේය. නමුත් 1997 දී අපි ඉන්දියානුවන්ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හති වැටෙනකන් ටෙස්‌ට්‌ තරගයකදී තලා දැමුවේය. ඒ ටෙස්‌ට්‌ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව (952/6) වාර්තා කරමිනි. අදටත් එය ලෝක වාර්තාවකි.

එවැනි ඉතිහාසයක්‌ තිබූ ශ්‍රී ලංකාව පසුගියදා ඉන්දියාව සමඟ අවසන් වූ ටෙස්‌ට්‌ තරග ත්‍රිත්වයේදීම කඩුලු 60 ක්‌ දැවී ලබා ඇත්තේ ලකුණු 1421 කි. එහිදී ඉන්දියානුවන් ටෙස්‌ට්‌ තරග තුනේදීම ඉනිම හතරක්‌ පමණ ක්‍රීඩා කරමින් ලකුණු 1949 ක්‌ ලබා ගනිද්දී බිඳ වැටුණේ කඩුලු 32 ක්‌ පමණි. එපමණක්‌ ද නොව එක්‌දින තරග පහේදීම ශ්‍රී ලංකාවට ලකුණු 250 සීමාව පන්නා යැමට නොහැකි විය. ටෙස්‌ට්‌, එක්‌දින සහ විස්‌සයි විස්‌ස තරග රටා තුනේදීම ශ්‍රී ලංකාව සිය මව්බිමේදී අවසන් වරට තරග වැදුන අවස්‌ථා 20 කදී 14 වතාවක්‌ම පරාජය වී තිබේ. ඒ පරාජයන් බංග්ලාදේශයට ටෙස්‌ට්‌ තරගයක්‌ සහ එක්‌දින තරග දෙකක්‌, සිම්බාබ්වේට එක්‌දින තරග තුනක්‌, ඉන්දියාවට ටෙස්‌ට්‌ තරග තුනක්‌, එක්‌දින තරග පහක්‌ සහ විස්‌සයි විස්‌ස තරගයක්‌ ලෙසින් සටහන් වේ.

මේ පරාජයන් සමඟ ගොඩනැඟී ඇති විහිළු කතා වන්නේ, 'ඕනෑම කණ්‌ඩායමකට නැඟීම් සහ වැටීම් තියෙනවා. අපි නවක කණ්‌ඩායමක්‌. තවත් අවුරුදු දෙකක්‌ යන කොට කණ්‌ඩායම හොඳ තැනක සිටීවී' යන වදන්ය. මේවා බෝඩ් ලෑලිවල ලියා ගනිමින් ක්‍රිකට්‌වලට වගකිව යුතු සියලු පාර්ශ්ව පැය 24 ම සිටියත් මෙරට ක්‍රිකට්‌ මේ දුවන දිවිල්ලට ගියහොත් තවත් වැඩි කල් නොගොස්‌ම 'නට්‌ටන්' වනු ඇත. එවිට ටෙස්‌ට්‌ වරම් අහිමි වන්නට පුළුවන. එපමණක්‌ ද නොව ලෝක කුසලාන වරම ලබන්නට වන්නේ ද සුදුසුකම් ලැබීමේ වටයකිනි. දැනටත් ඒ අවදානම තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පරදින්නට හේතුව අවසන් වශයෙන් මෙසේ යළිත් සටහන් කර සිටිමු, 'මෙරටට ශක්‌තිමත් පළාත් තරගාවලියක්‌ අවශ්‍යව තිබේ. ප්‍රිමියර් කණ්‌ඩායම් 24 මෙරට ක්‍රිකට්‌ වලට දක්‍ෂයන් සොයා ගැනීමට නොහැකි තරගාවලියක්‌ බවට පත්ව තිබේ. එපමණක්‌ ද නොව. මහේල, සංගක්‌කාර සහ ඩිල්ෂාන් තුන් කට්‌ටුව වෙනුවට ඒ තැනට ආදේශ කරමින් සිටි මැතිව්ස්‌, චන්දිමාල් සහ තිරිමාන්න තුන් කට්‌ටුවගේ මනස විකෘති කරමින් ඔවුන්ව අමාරුවේ දැමීම ද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පරාජයන්ට තවත් අතුරු පහරකි.

