09 October, 2017

විවිධාකාර කැක්කුම්

difficult-pains

පුරුෂයන් මුහුණ දෙන ලිංගික ගැටලු ගැන කරන කතාබහට ඇතුළත් වූ කරුණු වලින් වඩාත්ම බහුලව අසන්නට ලැබෙන්නේ ලිංගාශ්‍රිතව හටගන්නා විවිධාකාර වේදනා කැක්කුම් ගැනයි.

ශිෂ්ණය ආශ්‍රිතව ඇතිවන විවිධ රෝගාබාධ හේතුකොට හටගන්නා වේදනා කැක්කුම් හේතුවෙන් අපේ අය කැලඹීමට, භීතියට වගේම ලජ්ජාවටත් පත්වෙනවා. මේ නිසාම ඔවුන් විවිධ ව්‍යාජ ප්‍රතිකාර ක්‍රමවේදවල ගොදුරැ බවට පත්වෙනවා. එයින් නොසිතූ විරූ අසරණභාවයකට පත්වෙන්නත් පුළුවන්.

ශිෂ්ණය ආශ්‍රිතව හටගන්නා විවිධ කැක්කුම් සහ එයට හේතු මෙන්ම ඒ සඳහා ගත හැකි ප්‍රතිකාර ගැන පොදුවේ කතාබහ කරන්නට හිතුවේ ඒ මගින් තමන්ට ඇති යථා තත්ත්වය තේරුම් ගෙන නියම ප්‍රතිකාර සඳහා යොමු වීමට උනන්දු කරවීම සඳහායි.
ශිෂ්ණයේ වේදනාවක් හටගන්නට මුල්වන කාරණාවක් හැටියට අපි මුලින්ම සඳහන් කළ යුත්තේ පසුගිය සතියේ කතා කළ පෙරසම පිටුපසට නොයාම හෙවත් පයිමෝසිස් තත්ත්වයයි. එයට ප්‍රතිකාරය ලෙස දැක්වූයේ සුන්නත් කිරීම හෙවත් සර්කම්සිශන් සැත්කමයි.

ඊළඟට පෙරසම ශිෂ්ණයට බැඳී ඇති ප්‍රිනියුලමය හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේ දී නූල කියලා හඳුන්වන කොටස තද සහ කෙටි නම් එවිටත් කැක්කුම හටගන්නවා. එහිදී සැත්කමක් මගින් සහනයක් සැලසෙනවා.

ලිංගික ක්‍රියාවලියේ දී වේදනාකාරී බවක් ඇති වීමට එක් ප්‍රධාන හේතුවක් තමා යෝනි මාර්ගයේ වියළි බව. මෙහිදී ජෙලි හෝ වෙනත් ලිස්සන සුළු ආලේපනයක් වෛද්‍ය උපදෙස් මත භාවිතා කළ යුතුයි.

පුරුෂ ලිංගයේ වේදනාවට හේතුවන තවත් එක් හේතුවක් තමා ලිංගික හර්පිස් රෝගය. මෙම රෝගය නිසා හටගන්නා වේදනාකාර බිබිලි දමා ඇතිවිට නිර්දේශිත ක්‍රීම් භාවිතා කළ යුතුයි.

ගොනෝරියා, වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් හටගැනීම හෝ මුත්‍රා ආසාදන නිසාත් කැක්කුම් ඇති වෙනවා. එහිදී වෛද්‍යවරයකු හමුව සුදුසු ප්‍රතිජීවක භාවිතා කළ යුතුයි.

පිරිමින්ට මාරකයක් හැටියට නිතර කතාබහට ලක්වෙන පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව හටගන්නා ආසාදන හේතුවෙනුත් කැක්කුම් හටගන්නවා. එහිදීත් ප්‍රතිජීවක තමා ප්‍රතිකාරකය. හැබැයි වෛද්‍ය අනුමැතිය යටතේ තමා එය භාවිතා කළ යුත්තේ.

ශිෂ්ණ මුණ්ඩය වණවීම නැත්නම් Balanitis බැලනටිස් ගැන අපි කතා කළා. මේකත් වේදනාවට හේතුවක්. මෙහිදී ප්‍රතිජීවක ලබාගත යුතු අතර, රෝගයට හේතුව දියවැඩියාව නම් එය දැන ප්‍රතිකාර ගත යුතුය. ප්‍රිපැසිසම් හෙවත් දිගටම ප්‍රාණවත්ව තිබීමේ තත්ත්වය ගැන අපි කලින් කතා කළා. ඒ සඳහා ශල්‍යකර්මයක් මගින් රුධිර කැටියක් ඇත්නම් ඉවත් කළ යුතුයි. ඊළඟට රුධිරගත රෝගයක් වේ නම් සුදුසු වෛද්‍යවරයකු මගින් ප්‍රතිකාර ගත යුතුයි.

සමහර විට ශිෂ්ණයේ කඳෙහි එක් පැත්තක් ප්‍රදානයට පත්විය හැකියි. එවිට කැලලක් ඇති වී එය මඳක් ඇදවිය හැකියි. මෙයට කියන්නේ පෙරෝනිස් රෝගය කියලයි. මෙහිදී ඇද වූ ලිංගය ප්‍රාණවත් වන විට වේදනාවක් ඇති වෙනවා. සමහර අවස්ථාවලදී මේ සඳහා මෙගා විටමින් මගින් ප්‍රතිකාර ලබා දෙනවා. තවත් වෛද්‍යවරු මෙහිදී සැත්කමක් කළ යුතු බව තීරණය කරනවා.

මුත්‍රා දැවිල්ල, ඇස් රතු වීම සහ හන්දිපත් රුදාව සමග ශිෂ්ණයෙන් සැරව වැනි දියරයක් පිටවෙනවා නම් එය රෝගයක් බව සිහි තබාගන්න. රයිටර්ගේ සින්ඩ්‍රෝමය ලෙස හැඳින්වෙන මේ රෝග ලක්ෂණ එකතුව සඳහා ප්‍රතිජීවක ඖෂධ මගින් ප්‍රතිකාර කළ යුතුයි. හැබැයි වෛද්‍ය උපදෙස් මත ඒවා ගත යුතුයි. ශිෂ්ණයේ පිළිකා හෝ වෙනත් ගෙඩියක් නිසා හටගන්නා වේදනාවට ඇති එකම ප්‍රතිකර්මය වෛද්‍ය උපදෙස් මත සැත්කමකට ලක්වීමයි.

උපදෙස් / විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ (දේශය)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "විවිධාකාර කැක්කුම්"

    Post a Comment