30 March, 2017

ජනප්‍රිය ගායකයෙක් එක්ක සැන්ඩෝ හැරිස් අලුත් වැඩක

Sando Haris

සිනමා අධ්‍යක්ෂණයට එකතු වෙන්න යනවා කියලා ආරංචියි?

ඔව්. මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න සූදානමින් ඉන්නේ. ඒ චිත්‍රපටයේ නම "කිංග් ඔෆ් දියවන්නාව". චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ එංගලන්තයේ කෙනෙක්. මිනිස්සු මැරුණට පස්සේ වෙන්නේ මොනවද කියන දේ තමයි මේ චිත්‍රපටයෙන් පෙන්වන්නේ. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්නේ ලංකාවේ ජනප්‍රිය ගායකයෙක්. අනෙක් චරිත මම තෝරා ගත්තේ වර්ක් ෂොප් එකක් තියලා. ඒ පිරිස අලුත්ම පිරිසක්.

චිත්‍රපටයක් හදද්දී ජනප්‍රියම ශිල්පීන් සම්බන්ධ කර ගන්න රැල්ල ඇතුළේ, ඔබ ඇයි අලුත් පිරිසකට තැන දෙන්න හිතුවේ?

ජනප්‍රිය චරිත දැක්කොත් මේ ඉදිරිපත් කරන කතාව බිඳෙන්න පුළුවන්. වෙන රටවල අලුත් අයට තැන දෙනවා. ලංකාවේ තමයි අපි විතරයි ඉන්න ඕනේ කියලා එකම පිරිසක් රංගනයේ දකින්න ලැබෙන්නේ. මට වයස 70,80 සීමාවේ පිරිසකුත් චිත්‍රපටයට ඕන වෙලා තියෙනවා. රංගනයට දක්ෂතාවය තියෙන ඒ සීමාවේ පිරිසකුත් ලැබුණොත් මගේ චිත්‍රපටයට මම සම්බන්ධ කර ගන්නවා. අපි නවකයන්ට තැන දෙන්න ඕන.

ජනප්‍රිය චරිත නැතුව චිත්‍රපටය මාකට් කරගන්න පුළුවන් වෙයිද?

පිටපත හොඳ නම් ජනප්‍රියත්වය අවශ්‍ය වෙන්නේ නෑ. පිටපත හොඳ නැත්නම් තමයි ජනප්‍රිය නළු නිළියෝ අවශ්‍ය වෙන්නේ. මේක අලුත් පිරිසක් සම්බන්ධ කරගෙන ඉන්ටර්නැෂනල් මාකට් එකකට ගෙනියන්නත් හිතාගෙන හදන චිත්‍රපටයක්.

චිත්‍රපටයට සම්බන්ධ කරගන්න ජනප්‍රිය ගායකයාගෙන් හොඳ රංගන දායකත්වයක් ගන්න පුළුවන් වෙයිද?

අනිවාර්යයෙන්ම ඔහු රංගනයට හොඳ දායකත්වයක් දෙයි. කොමඩි චිත්‍රපටයක් විදියට මේක හොඳ තත්ත්වයකට නිර්මාණය කරගන්න ඔහුගෙන් වගේම අනෙක් රංගන ශිල්පීන්ගෙනුත් හොඳ සහායක් ලැබෙයි.

හාස්‍යමය චිත්‍රපටයක් කරන්නේ විකුණන්න පහසු නිසාද?

සමහරු හිතනවා හාස්‍යමය චිත්‍රපටයක් කළොත් ඒක හොඳට දුවයි කියලා. ඒත් දෙපිට කැපෙන වචන දාලා බොරු හාස්‍යයක් මතු කරලා හාස්‍යමය කියලා චිත්‍රපට කළාට ඒ චිත්‍රපට මිනිස්සු බලන්නේ නෑ. මේ චිත්‍රපටයෙන් හාස්‍ය වගේම යම් පණිවුඩයක් දෙනවා. මොනවා හරි දෙයක් කරලා ඒක විකුණන්න මට අවශ්‍ය වෙන්නේ නැහැ. මේක රංගන ශිල්පීන් උඩ පැනගෙන දඟලන කොමඩියකුත් නෙමෙයි.

ඔබ රංගනයට එන්නේ සටන් නළුවෙක් විදියට. තාමත් ඒ සටන් නළුවගේ භූමිකාවට හොඳ තැනක් ලැබෙනවාද?