සංගක්‌කාර සහ මහේලලා යුගයේදී කණ්‌ඩායමේ ස්‌ථානය දිනාගත් තිරිමාන්නට සහ චන්දිමාල්ට දැන් කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ නොමැත. චන්දිමාල්ට ටෙස්‌ට්‌ ලේබලය ගසා එක්‌දින තරගවලින් ඔහුව ඉවත් කළේය. තිරිමාන්නට මාස 19 ක්‌ ජාත්‍යන්තර ක්‍රිකට්‌ පෙන්නුවේ නැත. නායකත්වයට පදම් කළ මැතිව්ස්‌ට ඔටුන්න එපා කළේය. නමුත් මැතිව්ස්‌ගේ නායකත්වය යටතේ තිරිමාන්න සහ චන්දිමාල් එක දිගට ක්‍රීඩා කළේ නම් අද ඔවුන් රට දිනවන වික්‍රමයක්‌ කරනු ඇත. එවිට කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්‌, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්‌වැල්ල, අසේල ගුණරත්න, ධනංජය ද සිල්වා සහ උපුල් තරංගලා අතර කණ්‌ඩායමේ ස්‌ථානය ගැනීමට තරගයක්‌ නිර්මාණය වනු ඇත. ඉන්දියානුවන් අද ශ්‍රී ලංකාව තලා දැම්මේ ද කෝලි, රහනේ, ධවාන් සහ රෝහිත් ෂර්මා යන ක්‍රීඩකයන්ට නොකඩවා ස්‌ථානය දෙමින් ඔවුන්ගේ මනස දිනන තැනට ගෙන ඒමෙනි. නමුත් අපේ ක්‍රිකට්‌ රැකගත යුතු සම්පත්වල මොළ විකෘති කරමින් ඉල්ලන් කා ඇත. දැන් ක්‍රිකට්‌ තේරීම් කමිටුව ද ගෙදර ගොස්‌ය. නමුත් ක්‍රිකට්‌ ගොඩගන්නට මහා ලොකු සැලැස්‌මක්‌ කිරීමට පෙර අවධානය යොමු කළ යුතු සියුම් තැන් ගැන සොයා බැලුවහොත් ගොඩ යා හැකි බව ද මතක්‌ කර සිටිමු.

අසේල විතාන (දිවයින)

09 September, 2017

ජෝතිපාල මහත්තයත් ක්‍රිකට් පරාජයන් ගැන කියපු විදිය ඊයේ T20යෙන් පස්සේ හෙළිවුණු හැටි

TITLE

සංචාරක ඉන්දියාව සමගින් පැවති එකම T20 තරඟයෙනුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පරාජයට පත්වුනා.

ඒ ටෙස්ට්, එක්දින, විස්සයි 20 තරඟ සියල්ලම පරාජය වෙමින්.

ඊයේ තරඟයේ පළමුවට පන්දුවට පහරදුන් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම නියිමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171 රැස් කළා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්ෂාන් මුණවීර අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වුණා.

ජයග්‍රාහී ලකුණු 171 ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19.2 කඩුලු 3ක්පමණක් දැවී එම ඉලක්කය පසු කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා පිළේ පරාජයෙන් පසුව ඊයේ තරඟය පිළිබඳ මුහුණු පොතේ පළවූ නිර්මාණ කිහිපයක් පහතින්.

TITLE

කායවර්ධනයේ ක්‍රීඩක මර්දනයට පුෂ්පරාජ්ගේ අතුල් පහර (Photos)

lucion-pushparaj

51 වැනි ආසියාතික කායවර්ධන තරගාවලිය පසුගියදා දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්වුණ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලූෂන් පුෂ්පරාජ් ක්‍රීඩකයා එහිදී ආසියාවේ අයෝමය පුරුෂයාට හිමි රන් සම්මානය හිමිකර ගත්තේ ය.

