03 March, 2017

සිසුන් 16දා තෙක් රිමාන්ඩ් - ජංගම දුරකතනවල නිරුවත් දර්ශන ඇති බවට සැකයි

peradeniya-university-curb-ragging-03

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ නවක සිසුන් අට දෙනකු විශ්වවිද්‍යාලයෙන් පිටත දොළුව ‍මෙගොඩ කළුගමුව ප්‍රදේශයේ ස්ථානයකට රැගෙන ගොස් ඔවුන් නිරුවත් කර අමානුෂික ලෙස නවක වධය ලබාදුන් බවට කියන සිද්ධියේ සැකකාර සිසුන් 15 දෙනා මෙම මස 16දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉන්දික ගිහාන් අත්තනායක මහතා ඊයේ (2දා) නියෝග කළේය.

මේ සැකකාර සිසුන්ට ඇප ලබාදෙන ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම හමුවේ අදහස් පළ කළ මහෙස්ත්‍රාත්වරයා නවක වධ පනත 9/1 වගන්තිය යටතේ මෙම සිසුන්ට එරෙහිව ගොනු කර තිබෙන චෝදනාව සම්බන්ධයෙන් ඇප ලබාදීමේ බලයක් මහෙස්ත්‍රාත් අධිකරණයට නොමැති බැවින් ඇප ඉල්ලීම මහාධිකරණය වෙත යොමු කරන ලෙස දැනුම් දුන්නේය.

සිද්ධියේ සැකකාර සිසුන් සතුව තිබූ ජංගම දුරකතන 12ක් අධිකරණයට ඉදිරිපත් කළ පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් ආරියවංශ මහතා මෙම ජංගම දුරකතනවල නවක වධයට ලක්වූ සිසුන්ගේ නිරුවත් දර්ශන ඇති බවට සැක කරන බැවින් ඒවා රස
පරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස කළ ඉල්ලීමට අධිකරණයෙන් අවසර ලැබිණි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් ආරියවංශ මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සිදු කෙරමින් පවතින බවයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාල නේවාසිකාගාර පහසුකම් ප්‍රමාණවත්් පරිදි නොමැති බැවින් සිසුන් පෞද්ගලික වියදමින් විශ්වවිද්‍යාලය ආසන්නයේ නිවාස කාමර කුලියට ගෙන සිටින බවත් මෙම නිවෙස වධකාගාරයක් ලෙස හුවා දක්වමින් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්කළේ මාධ්‍ය බවත් සැකකාර සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවෙහි පැවැසූහ.

සැකකාර සිසුන් විසින් මාසයකට රුපියල් 10,000ක කුලියක් ගෙවා මාස තුනක කාලයක් සඳහා විශ්වවිද්‍යාලයේ සිට කිලෝ මීටර් 4ක පමණ දුරින් දොළුව මෙගොඩ කළුගමුව ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන කෘෂි පීඨයේ නවක සිසුන් 8 දෙනකු එම ස්ථානයට රැගෙන ගොස් ඉකුත් 19දා රාත්‍රියේ අමානුෂික ලෙස නවක වධය ලබා දෙමින් සිටියදී විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනය පාලක ඇතුළු කණ්ඩායමක් විසින් ඔවුන් අල්ලාගෙන පොලිසියට භාර දී තිබිණි.

මෙම සිද්ධියේ සැකකාර සිසුන් 15 දෙනාගේ පන්ති තහනම් කිරීමට උපකුලපතිවරයා පියවර ගත් අතර විශ්වවිද්‍යාලය මඟින්ද මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

-මහනුවර - කමල් සුරවීර_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සිසුන් 16දා තෙක් රිමාන්ඩ් - ජංගම දුරකතනවල නිරුවත් දර්ශන ඇති බවට සැකයි"

    Post a Comment