14 June, 2017

අලි කතාවට තායිලන්තයෙන් අලි නළුවෙක් ඇවිත්

Sunil Ariyarathne-2017-06-13_22-51-52

ඔබේ නිර්මාණයක් මේ දිනවල තිරයට ඇවිත්?

ඔව්. අලි කතාව චිත්‍රපටය තිරගත වෙන්න අරගෙන දැන් දින කිහිපයක් ගත වෙලා තියෙනවා.

ඔබ මීට කලින් ළමා චිත්‍රපටයක් නිර්මාණය කරලා නෑ. ඇයි ළමා චිත්‍රපටයක් කරන්න යොමු වුණේ?

ඔව්. මං මීට කලින් ළමා චිත්‍රපටයක් කරලා තිබුණේ නෑ. නමුත් මං කලා ලෝකයට පිවිසුණේ ළමා ලේඛකයෙක් හැටියට. මට වයස අවුරුදු එකොළහේදී මං "අහිංසකගේ" කියලා ළමා කෙටි කතා පොතක් ලිව්වා. අලි කතාව නිර්මාණය කරන තුරු මං ළමා චිත්‍රපටයකට අත ගැහුවේ නෑ. හැබැයි මීට අවුරුදු විස්සකට විතර කලින් මං ලියපු "අයන්න කියන්න - ලොවටම ඇහෙන්න", "මගෙ පොඩි යාලු" කියන ගීත ඉතාමත් ජනප්‍රිය වුණා.

ළමා චිත්‍රපට ලේබලයෙන් චිත්‍රපට නිර්මාණය වුණත් ඒ චිත්‍රපට තුළ බොහෝ අවස්ථාවල ගැබ් වෙන්නේ වැඩිහිටියන්ගේ කතා. අලි කතාව චිත්‍රපටය නිර්මාණය කරද්දි ඔබ අරමුණු කළේ ළමා පාර්ශ්වය විතරක්මද?

අද නිර්මාණය වෙන බොහෝමයක් චිත්‍රපට ළමයින් සඳහාම කරන නිර්මාණ නෙවෙයි. මොකද ඒ ඇතුළේ යන්නේ වැඩිහිටියන්ට අදාළ වුණු කතාවක්. මගේ අලි කතාව මට සුරංගනා සංකල්පයකට නිර්මාණය කරන්න අවශ්‍ය වුණාට මං චිත්‍රපටය තුළින් ගේන්නේ ලොකු පණිවුඩයක්. ඒ තමයි පරිසරයට, ඇළට, ‍ෙදාළට, සතාට ආදරය කරන්න ඕන, කියන දේ ඇත්තටම මේ පණිවුඩය අපේ අනාගතය භාරගන්න ඉන්න ළමා පරම්පරාවට දෙන්න ඕන එකක්. පරිසරයට ආදරය කරන්න පුංචි කාලෙදිම පටන් ගත්තේ නැතිනම් වැඩිහිටියන් වුණාම කවදාවත් හදාගන්න බෑ. මේ පණිවුඩය ළමයින්ට ප්‍රක්ෂේපණය කරන්න තමයි මං "අලි කතාව" චිත්‍රපටයකට නැඟුවේ.

ටෙලිනාට්‍ය තුළින් ධනංජය සිරිවර්ධනව නිතර දකින්න ලැබුණත් ඔහු චිත්‍රපටවල රංගනයේ යෙදෙන්නෙ පළමු වතාවට. චිත්‍රපටවලට ආධුනිකයෙක් වූ ශිල්පියෙක්ව අලි කතාවේ රජ චරිතයකට යොදා ගන්න හිතුවේ ඇයි.?

ඇත්තටම 'අලි කතාව' සුරංගනා කතාමය ස්වරූපයේ චිත්‍රපටයක්. කවුරු හරි කෙනෙක් මේ කතාව චිත්‍රණය කළොත් ඒ චිත්‍රවල සුරූපී වගේම සුන්දර චරිත තමයි ඉන්න ඕන. ඉතින් මං මුල ඉඳන්ම කල්පනා කරලා බැලුවා 'අලි කතාව'ට සුරූපී රූපයක් මවලා දෙන්න. චිත්‍රපටයේ කුඩා ළමයින් දෙන්නාගේ චරිතවලටත් රජතුමාගේයි බිසවගෙයි චරිතවලටත් සුන්දරත්වය ආරෝපණය කරන ගමනේදී තමයි මං ධනංජයව දකින්නේ. සීරජ නාට්‍යයේදී ඔහු ඉතාමත් හොඳ රංගනයක යෙදුණා. ධනංජයගෙත් තාරුකාගෙත් රඟපෑමේ දක්ෂතාව එක්කම බාහිර සුන්දරත්වය මගේ චිත්‍රපටයට ඉතා හොඳින් ගැළපුණා.

