09 October, 2017

වැටි වැටී පණ අදින අපනයන ආදායමට ඔක්සිජන් දෙන්න පුළුවන් වෙයිද?

spicy-food

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක් දක්වා වැඩි කර ගැනීමට ඉලක්ක කර තිබේ. වසර 2020 වන විට මෙම ආදායම තහවුරු කරගත යුතු බව දක්වයි. ඉලක්ක පෙන්වන්නට බැරිකමක් නැත. ඒවා සාර්ථක කර ගැනීම අපහසුය. කුඩා නිෂ්පාදන ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාව විකුණන්නේ මොනවාද? ගැටලුව එතැනය. අපනයනයෙන් තොරව රටට පැවැත්මක් නැත. එයට හේතුවක් තිබේ. අපනයනයෙන් විදේශ විනිමය ලැබේ. මෙරට ආනයන වෙනුවෙන් ප්‍රයෝජනයට ගැනේනේ එකී විදේශ විනිමයයි. මෑත දශක දෙකක කාලය තුළ අවස්ථා ගණනාවකදී ආනයන ආදායම හා අපනයන වියදම පාලනය කරගැනීමට රටට හැකියාවක් ලැබුණේ නැත. ගෙවුම් ශේෂ අර්බුදය එහි ප්‍රතිඵලයයි. රුපියලේ අගය අඛණ්ඩව අවප්‍රමාණය වීම රටට ප්‍රමාණවත් විදේශ මුදල් නැතිවීමේ එක්තරා භයානක පැත්තකි. අනෙක් පැත්ත විදේශ සංචිත පිරිහීමයි. මෑත කාලය තුළ දෙවතාවකදී ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙන්නට රටට සිදුවූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාවකාලික ණය සංචිතය නොලැබුණේ නම් රටට අනතුරුදායක තත්ත්වයක් ඇතිවීම වළක්වනු නොහැකිය.

වර්තමානයේ මෙරට අපනයන ආදායම දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක් වන විට ආනයන වියදම එයින් දෙගුණයකි. එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 20කි. මෙම පරතරය පියවා ගැනීම අපහසුය. රටට ලැබෙන සංවර්ධන ආධාර, විදේශ ණය සහ අවසාන වශයෙන් සංවර්ධන බැඳුම්කරවලින් ලබා ගන්නා විදේශ විනිමය ආනයන වෙනුවෙන් මිශ්‍ර කරගන්නට රටට සිදුවී තිබේ. එය එතරම් සුබදායක දෙයක් නොවන නමුත් භාණ්ඩාගාරයට කළ හැකි අන් යමක් නැත. අපනයන ආදායම ආනයන වියදම හා සමාන කරගන්නට තැත් කරන්නේ එයට උත්තරයක් වශයෙන්ය. නමුත් මෙරට ආර්ථික රාමුව අනුව අපනයනය වෙනුවෙන් යමක් නිපදවා ගැනීමේ යාන්ත්‍රණය ශක්තිමත් නැත. ලෝක වෙළෙඳපොළ වෙනුවෙන් නිපදවිය හැකි කවර දෙයක් දැයි විමසා බැලීම වැදගත්ය.

