10 September, 2017

රෝහින්ග්‍යා ජනතාව ඉදිරියේ බිම් බෝම්බ වැටක්

TITLE
-මුර සංචාරයේ නිරත මියන්මාර් හමුදා භටයන්

මියන්මාරය බංග්ලාදේශ් දේශ සීමාව ඔස්සේ පුද්ගල නාශක නීතියෙන් තහනම් බිම් බෝම්බ අටවමින් ඇති බවට තමන්ට සාක්ෂි ලැබී ඇතැයි ජාත්‍යන්තර ක්ෂමා ආයතනය (Amnesty International) පවසයි.

මියන්මාරයේ 'රඛයින්' පළාතේ සිදු කෙරෙන ප්‍රචණ්ඩ ප්‍රහාර මැද රෝහින්ග්‍යා මුස්ලිම් අනාථයන් බංග්ලාදේශය බලා යන දේශ සීමාව ඔස්සේ බිම් බෝම්බ ඇතිරීම් සිදු කෙරෙන බවත් එම ආයතනය සඳහන් කර ඇත.

ගෙවී ගිය සතිය ඇතුළත එම දේශ සීමාවේ බිම් බෝම්බ පිපිරීම් නිසා එක් පුද්ගලයකු මරණයට පත්ව තවත් තුන් දෙනකු තුවාල ලබා සිටින බව වාර්තා වී ඇති බව 'ඇම්නෙස්ටි ජාත්‍යන්තරය' කියා සිටියි.

මියන්මාර් ආරක්ෂක හමුදා භටයන් විසින් බිම් බෝම්බ අටවමින් සිටිනු තමන් දුටු බව ඇතැම් පුද්ගලයන් ඇම්නෙස්ටි ජාත්‍යන්තරයට ප්‍රකාශ කර ඇත.

මියන්මාර් යුද හමුදාව මෙයින් සති දෙකකට පෙර සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරනු ලැබීමෙන් අනතුරුව, තුන් ලක්ෂයකට ආසන්න රෝහින්ග්‍යා මුස්ලිම් ජනයා දේශ සීමාව තරණය කරමින් බංග්ලාදේශයට ඇතුල් වී සිටිති.

බොහෝ රෝහින්ග්‍යා මුස්ලිමුන් බංග්ලාදේශයට ඇතුල් වී තිබෙන්නේ වනාන්තරය සහ කඳු මිටියාවත් තරණය කරමින් පා ගමනිනි.

ඒ අතර තවත් කොටසක් බෙංගාල බොක්ක ඔස්සේ බෝට්ටුවලින් ගෙන එනු ලැබ ඇත.

විශාල ජන සංඛ්‍යාවක් ලඟා වීමත් සමඟ බංග්ලාදේශ් භූමියේ ඉදි කෙරුණ තාවකාලික අනාථ කඳවුරු මිනිසුන්ගෙන් පිරී ඉතිරී යමින් ඇති බවත් වාර්තා වෙයි.

මියන්මාරයේ 'රඛයින්' පළාතේ ජීවත් වූ රෝහින්ග්‍යා මුස්ලිම් ප්‍රජාව ඉන් පළා යාම ආරම්භ කරන ලද්දේ සන්නද්ධ කැරලිකරුවන් පොලිස් මුර පොළවලට පහර දෙනු ලැබීමත් සමඟ ඇවිල ගිය ගැටුම් සමඟයි. (බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රෝහින්ග්‍යා ජනතාව ඉදිරියේ බිම් බෝම්බ වැටක්"

    Post a Comment