කායවර්ධන ක්‍රීඩාවේ නොමැකෙන මතක සටහන් තබමින් ලක් ධජය ආසියාවේ ඉහළින් තබන්නට ලූෂන් පුෂ්පරාජ් සමත් වූයේ අතිශය කටුක, දුෂ්කර මාවතක් තරණය කරමිනි. ජයග්‍රහණයෙන් පසු කඳුළු මතින් නැඟි මිනිසා ලක් ධජය සිප ගැනීමට පසුගියදා පෙරළා මව්බිමට පා තැබීය. තරගාවලිය ජයග්‍රහණය කිරීමත් සමඟ ආසියාවේ හොඳම කායවර්ධන ශූරයා ලෙස ලක් දෙරණේ පුත්‍ර රත්නයක් කිරුළු පැළඳීම පිළිබඳ ශ්‍රී ලාංකිකයන් ලෙස සියලෝම උදම් අනනු ඇත. එහෙත් මේ වත්මන් ශ්‍රී ලංකාව ක්‍රීඩාව යන උද්දෘත යටතේ අන්ත දූෂිත හා අන්ත පරාජිත ජන කොට්ඨාසයක් බව ලොව ඉදිරියේ සටහන් කරමින් පසුවන මොහොතකි. ඒ අතර ලූෂන් පුෂ්පරාජ් නමැති අයෝමය පුරුෂයා ලක්මව වෙනුවෙන් දහඳිය කඳුළු වගුරා මව්බිමේ නම ඉහළින් තබන්නට සමත් වීම විශේෂත්වයකි.

ලූෂන් පුෂ්පරාජ් යනු ශ්‍රී ලංකාව තුළ කායවර්ධන ක්‍රීඩාව යෙදෙමින් තම රට දැය වෙනුවෙන් ජයග්‍රහණ ගෙන ඒමට කැපවී කටයුතු කළ එක් ක්‍රීඩකයෙක් පමණි. එවැනි දස දහස් ගණන් ක්‍රීඩකයන් අපට අහිමි කර ඇත්තේ, ක්‍රීඩා බලධරයන් යැයි කියා ගන්නා අනුවණයන් ය. ඊට කදිම උදාහරණය ලූෂන් පුෂ්පරාජ් වන අතර ලූෂන් ආසියාතික කාර්යවර්ධනයට සහභාගී වන්නේ, කටාර් රාජ්‍යයේ සිට ය. කටාර් රාජ්‍යය තම සේවා ස්ථානය ලෙස තෝරා ගන්නා ලූෂන්.. තම සිතැති ක්‍රීඩාව පසෙක නොදමා, අවශ්‍ය පහසුකම් එකිනෙක සපයා ගනිමින් අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රීඩාවට පණ පෙවී ය. ඒ අනුව ඔහු කුවේට් රාජ්‍යයෙහි Iron man gym ආයතනයේ පුහුණුකරුවකු ලෙස සේවය කරමින් තම සහජ දක්ෂතාව වැඩි දියුණු කර ගැනීමට උත්සුක විය.

2013 වසරේ දී ඕමානයේ කිලෝග්‍රෑම් 100 බර පන්තිය යටතේ පැවැති විවෘත තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන එන්නට සමත් වූ ඔහු එම වසරේ දීම ගෝල්ඩන් ශ්‍රී ලංකා අයෝමය පුරුෂයා ලෙසත් සම්මාන දිනා ගන්නා ලදී. අනතුරුව 2014 වසරේ දී ආසියානු තරගාවලිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පුෂ්පරාජ් රිදී පදක්කම දිනා ගත්තේය. ඉන් පසුව තමන්ට ජාත්‍යන්තර තරග බිමට පිවිසෙන්නට තිබූ අවස්ථා අහිමි වූ බව පවසන පුෂ්පරාජ්ගේ අදහස ශ්‍රී ලංකාවේ කායවර්ධන සම්මේලනය විසින් තම ක්‍රීඩාව මිහිදන් කිරීමට අවශ්‍ය වටපිටාව සැකසූ බවයි. ඊට සෘජු ප්‍රතිචාර දක්වමින් පුෂ්පරාජ් ශ්‍රී ලංකාවේ කිසිදු නිලධරයකුගේ හෝ සහයක් නොමැතිව තම හැකියාව ලොව ඉදිරියේ ප්‍රදර්ශනය කර ක්‍රීඩා අමාත්‍යාංශයට අතුල් පහරක් එල්ල කර ඇත.