2007 සිට 2017 දක්වා අවුරුදු 10ක් මෙරට සමස්ත අපනයන අංශයෙන් සියයට 40ක ප්‍රතිශතයක් උසුලන්නේ ඇඟලුම් කර්මාන්තයයි. 2016දී එයින් උපයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8කි. ඇඟලුම් අපනයනය නරක නැත. නමුත් එහි නිෂ්පාදන වෙනුවෙන් අවශ්‍ය සියලු දේ පිටරටින් ගෙන්වයි. ඒ වෙනුවෙන් පිරිවැය ඇමෙරිකානු ඩොලර් බිලියන තුන ඉක්මවයි. ශ්‍රී ලංකාවෙන් යොදවන්නේ ශ්‍රමය පමණකි. ඇඟලුම් කම්හල් බරපතළ ශ්‍රම අර්බුදයකය. මෙරට ඇඟලුම් වැඩිම ප්‍රමාණයක් මිලදී ගන්නේ ඇමෙරිකාව හා බි්‍රතාන්‍යයි. යුරෝපා සංගමයට අයත් රටවල එහි මිලදී ගැනීම සීමිතය. දෙවැනුවට වැඩිම අපනයනය කරන්නේ තේ නිෂ්පාදනයයි. ඒවා යැවෙන්නේ ඉරානය, රුසියාව, ඉරාකය, තුර්කිය ඇතුළු මැදපෙරදිග රටවලටය. 2011 සිට 2016 වන විට මෙරට තේ අපනයනයේ දායකත්වය 17%ක සිට 12% දක්වා පසුබෑමකය. තේ අපනයනයෙන් අවුරුද්දකට ලැබෙන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ විනිමය ප්‍රමාණයකි. රබර් හා පොල් වැනි දේ මඟින් උපයාගත හැකි මෙයට වඩා අඩු ආදායමක් බව සඳහන් කළ යුතු නැත. ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන අපනයනය මෙරට වර්ධනය කරගත හැකි අංශයකි. ඒවා ගන්නේ ස්විස්ටර්ලන්තය, බි්‍රතාන්‍ය හා ඉන්දියාව වැනි රටවල්ය. එයද ජාතික අපනයනයේ ප්‍රතිශතයක් ලෙස සියයට පහක සිට තුන දක්වා අඩුවීමක් පෙන්වන බව 2016 අපනයන ප්‍රගති වාර්තාව දක්වයි. කුරුඳු හා කුළුබඩු වැනි සාම්ප්‍රදායික ද්‍රව්‍ය අපනයනයෙන් රටට ලැබෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 350ක පමණ සුළු ප්‍රමාණයකි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉලක්කම් පෙන්වන ආකාරයට මෑත කාලය තුළ මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් අපනයන ආදායම බරපතළ ලෙස සීමා වී තිබේ. 2000 වසරේ මෙරට අපනයන ආදායම දළ දේශීය නිපැයුමේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 33ක්ව තිබිණි. 2011 එය සියයට 18ක් දක්වා පහත වැටී තිබේ. 2014 වසරේ දත්ත නිල වශයෙන් නිකුත් වන විට එය සියයට 10 දක්වා අඩු වී ඇති බව නිරීක්ෂණය කළ හැකි විය. මෙය දකුණු ආසියාවේ අඩුම අපනයන ආදායමක් උපයන රටක් බවට පත්වීමේ අමිහිරි තත්ත්වය බව පැහැදිලිව සඳහන් කිරීමට අවශ්‍යය. ආසියාවේ රටවල් කිහිපයක අලුත් තොරතුරු සමඟ සසඳන විට මෙරට අපනයන අංශය මුහුණ දී ඇති ස්වභාවය තේරුම් ගැනීම අපහසු නැත. සිංගප්පූරුවේ අපනයන අදායම එරට දළ දේශීය නිෂ්පාදිතය මෙන් 110 ගුණයකි. වියට්නාමයේ එය 78.4ක් සහ තායිලන්තයේ සියයට 67.3ක් බව දැක්වෙයි. ඒ අනුව මෙරට අපනයන ආදායම ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10ක් බව පෙන්නුම් කිරීම මෙරට ආර්ථිකය මැන ගැනීමට සාධකයක් බව වටහා ගැනීම සුදුසුය.

අද ආර්ථිකය අලුත් යුගයක් හමුවේ සිටී. යුද ගැටලු නැති රටක නිෂ්පාදනය වැඩි කළහොත් අපනයනය වෙනුවෙන් යමක් අලුතින් නිපදවාගත හැකිය. නමුත් අද ලෝක ආර්ථික රටාව සංකීර්ණ එකකි. එහි අභියෝග එකිනෙකට වෙනස්ය. තරගකාරීත්වය, කාර්යක්ෂමතාව හා ඵලදායිතාව ජගත් ආර්ථිකයේ පදනමයි. ලෝකයේ තරගකාරීව නිපදවන රටවල් සිය නිෂ්පාදන ආර්ථිකය පසුබාන විට එයින් මිදෙන්නට ප්‍රතිසංස්කරණ විධි අනුගමනය කරන අතර එය තවත් තරගකාරීත්වයට යොමු වන ආකාරයේ එකකි. එම පසුබිම තුළ ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් තව තවත් අසීරු තත්ත්වයකට පත් වෙමින් තිබේ.

රටට විනිමය උපයාගත හැකි ආකාරයට අපනයන අංශය කැපී පෙනෙන වර්ධනයක් ළඟාකර ගැනීම අවශ්‍යය. ආණ්ඩුව ඉලක්ක නියම කරන්නේ එහෙයින්ය. ශ්‍රී ලංකාවේ විදේශ වත්කම් පිරිහීම අනුව මෙම දෙපැත්තෙන් එකක් තෝරා නොගතහොත් අනාගතය අඳුරුය. ශ්‍රී ලංකාව තම අපනයනවලින් වැඩි ප්‍රතිශතයක් යවන්නේ බටහිර හා යුරෝපීය කලාපයටයි. එය මෙරට අපනයනවලින් සියයට හැටක පමණ ප්‍රමාණයකි. ලෝක ආර්ථික වර්ධනයෙන් අඩකට වඩා දායක වන සහ අති විශාල ජනගහනයක් සහිත ඉන්දියාව හා චීනයට මෙරටින් නිර්යා අපනයන කරන භාණ්ඩ ප්‍රමාණය සමස්ත අපනයනයෙන් සියයට 10ටත් වඩා අඩුය. ඉන්දියාව සහ චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් අස්සන් කරන ශ්‍රී ලංකාව මෙම රටවලට අපනයනය කළ හැකි දේ මොනවාදැයි විමර්ශනය කර ඒවා මෙහි නිපදවන්නට වෑයම් නොකර ඉලක්ක සඳහන් කිරීම පලක් නැත. අලුතින් නැඟී එන ආසියාව දෙස වඩා අවධානයක් යොමු කිරීම අවශ්‍යය.

