01 June, 2017

ප්‍රසන්නගේ 'විසි අට' පොදු ප්‍රේක්ෂකයන් වෙනුවෙන්

Prasanna Jayakody - 28 Film


ඔබ තිරයට ගෙනෙන මොකක්ද මේ 'විසි අට'?

මගේ තුන්වැනි චිත්‍රපටය තමයි 'විසි අට' කියන්නේ. ලංකාවේ අපටම ආවේණික සමාජ ගැටලුවක් මූලික කරගෙනයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. නමුත් මේ ගැටලුව සමාජ ගැටලුවක් ලෙසත් සංවේදී සංසිද්ධියක් ලෙසත් විශ්වීය ගනුදෙනුවක් ලෙසත් එකම චිත්‍රපටයක් ඇතුළේ ඉදිරිපත් කෙරෙනවා. ජුනි 2 වැනිදා සිට චිත්‍රපටය තිරගත කරන්න සූදානම්.

චිත්‍රපටයට 'විසි අට' කියන නාමය යෙදීම තුළ ලොකු ගැඹුරක් අන්තර්ගත කර තිබෙනවා නේද?

හඳේ චක්‍රයටත් ගැහැණියගේ ඔසප් චක්‍රයටත් ගත වෙන්නේ දින 28ක්. ලිංගිකත්වය කියන්නේ ස්වභාවධර්මයාගේ දේශපාලන ක්‍රියාවක්. විසි අට කියන නම යොදා ගැනීම තුළ තිබෙන්නේ ඒ අදහස.

ලිංගිකත්වය කියන කාරණාව ලාංකේය සංස්කෘතියට තිබෙන දුරස්ථභාවය තමයි ඔබ මේ චිත්‍රපටයට පාදක කරගන්නේ?

ඔව්. ලිංගිකත්වය පිළිබඳ තිබෙන සංස්කෘතික දුරස්ථභාවය ගැන තමයි මේ චිත්‍රපටයෙන් කතා කරන්නේ. අපි සමාජයේ දකින චරිත ටිකකට වඩා සමස්ත ගැහැනිය සහ පිරිමියාගේ හඬ නොනඟින දෙබස් තමයි මෙයින් එළියට මුදා හරින්නේ. මේ චිත්‍රපටයේ සිටින සුද්දි කියන ගැහැනිය හඬ නඟලා කියනවා 'ඇත්ත කියන්න පුළුවන් මැරිච්ච කෙනෙක්ට විතරයි කියලා. සරල දෙබස් ඇතුළේ සමාජයේ සංකීර්ණ ගැටලුවක් ගැන තමයි එලෙස කතා කරන්නේ.

ඔබට අවශ්‍ය වුණේ සමස්ත සමාජය වෙනුවෙන් පාපෝච්චාරණයක් කරන්නද?

මෙය පාපෝච්චාරණයක් කියලා යම් පුද්ගලයෙක්ට කියන්න පුළුවන්. අපේ ජීවිතවල තියෙන දුක, සතුට කියාගන්න අවස්ථාවක් ආවම අපි කවුරුන් හෝ එක්ක විවෘත වෙනවා. මේ චිත්‍රපටයේ ගැහැනිය විවෘත වෙන්නේ ප්‍රේක්ෂකයන් එක්ක. මෙයින් ඔවුන්ගේ ජීවිතවල ඝට්ටනය අමු අමුවේ එළිදරව් වෙනවා. ඒ හරහා චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයාටත් තමන්ව විවෘත කරගන්න මොහොතක් එනවා.

චිත්‍රපටයෙන් කියන්නට උත්සාහ කරන දාර්ශනික යථාර්ථය පොදු ප්‍රේක්ෂකයාට ඒ ආකාරයෙන් ග්‍රහණය කර ගැනීමේ හැකියාව පවතිනවා කියලා ඔබ විශ්වාස කරනවද?

