02 September, 2017

ජංගම ප්‍රොජෙක්ටරයන් අතරට වැඩි බැටරි බලයක් සහිත තරගකරුවෙක්

nebula-mars-portable-cinema

ප්‍රොජෙක්ටරයක් නැති නම් ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් බොහෝ විට ඉගැන්වීමේ කටයුතුවලදී මෙන්ම කාර්යාල කටයුතු වලදීද ස්ලයිඩ් ඉදිරිපත් කිරීම් හෝ වීඩියෝ ක්ලිප් ඉදිරිපත් කිරීම් සඳහා බහුලව යොදාගැනේ. ඒ සඳහා භාවිත කළ හැකි වඩාත් හුරුබුහුටි, ජංගම ප්‍රොජෙක්ටරයක්ද මේ වනවිට නිර්මාණය වී තිබේ.

කෙසේ නමුත් සිනමා දසුන් නැරඹීම වැනි කර්තව්‍යයක් සඳහා එවැනි සාමාන්‍ය ගුණාත්මක භාවයක් ලබාදෙන ප්‍රොජෙක්ටරයක් සුදුසු නොවේ. ඒ සඳහා ගැලපෙන්නේ තියුණු, සුපැහැදිලි දසුන් සහ වර්ණයන් ලබාදෙන, ඉහළ ගුණාත්මක මට්ටමක අන්තර්ගතයන් ප්‍රතිදානය කරනා ප්‍රොජෙක්ටරයක් වේ.

අතීතයේ මේ සඳහා තිබූ ප්‍රොජෙක්ටර් යන්ත්‍රයන් එහා මෙහා ගෙනයෑමට අසීරු තරම් විශාල වූ නමුත්, වර්තමානය වනවිට සිනමා අත්දැකීම් ලබාදෙන ප්‍රොජෙක්ටරයන්ද වඩ වඩාත් සංයුක්ත ප්‍රමාණයෙන් සහ හුරුබුහුටි නිමාවෙන් යුතුව නිෂ්පාදනය වනු දක්නට ලැබේ.

හඳුන්වාදෙන Nebula Mars Portable Cinema ජංගම සිනමා ප්‍රක්ෂේපණ යන්ත්‍රය මෙම ප්‍රමාණයෙන් නිෂ්පාදනය වූ ප්‍රථම ජංගම ප්‍රොජෙක්ටරය නොවේ. කෙසේ නමුත් ඔබට කඳවුරු භූමියක, එළිමහනක නැතිනම් නිවස තුළ පවා භාවිත කළ හැකි මෙම ප්‍රොජෙක්ටරය කරුණු කීපයක් සමගින් සුවිශේෂී වනු ඇත.

වඩාත් සුපැහැදිලි දසුන් හා තියුණු වර්ණයන් සමගින් වඩාත් ඉහළ මට්ටමක රූප ගුණාත්මක භාවයක් ලබාදීම, වඩාත් පැහැදිලි සහ ඉහළ හඬකින් යුතු ශ්‍රව්‍ය ප්‍රතිදානය මෙන්ම සාපේක්ෂව වැඩි බැටරි කාලය මෙයින් කීපයක් ලෙසින් දැක්විය හැක.

මෙම Nebula Mars Portable Cinema ප්‍රොජෙක්ටරයට නිවෙස් තුළ පරිහරණයට නිර්මාණය කර ඇති ඉහළ මට්ටමේ ප්‍රොජෙක්ටර් යන්ත්‍රයන්ට මෙන් 1080p දසුන් ප්‍රක්ෂේපණය කළ නොහැකි වුවත්, එය වෙනත් ජංගම ප්‍රොජෙක්ටරයන්ට වඩා හොඳ ගුණාත්මක තත්ත්වයකින් යුතු පික්සල් 1280 x 800 විභේදනයක දසුන් ලබාදෙන්නට සමත් වනු ඇත.

එය බොහෝ විට 720p ගුණාත්මක තත්ත්වයේ වුවත්, ඔබේ රසවින්දනයට එය බාධාවක් නොවනු ඇත. වඩාත්ම වැදගත් කරුණ වන්නේ මෙම ප්‍රොජෙක්ටරයේ ප්‍රක්ෂේපණයන් ලුමන් 3,000ක බලයකින් යුතු බල්බයකින් සිදුවන අතර, ඒ නිසා මෙයින් ප්‍රක්ෂේපණය කෙරෙනා දසුන් ඉතාමත් ඉහළ දීප්තියකින් සහ වැඩි කළ හැකි තීව්‍ර බවකින් (5000:1 contrast ratio) යුක්ත වීමයි.

