11 March, 2017

අසුරු සැණින් කාශ්‍යපගම ළිඳක් පොළොව පළා ගිය මැජික් කතාව

Kashyapagama Well subsidence

බලා සිටිද්දීම නිවෙස අද්දර වූ තමන්ගේ ළිඳ අතුරුදන් වූ බව කීවොත් ඔබ පුදුමයෙනුත් පුදුමයට පත්වනු නියතය. මේ එවැනි කතාවක ඇරඹුමකි.

මෙය වාර්තා වන්නේ හබරණ කාශ්‍යපගම ගමෙනි. මේ සිදුවීමට මාස දෙකකට පමණ පෙර හබරණ හතරැස් කොටුව ප්‍රදේශයේ නිවෙසක්ද එලෙස ගිලා බැසීමට ලක්ව තිබිණි. ඒ පිළිබඳද භූ විද්‍යා කාර්යාංශය පරීක්ෂණ අරඹා ඇති බව එහි නිලධාරියකු කීය.

ළිඳ ගිලා බැසීමට පත් නිවෙස හිමිකරු සිදුවීම පැහැදිලි කළේ මෙලෙසිනි.

"මීට දවස් කීපයකට පෙර ළිඳේ වතුර උඩ තෙල් වගේ තිබුණ. මම මගේ නෝනාගෙන් ඇහුවා ඇයි ළිඳට කවුරුවත් මොකුත් දාලාවත්ද කියලා. එයා නෑ කිව්වා. පස්සේ ඊයේ උදේ අපේ ගෙදර අක්කා රෙදි හෝදනකොට ළිඳ ඇතුළෙන් මොකක්දෝ සද්දයක් එනවා කියලා කිව්වා. මම ළිඳ ළඟට එනකොට ළිඳේ වතුර ඉහළට පහළට එනවා දැක්කා. මොකක්දෝ ලොකු සද්දයක් ආවා ළිඳෙන්. මේ වෙනස බලන්න අහල පහළ ගොඩක් අය ළිඳ ළඟ හිටියා. මම කිව්වා ඉක්මනට ඔතැනින් අයින්වෙන්න කියලා ගෙට ගියා තාත්තාට කියන්න. මෙන්න මම දැක්කා එකපාරටම වතුර උඩ ඇවිල්ලා ඇස්පිය ගහන්නත් කලින් ළිඳ ඇතුළට ගියා. ඒ යනකොට නිකං ගෑස් එකක් වගේ පිට වෙලා තමයි ළිඳ ඇතුළට ගියේ. අපි ළිඳ හොඳට බැඳලා මෝටරයක් දාලා තමයි වතුර ගත්තේ. ළිඳ අඩි 50-60ක් විතර යටයි. කවදාවත් මේ ළිඳේ වතුර නැති වෙන්නේ නෑ. දැන් මාස දෙකකට පසු මගේ ගේත් ඉරිතළා තියෙනවා. ළිඳ ගාව රෙදි සෝදමින් හිටිය අක්කා බේරුණේ නූලෙන්. තව ටිකෙන් එයාත් එක්කම ගිලා බහිනවා. අපට මේ ගැන හරිම පුදුමයි වගේ. මොකක්ද දන්නේ නැති නිසා බයෙන් තමයි ඉන්නේ." නිවෙස හිමි ඒ.ඒ. ලක්මාල් ප්‍රනාන්දු කීය.

මේ සම්බන්ධයෙන් හබරණ පොලිසියෙන් විමසීමේදී එහි නිලධාරියකු පවසා සිටියේ භූ විද්‍යා කාර්යාංශයට දැනුම් දී ඇති බවය.

මෙම සිදුවීම පිළිබඳ සොයා බැලීමට කුරුණෑගල භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංය නිලධාරියකු 08 වැනි දින පස්වරුවේ
තම නිවෙසට පැමිණි බවත් ඔහු විසින් නිසි පරීක්ෂණයක් නොකළ බවත් ගිලා බැස්ස ළිඳ දෙස බලා මේක සාමාන්‍ය සිද්ධියක් යැයි පවසමින් ඒ ආසන්නයේ පිහිටි ළිඳක් බලා පිටත්ව ගිය බවයි නිවෙස හිමිකරු කියා සිටින්නේ. තම නිවෙසත් ඉරිතළා ගොස් ඇති බැවින් නිවෙසේ දරු පවුලත් සමඟ සිටීමටද බියක් ඇති බැවින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් ඉල්ලා සිටින්නේ නිසි පරීක්ෂණයක් පවත්වා සත්‍ය සිද්ධිය තමන්ට සහ ප්‍රදේශවාසීන්ට පවසන ලෙසයි.

කෙසේ නමුත් මේ පිළිබඳ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දවිමල් සිරිවර්ධන මහතාගෙන් විමසා සිටියා. "මේ සිද්ධිය පිළිබඳ අපට තොරතුරු ලැබුණා. පසුව අපගේ නියෝජිතයකු එම ස්ථානයට යවා එම ප්‍රදේශය සහ ස්ථානය පරීක්ෂණයට භාජන කළා. ඒ අනුව මෙම ළිඳ ගිලාබැස ඇත්තේ ළිඳ ඇතුළත පසුගිය කාලයේ අලුත්වැඩියාවක් කර ඇති බවට කරුණු දැකගැනීමට හැකිවූ බවයි. අවට පරීක්ෂාවක්ද සිදු කර ඇති අතර ප්‍රදේශයේ භූමිය පිළිබඳ කිසිදු දෝෂ වාර්තා දක්නට නොමැති බව අප නිලධාරියාගේ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබෙනවා. මෙවැනි දේවල් හේතු කිහිපයක් අනුව සිදුවෙන්න පුළුවන්. එක් හේතුවක් තමයි පොළොව යට හුනුගල් තට්ටුවක් තිබෙන ප්‍රදේශවල බොහෝ දුරට දීර්ඝ කාලයක් සමඟ එම හුනුගල් තට්ටු දියවීමක් සිදුවෙනවා. 

ඒ අවස්ථාවලදී පොළොව යට දියවෙන ස්ථානවල ඉඩක් ඇතිවෙනවා. ඒ ඉඩ පුරවා ගැනීම සඳහා පොළොව මතුපිට ඇති පස් යටට ඇද ගැනීමක් සිදුවෙනවා. එවැනි අවස්ථාවලදී පොළොව මතුපිට ඇතැම් විට ළිඳක් හෝ වෙනත් ඉදිකිරීමක් ඇති ස්ථානයක් වෙන්න පුළුවන්. එවිට එම ඉදිකිරීමත් සමඟ පොළොව යටට යෑම බොහෝ දුරට සිදුවෙනවා. මේ හබරණ ප්‍රදේශයේ ගිලා බැස්ස ළිඳ වගේම එම ප්‍රදේශයේම හතරැස් කොටුව ප්‍රදේශයේත් නිවෙසක් ගිලා බැසීමක් පිළිබඳ අප ආයතනයට වාර්තා වී තිබෙනවා. මේ ස්ථාන දෙක පිළිබඳ ඉදිරියේදී විධිමත් පරීක්ෂණයක් කිරීමටද අප කටයුතු කරනවා. නැතිව මේ ප්‍රදේශ හරහා උමං මාර්ග හෝ පතල් නොමැති නිසා මහජනතාව අනියත බියක් ඇති කර නොගන්නා ලෙස මහජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා" යි කීය.

-හිඟුරක්ගොඩ-ප්‍රියා_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "අසුරු සැණින් කාශ්‍යපගම ළිඳක් පොළොව පළා ගිය මැජික් කතාව "

    Post a Comment