මගේ සංකාරා සහ කර්ම කියන චිත්‍රපට ගත්තොත් ඒ චිත්‍රපට සිනමා අවබෝධය එක්ක ග්‍රහණය කරගත හැකි චිත්‍රපට. 'විසි අටෙන්' මට ඕන වුණා ලංකාවේ පොදු ප්‍රේක්ෂකයාව ග්‍රහණය කරගන්න. යමෙක්ට පොතක් කියෙව්වත් එය ග්‍රහණය කරගන්න අත්දැකීම්, පරිකල්පන ඥානයේ ප්‍රමාණය බලපානවා. ඒ සීමා මේ චිත්‍රපටය නැරැඹීමේදීත් තියෙන්න පුළුවන්. නමුත් මේ චිත්‍රපටයේ තල තුනක් තියෙනවා. එක් එක් පුද්ගලයාගේ අත්දැකීම් ප්‍රමාණය අනුව මේ චිත්‍රපටය ග්‍රහණය කරගන්න පුළුවන්. ඒක තමයි මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය. මෙහි සිටින ගැහැනිය හැම ගැහැනියක් වෙනුවෙන්ම පෞද්ගලික ජීවිතය එළියට දානවා. ලිංගිකත්වය අර්බුදයක් වෙන්නේ කෙසේද කියන එක ග්‍රහණය කර ගන්න පුළුවන් මට්ටමට තමයි චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ.

ඒ කියන්නේ ඔබේ අනෙක් චිත්‍රපට ද්විත්වයට වඩා 'විසි අට' පොදු ප්‍රේක්ෂකයා දිනා ගනියිද?

ඇත්තටම මම හිතනවා සංකාරා සහ කර්ම චිත්‍රපට දෙකට වඩා මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයා අතරට යන චිත්‍රපටයක් වෙයි.

මේ වෙනකොට යම් සිනමා ප්‍රේක්ෂක පිරිසක් චිත්‍රපටය නරඹලා තියෙනවා. ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර සුබවාදිද?

බහුතර ප්‍රේක්ෂක ප්‍රතිචාර සුබවාදියි. කොළඹ අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලෙදී ලාංකේය ප්‍රේක්ෂකයන්ට චිත්‍රපටය නරඹන්න පුළුවන් වුණා. එදා චිත්‍රපටය බලන්න අතිවිශාල පිරිසක් හිටියා. සමහරුන්ට හැරිලා යන්නත් සිද්ධ වුණා. එදා චිත්‍රපටය බලපු ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර තාමත් මට ලැබෙනවා.

ලිංගික කාරණා ගැන කතා කරද්දිත් ඔබ එය සිනමා නිර්මාණයෙන් ඉදිරිපත් කරන්නේ සංයමයකින්. එවැනි සංයමයක් ගොඩනැංවූවේ ස්වයං වාරණයක් නිසාද? නැතිනම් නිර්මාණයට අවශ්‍ය හැඩය එය නිසාද?

ලිංගිකත්වය ගැන කතා කළාට මේ චිත්‍රපටයේ නිරුවත් දර්ශන නැහැ. මෙය සියලුම ප්‍රේක්ෂකයන්ට නරඹන්න පුළුවන් චිත්‍රපටයක්. මේක මනසේ කතාබහක් විවෘත කරන අවස්ථාවක්. ලිංගිකත්වය පෙන්වීමට හෝ සැඟවීමට නෙවෙයි මට වුවමනා වුණේ. සමාජ සංස්කෘතික ගැටලුවක් චිත්‍රපට මාධ්‍ය ඔස්සේ කතා බහට ලක් කරන්නයි මම උත්සාහ කළේ.

චිත්‍රපටය ප්‍රේක්ෂකයා අතරට ගේන්න වසර හතරක් බලාගෙන ඉන්න වුණානේ. හැබැයි ඔබේ පිළුණු නොවෙන තේමාව නිසා කාලය ඔබට ගැටලුවක් නොවෙන්න ඇති?