නිර්මාණයට සම්බන්ධ කරගත්ත නළු නිළි පිරිස නිර්මාණයට සාධාරණයක් ඉටු කළා කියල ඔබ හිතනවද?

අනිවාර්යෙන්ම. මං හිතන්නේ චිත්‍රපටයක් කියලා කියන්නේ සාමූහික ව්‍යායාමයක්. එතැනදි නළු නිළි පිරිසට විශාල වගකීමක් තියෙනවා ඉෂ්ට කරන්න. මගේ චිත්‍රපටවල කලින් රංගනයේ යෙදුණු පිරිසගෙන් අලි කතාවේ ඉන්නේ රවීන්ද්‍ර රන්දෙණිය විතරයි. අනෙක් නළු නිළි පිරිස මගේ චිත්‍රපටයක පළමුවැනි වතාවට තමයි රඟපෑවේ. ඒ හැමෝම නිර්මාණ කාර්යයට හොඳ සාධාරණයක් ඉටු කළා කියලා මං විශ්වාස කරනවා.

සාමාන්‍යයෙන් මනුෂ්‍යයෙක්ව රංගන කර්තව්‍යයට මෙහෙය වීම පහසු දෙයක්. නමුත් අලි කතාවට මූලිකවම රංගනයෙන් දායක කරගෙන ඉන්නේ අලි පැටවෙක්. අලි පැටවකු නළුකමට මෙහෙයවීම හිතන තරම් පහසු නෑනේද?

මේ අලි පැටවාට වයස අවරුදු දෙකයි. දිගු කාලයක ඉඳලා මම චිත්‍රපටයට ගැළපෙන අලි පැටියෙක්
හෙව්වා. අපි හැම වෙලාවෙම මේ චරිතයට ලංකාවේ අලි පැටියෙක්ව ගන්න ලොකු උත්සහායක් දැරුවා. ඒත් අපි තෝරාගෙන හිටපු අලි පැටව් කීප දෙනෙක්ම නඩු භාණ්ඩ විදියට රජයෙන් අත්අඩංගුවට ගත්තා. මේ හේතුව හින්දා අපිට සිද්ධ වුණා විදේශ රටකින් අලි පැටියෙක් සොයන්න. ඒ හොයන ගමනේදී තමයි තායිලන්තයෙන් මේ අලි පැටියා හම්බවෙන්නේ. අලියෙක් හොයා ගත්තට එයාව ලංකාවට ගේන්න බැරි නිසා අපිට සිද්ධ වුණා නළු නිළියන් වගේම කාර්මික ශිල්පීන් ඇතුළුව විසිපස් දෙනකුගෙන් යුතු කණ්ඩායමකට තායිලන්තෙ යන්න. දවස් විස්සක් විතර අපි එහේ රූපගත කිරීම් කළා.

මේ අලි පැටියා ලැබුණු නිසා අපිට ලොකු වාසියක් වුණා. ලංකාවේ අලි පැටව් ගොඩක් හීලෑ නෑ. ඒත් මේ තායිලන්ත අලි පැටියා අලි ගාලකම ඉපදිලා මිනිස්සු එක්කම හිටපු පැටියෙක්. ඒ හින්දා පිටපතේ ලියලා තිබුණු හැමදේම කරගන්න අපිට පුළුවන් වුණා.

ඔබගේ අනෙක් චිත්‍රපට තරමටම මේ චිත්‍රපටයටත් මේ වෙනකොට ප්‍රේක්ෂක පිරිසක් එකතු වෙලා ඉන්නවාද?

මං කරපු පත්තිනි, කුසපබා, උත්පලවන්නා වගේ චිත්‍රපටත් එක්ක බැලුවම ඒ චිත්‍රපටවලට වනිතා පාර්ශ්වයේ ආකර්ෂණය හොඳින් තිබුණා. නමුත් අලි කතාවේ අලි පැටියෙක් එක්ක ළමයින් රංගනයේ යෙදෙන නිසා ළමා ප්‍රේක්ෂක පිරිසක් එතැනදී එකතු වෙනවා. මගේ චිත්‍රපට වටා එක් රැස් වුණු නරඹන සංඛ්‍යාව වගේම ප්‍රේක්ෂක සංඛ්‍යාවට ළමා පිරිසකුත් එකතු වුණා කියලා මට හිතෙනවා.

