09 June, 2017

කොල්ලන්ට කෙල්ලන්ට හදපු නිනෝ ලයිව්

Nino Live - 2017-06-09_10-02-34

නිනෝ ලයිව් කියන්නේ ඔබගේ අධ්‍යක්ෂණයක්. මුලින්ම ඔබගේ අධ්‍යක්ෂණ කාර්යය ගැන කතා කරමු?

මේ මගේ පළමු සිනමා අධ්‍යක්ෂණය. 2008 වසරේදියි මේ නිර්මාණය අවසන් කරන්නේ. මේක කොල්ලෝ කෙල්ලන්ට නරඹන්න කරපු නිර්මාණයක්. චිත්‍රපටය තිරගත කරන්න ප්‍රමාද වුණේ සිනමා ශාලා ඩිජිටල්කරණය නොවුණු නිසයි.

චිත්‍රපටය නිර්මාණය කරලා වසර කීපයක් ගතවෙලා. අවුරුදු නවයකට පෙරදී ඔබ බලාපොරොත්තු වුණා වගේ අදත් ප්‍රේක්ෂකයින් මේ නිර්මාණය ආදරයෙන් වැලඳ ගනියිද?

කතන්දරය පරණයි කියලා නම් හිතෙන්නේ නැහැ. හොඳම උදාහරණය ලෝකයේ වගේම රියැලිටි ෂෝ කියන්නේ තවමත් තරු බිහිකරන, මිනිස්සු ආසා කරන දෙයක්නේ. මිනිස්සු තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක හදාගන්නත් රියැලිටි ෂෝ උදව්කර ගන්නවානේ. තාමත් ටීවී චැනල් මාරු කළොත් රියැලිටි වැඩසටහන් පැවැත්වෙනවා එදා වගේම. ඒ දවස්වල තමයි රියැලිටි ෂෝ ආරම්භ කළේ.

ඒ දවස්වල තිබුණේ සිංදු කියන ගායක ගායිකාවන් තෝරන රියැලිටි ෂෝනේ. අද විවිධ විදියේ රියැලිටි ෂෝ තිබෙනවා. පෞද්ගලිකව මම හිතනවා එදාට වඩා අද සාමාන්‍ය මිනිස්සුන්ට රියැලිටි ෂෝ කියන සංකල්පය හොඳින් දැනෙයි.

මේ සිනමා පටය නැරඹූ පිරිසගෙන් ඔබට ලැබුණු ප්‍රතිචාර මොන වගේද?

2011 වසරේ සිට විවිධ රටවල විවිධ ප්‍රේක්ෂකයින්ට චිත්‍රපටය පෙන්වලා තිබෙනවා. එතකොට ලැබුණ ප්‍රතිචාර ඇත්තටම හොඳයි. මාධ්‍ය දර්ශනයෙදිත් ඒ විදිහටම හොඳ ප්‍රතිචාර ලැබුණා. වෙනසක් වුණේ නැහැ.

මේ නිර්මාණයෙදි ඔබ වගේම බොහෝ රංගන ශිල්පීනුත් ආධුනිකයි. එය නිර්මාණය ගොඩනැඟීමේදී බාධාවක් වුණේ නැද්ද?

2008 විතරනේ මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ. මට ඒ කාලේදී ඕන වුණේ චිත්‍රපටයේ කතාවේ හැටියට සාමාන්‍ය කොල්ලෝ කෙල්ලන්ගේ කතාවක් නිර්මාණය කරන්න. එතැනට යන්න නම් ඉතාම ප්‍රසිද්ධ චරිතයක් යොදා ගත්තොත් මම සිතන නිර්මාණය බිහිකරන්න බැහැ කියලා හිතුණා. මට ඕන වුණේ අලුත් මූණු ටිකක් යොදා ගන්න. ඒ දවස්වල ළමා චිත්‍රපට රැල්ලක්, අතීත කතා රැල්ලක් යන්න පටන් ගත්තු කාලය. ඒවත් එක්කයි මේ නිර්මාණය සංසන්දනය වෙන්නේ. ඒ නිර්මාණවල සිටින රංගන ශිල්පීන් යොදා ගත්තොත් කතාවේ අනන්‍යතාව නැති වෙනවා කියලා හිතුණා.

ප්‍රවීණයන් පිරිසකුත් ඔබ සමඟ කටයුතු කර තිබෙනවානේ. එය මොන වගේ අත්දැකීමක් වුණාද?

මේක මගේ පළමුවෙනි චිත්‍රපටය. මෙතනට සම්බන්ධ වූ බොහෝ දෙනා ආවේ පොඩි කොල්ලෙක් වැඩක් කරනවා ඒකට උදව් කරන්න ඕන කියලා හිතාගෙන. "උඹට ඕන විදිහට
වැඩේ වෙන එකක් නැහැ. ඒ ගොල්ලෝ වැඩේ අතට ගනියි" කියලා ගොඩක් අය කීවා. එහෙම කිසිම දෙයක් වුණේ නැහැ. අධ්‍යක්ෂවරයා ලෙස මගේ අවශ්‍යතාවය සපුරන්න තමයි ඒ අය එදා කටයුතු කළේ.