2014 වසරේ ආසියානු තරගාවලියේ රිදී පදක්කම්ලාභී පුෂ්පරාජ් දැක් වූ දක්ෂතාවයන් හා හැකියාවන් දෙස වුවමනාවෙන් හා කැපවීමෙන් නොබැලූ කායවර්ධන සම්මේලනය කුහකත්වය ප්‍රදර්ශනය කරමින් පුෂ්පරාජ්ට ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට නොහැකි වන ලෙස තරග තහනමකට ලක් කළේ ය. ක්‍රීඩා නිලධරයන් එදා පුෂ්පරාජ්ට ශ්‍රී ලංකාව නියෝජනය කිරීම පවා ප්‍රතික්ෂේප කර ඇත්තේ කවර කාරණයක් නිසා දැයි ජනතාව පෙළගැසී ඔවුනගෙන් ප්‍රශ්න කළ යුතුය. ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාව යන නම බැබළවූයේ ක්‍රීඩාව මිස දේශපාලනය නොවේ. අදූරදර්ශී පාලකයන් මේ රටේ සිටින අතිදක්ෂ ක්‍රීඩකයන් පළවා හැර තම හිතෛෂීන්ට පිත්ත අතට දුන් අරුමයක මහිම දැන් දැන් පෙනෙන්නට ඇත. ක්‍රිකට් ක්‍රීඩාව අකර්මන්‍ය කළේ ද ඒ අයුරින්ම ය. පුෂ්පරාජ් එදා කායවර්ධන සම්මේලනයේ ඇති අඩු පාඩු පෙන්වා දෙමින් මාධ්‍ය ඉදිරියේ කරුණු පැහැදිලි කළ අතර ඉන් කුපිත වූ සම්මේලනකරුවන් කරුණු නොවිමසාම පුෂ්පරාජ්ට තරග තහනමක් පැනවීය.

එදා අවම වශයෙන් පුෂ්පරාජ්ට විනය පරික්ෂණයක් හෝ සිදුකරන්නට සම්මේලනයට නොහැකි වීම විමතිය දනවන කරුණකි. මාධ්‍ය ඉදිරියේ කරුණු දැක්වීම ක්‍රීඩකයකු කළ යුත්තක් නොවන්නේ නම්, ඊට ක්‍රීඩා අමාත්‍යාංශය මැදිහත් වී ක්‍රීඩකයාගේ විනය ආරක්ෂා කරන අතරතුර ක්‍රීඩකයා රැක ගැනීමට කටයුතු කළ යුතුය. එවැන්නක් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සිදු නොවුණ තැන පුෂ්පරාජ් කටාර් රාජ්‍යයේ අනුග්‍රහය යටතේ ක්‍රීඩාවෙන් ඉදිරියට පැමිණෙයි. දහසකුත් බාධක මැඩගෙන තම අතින් වියහියදම් පියවාගෙන වුව මෙකී ක්‍රීඩකයා දකුණු කොරියාවේ පැවැති තරගාවලියට සහභාගී වූයේ ශ්‍රී ලංකා ධජය යටතේ ය. කුවේට් රාජ්‍යයේ රැකියාවක් කරමින් උපයන මුදලින් ක්‍රීඩාව වැඩිදියුණු කරගෙන ලක් ධජය තම දෙවුරේ රඳවා තරග කරන්නට පුෂ්පරාජ්ට ඇති වුවමනාව කවරක් ද? ලක් රජයේ ක්‍රීඩා නිලධරයන් තම හෘද සාක්ෂියෙන් විමසිය යුත්තේ තම ක්‍රීඩකයන්ට කෙනහිළිකම් කළේ තමා විසින්ම බව නොවේ ද?