මේ දැක්වූයේ දිවා කාලයේදී ඔබට දකින්නට ලැබෙනා ප්‍රක්ෂේපණය වන අතර, ඒ නයින් රාත්‍රී කාලයේ මෙම ප්‍රොජෙක්ටරයෙන් ලබාගත හැකි දීප්තිය ඔබට වටහාගත හැක.

මෙම ප්‍රොජෙක්ටරයෙන් ලැබෙනා දසුන් වල ගුණාත්මක භාවය හරි හැටි විස්තර කරන්නේ නම්, එයින් 800p තත්ත්වයේ වීඩියෝ දසුන්, අඟල් 150ක් දක්වා විශාලත්වයක් ප්‍රක්ෂේපණය කරනු ඇත. මෙය සැබවින්ම ඔබට සැබෑ සිනමා ශාලාවක දැක්වෙන අන්දමේ අත්දැකීමක් ලබාදෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ඔබ එළිමහනක බිත්තියක් මතට හෝ තිරයක් මතට Nebula Mars Portable Cinema ප්‍රොජෙක්ටරයෙන් දසුන් ප්‍රක්ෂේපණය කොට සිනමා අත්දැකීමක් ලබාගැනීමට සිතන්නේ නම්, ඔබට ඉහළ ගුණාත්මක මට්ටමක ශ්‍රව්‍ය ප්‍රතිදානයක්ද ලැබිය යුතු බව අනිවාර්යය කරුණකි.

මෙම ප්‍රොජෙක්ටරයේ වොට් 10ක JBL ස්පීකරයන් දෙකක පද්ධතියක් තිබෙන අතර, එය ඔබට හෝම් තියෙටර් සිස්ටම් එකක අත්දැකීමක් ලබා නොදුන්නත්, ඔබ තෘප්තිමත් වෙන ආකාරයේ ශ්‍රව්‍ය ගුණාත්මක භාවයක් ලබාදෙනු ඇති බවට සහතික විය හැක.

සැබවින්ම මෙවැනි ජංගම ප්‍රොජෙක්ටරයක ඔබ මෙතෙක් දැක නොමැති ආකාරයේ ශ්‍රව්‍ය ගුණාත්මක භාවයක් මෙයින් ඔබට ලබාදෙනු ඇත.

මෙම Nebula Mars Portable Cinema ප්‍රොජෙක්ටර් යන්ත්‍රයේ බැටරිය සම්බන්ධයෙන් විශේෂයෙන්ම සඳහන් කළ යුතුවේ. මෙය 19,500mAh ධාරිතාවයෙන් යුතු බැටරියක් වන අතර, එක් වරක් ආරෝපණය කිරීමෙන් පසුව එක දිගට පැය තුනක කාලයක් පුරා සිනමා ප්‍රක්ෂේපණයක් සහ ශ්‍රව්‍ය ප්‍රතිදානයක් ලබාදීමට එය සමත් වනු ඇත.

මෙය සැබවින්ම ජංගම ප්‍රොජෙක්ටර් උපාංගයන් සම්බන්ධයෙන් සැලකීමේදී ජයග්‍රහණයක් ලෙසින් හඳුන්වා දිය හැක. එසේම මෙය ඔබට පහසුවෙන්ම ඕනෑම බිත්තියක ඇති බල සැපයුම් සොකට්ටුවකට සවි කොට ආරෝපණය කිරීමටද හැකියාව ඇත.

අඟල් 7 x 4.8 x 5.4 ප්‍රමාණයේ මානයන්ගෙන් යුක්ත සංයුක්ත උපාංගයක් වන මෙම ප්‍රොජෙක්ටර් යන්ත්‍රය පහසුවෙන්ම ඔබේ ගමන් බෑගයක ඇසිරීමට හැකියාව ඇත. එසේම මෙහි USB 3.0 සහ HDMI පෝට් දෙකක් තිබෙන අතර, ඒ නිසා පහසුවෙන්ම ඔබේ ලැප්ටොප් උපාංගයට හෝ වෙනත් ඕනෑම වීඩියෝ උපාංගයකට ඈඳීමටද හැකියාව ඇත. (පැතුම් පුංචිහේවා-අද)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජංගම ප්‍රොජෙක්ටරයන් අතරට වැඩි බැටරි බලයක් සහිත තරගකරුවෙක් "

    Post a Comment