මට කාගෙන්වත් එහෙම බලපෑම් ආවේ නැහැ. ආධුනිකද ප්‍රවීණද කියලා එහෙම කිසිම වෙනසක් තිබුණේ නැහැ. ඇත්තම කතාව මේ චිත්‍රපටය කරන කොට අපි එකිනෙකාට විශ්වාසයෙන් කටයුතු කළා. කිසිම අපහසුතාවයක් වුණේ නැහැ. ප්‍රවීණ කැමරා ශිල්පියෙකු වන චන්න දේශප්‍රියත් අප සමඟ වැඩ කළා. චාන්දනි සෙනෙවිරත්න වැනි ප්‍රවීණ රංගන ශිල්පිනියනුත් මේ නිර්මාණයට දායක වුණා. ඔවුන් සියලු දෙනාම මා සමග සහයෝගයෙන් කටයුතු කළා.

විදග්ධ මට්ටමේ සිනමා නිර්මාණයක් නොකර සරල නිර්මාණයක් කරන්න හිතුවේ ඇයි?

කලා නිර්මාණයක් කියන්නේ යම්කිසි ව්‍යාපෘතියක් කිරීම. ඒ නිර්මාණය කරන්නේ බොහොම ආශාවෙන්. එය කරනකොටම අපි හිතන්න ඕන මේක විකුණන්නද ගෙදර කාමරේ තියා ගන්නද ලෝකය පුරාම අලෙවි කරන්නද කියන එක. ඒ වගේම මම දැනගන්න ඕන මම මොන ප්‍රේක්ෂකයින්ටද කතා කරන්නේ කියලා. චිත්‍රපටය හදන කාලේ මට ඕන වුණේ ඒ දවස්වල හැදුණු චිත්‍රපටවලට වඩා මා වින්දනය ලබන ජාතියේ සහ මම ආසා කරන ජාතියේ නිර්මාණයක් කරන්නයි. කොල්ලන්ට කෙල්ලන්ට කරන නිර්මාණයක් විදිහට මගේ සලකුණක් තිබෙන, මං ආසා කරන විදිහට හදපු චිත්‍රපටයක් මෙය.

ප්‍රේක්ෂකයන්ට රසවිඳින්න සුදුසු නිර්මාණ අපේ රටේ බිහිවෙනවා කියලා ඔබ හිතනවාද?

ලංකාවේ සිනමාවේ අර්බුද තිබෙනවා කියලා කීවත් ලංකාවේ කෙල්ලෝ කොල්ලෝ චිත්‍රපට බලනවා. චිත්‍රපට ශාලාවලට ගිහින් හැමෝම චිත්‍රපට බලන්නේ නෑ. චිත්‍රපට හැදෙනවා. ඒ හදන නිර්මාණ කුමන ප්‍රේක්ෂකයින්ටද හදන්නේ කියන එක තීරණය කරන්න ඕන. ප්‍රමාණාත්මකව චිත්‍රපට හැදුනට වැඩක් නැහැ මිනිස්සු චිත්‍රපට ශාලාවලට ඇවිත් බලන්නේ නැත්නම්.

ඒ කියන්නේ ඔබ ප්‍රේක්ෂකයන්ව අල්ලා ගන්නද නිර්මාණය කළේ්?

චිත්‍රපටයක් කළාට වැඩක් නැහැ. ඒක මිනිස්සු බලන්නත් ඕන. විදග්ධ ගණයේ නිර්මාණවලටත් ප්‍රේක්ෂකයින් ඉන්නවා. ඒ ප්‍රේක්ෂකයින් ඉලක්ක කරගෙනත් නිර්මාණ හදනවා. හැම ජාතියකම නිර්මාණ පවතින්න ඕන. ඒක තෝරන්න ඕන වාරණ මණ්ඩලයකින් නෙවෙයි. ප්‍රේක්ෂකයින් විසිනුයි.

අපේ රටේ හැදෙන බොහෝ නිර්මාණවල රසවින්දනය ඉහළයි කියලා ඔබට කියන්න පුළුවන්ද?

ලෝකයේ චිත්‍රපට කර්මාන්තයේ රසවින්දනය තිබෙනවා. ඒත් ලංකාවේ කර්මාන්තයේ එහෙම රසවින්දනයක් නැහැ. අපේ රටේ චිත්‍රපට කර්මාන්තය හදන්න නම් එය ජන ජීවිතයට බද්ධ කරන්න ඕන. ජනතාවගෙන් වියුක්තව මේ ගමන යන්න බැහැ. මීයෝ දුවන, වවුලෝ පියාඹන, ගඳ, වතුර වැක්කෙරන චිත්‍රපට ශාලාවලට කාටද යන්න හිතෙන්නේ. මුලින් ඒ ටික හදන්න ඕන.

රසිකා හේමමාලි (MB WEB)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "කොල්ලන්ට කෙල්ලන්ට හදපු නිනෝ ලයිව්"

    Post a Comment