පුෂ්පරාජ් එළවා දමා තම හිතෛෂීන් ක්‍රීඩාවට එක් කළ ද ජය ගත නොහැකි බව පසක් කරගත් කායවර්ධන සම්මේලනය සමාජ මාධ්‍ය ඔස්සේ පුෂ්පරාජ් කෙළසීමට උත්සාහ කළේ ය. කිසිවෙකුත් මාධ්‍ය ඉදිරියේ පුෂ්පරාජ් කළ මෙහෙය ගැන කතා කළේ නැත. ක්‍රීඩා අමාත්‍යවරයාට හෝ මෙකී ක්‍රීඩකයා ගැන අවබෝධයක් නොමැති ද? යන්න සැකයකි. පුෂ්පරාජ් ගැන ඔවුන් කතා කරන්නේ නැත. කතා කළ නොහැකිය. ආසියාවේ හොඳම කායවර්ධන ශිල්පියා පුෂ්පරාජ් වූ තැන ශ්‍රී ලංකාවේ කායවර්ධන සම්මේලනය ඊට සුබ පැතුම් හෝ එක් නොකළේ මන් ද? මෙය හුදෙක් ක්‍රීඩකයන් එල්ල කර ගනිමින් පහර දීමක් වන අතර දක්ෂ ක්‍රීඩකයන් ඉදිරියට ඒම වැළැක්වීමකි.

තම ක්‍රීඩාව ගැන අදහස් දක්වන ලූෂන් පුෂ්පරාජ්...

2016 දී ස්පාඤ්ඤයේ පැවැති ලෝක කාර්යවර්ධන ශූරතා තරගාවලියට සහභාගි වෙන්න මම ආවේ කුවේට් රාජ්‍යයේ ඉදලා. ඒ වෙනකොට මට විද්‍යුත් මාධ්‍ය ආයතනයකින් ක්‍රීඩා සජීවී වැඩසටහනකට ආරාධනා ලැබිලා තිබුණා. එහි දී මම මේ ක්‍රීඩාව හා සම්මේලන අතර ඇති ඇත්ත ප්‍රශ්න ගැන කතා කළා. එදා සම්මේලනයේ අය මට විරුද්ධව තරග තහනමක් නිකුත් කළා ඔවුන් විවේචනය කළා කියලා.

මම විදෙස් ගත වුණේ, ක්‍රීඩාව ප්‍රශ්නයක් කරගෙන නෙමෙයි, ඒත් මගේ ආයතන ප්‍රධානියාගේ ඉල්ලීමක් මත මම මේ ක්‍රීඩාව කරන්න තෝරා ගත්තා. ඒ තෝරා ගැනීම අනුව මම තරගාවලි කිහිපයකට මුහුණ දීලා ලංකාවට පදක්කම් දිනා දීලා තියෙනවා. මම කිසිම දෙයක් රජයෙන් හෝ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් බලාපොරොත්තු වුණේ නෑ. රජයෙන් කිසිම දෙයක් මම අරගෙනත් නෑ. මම උපයන මුදල් තමයි මේ ක්‍රීඩාවට වැය කරන්නේ. මගේ ක්‍රීඩාවෙන් ලක් මවට පදක්කමක් ගෙන එනවා කියන අරමුණ මගේ හිතේ තිබුණා. සම්මේලනය දිහා බලා හිටියා නම් අද මට මේ පදක්කම ගන්න ලැබෙන්නේ නෑ.

මට මේ ක්‍රීඩාව කරන්න ගොඩක් වියදම් යනවා, ආහාර රටාව නිවැරැදිව පවත්වා ගැනීමට හා පුහුණුවීම්වලට විශාල මුදලක් වැය කරන්න ඕන. මම රැකියාවක් කරන ගමන් තමයි මේ දේවල් කරන්නේ. මේ ක්‍රීඩාවට මාසයකට ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වැය කරන්න ඕන. මගේ මව්පියන් හා බිරිය දරුවන් කියන අයත් බලාගෙන මම මේ ක්‍රීඩාව කළා. 51 වැනි ආසියාතික කායවර්ධන ශූරතාවලියට මම යනකොට ලංකාවේ ඉන්නෙ කායවර්ධන සම්මේලනයේ අය කොරියාවේ සම්මේලනයේ ලේකම්වරයාට කෙටිපණිවුඩ පවා යවලා තිබුණේ මාව ඉදිරිපත් වීම වළක්වන්න කියලයි. එහෙම කරලා ඒ අය දිනනවා නම් කමක් නෑ. දිනන්නත් බෑ, මමයි ආසියාවේ හොඳම කායවර්ධන ශිල්පියා. ඒ පදක්කම මම දිනාගත්තා. හැබැයි ඒක ලංකාවට ගේන්න විදිහක් නෑ. මට අනුග්‍රහය දක්වපු ආයතනය ඒක තියාගත්තා. ඒ ගැන මට දුකයි. අපේ නිලධරයන් මේවා ගැන හිතන්න ඕන. මම මහන්සි වෙලා දිනාගත්තු ඒ කුසලානය වෙන රටක තියලා මට උපන් රටට එන්න වුණා. මට කියන්න තියෙන්නෙ මේ සම්මේලන මේ රටේ ක්‍රීඩකයන්ට කළේ කුහකකම විතරයි කියලයි.

