13 October, 2017

රට යන අත – වැඩවර්ජන – උද්ඝෝෂණ මැද රට කොයිබටද?

TITLE

රට පුරා දිනපතාම පාහේ පැවැත්වෙන උද්ඝෝෂණ හා විරෝධතාවන්ය. අනෙක්‌ අතින් වැඩ වර්ජනයන්ය. මේ සියල්ල අතරේ දිනපතා ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාව දැඩි අසීරුවට පත්ව සිටිති. රටේ ප්‍රශ්න ඒමට තිබුණත් ආණ්‌ඩුවට ඒවා වගක්‌ වත් නොමැති තරම්ය. රටේ ජනතා ප්‍රශ්න ඔඩුදුවා තිබියදී ආණ්‌ඩුව ජනතාවට කිසිසේත් අවශ්‍ය නොවන විවිධ දේ සිදු කරමින් සිටී. මේ නිසා වහාම ආණ්‌ඩුව කළයුත්තේ රටේ දැවෙන ප්‍රශ්නවලට වහාම පිළිතුරු සොයන නව යාන්ත්‍රණයක්‌ ක්‍රියාවටනැන්වීමය. මැතිවරණයක්‌ අත ළඟ හෙයින් මෙය ආණ්‌ඩුවට දේශපාලනමය වශයෙන්ද අතිශය වාසිදායක වනු ඇත.

අලුත් මැතිවරණ ක්‍රමයක්‌ ආදේශ කරන කෙටුම්පතක්‌ හරහා පළාත් සභා මැතිවරණ කල් දැමීමට ගෙනා යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම නිසා ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව උල්ලංඝනය වී ඇතැයි සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවරයා ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රියශාද් ඩෙප් අගවිනිසුරුවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් තුන් දෙනෙකු හමුවේ පසුගියදා කැඳවූ අතර කරුණු සලකා බැලූ ප්‍රියශාද් ඩෙප් අගවිනිසුරුවරයා ඇතුළු විනිසුරු මඩුල්ල ලබන 19 වැනිදා නැවත මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී සලකා බැලීමට තීරණය කරන ලදී.

එහෙත් එහිදී කරුණු දක්‌වමින් සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවරයා ශේ්‍රෂ්ඨාධිකරණය ඉදිරියේදී ප්‍රකාශ කළේ තමා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජනතාවගේ ඡන්ද අයිතිය හා පරමාධිපත්‍යය සම්බන්ධ කරුණක්‌ බැවින් පාර්ලිමේන්තුවේ සම්මත කරගත් පසු එය නීතියක්‌ බව තමා පිළිගත්තද පසුගිය දා පළාත් සභා මැතිවරණය සම්බන්ධ සම්මත කරගත් පනත සම්පූර්ණයෙන්ම ජනතාවට ගැසට්‌ කොට ඉදිරිපත් කළ කෙටුම්පතට පරිබාහිර එකක්‌ බවයි. මෙම හේතුව නිසා උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර නිසියාකාරව පැවත්වීමට නියමිතව තිබු පළාත් සභා මැතිවරණය දින නියමයකින් තොරව කල් ගොස්‌ ඇති බවද එම නිසා එම අවස්‌ථාවේදී තිබූ වලංගු නීතිය අනුව නිසියාකාරව මැතිවරණය පවත්වා ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්‌ෂාකර දෙන ලෙසද අවශ්‍ය නම් අනාගතයේදී මෙසේ සම්මත කරගන්නා නීති අනුව ඡන්දය පැවත්වූවාට ගැටලුවක්‌ නොමැති බවද මෙහිදී හිටපු අගවිනිසුරුවරයා පවසා තිබිණි. මේ නිසා අදාළ නඩුව සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ දැඩි අවධානයක්‌ ඇතිවී තිබේ.

හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ ඇතුළු රාජ්‍ය දේපළ විකිණීම නවත්වන්නැයි බල කරමින් පසුගියදා හම්බන්තොටදී විරෝධතා ව්‍යාපාරයක්‌ පැවති අතර එහිදී විරෝධතාකරුවන් හා පොලිසිය අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක්‌ ඇතිවිය.

මෙහිදී පොලිස්‌ අත්අඩංගුවට පත්ව සිටි පුද්ගලයකුට එහි සිටි සහකාර පොලිස්‌ අධිකාරිවරයකු විසින් කනට ගසනු ලැබීම රටේ ජනතාවගේ දැඩි විරෝධයට හේතුවී තිබේ.

මේ සම්බන්ධයෙන් වන වීඩියෝ පටද විද්යුත් මාධ්‍ය ඔස්‌සේ විකාශනය වූ අතර මෙසේ පහර කෑමට ලක්‌ වූයේ පුවත්පතක නිදහස්‌ මාධ්‍යවේදියකු බව සඳහන්ය.

