13 October, 2017

Exclusive: ලංකාවේ අම්මා සොයන බ්‍රිතාන්‍යයේ ප්‍රබල කාන්තාව

sheree-niroshika-acheson

ඇය ශෙරී ඇචේසන්…

මීට දින කිහිපයකට පෙර ඇය එක්සත් රාජධානියේ තාක්ෂණ ක්ෂේත්‍රයේ බලවත්ම කාන්තාවන් 35 දෙනා අතරට ඇතුළත් වූවා ය.

ඇත්තටම ඔබට අප ඇගේ නම ප්‍රකාශ කළේ එක් කොටසක් අඩුවෙනි.

ඇගේ නමේ අප ප්‍රකාශ නොකළ කොටස දීර්ඝ ඉතිහාස කතාවකට මං විවර කරයි.

ඇගේ සම්පුර්ණ නම ශෙරී නිරෝෂිකා ඇචේසන්…

එක්සත් රාජධානියේ තාක්ෂණික ක්ෂේත්‍රයේ බලවත්ම කාන්තාවන් 35 දෙනා අතරට එක්ව සිටි ඇය බ්‍රිතාන්‍යයේ ඉන්ටර්නෙට් ඔස්සේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය නිර්මාණය කිරීම ඇතුළු විශේෂ කාර්යන් ගණනාවකට දායකත්වය ලබා දුන් කාන්තාවකි.

එමෙන් ම අවස්ථා ගණනාවකදී ලෝක අර්ථීක සමුළුව ඇමතූ ඇය මේ වන විට ලෝක තරුණ සමුළුවට එක්ව සිටියි.

සිය වෘත්තීය ජීවිතයේ අති සර්ථකත්වයක් ලබා ගත් මේ අපූරු කාන්තාව මේ වන විට විශේෂ ඉලක්කයක් හඹා යමින් සිටියි.

ඒ, ඇයට උපත දුන් මව සොයා ගැනීම හෙවත් ඇගේ ශ්‍රී ලාංකික සම්භවය සොයා ගැනීම යි.

1991 පෙබරවාරි 28 වන දා ශෙරී ඇචේසන් උපත ලබා ඇත්තේ, වීර මුදියන්සේලාගේ නිරෝෂිකා යන නාමයෙනි.

උපතින් පසු ඇගේ මව කිසියම් හේතුවක් නිසා ඇයව අයර්ලන්ත ජාතික යුවලකට හදා වඩා ගැනීම සඳහා ලබා දී තිබේ.

මේ එම අවස්ථාවේ ලබාගත් ඡයාරූප කිහිපයක්.

sheree-niroshika-acheson

ඇගේ උප්පැන්න සහතිකයේ පියාගේ නම නොදනී යනුවෙන් සඳහන් වන අතර මවගේ නම ලෙස ඩිංගිරි මැණිකේ ලෙස සඳහන්ව තිබුණත් එම නම සත්‍ය ද යන්න පිළිබඳව මේ වන ඇත්ගේ ගැටලුකාරී තත්ත්වයකි.

මව උපන් ස්ථානය ලෙස සටහන්ව ඇත්තේ මාතලේ, නාවුල ප්‍රදේශය යි.

ශෙරී ඇචේසන් උපත ලබා ඇත්තේ, මහනුවර මහ රෝහලේ ය.

මවගේ ලිපිනය ලෙස කැලණිය ප්‍රදේශයේ ලිපිනයක් සටහන්ව තිබුණ ද අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ, එම ලිපිනය ව්‍යාජ එකක් බවට ය.

මේ හේතුවෙන් ඇයට උපත ලබා දුන් මව සොයා ගැනීම පත්ව ඇත්තේ දැඩි ගැටලුකාරී තත්ත්වයකට ය.

විදෙස් ප්‍රවෘත්ති වාර්තා අනුව 1980 – 90 දශකය තුළ ශ්‍රී ලාංකික බිළිඳුන් 11000 කට වැඩි ප්‍රමාණයක් යුරෝපා රටවලට අලෙවි කර හෝ ලබා දී තිබේ.

ශ්‍රී ලංකාව තළ බේබි ෆාම් හෙවත් ළමුන් අලෙවි කරන ස්ථාන තිබූ බවට පසුගිය දිනවල අනාවරණය විය.

මෙම බොහෝමයක් දරුවන්ට තමන්ට උපත දුන් මව හෝ පියා සොයා ගැනීමට අවශ්‍ය වුව ද ඔවුන් එම රටවලට ලබා දීමේදී යොදාගත් ලියකියවිලිවල තොරතුරු ව්‍යාජ ඒවා ය.



(නිව්ස්ෆස්ට්)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "Exclusive: ලංකාවේ අම්මා සොයන බ්‍රිතාන්‍යයේ ප්‍රබල කාන්තාව"

    Post a Comment