17 September, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට්‌වල පුහුණුකරු වෙන්නත් හොඳ වාතාවරණයක්‌ තියෙන්න ඕන - වැටුණ ක්‍රිකට්‌ ගැන මහේල කතා කරයි

mahela-jayawardene

► ක්‍රිකට්‌ සැලැස්‌ම හදන්න මාස අටක්‌ ගියා

► ක්‍රීඩකයන් ගැන විශ්වාසය නැති වුණහම ඔවුන් ස්‌ථානය රැක ගන්න උත්සාහ කරනවා. එවිට ජයග්‍රහණ ලැබෙන්නේ නෑ

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ වත්මන් තත්ත්වය අබ්බගාත වු රෝගියකු මෙනි. නමුත් ඒ රෝගියාව සුවපත් කරන්නට ඕනෑ තරම් ප්‍රතිකාර තිබුණද තවමත් හරි ප්‍රතිකාරය නොලැබීමෙන් මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාව දැඩි අර්බුදයකට ලක්‌ව තිබේ. ලෝකයම කතා කරන ක්‍රිකට්‌ විරුවන් බිහිවූ ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාව එසේ වන්නේ කෙසේද? එයට ප්‍රතිකාරය හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට ඇහුම්කන්දී ඔවුන්ගේ සැලැස්‌ම ක්‍රියාත්මක කිරීමද? නමුත් තවමත් ප්‍රශ්නය උඩු දුවමින් තිබේ.

වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාව වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා මෙරට ක්‍රිකට්‌ වෙනුවෙන් දහඩිය වැහිරූ මහේල ජයවර්ධන නම් සුපිරි ක්‍රීඩකයා අනාගතය වෙනුවෙන් සැලැස්‌මක්‌ ඉදිරිපත් කළේය. එය ක්‍රියාවට නැංවීම ඔහුගේ රාජකාරිය නොවේ. නමුත් මෙරට ක්‍රිකට්‌ ඔසවා තබන්නට ශක්‌තියක්‌ වීමට ඔහු තවදුරටත් සූදානම්ය. හරි දේ හරි විදියට කෙරෙන තැන, උපරිම සහය දීමට එක පයින් සූදානම් මහේල ජයවර්ධන "දිවයින ඉරිදා සංග්‍රහය" සමග මෙසේ දීර්ඝ කතිකාවතක යෙදුණි.

දිවයින - ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ස්‌වර්ණමය යුගය මහේල සහ සංගක්‌කාරගේ යුගයෙන් පස්‌සෙ අවසන් වෙලා තියෙනවා. දැන් ඇතිවී ඇති තත්ත්වය ගැන ඔබට දුක හිතෙන්නෙ නැද්ද මෙතැනින් ගොඩ ගන්න යමක්‌ කරන්න ඕන කියලා.

මහේල - ඇතිවී තියෙන තත්ත්වය ගැන මට කනගාටුයි. නමුත් මට බලෙන් ඇවිල්ලා මුකුත් කරන්න බැහැ. මම ක්‍රිකට්‌ කමිටුවකත් හිටියා. එතනදි මම ක්‍රිකට්‌ සැලැස්‌මක්‌ හැදුව මට පුළුවන් විදිහට. මම කියන්නෙ නැහැ ඒක ක්‍රියාත්මක කරන්න කියලා. තව කවුරු හරි ඊට වඩා හොඳ සැලැස්‌මක්‌ හදනවනම් හොඳම දේ ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම වෙනසක්‌ වෙන්නෙ නැතිව අපේ ක්‍රිකට්‌ ගොඩ ගන්න බැහැ කියල අපි ගොඩක්‌ කල් ඉඳල කියනවා.

දිවයින - ඔබ සකස්‌ කළ ක්‍රිකට්‌ සැලැස්‌මට අගමැතිවරයා සහ ක්‍රීඩා ඇමැතිවරයාත් අනුමැතිය දුන් බවට වාර්තා වුණා. නමුත් දැන් ඒක සොයා ගන්නවත් නැහැ. ඇත්තටම ඔබ මහන්සියෙන් හදපු දෙයට වටිනාකමක්‌ නැති නිසා කලකිරීමෙන්ද ඉන්නෙ?

මහේල - ඇත්තටම මට ඒ සැලැස්‌ම හදන්න මාස අටක්‌ විතර ගියා. රටවල් පහක පළමු පෙළ සහ අනෙකුත් ක්‍රිකට්‌ ආකෘති නිරීක්‍ෂණය කරල සෑහෙන මහන්සි වෙලා හැදුවා. ඉතින් මට පුළුවන් දේ මම කරල දුන්නා. ඒක ක්‍රියාත්මක කරනවද නැද්ද කියන තීරණය මට ගන්න බැහැ. නමුත් මම ආයිත් ඒ වාර්තාව නැතිව ක්‍රිකට්‌ දියුණු කරන වැඩ පිළිවෙලකට එන්නෙ නැහැ. ඒ කියන්නෙ මගේ වාර්තාවම ක්‍රියාත්මක කරන්න ඕන කියල නෙමෙයි. වඩාත් හොඳ දෙයක්‌ සිදුවිය යුතුයි.