මේ අතර එහිදී අධිකරණ නියෝග කඩ කිරීම, කලහකාරී ලෙස හැසිරීම, පොදු දේපළවලට අලාභහානි කිරීම, පොලිස්‌ නිලධාරීන්ට පහරදීම සහ පොලිස්‌ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා යටතේ හම්බන්තොට පොලිසියට කැඳවූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ ඇතුළු හය දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔවුන් ලබන 16 වැනි දා තෙක්‌ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී. වී. චානක, ප්‍රසන්න රණවීර, පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සම්පත් අතුකෝරාළ සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන මේජර් අජිත් ප්‍රසන්න එලෙස රිමාන්ඩ් කළ සෙසු පස්‌ දෙනාය.

මෙම විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් කාන්තාවෝ හත් දෙනෙක්‌ ඇතුළු 28 දෙනෙක්‌ ද රිමාන්ඩ් කරනු ලැබ සිටිති.

විරෝධතා ව්‍යාපාරවලට ප්‍රහාර එල්ලකිරීම මේ වනවිට පොලිසිය සිරිතක්‌ කරගෙන ඇති අතර විශ්වවිද්‍යාල සිසුන් විසින් පැවැත්වූ සයිටම් විරෝධී පාගමනට පොලිසිය විසින් එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් තුවාල ලැබූ සිසුන් 14 දෙනෙකු රෝහල්ගත කර ඇත. ශිෂ්‍ය භික්‌ෂූන් වහන්සේ නමක්‌ හා මාධ්‍යවේදියෙක්‌ද තුවාල ලබා තිබේ. රෝහල් ගත කර ඇති පිරිස අතරින් දෙදෙනෙකු සිසුවියන්ය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට අනර්ථයක්‌ සිදු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් ලබන 20 වැනි දා දක්‌වා යළි රිමාන්ඩ් කර තිබේ.

මේ සයිටම් ප්‍රශ්නය නිසා මාස ගණනාවක්‌ වෛද්‍ය සිසුන්ගේ ඉගෙනීම අතපසු වී තිබේ. මේ ප්‍රශ්නය වහාම විසඳා ගැනීම රටේ ජනතාවගේ පැත්තෙන් මෙන්ම රජය පැත්තෙන්ද හොඳය. තායිවාන බැංකුවක මුදල් වංචාවක්‌ සම්බන්ධයෙන් රහස්‌ පොලිසියෙන් අත්අඩංගුවට ගත් ලිට්‍රොa ගෑස්‌ සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ මහතා ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන බව හෙළිවී තිබේ. ශලීල මුණසිංහ එංගලන්තයේ පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු බවත්, ඔහුට ලංකාවේ රැඳී සිටීම සඳහා ලබාදී ඇති වීසා කාලය ලබන දෙසැම්බර් මාසයෙන් අවසන් වන බවත් රහස්‌ පොලිසිය සොයාගෙන තිබේ.

මහා බැංකු බැඳුම්කර සිද්ධියට චෝදනා එල්ලවී ඇති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු ජාතිකයෙකි. මේ ආකාරයට රටේ ප්‍රධාන තනතුරු ලබාදීම සඳහා රටේ ඕනෑතරම් සුදුසු පුද්ගලයන් සිටියදී ඒවා විදේශිකයන්ට ලබාදීම බරපතල ප්‍රශ්නයකි. අනෙක්‌ අතට මෙවැනි වංචා දූෂණ සිදුකළ අවස්‌ථාවල මොවුන් විදේශිකයන් නිසා මොවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට පවා බාධා පැමිණෙන්නේ වෙනත් රටක පුරවැසියන්ට එරෙහිව පියවර ගැනීම එම රටවල් සමඟ ප්‍රශ්න ඇතිකර ගැනීමක්‌ වන බැවිනි.

දෙමළ ජාතික සන්ධානයට විරුද්ධ පෙරමුණක්‌ පිහිටුවීම සඳහා උතුරේ ද්‍රවිඩ නායකයන් කිහිපදෙනෙකු එකතු වී ඇතැයි පැවසේ.

