28 May, 2017

මට මාසයක්ම බත් කන්න දුන්නෙ නැහැ - අන්තිම දවස් වෙද්දි බාගෙට මැරිලා හිටියේ

Chulakshi Ranathunga-04

පසුගියදා ස්පාඤ්ඤයේ පැවැති ලොව හොඳම නිරූපිකාවට හිමි කිරුළ දිනාගැනීමට ශ්‍රී ලාංකික නිරූපිකාවක් වූ චූලක්ෂි රණතුංගට හැකියාව ලැබුණා. ඇය 2014 වසරේදී ලක් රූ රැජින කිරුලද හිමිකරගත් නිරූපිකාවයි. ස්පාඤ්ඤයේ පැවැති International best female model world 2017 තරගාවලියේ කිරුළ දිනා ලංකාවට ආ චූලක්ෂි සමඟ හදසර අපි කතා කළා.

චූලක්ෂිට මේ තරගාවලියට යන්න අවස්ථාව ලැබුණේ කොහොමද..?
මේ තරගාවලියට යන්න මට අවස්ථාව ලැබුණේ කවින් හේවාවිතාරණ සහ බ්‍රයන් මහතා විසින් ලංකාවේ නිරූපිකාවන් අතර තෝරා ගැනීමක් කිරීමෙන් පසුවයි. එයාලා තීරණය කරලා තිබුණා 2014 මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගැනීෙම් අත්දැකීම් එක්ක මේ තරගාවලියට මාව සුදුසුයි කියලා.

ඉතා කෙටි කාලයකින් නේද චූලක්ෂි මේ තරගාවලියට සහභාගි වුණේ...?
ඔව්... ඇත්තටම. ඒ සඳහා මට තිබුණේ මාසයක් වගේ කෙටි කාලයක් විතරයි. තරගාවලියකට මාසයක් කියන්නේ ඉතාම සුළු කාලයක්නේ.
තරගයට මුහුණ දුන්නේ ලොකු මානසික පීඩනයකින්

ඔය වෙහෙසකර තත්ත්වයට චූලක්ෂි මුහුණදුන්නේ කොහොමද?
ඇත්ත. මේක ගොඩක් වෙහෙසකාරී කාලයක් වුණා. මාසේ අන්තිම දවස් හතර පහ තුළදී මමත් ලොකු දෙගඩියාවකින් හිටියේ මේ තරගාවලියට මම යනවද නැද්ද කියලා. ඒ තරමටම පුදුම වෙහෙසක් දැනුණා. ඒ කාලයේදී දවස් ගෙවෙන හැටි මට දැනුණේ නෑ. උදේ පටන් අරගෙන රූ කොහොමද ඉවරවෙන්නේ කියලා මට තේරැණේ නෑ. ඒ තරමටම මහන්සියක් දැරුවා.

ඒ කැපකිරීම් එක්ක ආහාරත් පාලනය කළාද?
ඔව්. මම ඒ දවස්වල චුට්ටක් මහතට හිටියා. ඒ නිසා මාසයක් ඇතුළත මම කොහාමද කෙට්ටු වෙන්නේ කියලා මම මගේ ට්‍රේනිං සර්ගෙන් ඇහුවා. එයාගේ තීරණය වුණේ ඒ මුළු මාසයේදීම මට බත් තහනම් කියලා. ඒ මාසෙටම මම බත් කෑවේ නෑ. ව්‍යායාම් කළා. බැඩ්මින්ටන් සෙල්ලම් කළා. ඒ හැමදේමට මට මගේ යාළුවෝ ගොඩක් උදව් කළා.

ඊට අමතරව මොනවද තව කළේ?
ඒ කාලයේදී මට නින්දක් නෑ. මානසික පීඩනයකින් තමයි මම මේ තරගයට මුහුණ දුන්නේ. දවස් කීපයකින් මම ලබපු ජයග්‍රහණයක් තමයි මේ.

