10 September, 2017

සුද යැමේ රෝගය සුවකිරීමට ආයුර්වේදය සතුව ප්‍රතිකාර තිබෙනවා

creamy-white-discharge

* කාන්තාවන්ට මෙතෙක්‌ වැළඳෙන ශ්වේත ප්‍රදරය හෙවත් සුද යැමේ රෝගය ඇතිවීමට ප්‍රධාන හේතු ලෙස දැක්‌විය හැක්‌කේ මොනවාද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -

මෙම රෝගය වැළඳීමේ ප්‍රධානතම හේතුවක්‌ ලෙස දැක්‌විය හැක්‌කේ සිරුරේ ඇතිවන අධික උෂ්ණාධික බවයි. විශේෂයෙන්ම උෂ්ණාධික ආහාර ගැනීම තුළින් සිරුරේ උෂ්ණාධික බව ඉහළ යැමෙන් මෙම සුද යැමේ රෝගී තත්ත්වය ඇතිවීමට හේතුවක්‌ විය හැකියි. විශේෂයෙන්ම කාන්තාවන් විසින් සිදුකරන නොයෙක්‌ වැරදි ක්‍රියාකාරකම් හා වැරදි සෞඛ්‍ය පුරුදු මෙම රෝගය ඇතිවීමට ප්‍රධාන ලෙසම බලපෑම් කරනු ලබනවා. මෙන්න මේ නිසා මෙම රෝගය වැළඳෙන රෝගයකට වඩා වැළඳ ගන්නා රෝගයක්‌ යෑයි කීවොත් නිවැරැදියි.

තමාගේ සනීපාරක්‍ෂාව නිවැරැදි ලෙස පවත්වා නොගැනීම, හොඳ සෞඛ්‍ය පුරුදු නොමැතිවීම, කෘමි ආසාදන (පණු රෝග) ලිංගික චර්යාවන්, වැඩිපුර සිටගෙන සිටීම හෝ වැඩිපුර හිඳගෙන සිටීමද, බර ඉසිලීම, පොදු වැසිකිළි හෝ අපිරිසිදු වැසිකිළි භාවිතය, බහු පුරුෂ සේවනය කියාද මෙම සුද යැමේ රෝගය ඇති වීමේ හේතු ලෙස දැක්‌විය හැකියි.

* මෙම රෝගය සමගම වෙනත් රෝගයන්ද ඇතිවිය හැකිද?

ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -

ඇත්තටම මේ සුද යැමේ රෝගය සමඟ ඒ පසුපසට එන තවත් රෝග රැසක්‌ද තිබෙනවා. ඒ අතරින් ආහාර අරුචිය, මළ බද්ධය, විටින් විට අක්‍රමවත් ලෙස මළ පිටවීම සිදුවිය හැකියි. මීට අමතර ශරීරය ක්‌ෂය වීම, කැසීම් ඇතිවීම, පලු දැමීම හා විවිධ සමේ රෝග ඇතිවීම, පීනස තත්ත්වය වර්ධනය වීම, අර්ශස්‌ රෝගය ඇතිවීම, හිස කැක්‌කුම, ශරීරයේ අප්‍රාණිකත්වය, අධික කේන්ති යැමද ඇතිවිය හැකියි.

* මෙම රෝගය වැළඳුණු කාන්තාවන්ට ඇතිවන අපහසුතා ගැන සඳහන් කළොත්.

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා

මෙම රෝගය වැළඳුණු කාන්තාවන්ට විවිධාකාර ගැටලු තත්ත්වයන්ට මුහුණදීමට සිදුවෙනවා.

විශේෂයෙන්ම යෝනි මාර්ගය අවට නිතර කැසීමේ තත්ත්වයක්‌ ඇතිවීම, ඉකිලි ආශ්‍රිත ප්‍රදේශය දක්‌වාම එය පැතිරීම, නිතර නිතර මුත්‍රා ආසාදනවලට ගොදුරු වීම බහුලවම දැකිය හැකි අපහසුතාවනුයි.