මේ චිත්‍රපටය කළේ අවුරුදු හතරකට කලින්. නමුත් මේ කතා කරන දෙය තාමත් යාවත්කාලීනයි. හැත්තෑව දශකයෙ කතා කළාත් අද කතා කළාත් හෙට කතා කළත් මේ ප්‍රශ්නය තියෙනවා. ඒ නිසා චිත්‍රපටය දැන් ප්‍රේක්ෂකයා අතරට එන එක ගැටලුවක් නැහැ.

මේ චිත්‍රපටය ගලාගෙන යන්නේ ප්‍රධාන චරිත හතරක් වටා. චිත්‍රපටය සාර්ථක කරගන්න නම් නළු නිළියන්ව සූක්ෂමව තෝරා ගන්න සිද්ධ වෙනවා. ඔබත් නිර්මාණය වෙනුවෙන් හොඳම චරිත තෝරා ගැනීමක්ද කරලා තිබෙන්නේ?

පැහැදිලිවම. මගේ එක නිර්මාණයක ඉන්න කෙනෙක් මගේ තව නිර්මාණයක නැහැ. මම යම් චරිතයකට ගන්න කෙනා ඒ වගේ චරිතයක් මීට කලින් කර නොතිබෙන්න පුළුවන්. මහේන්ද්‍ර කියන්නේ දක්ෂ නළුවෙක්. චිත්‍රපටයේ දර්ශනවල දිග ප්‍රමාණය අනුව ඒ රංගනය කරන්න පුළුවන් දක්ෂ නළුවෙක්ට විතරයි. දැනට ඉන්න දක්ෂ නළුවෙක් තමයි මහේන්ද්‍ර කියන්නේ. එක් එක් මනෝභාවයන් පෙන්නුම් කරමින් රඟපෑම සරල නැහැ. ඒ වගේම සරත් කොතලාවල, රුක්මල් නිරෝෂ්, සේමිණි, මේ වගේ චිත්‍රපටයට ගෙනත් තියෙන හැමෝම ප්‍රවීණයන්.

ප්‍රවීණයන්ම චිත්‍රපටයට දායක කර ගන්න හිතුවේ?

ශිල්පීන්ගේ රංගන කුසලතාවය මත පදනම් වෙලා තමයි මේ චිත්‍රපටය දුවන්නේ. මගේ අනෙක් චිත්‍රපටවල රූපයට තමයි ප්‍රමුඛත්වය ලැබෙන්නේ. නමුත් මේ චිත්‍රපටයේ ප්‍රමුඛතාව තියෙන්නේ රංගනයට. ප්‍රවීණ රංගන ශිල්පීන්ට ඒ කාර්යය කරන්න පුළුවන්. ඔවුන්ව සම්බන්ධ කර ගැනීමේ ප්‍රතිඵලය දැන් දකින්න තියෙනවා.

ඒ කියන්නේ ඔබ සෑහීමකට පත්වෙන උපරිමය ඔවුන්ගෙන් නිර්මාණයට ලැබිලා තියෙනවා කියන එකද?

අනිවාර්යයෙන්ම. ඔවුන් උපරිම දායකත්වය ලබා දීලා තියෙනවා.

ඔබේ චිත්‍රපට ඔබම තිර රචනය කරන්න විශේෂ හේතුවක් තියෙනවද?

අපි සුළු සිනමා සම්ප්‍රදායක ඉන්න නිර්මාණකරුවෝ. ඒ සිනමාව ජයග්‍රහණය කරන්න නම් නිර්මාණකරුම පිටපත ලිවිය යුතුයි කියන තැන මම ඉන්නවා. මොකද තමන්ගේ චින්තනය පිටපතෙන් එළියට දාන්න පහසුයි. අනුන්ගේ පිටපතකින් සාර්ථක වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. තමන්ම තිර පිටපත කළොත් කරන වැඩේ සාර්ථක කරගන්න පුළුවන්.

මේ වෙනකොට '28' ජාත්‍යන්තර ඇගයුම් ලබලත් තියෙනවනේ. ඒ ගැනත් මතක් කරමු?