අන්තිම දවස් වෙද්දි බාගෙට මැරිලා හිටියේ

මේ සඳහා බොහෝ රටවල් සහභාගි වුණාද?
ඔව්... මේක ලොව හොඳම නිරූපිකාවගේ කිරුළ දිනාගැනීමේ තරගාවලිය. ඒ නිසා බොහෝ රටවල් මේ සඳහා සහභාගි වුණා.

ඒ අතරින් චූලක්ෂිට ලොකුම අභියෝගය වුණේ කවුද?
එක රටක් කියලා කියන්න බෑ. හැම රටකින්ම ආපු නිරූපිකාවන් එයාලගේ උපරිම දායකත්වය මේකට ලබලා දුන්නා. හැම රටක්ම නියෝජනය කරන්න ආපු හැම නිරූපිකාවක්ම ඇවිල්ලා තිබුණේ මේ කිරුළ මම දිනාගෙන යනවා කියන අදහසිනුයි. ඒ නිසා හැම කෙනෙක්ම මට අභියෝගයක් වුණා.

මේ සඳහා තිබුණු අංග මොනවාද?
මේ සඳහා ඇඳුම් විලාසිතා, ඡායාරෑප සඳහා පෙනී සිටින විලාසිතා, බෙස්ට් කැට්වෝක්, සැඳෑ සමය සඳහා විලාසිතා වැනි අංශ නියෝජනය කළා.

මේ සඳහා චූලක්ෂිට අනුග්‍රාහකයෙක් හිටියද?
මේ සඳහා සැඳෑ සමයේ විලාසිතා ඇඳුම මයිකල් විජේසූරිය මහතා, දේශීය ඇඳුම් විලාසිතාව හිරාන් මහතා විසිනුත් මීට අමතරව රාජිනී මහත්මියත් LICC සමාගමත් මට උදව් කළා. අනිත් හැම වියදමක්ම දරන්න සිද්ධ වුණේ මගේ පවුලේ අයටයි. මගේ ටිකට් එක පවා මගේ මුදලින් තමයි හොයාගත්තේ. මම ගියේ මගේ රට නියෝජනය කරන්නයි. ඒත්.... ඒකට මට ලාෙකු වියදමක් දරන්නට සිද්ධ වුණා.

එදා ලොව හොඳම නිරූපිකාවගේ කිරුළ හිමිකර ගනිද්දී මොකද චූලක්ෂිට හිතුණේ?
ඇත්තටම මට ඒ වෙලාවේ දැනුණේ මගේ පෞද්ගලික හැඟීමක් නොවේ. මම දිනනවා කියන්නේ මගේ රට දිනුව කියන එකටයි. මගේ රට පොඩි රටක්. ඒ තරගාවලියේ හිටපු සමහරු මං ශ්‍රී ලංකාව කිව්වම ඒ රට ළඟද කියලා අහන තත්ත්වයක් තිබුණා. සමහරු මගේ රට ගැන දැනන් හිටියේ නෑ. විශාල රටවල් එක්ක තරග වැදලා මගේ රට ජයග්‍රහණය කරද්දී මට මගේ රට ගැන ලොකු ආඩම්බරයක් ඇතිවුණා. පුංචි කාලයකින් ලොකු වෙහෙසක් දරලා මම ලබපු ජයග්‍රහණය ගැන මගේ ඇස්වලට කඳුළු ආවා. මේ වෙනුවෙන් මගේ ගෙදර අය, යාළුවෝ වගේම බොහෝ දෙනා මට උදව් කළා. ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි.

ඊළඟ ඉලක්කය මොකක්ද?
මම රඟපාපු පළවෙනි චිත්‍රපටය දේදුනු ආකාසේ එළිදක්වන්න දැන් ළඟයි. ඒකත් මම හිතනවා මගේ ජීවිතේ වෙනස්ම පැතිකඩක් දකින්න ලැබේවි කියලා. ඉතින් මම ආසාවෙන් කරපු දෙයක් තමයි දේදුනු ආකාසේ කියන්නේ.‍

► Text – Dishani / Pic - Internet (deshaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මට මාසයක්ම බත් කන්න දුන්නෙ නැහැ - අන්තිම දවස් වෙද්දි බාගෙට මැරිලා හිටියේ"

    Post a Comment