ඊපීඩීපී පක්‌ෂ නායක ඩග්ලස්‌ දේවානන්ද, ද්‍රවිඩ එක්‌සත් පෙරමුණේ නායක ආනන්ද සංගරි ඇතුළු ද්‍රවිඩ නායකයන් කිහිප දෙනකුගේ එකතුවෙන් මෙම සංවිධානය පිහිටුවීමට අවශ්‍ය මූලික සාකච්ඡා මේ වන විට පවත්වා ඇත.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ඉලක්‌ක කරගනිමින් මෙම නව පෙරමුණ පිහිටුවන අතර, දෙමළ ජාතික සන්ධානය පරාජය කර උතුරු සහ නැගෙනහිර පළාත් පාලන ආයතනවල බලය ලබාගැනීම සඳහා මෙම සංවිධානය පිහිටුවීමට සාකච්ඡා කර තිබේ. බැසිල් රාජපක්‌ෂගේ උතුරේ සංචාරයෙන් පසු මෙය සිදුවීම දේශපාලන ක්‌ෂේත්‍රයේ කතාබහට ලක්‌ව තිබේ.

දෙමළ ජාතික සන්ධානය නව ව්‍යවස්‌ථාවක්‌ ගෙනඒම සම්බන්ධයෙන් සිය එකඟතාව පළකර ඇති අතර, නව ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ අදහසට වෙනස්‌ අදහසක්‌ ඉදිරිපත් කිරීමටද නව පෙරමුණේ පක්‌ෂ නායකයන් අතර සාකච්ඡාවක්‌ සිදුව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති බැඳුම්කර අක්‍රමිකතාවය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම මලික්‌ සමරවික්‍රම හා කබීර් හෂීම් යන ඇමැතිවරුන් කැඳවා පසුගියදා ප්‍රශ්න කරන ලදී.

එහිදී ඔවුන් කියා සිටියේ අදාළ බැඳුම්කර ගනුදෙනුව සිදුවූ දිනට පෙර දින මහ බැංකුවට ගියේ පසුගිය රජය විසින් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට ගෙවිය යුතුව තිබු බිලියන 18 ක හිඟ මුදලක්‌ ලබාගැනීම සදහා වූ සාකච්ඡාවකට බවයි.

කෙසේ වෙතත් බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව මෙරට දේශපාලන ක්‌ෂේත්‍රය උඩුයටිකුරු කරන සිදුවීම් රැසක්‌ සිදුවීමට ඉඩ තිබේ.

ජාතික නිදහස්‌ පෙරමුණ පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා පැවැත්වීය.

මෙහිදී බෙදුම්වාදීන් විසින් සකස්‌ කරන ලද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර කැබිනට්‌ මණ්‌ඩලයේaදී අත්හිටුවන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්‌ කළ බව ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

එමෙන්ම ලැබුණු ජනවරම අනුව මේ සම්බන්ධයෙන් සියලුම දේශපාලන පක්‌ෂ සමග නව කතිකාවක්‌ අරඹන ලෙසද මෙහිදී ජනාධිපතිවරයාගෙන් එම පක්‌ෂය ඉල්ලීමක්‌ කර තිබේ.

ජාතික නිදහස්‌ පෙරමුණේ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර , වීරකුමාර දිසානායක, නිරෝෂන් ප්‍රේමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද පක්‌ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ, මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ඇතුළු පිරිසක්‌ මෙම සාකච්ඡාවට සහභාගී වී තිබේ.

විනිසුරුවරුන් හා නීතීඥවරුන් බහුතරයක්‌ දූෂිත බව මාධ්‍ය හමුවේ පැවසීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා ලැබ සිටින සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ලබන 25 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් ශේ්‍රෂ්ඨාධිකරණය සිතාසි නිකුත් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ සහ අනිල් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක්‌ විසින් සිතාසි නිකුත් කරන ලදී.

මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ්‍ර්‍රdමික හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා යන අය මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරු වශයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නම් කර ඇත.

රාමනායක මහතා විනිසුරුවරුන් හා නීතීඥවරුන් බහුතරයක්‌ දූෂිත බව මාධ්‍ය හමුවේ පැවසීමෙන් අධිකරණයට අපහාසයක්‌ කර ඇති බව චෝදනා කරමින් කරුණු ඉදිරිපත් කරන පෙත්සම්කරුවෝ මේ වැනි ප්‍රකාශයක්‌ කර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාමනායක මහතාට දඬුවම් නියම කරන ලෙස ඉල්ලා ඇත. මීට පෙර මෙවැනි චෝදනාවකට ලක්‌වූ ඇමැති එස්‌.බී.දිසානායක මහතාට සිරදඬුවම් හිමිවිය.

වර්ෂාවත් සමග ඩෙංගු රෝගය යළිත් සීSඝ්‍රයෙන් පැතිර යමින් පවතී. මේ නිසා වහාම බලධාරීන් මැදිහත්වී එය පාලනය කිරීම සඳහා පියවර ගත යුතුව තිබේ. (ජනිත සෙනෙවිරත්න - දිවයින)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රට යන අත – වැඩවර්ජන – උද්ඝෝෂණ මැද රට කොයිබටද?"

    Post a Comment