27 May, 2017

මදරන්කුලියේ ගැබිණි අමාමාව පුච්චා මැරු මිනීමරුවාට රැකවරණය දෙන්නේ කවුද?

thameem fathima sharmila

මදුරන්කුලිය - කඩයාමොට්ටේ නල්ලදලුව ප්‍රදේශයේ කුලී වැඩ කරමින් ජීවත් වූ අහිංසක මුස්ලිම් පවුලකි. තමීම්, කුලී වැඩ කරමින් පවුල ජීවත් කරමින් හුන්නේය. ඔවුහු ගෙවූයේ සරු දිවි පෙවෙතක් නොවුණද එදිනෙදා බඩ වියත රවටා ගෙන සතුටින් දිවි ගෙවූහ.

තමීම් පාතිමා ෂාමිලා එම පවුලේ හැදී වැඩීගෙන පැමිණි යෞවන විය සපිරූ දියණියයි. පාසල් ගියද ඇය අතරමඟදීම පාසල් යෑම නතර කළාය. අගහිඟකම්ද ඊට බල පෑවේය.

ඇය දිනෙන් දින හැඩ - වැඩ වෙමින් සිටියාය. වයසින් අවුරුදු දාහත (17) එළැඹි සමයේ ඇය විවාහ වූවාය. ඒ මුස්ලිම් විවාහ නීතිය යටතේ එම විවාහය බාල වයස්කාර විවාහයක් සේ සැලකෙන්නේ නැත.
ඇය හා සැමියා විවාහයෙන් පසු පදිංචි වී සිටියේ නල්ලන්දලුව ගමේය.

ෂාමිලා සැමියාගේ පවුලේ තොරතුරුද එපමණ දැන සිටියේ නැත. එසේ වුවද සැමියාගේ පවුලේ පියා ඇතුළු සෑම දෙනා ඇය සමඟ පසුවූයේ අමනාපයෙනි.

තරුණයා ද ඇය ගැන වැඩි කැමැත්තක් තිබුණේ නැත. රණ්ඩු සරුවල් නීති පතා ඇති විය. දැන් දැන් දිවිය තිත්ත රස වෙමින් පැවැතුණි. ඒ අතරේම ඇය ගැබ්බර වූවාය. පසුව යස අපූරු පුතෙකු ඇය වැදුවාය.

කිරිකැටි පුතුට යන්තම් මාස හය එළැඹුණා පමණි. ෂාමිලාට සැමියාගෙන් ප්‍රහාර වැඩි වැඩියෙන් එල්ල වුණි. ඊට සැමියාගේ පියාද විටින් විට එක් වී තිබිණි.

ඒ මූසල දිනය 05දා එළැඹිණි. පල්ලියේ පූජාවට දහවලේ කවුරුත් ගියහ. පල්ලියේ පූජක බාන් යදින මොහොතේ, ෂාමිලාට සැමියාද සැමියාගේ පියාද අතින් පයින් පොලු මුගුරුවලින් පහර දෙමින් සිටියහ. අවසන ඇයගේ අත් පා පුටුවකට තබා බැඳ, ලාම්පුතෙල් දමා ඇයගේ සිරුරට ගිනි ලෑහ. ඉන්පසු ඔවුහු පලා ගියහ. ඇය වේදනාවෙන් කෑ ගෑවාය. අසලක කිසිවකු නොමැත. අවසන එම නිවෙස අසල වත්තේ පොල් ගෙඩි මිලදී ගැනීමට පැමිණි කාන්තාවක් මේ සිද්ධිය දැක කෑ ගසා අවට සිටි පිරිස් සමඟින් ෂාමිලා බේරා ගන්නා අවස්ථාවේදී ඇය දැඩිසේ පිලිස්සී සිටියාය. පුත්තලම රෝහලටත් කොළඹ මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයටත් ඇතුළත් කළ ද ඇය පසුගිය 21 වැනි දින මිය ගියාය.

ගිනි තැබූ අයවලුන් යළි ගම්පළාත පැත්තේ පැමිණියේ නැත. ඔවුන් සොයා පුත්තලම, මුන්දලම පොලිසිය විශේෂ පොලිස් කණ්ඩායම් යොදා පරීක්ෂණ පවත්වයි. රහස් පරීක්ෂක පිරිස්ද යොදා ඇත.

ඇයට ගිනි තැබුවේ මන්ද? ඔවුන් අතර තිබූ ආරාවුල කුමක්ද මේවා තවමත් හෙළි වී නොමැත.
එහෙත් මේ අපරාධය සම්බන්ධව මුල සිටම කටයුතු කරන මුස්ලිම් කාන්තා ක්‍රියාකාරී සංසදයේ විධායක සාමාජිකා ශ්‍රීන් අබ්දුල් සරූර් මේ සම්බන්ධව "මව්බිම" පැවසුවේ සපුරා වෙනස් කතාවකි. ඇයට අනුව මෙම විවාහය බලහත්කාර විවාහයකි. ශාමිලා මරා දමන විට ඇය සිවුමස් ගැබිනියකි. ශ්‍රීන් අබ්දුල් සරූර් අප හා කියන පැහැදිලි කතාව මෙසේය.