මේ චිත්‍රපටය සිනමා උළෙල ගණනාවකට ඉදිරිපත් වුණා. ඒ අතරින් නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සිනමා උළෙලින් ව්ඡ්ඊර්ථීඒඛ් සම්මානය හිමිවුණා. ඕස්ට්‍රේලියාවේ බි්‍රස්බේන් නුවර පැවැති ඒඵඪච ර්ථීචජඪටඪජ ඉජපඥඥද ඒඹචපඤඵ සිනමා සම්මාන උළෙලේදී මහේන්ද්‍ර හොඳම රංගනය වෙනුවෙනුත් මම හොඳම තිර රචනය වෙනුවෙනුත්, චිත්‍රපටය වෙනුවෙන් නොම්නේට් වුණා. ඒ වගේම බේ්‍රලෙඩ් සිනමා උළෙලේදී ජූරියේ විශේෂ සම්මානයකුත් ලැබුණා.

ඔබේ සිනමා වෑයම චිත්‍රපටය ජාත්‍යන්තර ඇගයුමට ලක් කිරීමද නැත්නම් ප්‍රේක්ෂකයෝ දිනා ගැනීමද?

මේක ජාත්‍යන්තරය අරබයා කරපු චිත්‍රපටයක් නෙමෙයි. මේක ලංකාවේ ප්‍රේක්ෂකයන්ට තියෙන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය යූරෝපීයන්ට තේරෙන්නේ නැහැ. මොකද ඒ අයට ලිංගිකත්වයට තිබෙන සංස්කෘතික දුරස්ථභාවය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. සිනමා උළෙලවලට ගියාමත් ඔවුන් මගෙන් ඇහුවේ ලංකාවේ ස්වාමියා සහ බිරිය අතර ලිංගික රහස් තියෙනවද කියලා. මේක ලංකාවේ ප්‍රේක්ෂකයන්ව අරමුණ කරගෙන කළේ. ඕනෑම නිර්මාණකරුවෙක්ට තමන්ගේ නිර්මාණයෙන් ලෝකය ග්‍රහණය කර ගැනීමේ බලාපොරොත්තුවක් තියෙන්න පුළුවන්. එය වරදක් නැහැ. හොඳ නිර්මාණයක ලක්ෂණය තමයි එය ඕනෑම ප්‍රේක්ෂකයකුට ග්‍රහණය කරගත හැකිවීම.

හැබැයි ජාත්‍යන්තර ඇගයුම් ලබන බොහෝ චිත්‍රපට ලංකාවේ ප්‍රේක්ෂකයෝ දිනා ගන්නේ නැහැ. එයටත් හේතුවක් ඇති?

එයට ප්‍රශ්න තියෙනවා. දැන් පොදුු ප්‍රේක්ෂකයා සිනමාව රසවිඳින්න පෙලඹෙන්නේ හරි අඩුවෙන්. සමහරු සිනමා ශාලාවකට ගිහින් චිත්‍රපටයක් බලලා තියෙන්නේ කාලෙකට කලින්. සිනමාවට පුරුදු වුණ ප්‍රේක්ෂකයෝ තමයි සිනමා ශාලාවකට යන්නේ. කලාත්මක චිත්‍රපටයකට වුණත් යම් ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. හැබැයි ඒ එන ප්‍රේක්ෂක පිරිසවත් සිනමා ශාලාවලට ගෙන්වන ක්‍රමවේදය පොහොසත් නැහැ. ඒ ක්‍රමවේදය තව තව හැදෙන්න ඕනෑ.

ඊළඟ සිනමා නිර්මාණයන්ට ඔබ මොන වගේ සූදානමකද ඉන්නේ?

මගේ ඊළඟ චිත්‍රපටය දඩයක්කාරයා. ඒ චිත්‍රපටය නිම කරමින් තියෙනවා. ඒ වගේම තවත් පිටපතක් ලියමිනුත් ඉන්නවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ (MB WEB)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ප්‍රසන්නගේ 'විසි අට' පොදු ප්‍රේක්ෂකයන් වෙනුවෙන් "

    Post a Comment