ඊට අමතරව පිරිස්‌ අතර ගැවසීමේදී පොදු මගී ප්‍රවාහන සේවාවලදී, කාර්යාලයේදී, මෙවැනි රෝගී කාන්තාවන් දැඩි අපහසුතාවලට ලක්‌විය හැකියි.

* මෙම රෝගී තත්ත්වය වැළඳුනු කාන්තාවන්ගේ රෝග ලක්‍ෂණ මොනවාද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -

සෑම කාන්තාවකටම සරු කාලයේදී ඩිම්බ පිටකිරීම සිදුකරන අතර එවැනි අවස්‌ථාවල පිටකරන ස්‍රාවයේ ගන්ධයක්‌ හෝ වර්ණයක්‌ නොමැත. නමුත් මෙම රෝගී තත්ත්වය වැළඳුණු විට ඇතැම් විට කිරි පැහැයටද තරමක උකු ස්‍රාවයක්‌ ලෙසද පිටකිරීම සිදුකරනවා. තවද සුදු පැහැති ලෙස යෝනි මාර්ගය අවට පැතිරී පැවතීමද සිදුවිය හැකියි. මීට අමතරව රතු පැහැයට හා ලා රතු පැහැයටද, කහ මෙන්ම තද කහ පැහැයෙන්ද මෙම ස්‍රාවයන් පිටවිය හැකියි. එවිට එම කාන්තාවන්ට මෙම රෝගී තත්ත්වය වැළඳී ඇති බව තීරණය කළ හැකියි.

* ශ්වේත ප්‍රදර රෝගය සුවකිරීම සඳහා ආයුර්වේදය සතුව ප්‍රතිකාර තිබෙනවාද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -

ශ්වේත ප්‍රදරය රෝගය සඳහා පමණක්‌ නොව ඕනෑම රෝගයක්‌ සඳහා ආයුර්වේදය සතුව ඖෂධ තිබෙනවා. විශේෂයෙන්ම කිව යුතුයි ආයුර්වේද ප්‍රතිකාර තිබෙන්නේ රෝග සුවපත් කිරීම සඳහා නොව එම රෝග නිට්‌ටාවටම සුව කිරීම සඳහායි. ඒ අනුව ශ්වේත ප්‍රදරය රෝගයටද ආයුර්වේදය සතුව ප්‍රතිකාර ක්‍රම තිබෙනවා. ඒ සඳහා රෝගීන් නිසි දැනුමක්‌ සහිත වෛද්‍යවරයා තෝරා ගැනීම කළ යුතු වෙනවා. මෙම රෝගයට ප්‍රතිකාර කිරීමේදී ඒ හා සම්බන්ධ අනිකුත් රෝගාබාධයන්ද වැළඳී ඇත්දැයි නිවැරැදි පරීක්‍ෂාවකින් පසු රෝගීන්ට නිවැරැදි ප්‍රතිකාර ලබාදීමෙන් මෙය සුවකිරීමේ හැකියාව ආයුර්වේදයට තිබෙනවා.

* විශේෂයෙන්ම කාර්යබහුල කාන්තාවන්ට ආයුර්වේද ප්‍රතිකාර ලබාගැනීමේදී ඒවා සොයා ගැනීමේ අපහසුව තිබෙනවා නේද?

* ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා -

වර්තමානයේ ආයුර්වේද ඖෂධ වෙනදා මෙන් සොයා යැම අවශ්‍ය නොවේ. මන්ද දැන් සියලුම ඖෂධ සකස්‌ කළ ඒවා ලෙස තිබෙන නිසා ඕනෑම කාර්යබහුල අයෙකුට මෙම ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුව දැන් තිබෙනවා. එම නිසා ඕනෑම රෝගියකුට දැන් කිසිදු අපහසුවකින් තොරව ආයුර්වේද ප්‍රතිකාර කරා යොමු වීමෙන් රෝග සුවකර ගැනීමේ හැකියාව පවතිනවා.

dr-ranpatha-ruwan-rathnayake

(දිවයින)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සුද යැමේ රෝගය සුවකිරීමට ආයුර්වේදය සතුව ප්‍රතිකාර තිබෙනවා"

    Post a Comment