"යාපනේ පිල්ලෙයාඩිවල ජීවත් වූ ශාමිලාගේ පවුල බස්වලට වඩේ විකුණලා ජීවත් වෙන අහිංසක මිනිස්සු. කොටි සංවිධානයේ හිරිහැරවලදී ඔවුන් යාපනය හැරදමා පුත්තලමට පැමිණියාය. එහිදී ශාමිලා වයස 16දී මොහමඩ් ඉම්රාන්ට බලහත්කායෙන් විවාහ කරදෙනු ලැබුවා. මේ සඳහා ඇගේ දුප්පත් මවුපියන්ට නල්ලන්තලුව කොඩි පල්ලියේ පිරිසක් බළකළා. මේ පල්ලිය හරිම ප්‍රශ්නකාරී පල්ලියක්. එයාලා නීතිය අතට අරන් වැඩකරනවා. අර කාන්තාවකට කසපහර දෙන්න තීන්දු කරලා ඉන්පසු ඇයට හනසු පහර සීයක් දුන්නේ ඔවුන් තමා.

ඇය විවාහ වුණ ඉම්රාන් කලින් විවාහ දෙකක් කරගත්ත වයස 22 පුද්ගලයෙක්. කලින් භාර්යාවන්ටත් දැඩි ලෙස හිංසා කරපු කෙනෙක්. මේ විවාහය සිද්ධ වුණත් ශාමිලාට පල්ලියෙන් කසාද සහතිකයක්වත් ලැබුණේ නෑ. විවාහයෙන් පස්සේ ඇය දැඩිලෙස කායික මානසික අපයෝජනයට ලක්වී තිබුණා. ඇගේ සැමියා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක්.

අන්තිමට ඇය දික්කසාදය ඉල්ලා පල්ලියට ගියා. උදව් කළේ නෑ. පසුව ඇය අපේ ජ්වේලියා මොහිදින්ට කිව්වා ඇයට දික්කසාදය රැගෙන දෙන ලෙස. අපේ උපදෙස් මත ඇය පොලිසියට ගියා. පොලිසියත් මේ ප්‍රශ්නයේ බරපතළකම තේරුම් නොගෙන ඇයව නැවතත් සැමියා වෙතටම යැව්වා. අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වී මිය යන විට ඇය සිවුමස් ගැබිනියක්.

ඇය මරණාසන්නව රෝහලේ සිටිනවිට ඇගේ සැමියා ඇයට තර්ජනය කර තිබෙනවා ඔහුට එ‍ෙරිහිව සාක්ෂි දුන්නොත් ඇගේ වැඩිමහල් දරුවා මරා දමන බවට. ඒ නිසා ඇය නිහඬව සිට තිබෙනවා. නමුත් පසුව ඇය සිදුවූ දේ අප සමඟ පැවසුවා. ඇය කී කතාවේ හඬ පට අප සතුව තිබෙනවා. මේ හැම දේම කියන්නෙ සාධක සහිතව. ඇගේ සැමියා ඇයට ගිනි තබා තිබෙනවා. 90%ක් ඇගේ ශරීරය පිලිස්සී තිබුණාට මේ සිදුවීම වෙන්න හේතු වූ ආරවුල වුණේ ඉම්රාන් වැඩිමහල් දරුවා විකුණන්නට වෑයම් කිරීමයි. ඇගේ අවමංගල්‍යයට කිසිවෙක් සහභාගි වුණේ නැහැ.

මා මේ රජයෙන් ප්‍රශ්න කරන්නේ කුමක්ද මේ නීතිය කියායි. ඇයි මේ ළාබාල මුස්ලිම් තරුණියන් බලහත්කාරයෙන් විවාහ කරදීම නිසා සිදුවන මෙවන් අපරාධ නවත්වන්න අවශ්‍ය 16 වැනි වගන්තිය සංශෝධනය නොකරන්නේ.

ඇත්තවශයෙන්ම මෙහිදී පොලිසිය තමන්ගේ රාජකාරිය පැහැර හැරියා. අද වෙනකොටවත් අපරාධකරු අත්අඩංගුවට අරන් නැහැ. අපි පොලිස්පතිතුමාට බලකරනවා වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස. ඇගේ අවසාන ඉල්ලීමට සවන් දෙන ලෙස.

"මට මැරෙන්න පෙර මගේ දරුවා බලන්න ඕන. ඔහු ආරක්ෂාකාරීව ඉන්නවාද කියා දැනගන්න ඕන. මාව ගිනිතැබූ මගේ සැමියාට නීතිය ක්‍රියාත්මක කරන්න. දරුවා මගේ මවට භාර දෙන්න"

ඒ තරුණ මව එසේ කියා අවසන් ගමන් ගියා. මේ රටේ නීතිය මෙවැනි අසරණයන් වෙනුවෙන් ක්‍රියාත්මක නොවේනම් මේ අපරාධ සමඟ ලෝකය ඉදිරියට යන බව මේ සමාජ ක්‍රියාකාරිනියෝ අපට කියති. එතැනට යන්නට පෙර මෙවැනි ප්‍රශ්න අප විසින්ම විසදා ගැනීම රටට යහපත්ය.

ඩබ්ලිව්.ටී. රෝහණ (mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මදරන්කුලියේ ගැබිණි අමාමාව පුච්චා මැරු මිනීමරුවාට රැකවරණය දෙන්නේ කවුද?"

    Post a Comment