01 June, 2017

මාසයක් තුළ ගීතයක් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ

Shashika Nisansala-02

වයස් භේදයකින් තොරව ආදරය දිනාගත් දක්ෂතම ගායිකාවක් ලෙස ශෂිකා නිසංසලා හැඳින්විය හැකිය. ප්‍රසංග වේදිකාව මෙන්ම පසුබිම් ගායන තුළ මෙරට පෙරළියක් සිදුකළ ගායිකාවක ලෙස ඇය ප්‍රචලිතය. සිය නිර්මාණ කටයුතු පිළිබඳ කතාබහකට 'අද' සමග ඇය මෙලෙස එක්විය.

මේ දවස්වල වැඩ කටයුතු කොහොමද?

මේ දවස්වල අලුත් සිංදුවකට සූදානම් වෙනවා. ගීත කිහිපයක්ම ලැබිලා තියෙනවා. එයින් ගීත තෝරාගන්නා ගමන් ඉන්නේ වීඩියෝ එකක් එක්ක එළිදක්න ගීතයකට. කීපයක් තියෙනවා ඉන් තෝරාගත්. තව මාසයක් විතර ඇතුළත ගීතයක් එළිදක්වන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. පහුගිය දවස්වල දිගටම සංගීත ප්‍රසංග තිබුණා. ගොඩක්ම තිබුණෙ එළිමහන් ප්‍රසංග. ගෘහස්ථ ප්‍රසංග කිහිපයක් තිබුණා. මැයි මාසයේදීත් ගෘහස්ථ ප්‍රසංග කිහිපයක් තිබුණා.

සම්මානයක් ලැබුණා නේද? ඒ ගැනත් විස්තර ටිකක් කියමු නේද?

ඔව්, ගිය වසරේදීත් ලැබුණා, මේ වසරේදීත් ලැබුණා. ඒක ඇත්තටම මෙහෙමයි. මගේ 'පාරමිතා' සිංදුව හිට්වුණා. ඒ මියුසිකල් ෂෝ පටන්ගත්ත කාලයේ ඉඳන්ම. හත් වතාවක් පමණ මාව ජනප්‍රියම ගායිකාවට නිර්දේශ වෙලා තිබුණා. හැම වසරකම වගේ නන්දා ආන්ටි, නිරෝෂා අක්කා සහ මම තමයි නිර්දේශ වෙලා තිබුණෙ. 2016/2017 වර්ෂ දෙකේදීම ලැබුණත් 2017 වර්ෂයේදී නන්දා ආන්ටිට සහ මට සම සම්මාන හම්බ වුණා. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි. ඉතිං මට කොහොමටත් ලොකු රසික පිරිසක් ඉන්නවා කියලා දන්නවා. නිතරම ප්‍රසංග වේදිකාවලට යන නිසා එයාලාගේ ආදරය කොහොමත් මට ලැබෙනවා. මේක සම්මානයක් විදියට ලැබුණාම ගොඩක් සතුටුයි. 2016දීත් රාජ්‍ය සම්මාන උලෙළේ ප්‍රශස්තම ගායිකාවට හිමි සම්මානය ලැබුණා. ඉදිරියේදී පැවැත්වෙන රයිගම් සම්මාන උලෙළේදීත් ගීතයක් සඳහා නිර්දේශ වෙලා තියෙනවා. ඉතිං සම්මානයක් කියන දේ අපට වටිනවා.

මෙච්චර රසික පිරිසක් ඔබ වටා එකතු වී සිටින එක ගැන මොකද හිතෙන්නේ?

මම හිතන්නෙ ඒක වාසනාව විතරක්ම නෙවෙයි. අපේ රටේ ඉන්න රසික පිරිස විවිධයි. ඒ විවිධත්වයට අදාළව නිර්මාණ කරන්න මට හම්බ වෙනවා. ඒ ලැබෙන සින්දු මම බොහොම මහන්සි වෙලා රසිකයන්ගේ කැමැත්ත ලැබෙන ලෙස ඉදිරිපත් කරනවා. ඒත් සමගම ඒ ගීත ජනප්‍රිය වෙනවා. වැඩි දෙනෙකුට විඳින්න පුළුවන් විදියේ ගීතයක් නිර්මාණය කරන්න අමාරුයි. තෝරා බේරාගෙන කරන්න ඕන. ගීත 15 – 20 ක් විතර තෝරලා තමයි ජනප්‍රිය වුණ ගීත නිර්මාණය වෙන්නේ. ටෙලි නාට්‍ය සහ චිත්‍රපටවලටත් ගීත ගායනා කරන්න අවස්ථාව වැඩිපුර ලැබෙනවා. ගායනා කරපු චිත්‍රපට තුනක විතර ගීත ඉදිරියේදී ලැබෙන්න තියෙනවා. ඒ වගේ සුභාවිත පැත්තට බර ගීත, ශාස්ත්‍රීය පැත්තට බර ගීතත් නිර්මාණය කෙරෙනවා. හැම පැත්තකටම අදාළ ගීත නිර්මාණය කරන්න ලැබෙන නිසා තමයි මම හිතන්නේ රසිකයො මගෙත් එක්ක ගොඩක් ඉන්නේ. ඒක ලොකු වාසනාවක්. මගේ සැමියා, අම්මා ඇතුළු පවුලේ අයගේ කැපකිරීමත් මේ දේවල් එකක් තියෙනවා. ඒ හැමදේම ඒකට හේතුවක් වෙලා තියෙනවා.