මම ක්ෂේත්‍රයට ඇවින් අවුරුදු විසි නවයක් වෙනවා. සටන් නළුවෙක් විදියට තමයි මම සිනමාවට ආවේ. ඊට පස්සේ මම සටන් අධ්‍යක්ෂණයටත් එකතු වුණා. ප්‍රථම සටන් අධ්‍යක්ෂණයට මට ආරාධනා කළේ පරාක්‍රම ජයසිංහ. ඒ "එක දා වැහි" චිත්‍රපටයට. පරාක්‍රම ජයසිංහගේ අලුත් චිත්‍රපටයටත් මම සම්බන්ධ වෙනවා. චිත්‍රපටවලට මට ඉල්ලුම තියෙනවා. චරිතයකට මාව සුදුසු නම් අධ්‍යක්ෂවරු මාව චිත්‍රපටයට සම්බන්ධ කර ගන්නවා.

නිහාල් සිල්වාගෙන් පස්සේ ඔබ සාජන් නල්ලතම්බිව වේදිකාවට ගේනවා. තාමත් ඔබ වේදිකාවේ ඔහුව ජීවත් කරනවා නේද?

නිහාල් නැති වුණාට පස්සේ නල්ලතම්බිගේ චරිතය කාටවත් අයිති නැහැ. ඉතින් මම චෙරියෝ සාජන් කියලා මුලින්ම නාට්‍යයක් කළා. ඒක දර්ශන 1800ක් විතර පෙන්නුවා. ඊට පස්සේ සාජන්ගේ නැන්දම්මා නාට්‍ය පටන් ගත්තා. ඒකත් දර්ශන වාර අටසියයකට කිට්ටු වෙන්න ප්‍රදර්ශනය කළා. ඩොක්ටර් චිකාගෝ නාට්‍ය අවුරුදු තුනක් විතර එක දිගට කරගෙන ගියා. අලුතින්ම කළේ ට්‍රැෆික් සාජන් වේදිකා නාට්‍ය. ඒකත් අතිසාර්ථක ලෙස වේදිකාගත වෙනවා.

වෙනත් ශිල්පීනුත් සාජන් නල්ලතම්බිගේ චරිතය නිරූපණය කළා. ඔබ ඒ චරිතයට සාධාරණයක් කරනව කියලා හිතනවද?

සාජන් නල්ලතම්බිගේ චරිතය කිහිප දෙනෙක්ම අනුකරණය කරන්න පටන් ගත්තා. හැබැයි කිසිම කෙනෙක්ට ඒක සාර්ථකව කරගන්න බැරි වුණා. චරිතයක් අනුකරණය කරන එක පහසු නැහැ. මම ඒක සාර්ථකව කළා.

වේදිකාව, සිනමාව එක්ක ඉන්න ඔබ පුංචි තිරයට සම්බන්ධ නොවන්නේ ඇයි?

ප්‍රතිපත්තියක් විදියට මම ටෙලි නාට්‍යවල රඟපාන්නේ නෑ. රියැලිටි ෂෝවලට යන්නෙත් නෑ. මිනිස්සු ටෙලි නාට්‍ය බලන්නේ චැනල් මාරු කර කර. ඒක මිනිසුන්ටත් කරදරයි. මටත් කරදරයි. ඒ නිසා අවුරුදු තුනකට සැරයක් හරි චිත්‍රපටයක් ලැබුණොත් තෝරා බේරා ගෙන එයට දායක වෙනවා.

ඔබ සාජන් නල්ලතම්බිව සංගීත ප්‍රසංග වේදිකාවටත් ගෙනියනවනේ. මේ දවස්වල සංගීත ප්‍රසංගවලටත් ආරාධනා ජය ඇති නේද?

ආරාධනා ජයයි. මේ මාසේ ඉඳන් මැයි වගේ වෙනකල්ම ප්‍රසංග තියෙනවා. මම සංගීත සන්දර්ශනවලට ගිහින් විනාඩි හතරක් පහක් විතර මිනිසුන්ව හිනා ගස්සලා ඉවර වෙලා තමයි මගේ ගීත ගායනා කරන්නේ. නටන්න පුළුවන් විදියේ ගීත මම ප්‍රසංග වේදිකාවේදී ගායනා කරනවා. මම පසුගිය අවුරුදුවල අලුත් අවුරුද්දට හිටියේ විදේශ රටවල. මේ සැරේ ලංකාවේ ඉඳන් ප්‍රසංගවලට සහභාගි වෙන්න හිතුවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ (මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජනප්‍රිය ගායකයෙක් එක්ක සැන්ඩෝ හැරිස් අලුත් වැඩක "

    Post a Comment