කොරියාවට එනවා කියලා දැනගත්තු ගමන් එහේ ඉන්න මගේ මිතුරෝ සියල්ලෝම ඇවිත් මට උදව් කළා. එතකොට මට හැඟුණා අපි විදෙස්ගත වෙලා හිටියත් කොයිතරම් රට වෙනුවෙන් කැපකිරීම් කරනවා ද කියලා. මේ ජයග්‍රහණය පිටි පස්සේ හිටියේ මගේ මිතුරන් විතරයි. මම ඒ අයට ස්තූති කරන්න මේක අවස්ථාවක් කර ගන්නේ යැයි පවසමින් පුෂ්පරාජ් නිහඬවන්නට වූයේ කලකිරුනු ස්වභාවයකිනි.

ජයග්‍රහණයෙන් පසු පුෂ්පරාජ් පිළිගැනීමට ක්‍රීඩා සම්මේලනය හෝ අමාත්‍යාංශ බලධරයන් කිසිවකුත් නොපැමිණි අතර ඔහුගේ පිළිගැනීම සියලු මාධ්‍ය ආවරණයන් ඔස්සේ විකාශය කරමින් සංවිධානය කර ඇත්තේ ඔහුගේ හිතෛෂීන් විසිනි. ඒ අතරට ලෝකප්‍රකට මෝටර් රථ ධාවන ශූරි ඩිලන්ත මාලගමුව පැමිණ සිටීම ද විශේෂත්වයකි. එවැන්නෙක් හෝ විත් මොහු පිළිගැනීම ආඩම්බර විය යුතුය. ලූෂන් පුෂ්පරාජ් පිළිබඳ අසා ඇතිමුත් දැක නොමැති බව පවසන ධාවනශූරි ඩිලන්ත මාලගමුව,

“ලූෂන් පුෂ්පරාජ් කියන ක්‍රීඩකයා ගැන මම අහලා තිබුණාට දැකලා තිබුණේ නෑ. කොහොම නමුත් එයා ලංකාවට එනවා කියලා දවස් දෙකකට කලින් මට දැනුම්දීලා තිබුණා. මගේ පුද්ගලික රාජකාරි සියල්ල අතැර දාලා මම එදා එයාර්පෝර්ට් එකට ගියා.

මම එතැනට ගියෙත් ලූෂන් කියන චරිතය සිතින් මවාගෙන. මම දැක්කා එයාර්පෝර්ට් එකෙන් යෝධයෙක් වගේ කෙනෙක් එනවා. එතකොටත් ලූෂන් කඳුළු වඟුරමින් තමයි ආවේ. ඒකෙන්ම මම හිතාගත්තා හොඳ හදවතක් තියෙන කෙනෙක් කියලා. ඔහු එක පැත්තකින් සතුටට කඳුළු හෙළනවා, අනෙක් පැත්තෙන් දුකට කඳුළු හෙළනවා. ලක්මවට රන් පදක්කමක් ගෙන දුන් සතුටත්, එවැනි දෙයක් කරලා එනකොට බලධරයන් කරන කෙනෙහෙළිකම් දැක ඔහු කඳුළු හෙළනවා.