ගීතයක් නිර්මාණය කරන්න කාලයක් ගන්නේ අද තියෙන්න රැල්ලෙන් එහා දෙයක් කරන්න ඕනේ කියලා හිතලද?

රැලි කියන එක එනවා යනවා. නමුත් මම ගොඩක් දුරට ඒ කාලයේ තියෙන ගීත රැල්ලට අදාළ ගීත නිර්මාණය කරන්නේ නැහැ. හැබැයි වැඩි දෙනෙකුට විඳින්න පුළුවන් ආකාරයේ ගීතයක් වෙන්න ඕන. ඒ වගේම හොඳ පද රචනයක්, හොඳ තනු නිර්මාණයක්, සංගීත සංයෝජනය පැත්තෙනුත් ටිකක් වෙනස් විදියෙ දෙයක් විය යුතුයි. ඒ වගේම සජීව සංගීතය යොදාගන්න මම ගොඩාක් උත්සාහ කරනවා. ඒ වගේ දේවල් ටිකක් හොයන නිසා තමයි වැඩි කාලයක් ගන්නේ. අනිත් දේ ළඟ ළඟ සිංදු නිකුත් කළා කියලා ජනප්‍රිය වෙන්න ටිකක් අමාරුයි. හොඳ ගීතයක් වැඩි කාලයක් මිනිස්සුන්ට අහන්න දෙන්න ඕන. දැන් මගේ "ඇස්පිය නොහෙලා" ගීතය ගත්තොත් 2015 පෙබරවාරි මාසයේ තමයි මම ඒ ගීතය නිකුත් කළේ. තාමත් ඒ ගීතයට ප්‍රතිචාර ලැබෙනවා.

චිත්‍රපට සඳහා පසුබිම් ගායනයෙන් සම්බන්ධ වෙන්නේ නැත්තේ කාලවේලාවේ ප්‍රශ්නයක් නිසාද?

නෑ, මට වැඩිපුර ලැබෙන්නේ ටෙලි නාට්‍ය ගීත. ඉදිරියට අහන්න ලැබෙන්න තියෙන ටෙලි නාට්‍යත් දෙකක් විතර තියෙනවා. චිත්‍රපට තුනක් තියෙනවා ගායනා කරන්න. මට ආරාධනා ලැබෙන විදියට මම ගායනා කටයුතු කරනවා. හොඳ නිර්මාණයක් නම් මම ගොඩක් උනන්දුවෙන් දායක වෙනවා.

නවක ගායක ගායිකාවන් ගොඩක් අද ක්ෂේත්‍රයට එනවා. ඇතැම් අය කියනවා මේ දේවල් නිසා ක්ෂේත්‍රයේ යම්කිසි පිරිහීමක් තියෙනවා කියලා. ඔබ මේක දකින්නේ කොහොමද?

මම නම් හිතෙන්නේ මෙහෙමයි. සංගීත ක්ෂේත්‍රය තුළ විවිධ විවිධ නිර්මාණ බිහිවෙන්න ඕන. එදත් එහෙමයි විවිධ නිර්මාණ බිහිවුණා. අදත් එහෙමයි. ක්ෂේත්‍රයට එන පිරිස වැඩියි. වැඩි පිරිසකට ක්ෂේත්‍රයට එකතු වෙන්න තියෙන අවස්ථාව වැඩියි. මොකද මාධ්‍ය හරහා ඒ සඳ වැඩි වශයෙන් අවස්ථාව ලැබෙනවා. ගීතයක් නිර්මාණය වෙලා ජනප්‍රිය වුණොත් ගොඩක් දෙනෙක් ඒ ආකාරයෙන්ම ගීතයක් නිර්මාණය කරන්න යොමුවෙන අයුරු දකින්න ලැබෙනවා. ඒ දේ නිසා වෙන්න ඇති ඒකාකාරී නිර්මාණ බිහිවෙන්නේ. කැපවීම, උත්සාහය තියෙනවා නම්, දක්ෂතාව තියෙනවා නම් අද බිහිවෙන ක්ෂේත්‍ර‘යේ නවකයන්ට ඉදිරියට යන්න පුළුවන්. ජනප්‍රිය ගීත, ශාස්ත්‍රීය පසුබිමක් තියෙන ගීත, ජන ගී ආශ්‍ර‘යෙන් නිර්මාණය වූ ගීත වගේ විවිධ විදියේ ගීත තියෙන්න ඕන.

ගීතයේ ජනප්‍රියත්වයට අද කාලයේ වීඩියෝවත් බලපානවා. ඒ දේ ගැන මොකද හිතෙන්නේ?

