14 June, 2017

තුංමං හන්දි­යට පිළි­ම­යක්

worship whish

බණ්ඩි රාල

අපේ ගෙදර ළඟ තියෙන තුංමංහන්දියේ දැවැන්ත පිංකමක් සිද්ධකෙරුණා. ඒක එහෙම තමයි දැනට කියන්න වෙන්නේ. තුංමංහන්දියේ අතුරුපාරකට හැරෙන තැන බුද්ධ පිළිමයක් තියලා පුංචි බුදු මැදුරක් හදලා. ඒක විවෘත කිරීමේ උත්සවය තිබ්බෙ පොසොන් පෝයදායි. ඉතිං හාමුදුරුවෝ වැඩම කරවලා, පිරිත් කියලා ඒ මදිවට පාර මැද්දෙ අයිල හිටුවලා, ගරා යකු නැටුම් නටලා, අයිල පැදලා වැඩේ ඉවරවුණා. ඉතිං ඒ දවසෙන් පස්සෙ හැමදාම උදේ පාන්දරටයි, හවසටයි කන් පැලෙන්න පිරිත් දානවා. 

එතැන පිළියමක් තබා බුදු මැදුරක් හැදීමේ වැඩේ අතට අරන් කෙරුවේ ගමේ ක්‍රීඩා සමාජයේ කොල්ලො සෙට් එකයි. එ් වැඩේට ගමේ හැමෝම වගේ සහය දුන්නා. පාරක් පාරක් ගානේ බුදු පිළිම තියන වැඩේට මං කොහෙත්ම සතුටු නෑ. ඒත් ඉතිං මුළු ගමම එකතුවෙලා මේ වැඩේ කරද්දී අහක බලාගෙන හිටියේ මං විතරයි. අන්තිමට ගෙදර මායියත් ගිහින් එදා උත්සවේට සහභාගි වෙච්චි අයට තේ පැන් සංග්‍රහයක් දෙන්න උදව් කෙරුවා. ඒත් මායියා අද උදේ නැඟිට්ටෙනම් හිත හොඳින් නෙවෙයි.

“මේ මොන කරච්චලයක්ද මන්දා. ඔහේ නම් උදේ වැඩට යනවා. ආයෙ එන්නෙ රෑ ජාමෙ. මං එපායැ ගෙදර වැඩ ඔක්කොම කරන්න. එහෙම කරලත් නිවාඩු දවසටවත් ටිකක් නිදාගන්න විදිහක් නෑ. උදේ පාන්දරම කනේ තිබ්බා වගේ පිරිත් දානවා“

“ඉතිං මමද? මං ඇහුවේ හෙමින්.

“නෑ ඉතිං ඔයාට වුණත් ඒ අයට කියන්න පුළුවන්නෙ“ මායියා කෙඳිරි ගාණවා.

“ඇයි ඔයාට බැරිද? මම නම් ඔය කවුරු එක්කවත් උදව්වකට පදව්වකට ගියෙ නෑ. ඔයා ඉතිං ඔය වැඩේට උදව් කළත් එක්ක නොවැ“ මං ගාණකට නොගෙන කීවා.

“එහෙම කළාට මෙහෙම කරයි කියලා හිතුවෙ නෑ නොවැ.“ මායියා එහෙම කියාගෙන මටත් ගස්සගෙන කුස්සිය පැත්තට ගියා. හිතන්නෙ නැති එකේ ප්‍රශ්නය තමයි හැමදාමත් පරහකට තියෙන්නෙ. මං එහෙම කියන්න ගියේ නෑ. ඒත් හිතුවා. මං ගෙදරින් එළියට බැහැලා පෙට්ටි කඩේ පැත්තට ඇවිදගෙන ආවා.

හංදියක් හංදියක් ගානෙ ඉදිකෙරෙන බුදු පිළිමවලින් කියැවෙන්නේ මිනිස්සු වඩ වඩාත් බුදු දහමෙන්, බෞද්ධ දර්ශනයෙන් ඈත් වෙනවා කියන
එකයි. දවසින් දවස අපරාධ වැඩිවෙන්නෙ ඒකයි. ගෑනු දරුවකු නිදහසේ පාරෙ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ ඒකයි. ටිකක් කැත විදිහට කෙටියෙන් කිවහොත් බුදු දහමේ පොත්ත මිසක් හරය වැළඳගන්න දන්නෙ නැති බහුතරය තව තවත් වැඩිවෙන එකයි.