අපනයන ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවට හිමි තැන ක්‍රමයෙන් පිරිහෙන බවද මෙහිදී සඳහන් කරන්නට අවශ්‍යයි. 2000 අවුරුද්දේදී ලෝක අපනයනයෙන් ශ්‍රී ලංකාවේ දායකත්වය 0.08%ක් වූ අතර 2011දී එය සියයට 0.06 සහ 2012දී සියයට 0.05 දක්වා අඩු වී ඇති බව ජාත්‍යන්තර වාර්තා පෙන්වයි. ලෝකයේ හොඳම සහ ජාත්‍යන්තරයට වැඩිම කුරුඳු ප්‍රමාණයක් අපනයනය කරන රට යන කාරණය සසල වෙමින් තිබේ. ලෝකයේ හොඳම තේ නිෂ්පාදකයා යන නාමය ගිලිහෙමින් පවතින අතර තේ වෙළෙඳ පොළ සතු ශ්‍රී ලංකාවේ අයිතිකාරීත්වය ක්‍රමයෙන් පිරිහෙමින් තිබේ. ඇඟලුම් අංශයද බංගලාදේශය, මැලේසියාව වැනි රටවල් නතු කර ගනිමින් තිබේ. මේවා අපනයන ආදායම වැඩි කර ගැනීම ගැන සාකච්ඡා කරන විට අවධානයට ගත යුතු පැතිය.

අපනයනය වර්ධනය කර ප්‍රතිලාභ ලබන්නට ශ්‍රී ලංකාවට අවස්ථාවක් තිබේ. නිවැරැදිව, කාර්යක්ෂමව ජාත්‍යන්තර වෙළෙඳ පොළට උසස් තත්ත්වයේ භාණ්ඩයක් අඩු වියදමින් සැපයීම අවශ්‍යය. එය රජයට පමණක් කරන්නට හැකියාවක්ද නැත. රජය අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම්වලට ඉදිරිපත් විය යුතු අතර පෞද්ගලික අංශය ඒ වෙනුවෙන් මෙහෙයවන්නට පියවර ගැනීම වැදගත්ය. දෙස් විදෙස් ව්‍යවසායකයන් මෙම අංශය වටා එකතු විය යුතුය. රජය තමන්ට කළ හැකි ප්‍රතිපත්ති හා නීති රීති අලුතින් සම්පාදනය වැනි අංශ තෝරා ගත යුතුය. ස්ථාවර හා නම්‍යශීලී ප්‍රතිපත්ති අනුව අදාළ අංශ දියුණු වන විට ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර වෙළෙඳපොළ සම්බන්ධ කිරීම පහසු වන අතර එයින් අවසාන දියුණුව ලැබෙන්නේ රටට හා සමාජයටය.

ශ්‍රී ලංකාවේ අපනයන අංශය අඩාල වන්නට බෙහෙවින් බලපා ඇත්තේ ශ්‍රමය, බලශක්තිය සහ ප්‍රවාහන පිරිවැය බව සඳහන් කළ යුතුයි. මැදි ආදායම් රටක් වශයෙන් ඉදිරියට එන විට වැඩ කරන ජනතාවට වැඩි වැටුප් ගෙවන්නට සිදුවෙයි. එය නිෂ්පාදන පිරිවැය වැඩි කරන එකකි. බලශක්තිය නිෂ්පාදන පිරිවැයට අදාළ කාරණයකි. රජයේ බදු නිෂ්පාදන පිරිවැයට එකතු වෙයි.

බැංකු පොලියද බරපතළ ලෙස දැනෙන සාධකයකි. මේවා නිසිසේ කළමනාකරණය නොකර ඉලක්ක පමණක් පෙන්වීම සාර්ථක තත්ත්වයක් නොවේ.

ශාමින්ද වත්තේගෙදර (මව්බිම)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වැටි වැටී පණ අදින අපනයන ආදායමට ඔක්සිජන් දෙන්න පුළුවන් වෙයිද?"

    Post a Comment