දිවයින - ඔබ හදපු ක්‍රිකට්‌ සැලැස්‌මට සිදත් වෙත්තමුණි ඇතුළු මෙරට ක්‍රිකට්‌ ප්‍රවීණයන් බොහෝ සතුටු වුණා. නමුත් දැන් ක්‍රිකට්‌ පරාජය වෙනවා. මේකට හේතුව පරිපාලනයේ අවුලද?

මහේල - මම පිළිගන්නෙ නැහැ අවුරුදු දෙකේ ක්‍රිකට්‌ පාලනය කරපු අය හින්දම ක්‍රිකට්‌ වැටුණා කියලා. කවුරු මොනව කිව්වත් අපේ පළමු පෙළ ක්‍රිකට්‌ වෙනස්‌ වෙන්නෙ නැතිව සුපිරි ක්‍රීඩකයන් හදන්න අමාරුයි.

දිවයින - ක්‍රිකට්‌ ආයතනය පළාත් තරගාවලියක්‌ පවත්වනවා. ඒ පළාත් තරගාවලියට ක්‍රීඩා කරන්නෙ කණ්‌ඩායම් හතරයි. ඊට වැඩිය එහා ගිය සැලැස්‌ම මොකක්‌ද?

මහේල - මෙහෙමයි. පළාත් තරගාවලියක්‌ කියල කණ්‌ඩායම් හතරකට ක්‍රීඩකයන් බෙදල පැවැත්තුවට හොඳ ක්‍රීඩකයන් බිහි වෙන්නෙ නැහැ. එක්‌ එක්‌ පළාත්වලට මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවල ඒ ඒ පළාතේ ක්‍රීඩකයන් ක්‍රීඩාකරන වැඩපිළිවෙලක්‌ තමයි සකස්‌ කළ යුත්තේ. එහෙම අවුරුදු දෙක තුනක්‌ ක්‍රීඩා කරන විට ක්‍රීඩකයන් සොයා ගන්න පුළුවන්. ඒ නැතිව ක්‍රීඩකයන් ටිකක්‌ අරගෙන පළාත් හතරට බෙදල පවත්වන එක සාර්ථක නැහැ.

දිවයින - ඔබ ක්‍රිකට්‌ අතින් පෝෂණය වූ ක්‍රීඩකයකු බව ලෝකයම දන්නවා. ක්‍රියාවෙනුත් පෙන්වලා තියෙනවා. ඔබට බැරිද ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පුහුණුකරු ලෙස ඇවිල්ලා කණ්‌ඩායම ගොඩ දාන්න. පුහුණුකරු ලෙස වැඩ කරන්න අත්දැකීම් මදි කියල ක්‍රිකට්‌ සභාපතිවරයා කියපු කතාවට පැත්තකට වෙලා ඉන්නවාද ?

මහේල - ඔහුට හිතෙන දේ වෙන්න ඇති කියන්නෙ. මොකද ඕන කෙනෙකුට ඕන දෙයක්‌ කියන්න නිදහස තියෙනවා. මම පුහුණූකරුවකු ලෙස වැඩ කරල නැහැ තමයි. නමුත් මට අවුරුදු විස්‌සක ජාත්‍යන්තර ක්‍රිකට්‌ අත්දැකීම් තියෙනවා. මම පළමු වරට පුහුණුකරුවකු ලෙස කටයුතු කළේ මුම්බායි කණ්‌ඩායමට. එතනදි අපි ශූරතාව දිනා ගත්තා.

දිවයින - මුම්බායි කණ්‌ඩායම දිනවපු පුහුණූකරුවා ඔබයි. ඒ සමග ඔබේ දක්‍ෂතාව තවත් පැහැදිලි වුණා. සචින් ටෙන්ඩුල්කාර් පවා කිව්වා අවසන් තරගය ජය ගන්න මහේල ක්‍රීඩකයන්ට කතා කරපු දේ අති විශිෂ්ටයි කියලා. මොකද එතන වුණේ

මහේල - මුම්බායි කණ්‌ඩායම ශූරතාව දිනා ගත්තෙ මගේ දක්‍ෂතාවය නිසා නොවෙයි. ඒ කණ්‌ඩායමේ ගොඩක්‌ දක්‍ෂ ක්‍රීඩකයන් හිටපු නිසා. අවසන් තරගයේදී අපි අඩු ලකුණු සංඛ්‍යාවක්‌ ලබාගෙන තිබුණෙ. එතනදි මම ක්‍රීඩකයන්ට ලොකු දෙයක්‌ කිව්වෙ නැහැ. ඔවුන්ගෙ තියෙන දක්‍ෂතාව සහ ඔවුන්ට කළ හැකි දේ අවබෝධ කරල දුන්නා.

දිවයින - ඔබට ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පුහුණුකරු හෝ තේරීම් කමිටුව භාර ගන්න කියල ආරාධනා කළොත් ප්‍රතික්‌ෂේප කරනවද? භාර ගන්නවද?