ඒකට එකම හේතුව රූපවාහිනී නාළිකා වැඩියි දැන්. ඉස්සර වගේ නෙවෙයි. ඉස්සර නම් එකයි, දෙකයි තිබුණෙ. අපේ පැරණි ගීත ජනප්‍රිය වුණේ වීඩියෝ හරහා නෙවෙයි. රේඩියෝවලින් ඇහිලා පසුව තමයි රූපවාහිනියේ ප්‍රදර්ශනය වෙන්න ගත්තේ. මගේ ගීත සඳහා පළමුවෙන්ම වීඩියෝ එකක් කළේ ITN එකෙන්. ඉන්පසු රූපවාහිනියෙනුත් වීඩියෝ නිර්මාණය කරලා තියෙනවා. දැන් රූපවාහිනී නාළිකා වැඩියි. තමන්ටම තමයි වීඩියෝවක් නිර්මාණය කරලා දෙන්න වෙලා තියෙන්නේ. ඒවා ප්‍රචාරය වන ප්‍රමාණයත් වැඩියි. රූපවාහිනී මාධ්‍ය‘යේ ගීතයක් ප්‍රචාරය කරන්න වීඩියෝ එකක් කරන්නම වෙනවා. ඒකට ආර්ථික තත්ත්වයත් බලපානවා. ඒකට ලොකු වියදමක් දරලා හොඳ නිර්මාණයක් කරන්න පුළුවන්. වීඩියෝ එකකට වියදම් කරන මුදල් ප්‍රමාණය අනුව තමයි ඒක කොච්චර දුරට සාර්ථක වෙනවාද කියලා තීරණය වෙන්නේ.

ඉදිරි කටයුතු හා බලාපොරොත්තු මොනවාද?

මගේ ලොකු පුතාට වයස අවුරුදු 07 යි. එයා දැන් 02 වසරේ ඉගෙනුම ලබන්නේ. පොඩි පුතාට අවුරුදු 03 ඉවරයි. එයා දැන් පෙරපාසල් යනවා. එයාලාගේ අධ්‍යාපන හා වෙනත් වැඩ කටයුතු වෙනුවෙන් කොපමණ කාර්යබහුල වුණත් අපි ඒවා කරන්න ඇප කැපවෙලා ඉන්නවා. මම සහ මගේ සැමියා කාර්යබහුල අවස්ථාවල අම්මයි, තාත්තයි තමයි පොඩි දෙන්නව බලාගන්නේ. ඒ ගොල්ලන්ගේ වැඩ කටයුතු ඔක්කොම කෙරෙන්නේ ඒ දෙන්නගේ අතින්. එයාලාගේ අනාගතය ලස්සන්න තමයි මෙච්චර අපි මහන්සි වෙන්නේ. ක්ෂේත්‍රය පැත්තෙන් ගත්තොත් ලොකු බලාපොරොත්තු තියෙනවා. මම ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 17 ක් විතර වෙනවා. මම හිතනවා මේ කාලය ඇතුළත මට අගය කිරීම් ලැබිලා තියෙනවා. සම්මාන 15 – 16 ක් විතර ලැබිලා තියෙනවා. ප්‍රශස්තම ගායන ශිල්පිනිය ලෙස සම්මාන 12 – 13 ක් පමණ ලැබිලා තියෙනවා. ඒ පිළිබඳ ගොඩක් සතුටුයි. මම සංගීතය ඉගෙනගත්ත කෙනෙක්, ඒ වගේම තවමත් එය හදාරන කෙනෙක් විදියට විවිධ ශෛලියේ ගීත ගයන්න මම හරි ආසයි. ජන ආරේ ගීත දැනටමත් නිර්මාණය කරන්න දීලා තියෙනවා. ලැබෙන්න තියෙන ගීත තියෙනවා. එකම තැනකට කොටු වෙන්නේ නැතිව සමහරු අහනවා ජනප්‍රිය රැල්ලෙ ගීත විතරක් කියනවද කියලා. නිතර ඇහෙන්නේ ඒ සිංදු විතරක් නිසා එහෙම අහනවා. රඹුක්කන සිද්ධාර්ථ හිමි රචනා කරපු බොදු බැති ගීයක් තියෙනවා ඉදිරියේදී ගායනා කරන්න. ඒ වගේ විවිධ ශෛලීන්වල ගීතත් මම ගායනා කරනවා. ඒ හැම ගීතයක්ම මම මහන්සියෙන් කරන්නේ.

උනන්දුවෙන්, මහන්සියෙන් කරන ගීතයක් කවදාවත් ෆේල් වෙන්නේ නැහැ. මම හිතන්නේ මගේ ඉදිරි නිර්මාණත් රසිකයෝ ඒ විදියටම වැලඳගනීවි. මට පුළුවන් කාලයක් මගේ නිර්මාණ හොඳින් කරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - සරසි නෙත්මිණි

හැඩගැන්වීම - ඉයන් සංජීව (saaravita)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මාසයක් තුළ ගීතයක් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ"

    Post a Comment