08 October, 2017

ලිංගික යෝජනා කරන, උරුහන් බාන පුරුෂයන් සමග 'සෙල්ෆි' ගන්නා තරුණියක්

girl-taking-selfies-with-men-whistle-ask-sex

මහමග ගමන් කරන බොහෝ කාන්තාවන් ලිංගික හිංසනයට සහ නොහොඹිනා අයුරින් කෙරෙන උසුළු විසුළුවලට නිතර ලක් කිරීම් පිළිබඳව නිතරම මෙන් තොරතුරු ලැබෙයි.

මේ අතර මහමග දී තමන් හිංසාවට ලක් කරන සෑම පුරුෂයකු සමගම 'සෙල්ෆි' ඡායාරූපයකට පෙනී සිටිමින් එම ඡායාරූප සමාජ මාධ්‍ය ජාලයේ පළ කරනු ලබන තරුණ සිසුවියක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තා වේ.

ඇම්ස්ටර්ඩෑම් අගනුවර වෙසෙන විසි හැවිරිදි 'නෝආ' ඉහත කී ආකාරයේ සෙල්ෆි ඡායාරූප සිය සමාජ ජාල ගිණුමේ පළ කිරීමට තීරණය කර ඇත්තේ මාසයක ව්‍යාපෘතියක් වශයෙනි.

නොහොඹිනා ආකාරයට උරුහන් බෑමේ පටන් ලිංගික ක්‍රියාවක් සඳහා යෝජනා කරනු ලැබීම වැනි ඇතැම් පුරුෂයන්ගෙන් එල්ල වන හිංසාවන් පිළිබඳව ඇය බීසීසීය වෙත සිය අත්දැකීම් විස්තර කළාය.

"කවුරු හරි මට උරුහන් බෑවොත් කුමක් කළ යුතුද කියා මම දැනගෙන සිටියේ නැහැ. මම ඔවුන්ට විරෝධය පළ කළොත් තත්ත්වය දරුණු වෙනවා. ඒක මට විශාල බිය ගෙන දෙන්නක්" 'නෝආ' පැවසුවාය.

පුරුෂයන්ට සිය අභිමතය පරිදි ඕනෑම දෙයක් පැවසීමට ඇති හැකියාව හමුවේ තමාට නිහඬව සිටීමට නොහැකි වූ බව ඇය කියා සිටින්නීය.

ඒ අනුව තමන් සමග සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීමට කැමති දැයි 'එවැනි පුරුෂයන්ගෙන්' විමසීමට ඇය පියවර ගෙන ඇත.

'නෝආ' වැඩිදුරටත් කියා සිටියේ 'ඡායාරූපයකට පෙනී සිටීමට කැමති දැයි' ඇසීම පිළිබඳව තමාට කතා කළ පුරුෂයන්ගෙන් වැඩි දෙනෙකු "ආඩම්බර" වූ බවය.

ඒ පිළිබඳව විමසා සිටින අවස්ථාවක හැර තමන් ඡායාරූපය යොදා ගන්නේ කුමක් සඳහා දැයි ඔවුන්ට නොපැවසූ බවත් ඇය සඳහන් කළාය.

"එක් අයෙක් පමණයි ඒ ගැන ඇහුවේ. නමුත් ඔහුත් ඡායාරූපයට පෙනී සිටියා"

එම සැලසුම පිළිබඳව සිය පිරිමි යහළුවන් කිසිවක් නොදැන සිටි බව කී නෝආ, "මනුෂ්‍යයන්ගෙන් අඩක් ඒ ගැටලුවට දිනපතා මුහුණ දෙනවාය කියන කාරණය මට අසීරු දනවන්නක්. ඒ අතරේ අනෙක් අය මෙවැනි ගැටලුවක් ඇති බව දන්නෙත් නැතැයිද " පැවසුවාය.

පුරුෂයන් ලජ්ජාවට පත් කිරීම සිය අරමුණ නොවන බව පවසන 'නෝආ' එමගින් "ප්‍රකාශනයක් සිදු කිරීම" පමණක් තම අවශ්‍යතාව වූ බවත් සඳහන් කරයි.

"ඡායාරූපය ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලයෙන් ඉවත් කරන ලෙස ඒ මිනිස්සු ඉල්ලා සිටියොත් මම එය ඉවත් කරනවා. මට ඔවුන්ගේ ජීවිත විනාශ කරන්න අවශ්‍ය නැහැ"

"එය බොහෝ දුරට කන්නාඩියක් වගේ. සියලු දෙනා ඉදිරියේ මහමග දී ඔවුන් මගේ පෞද්ගලික සීමාව තුළට පැමිණෙනවා. එවිට මමත් ඔවුන්ගේ පෞද්ගලික සීමාව තුළට පැමිණෙනවා"

එදිනෙදා ජීවිතයේ කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව දැනුවත් කිරීම සිය ව්‍යාපෘතියේ අරමුණ බව 'නෝආ' පවසන්නීය.

"මෙය ගෝලීය මට්ටමේ ගැටලුවක්"

"මෙය ඕනෑම රටක, ඕනෑම නගරයක, ඕනෑම තැනකදී තවත් ගෑනු ළමයෙකුට මුහුණ දෙන්න පුළුවන් දෙයක් නිසයි මම මේ දෙය ප්‍රකාශ කරන්නේ" යනුවෙන් 'නෝආ' වැඩිදුරටත් පැවසුවාය.

girl-taking-selfies-with-men-whistle-ask-sex

(බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලිංගික යෝජනා කරන, උරුහන් බාන පුරුෂයන් සමග 'සෙල්ෆි' ගන්නා තරුණියක්"

    Post a Comment