අපි ක්‍රීඩකයෝ විදිහට ලංකාවේ නම ලෝකයට අරගෙන යනවා. අපේ හිත් සිංහ හිත්. මේ රටෙන් ගිහින් අපි තරග කරන්නේ ධනවත් රටවල් එක්ක. ඒ රටවල ක්‍රීඩකයන්ට දස දහස් ගණනින් වියදම් කරන්න අනුග්‍රහයකයෝ ඉන්නවා. ඒත් අපි වගේ ක්‍රීඩකයන්ට අනුග්‍රහය දක්වන්න මේ රටේ අය ඉදිරිපත් වෙන්නේ නෑ. අපි කියන්නේ අනෙක් ක්‍රීඩාවලට දෙනවා වගේ 10%ක ප්‍රතිපාදනයක් අපිටත් දෙන්න. එතකොට අපි අපේ ක්‍රීඩාවෙන් පදක්කම් ගෙනත් පෙන්වන්නම්. ලූෂන් යන්නෙත් මම යන්නෙත් ජාතික ගීය ගයන තැනක ජාතික ධජය යටතේ ක්‍රීඩා කරන්නයි. අපි පොඩි රටක්, ඒ නම ලෝකයේ ඉදිරියෙන් තියනකොට ආඩම්බර කාට ද, මම දැකලා තියෙනවා අනෙක් ක්‍රීඩාවල ක්‍රීඩකයෝ කියනවා මානසිකව වැටිලා ඉන්නෙ කියලා.

එහෙනම් ලූෂන් වගේම මමත් වැටිච්ච වැටිල්ලට ඉන්න ඕන අංගොඩ.

ලූෂන් පුෂ්පරාජ් පිළිබඳ ක්‍රීඩා විචාරකයන් හා ක්‍රීඩකයන් ප්‍රසංශනාත්මකව කතා කරන අතර තවමත් ක්‍රීඩා බලධරයන් නිහඬව සිටින්නේ මන්ද යනු ප්‍රශ්නයකි. මේ සම්බන්ධයෙන් කතිකාවක් ඇතිවිය යුතුය. ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයන්ට එල්ලවන බලධරයන්ගේ පීඩන රට අපකීර්තියට පත් කරන්නා සේම රටට හිමිවිය යුතු තැන අහිමි කරන බැවිනි.


lucion-pushparaj

lucion-pushparaj

lucion-pushparaj

lucion-pushparaj

lucion-pushparaj

lucion-pushparaj

lucion-pushparaj

lucion-pushparaj

lucion-pushparaj

lucion-pushparaj





දුමින්ද අලුත්ගෙදර (දිනමිණ)

විස්සයි විස්ස තරඟයේදී සිදු වූ කාසියේ වාසියේ අවුලේ ඇත්ත නැත්ත ගැන තරංග මාධ්‍යට කියයි

TITLE

පසුගියදා ඉන්දියාවට ජය ගෙනදෙමින් නිමාවූ විස්සයි විස්ස තරඟයේදී කාසිය වාසිය සම්බන්ධයෙන් කතාබහක් ඇතිවුණා. එහිදී කියැවුණේ කාසිය වාසිය ශ්‍රී ලංකාව දිනා තිබුණත් වැරදීමකින් එය ඉන්දියාව ජයගත් බවට ප්‍රකාශ වුණු බවයි.

කාසිය වාසිය උරගා බලන අවස්ථාවෙදී මේ පිළිබඳව සැක මතුකරන අයුරින් විනිසුරුවරයා හැසිරීමද කාගෙත් කතාබහට ලක්වුණා. කෙසේ නමුත් මේ වනවිට උපුල් තරංග විසින් පවසා ඇත්තේ විවිධ මාධ්‍ය වාර්තාවල දැක්වෙන ලෙසින් එම අවස්ථාවේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට නොලැබුණු බවයි.

ඉන්දීය මාධ්‍ය විසින් වාර්තාකර තිබූ පුවත වැරදි බවත් එය උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ වෙබ් අඩවිද වාර්තා කර තිබූ ලෙසින් කිසිදු වැරැද්දක් කාසියේ වාසිය උරගා බලන අවස්ථාවෙදී සිදු නොවූ බව තරංග වැඩිදුරටත් පවසා තිබෙනවා.