28 May, 2017

ආසියානු රග්බි තරගාවලිය

Asian Rugby Championship

ඔමල්ක ගුණරත්නගෙන් මැලේසියාවේදී විශිෂ්ට දස්කම්.

ශ්‍රී ලංකා රග්බි ක‍්‍රීඩාව තවදුරටත් ආසියානුව තුළ දෙවැනි කොටසේ හෝ රැදී සිටීමට නම් ඔමල්ක ගුණරත්න වැනි ක‍්‍රීඩකයන් වැඩි වැඩියෙන් නිර්මාණය කළ යුතුව තිබෙන බව මැලේසියාවේ ඉපෝහිදී අවසන් වූ ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ තරග නැරඹීමෙන් පැහැදිලි විය.

එම තරගාවලියට සහභාගි වූ මැලේසියාව, පිලිපීනය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය යන කණ්ඩයම් තුනටම මදි නොකියන්නට විදේශීය ක‍්‍රීඩකයෝ ඇතුළත්ව සිටියහ. ශූරයන් වූ මැලේසියානු පිලට ෆිජී ජාතික ක‍්‍රීඩකයෝ 7 ක් පමණ ඇතුළත්ව සිටියහ. පිලිපීන පිල කළු ජාතිකයන් සහ සුදු ජාතික විදේශ ක‍්‍රීඩකයන් ද, එක්සත් අරාබි එමිර් රාජ්‍ය පිල සම්පූර්ණයෙන්ම සුදු ජාතික විදේශ ක‍්‍රීඩකයන්ගෙන් ද, සමන්විත විය.

ශ්‍රී ලංකාව පමණක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගෙන් සමන්විතව සහභාගි වූ අතර ශ්‍රී ලංකා ජවය කොපමණද කිවහොත් අවසන් මහ තරගයේදී මැලේසියානු පිලට මිනිත්තු 60 ක් පමණ ලකුණු රුස්කිරීම වැළැක්වීමට ශ්‍රී ලංකා පිල සමත් විය.
 
මැලේසියානු පිල දෙවැනි අර්ධයේදී ඔවුන්ගේ තරග සැළැස්ම වෙනස් කරමින් පන්දු රැගෙන දුවනවා වෙනුවට ඉදිරි පෙළ ක‍්‍රීඩකයන් පන්දුව මීටර් කිහිපය බැගින් ගෙන ගොස් ගෝල සීමාවට ළංවීමට උත්සුක වූහ. එම සැලසුම සාර්ථක වෙමින් ලැබූ උත්සාහක දිනුම් දෙකෙන් මැලේසියාවට ජයග‍්‍රහණය හිමිවිය.

ශ්‍රී ලංකා පිල තුළ වේගය සහ ශක්තිය අවශ්‍ය පමණ තිබූ අතර සෙන්ටර් ක‍්‍රීඩක ධනුෂ්ක රංජන් ආබාධයකට ලක්වීමෙන් අවසන් මහ තරගයට සහභාගි නොවීමද දැඩි පාඩුවක් බවට පත්වූ බව කිවයුතුය.

අංක 8 ක‍්‍රීඩක ඔමල්ක ගුණරත්න, සියලුම තරගවල දැවැන්ත ක‍්‍රීඩකකයන් සමඟ කරට කර ක‍්‍රීඩා කළ ආකාරය ප‍්‍රශංසනීය බව කිවයුතුය. මැලේසියානු තරගයේදී ඔමල්ක, දැවැන්ත කළු ජාතික ක‍්‍රීඩකයන් තිදෙනකු සමඟ පවා පොරබදන ආකාරය දැකගත හැකිවිය.

මැලේසියාවට එරෙහිව තරගයේදී ශ්‍රී ලංකාව සැබවින්ම දකුණු ශාන්තිකර කලාපයට එරෙහිව එසේත් නැත්නම් ෆිජී ජාතිකයන්ට එරෙහිව ක‍්‍රීඩා කළ බව කිවහොත් එහි වරදක් නැත. තරගාවලියෙන් පසුව නායක රොෂාන් වීරරත්න පැවසුවේ ශ්‍රී ලංකා රග්බි සංගමයේ වර්තමාන වැඩපිළිවෙළ ඉදිරියට ගියහොත් ශ්‍රී ලංකා රග්බි ක‍්‍රීඩාව තවදුරටත් දියුණු වන බවයි.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා පැවසුවේ රාජ්‍ය අනුග‍්‍රහය ලැබෙන්නේ නම් තම සංගමයේ දීර්ඝකාලීන වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කළ හැකි බවයි. ක‍්‍රිකට් හැරුණු විට ශ්‍රී ලංකා ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන්ම සිටින ක‍්‍රීඩාව රග්බි වන අතර එම ක‍්‍රීඩාව තවදුරටත් රුක ගැනීමේ වගකීම රට කරවන්නන් සතු බව අමුතුවෙන් කිවයුතු නැත.

 යොහාන් භාසුර, මැලේසියානු සංචාරයෙන් පසු.. (deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ආසියානු රග්බි තරගාවලිය"

    Post a Comment