"සුනිල් ආරියරත්න" කියන නම වටා එක්තරා ප්‍රේක්ෂක පිරිසක් හැදිලා ඉන්නවා නේද?

ඔව්. මං විශ්වාස කරනවා මගේ කලින් චිත්‍රපටත් එක්ක එකතු වෙලා හිටපු පිරිස දිහා බැලුවම මට පැහැදිලි කරගන්න පුළුවන් කරුණක් තමයි යම් නරඹන්නන් පිරිසක් මගේ චිත්‍රපටවලට එකතු වෙලා ඉන්නවාය කියලා. සමහර අවස්ථාවලදී ඒක තහවුරු වෙලත් තියෙනවා. චිත්‍රපටයක් බලන්න එන පිරිස ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මත විශ්වාසය තියලා තමයි සිනමා ශාලාව කරා එන්නේ.

මුදලක් වැය කරලා ලබා ගන්න ප්‍රවේශ පත්‍රයට අපි අනිවාර්යයෙන්ම සාධාරණයක් ඉටු කරන්න ඕනෑ. ඉතින් මං තවදුරටත් රැකගන්න ඕන දෙයක් තමයි රසික පිරිස මං කෙරෙහි තබන විශ්වාසය. මොකද අධ්‍යක්ෂවරයෙක්ට ප්‍රේක්ෂක විශ්වාසය කියන දේ බෙහෙවින්ම වටිනවා.

"අලි කතාවට" නරක විවේචනයක් ලැබිලාම නැද්ද?

විචාර, විවේචන කියන්නේ ඕනෑම නිර්මාණයකට අත්‍යවශ්‍ය දේවල්. අලි කතාවටත් සමහර විට අසුබවාදී විචාර එල්ල වෙලා තියෙන්න පුළුවන්. නමුත් තාමත් මගේ කනට එහෙම දෙයක් ඇහිලා නෑ. මගේ වටේ ඉන්න මගේ මිතුරු පිරිස වගේම පරිබාහිර ප්‍රේක්ෂකයනුත් චිත්‍රපටයේ ගුණාත්මක පැත්ත ගැන විතරයි කතා කරලා තියෙන්නේ. මට ලැබෙන දුරකතන ඇමතුම්වලින් පවා බොහෝ අය චිත්‍රපටයේ සංගීතය, රංගනය, කැමරාකරණය වගේ බොහෝමයක් දේවල්වල ගුණාත්මක පැත්ත ගැන මට අදහස් දක්වනවා.

ඔබ අධ්‍යක්ෂවරයෙක් විදියට සිනමාවේ දකින ගැටලුකාරී තැන් මොනවාද?

ඇත්තටම අද වෙනකොට ප්‍රවීණත්වයට පත් වුණු තරුණ සිනමාවේදීන් පිරිසක් ලංකාවේ දකින්න ඉන්නවා. ඒක සතුටට පත් වෙන්න පුළුවන් විශේෂ කාරණයක්. චිත්‍රපට නිර්මාණය කිරීම සාර්ථක වුණත් ප්‍රදර්ශනය කරන්න තමයි ලොකු ගැටලුවක් ඇතිවෙලා තියෙන්නේ. මේ වෙද්දි ප්‍රදර්ශනය කරගන්න බැරි වුණු චිත්‍රපට කිහිපයක්ම මං නැරැඹුවා. ඒවා සමාජයට අනිවාර්යෙන්ම අරගෙන යන්න ඕන. චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට නොහැකි වන අවස්ථාවලදී රජය සහ චිත්‍රපට සංස්ථාව මැදිහත් වෙලා ඒකට උදවු කරන්න ඕනෑ. මොකද නිර්මාණය කරපු චිත්‍රපටයක් ප්‍රදර්ශනය කර ගන්න බැරි වෙන එක චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ අනාගතය ගැන ප්‍රශ්නයක්.

නලිනිකා ලක්ෂාණි (MB WEB)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "අලි කතාවට තායිලන්තයෙන් අලි නළුවෙක් ඇවිත් "

    Post a Comment