29 September, 2017

නාළිකාවක් හෝ නොමැති ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නාළිකා ප්‍රධානියෙක්

kamal-deshapriya

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නාළිකා ප්‍රධානී (Head of Channel) වශයෙන් දක්ෂ ක්‍රිකට් විස්තර විචාරකයෙකු හා රංගන ශිල්පියෙකු වන කමල් දේශප්‍රිය මහතා පත් කිරීමට වත්මන් ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබේ. ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වන තරග විකාශ කටයුතු (රූපවාහිනී හා ගුවන් විදුලි) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්ම සිදු කිරීමට නියමිතය.

මෙහිදී තරග විකාශ කටයුතුවලින් වෙනත් රූපවාහිනී හා ගුවන් විදුලි නාළිකා වෙත ගලා යන සුවිශාල ධනස්කන්ධය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතම රඳවාගෙන එම මුදල් ක්‍රිකට් අනාගතය සඳහා ආයෝජනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි ‘අද’ට අනාවරණය වේ.

මේ වනතෙක් අදාළ ක්‍රිකට් තරගාවලි ආවරණය කිරීමට පහසුකම් හෝ මෙවලම් ක්‍රිකට් ආයතනයට ආනයනය කර හෝ වෙනත් පාර්ශ්ව වෙතින් ලබාගෙන නොමැති පසුබිමක මෙන්ම නාළිකාවක් හෝ නොමැතිව නාළිකා ප්‍රධානියෙකු පත් කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ මුදල් නාස්තියක් සිදුව ඇතැයි පිරිසක් චෝදනා කරති.

ඉහළ වැටුපකට හිමිකම් කියන කමල් දේශප්‍රිය මහතා අදාළ තනතුරේ වැඩ භාරගෙන මාසයකට ආසන්න කලක් ගතව ඇතත් එවැනි නාළිකාවක් හෝ මෙතෙක් ආරම්භ කිරීමට අවශ්‍ය පදනම හෝ සකස් කර නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට්වලට හිතැති පිරිස් පෙන්වා දෙති.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, ක්‍රිකට් තරග විකාශ කටයුතු සඳහා අවශ්‍ය පදනම සකසාගෙන මෙවැනි පත්වීම් සිදු කළේ නම් එය වඩාත් ඵලදායී වනු ඇති බවයි.

අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර එහිදී එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ, කමල් දේශප්‍රිය මහතා තනතුරට අදාළව මූලික වාර්තාවක් ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල මහතා වෙත ලබාදී ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සතුව මේ වනවිට නාළිකාවක් ලෙස පවතිනුයේ වෙබ් රේඩියෝව පමණක් වන අතර, එහි නීත්‍යනුකූල අයිතියද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් ලබාගෙන නොමැති බව හෙළිවේ. එහි අයිතිය (Author) පවතිනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවයේ නියුතු තොරතුරු තාක්ෂණ උපදේශක (IT Consultant) නදීශාන් සුරියආරච්චිටය. මෙය අදාළ වෙබ් රේඩියෝ අන්තර්ජාල යෙදවුමට (Application) ගොස් බැලූවිට පැහැදිලිව දර්ශනය වන්නේය. මෙතෙක් එහි හිමිකාරීත්වය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අපොහොසත්ව තිබේ.

මේ අතර වත්මන් ක්‍රිකට් බලධාරීන් පරිපාලනයට පැමිණි දින පවසා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව අතිරික්ත කාර්යමණ්ඩලයක් (Over Staff) සිටින බවත් එනිසා එහි සේවකයන්ගෙන් පිරිසක් ඉවත් කර (සියලු දීමනා හා ගෙවීම් ලබාදී) අනෙක් සේවකයන් පළාත් ක්‍රිකට් සංගම් වෙත අනුයුක්ත කිරීමට පියවර ගන්නා බවයි. එය ඒ ආකාරයෙන්ම සිදුවූ අතර පිරිසකට රැකියා අහිමිවිය.

තවත් පිරිසක් පළාත් සංගම්වලට අනුයුක්ත වූහ. එවැනි වටපිටාවක් තුළශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් පාලනාධිකාරිය තවත් කොන්ත්‍රාත් සේවකයන් රාශියක් ඉහළ වැටුප් ගෙවමින් සේවයට මේ වනවිට බඳවාගෙන තිබේ. මේ ඉන් තවත් එක් බඳවා ගැනීමක් පමණි. මෙවැනි පත්වීම් කිහිපයක් ක්‍රිකට් ආයතනය තුළ මේ වනවිට ක්‍රියාත්මක වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කරන රාජකාරියක් නැතැයි ක්‍රිකට් සේවකයෝ චෝදනා කරති.

එනිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තරග විකාශ අයිතිය ලබාගෙන ඉන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට මුදල් ආයෝජනය කිරීමට ගත් තීරණය පැසසිය යුතු අතර, මේ ආකාරයෙන් කිසිදු විනිවිදභාවයකින් තොරව පත්වීම් සිදුකිරීම සම්බන්ධයෙන් නිසි බලධාරීන් වහා මැදිහත් විය යුතුය. ඒ මෙවැනි පත්වීම් නිසි ක්‍රමවේදවලට සිදුකළ යුතු හෙයිනි. තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පාලනාධිකාරිය එය අවබෝධ කරගෙන නොමැති වීම කනගාටුවට කරුණකි. (පැතුම් ශ්‍රී විජේරත්න - අද)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නාළිකාවක් හෝ නොමැති ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නාළිකා ප්‍රධානියෙක් "

    Post a Comment