“ ඔහේ දන්නවද කාරණයක්. පිරිත් වුණත් ශබ්ද දූෂණයක්. අර මිලින්ද මොරගොඩ මහත්තයා ඔය වගේ ප්‍රශ්නයක් හින්දා නඩු කීවා නොවැ. ඒ අර අලිපැටව් හොරෙන් ගෙනත් දාපු ආරාමෙට විරුද්ධව. අන්තිමට මනුස්සයා දිනුවා“ සිරිල් උන්නැහේ කීවා.

“ ඒත් ඉතිං ඔය මොරගොඩ මහත්තයා නොවැ. නිකන් අපි වගේ සොක්කෙකුට ඔහොම නඩුවක් දාලා පවත්වගෙන යන්න සල්ලි කොයින්ද? අනික ඔහොම වැඩක් කරන්න හැදුවත් ගමේ මිනිස්සු ඔක්කොම එකතුවෙලා ඇවිත් ‘මේකා බුද්ධාගම විනාශ කරන්න පර.......කත් අදිනවා‘ කියලා ගහන්න බණින්න පුළුවන්.“ කළු ජෙමා කීවා.

“මං කියන්නම් ඇත්ත සිද්ධියක්. ඔන්න ඔය කොළඹ පැත්තෙ බස් පාරක. බොරැල්ලෙන් කොට්ටාවට යන පාරක් වගෙයි මතක. ලොකු ඉඩමක තනියම ජීවත්වෙන වයසක ජෝඩුවක් උන්නා. දරු මල්ලො හිටියෙ රට. ගමේ තරුණ කණ්ඩායමක් ඇවිත් අර නහින දෙහින කාලෙ හිටපු අයට පිංකමක් සිද්ධ කරන්න කියලා පාර අයිනේ ඒ ඉඩමෙන් පර්චසයක් ඉල්ලගෙන බුදු මැදුරක් හැදුවා. ඊට පස්සෙ එතැන බෝ පැළයක් හිටෙව්වා. ඒක ටික ටික ලොකු වෙද්දි පෝය දවසට එතැන බෝධි පූජා තිබ්බා. ඊට පස්සෙ පන්සලකින් ගහලා එළෙව්ව තරුණ හාමුදුරු කෙනකුට ආයෙම සිවුරක් අන්දවලා බුදු මැදුර ළඟම පුංචි කාමරයක් හදලා ඒකෙ නැවැත්තුවා. ටික ටික මෙතැන වැඩේ ලොකු වෙන්න ගත්තා. අර වයසක ජෝඩුවට අයිති ඉඩම එයාගෙ පැත්තෙන් ටික ටික හීනි වෙන්න ගත්තා. අන්තිමට මුළු ඉඩමම පන්සලට අයිතිවෙලා වයසක ජෝඩුව ජීවිතෙ අන්තිම කාලෙ පාරට වැටුණා.“ සියනේරිස් ගුරුන්නාන්සෙ කතාව කෙටියෙන්ම කියලා දැම්මා.

ඒක එක උදාහරණයක් වුණත් කොළඹ පැත්තෙ දැන් දැන් නම ගිහින් තියෙන සමහර ලොකු ලොකු පන්සල්වල ආරම්භයත් ඔයිට සමාන කතන්දරයක් තමයි. මාත් එහෙම උදාහරණයක් දන්නවා. ඒත් කියන්න ඕන කියලා හිතන්නෙ නෑ. කොහොම වුණත් බුදුන් වෙනුවට පිළිම වැළඳ ගැනීම මහා අර්බුදයක පුංචි ආරම්භයක් කියන එක නම් හොඳටම පැහැදිලියි.

“බුදු හිමියන්ටත් කලි යුගයේ දෙවියන්ගේ පිහිටයි..“ නන්දා මාලිනියගේ පරණ සිංදුවක් මතක් කරගෙනම මං ආපහු එන්න හැරුණා. (dinamina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "තුංමං හන්දි­යට පිළි­ම­යක්"

    Post a Comment