මහේල - මෙහෙමයි. මම අපේ රටේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට ආදරෙයි. නමුත් මේ දේවල් භාර ගන්නෙ හරි වාතාවරණයක්‌ උඩ වැඩ කරන්න පුළුවන් වුණොත් විතරයි. එහෙම නැතිව මම භාර ගන්නෙ නැහැ.

දිවයින - එහෙම ආරාධනාවක්‌ ඔබට ලැබිල තියෙනවද

මහේල - මේ වන තෙක්‌ කවුරුත් මට එහෙම ඉල්ලීමක්‌ කරල නැහැ. මගේ තියෙන වැඩ රාජකාරිත් එක්‌ක මට පුහුණුකරුවකු වෙන්න බලාපොරොත්තුවකුත් නැහැ. නමුත් ලංකාවෙ ක්‍රිකට්‌ වෙනුවෙන් ඕනම දෙයක්‌ කරන්න මම සූදානම්. දැනුත් මට පුළුවන් විදිහට ක්‍රීඩකයන්ට අවවාද දෙන අවස්‌ථා තියෙනවා.

දිවයින - ඇත්තටම ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩාවට වැරදුනේ කොතනින්ද

මහේල - මම කියන්නෙ නැහැ කරපු හැම දෙයක්‌ම වැරදියි කියලා. යම් කිසි තැන්වල ස්‌ථාවරත්වයක්‌ තිබුණෙ නැහැ. උදාහරණයක්‌ විදිහට ධනංජය ද සිල්වා ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ටෙස්‌ට්‌ තරගාවලියේදී වීරයා බවට පත් වුණා. පස්‌සෙ ඔහු කණ්‌ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කළා. එතනදි අසාර්ථක වුණහම ඔහුට පරණ තැන දෙන්න ඕන. නමුත් ඔහුට දිගටම අවස්‌ථාව දුන්නෙ නැහැ. එහෙම වුණහම ක්‍රීඩකයන්ට විශ්වාසය නැති වෙනවා. විශ්වාසය නැති වුණහම ක්‍රීඩකයන් තරග දිනවන සැලැස්‌මට වඩා තමන්ට ලකුණු ගන්න උත්සහ කරනවා. ඒක සාමාන්‍ය දෙයක්‌. නමුත් ක්‍රීඩකයනුත් දැන ගන්න ඕන ඔවුන්ගෙ වගකීම ඉටු කරන්න. මේ දෙක හරියට සිදු වුණේ නැහැ.

දිවයින - ඔබ ක්‍රීඩා කරන කාලයේ මානසික වැටුණ අවස්‌ථා නැති නිසා තරග දිනුව කියලද කියන්නෙ?

මහේල - මම කියන්නෙ ඕනෑම අවස්‌ථාවක ක්‍රීඩකයන්ට එක එක පීඩන එන්න පුළුවන්. අපි ඒවා කළමනාකරණය කරගෙන ඉදිරියට යන්න ඕන. ක්‍රීඩකයන් දැන ගන්න ඕන ඔවුන්ගෙ වගකීම අරගන්න. ඒකට අනිත් අය සහය දෙන්න ඕන කියන එකයි මම කියන්නෙ.

දිවයින - මහේල සහ සංගා අනාගතය සඳහා ක්‍රීඩකයන් ආයෝජනය කළේ නැහැ කියල ඇතමුන් චෝදනා කරනවා.

මහේල - අපිට පුළුවන්ද ක්‍රීඩකයන් හදන්න. පුහුණුකරුවන්, තේරීම් කමිටු සහ තවත් පරිපාලකයන් තමයි ක්‍රීඩකයන් හදන්න ඉන්නෙ. නමුත් අපි ගහන කාලේ ඇන්ජලෝ මැතිව්ස්‌, දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න ක්‍රීඩා කළා. ඊට පස්‌සෙ කුසල් පෙරේරා, තිසර පෙරේරා, දිමුත් කරුණාරත්න වගේ ගොඩක්‌ අය ක්‍රීඩා කළා.

දිවයින - දැන් තියෙන තත්ත්වය අනුව අපේ ක්‍රිකට්‌ ගොඩ ගැනීම අපහසු තැනකට වැටිලද තියෙන්නෙ

මහේල - මගේ පෞද්ගලික ස්‌ථාවරත්වයක්‌ තියෙනවා. ඒ කියන්නෙ අපේ ක්‍රිකට්‌වලට ගැලපෙන සාරධර්ම තියෙන්න ඕන. මේ තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න අමාරු නැහැ. හැබැයි වෙනස්‌කම් කරන්න ඕන. සමහර ඒවා ටිකක්‌ බැරෑරුම් වෙනස්‌කම්. ඒ අනුව යම් කිසි සැලැස්‌මකට ගියොත් තව අවුරුදු දෙකකින් අපිට ලෝකයේ හොඳම කණ්‌ඩායම වෙන්න නැවතත් පුළුවන්.

අසේල විතාන (දිවයින)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ශ්‍රී ලංකා ක්‍රිකට්‌වල පුහුණුකරු වෙන්නත් හොඳ වාතාවරණයක්‌ තියෙන්න ඕන - වැටුණ ක්‍රිකට්‌ ගැන මහේල කතා කරයි"

    Post a Comment