18 April, 2017

ලිංගිකත්වයක් ඇත්තේ ගම්පහ ටියුෂන් සිසුන්ට විතරද?

Gampaha-Tuition-Students-Sex-7

ගම්පහ ටියුෂන් සිසු සිසුවියන් අතර ලිංගික උප සංස්කෘතියක් යන මැයෙන් පසුගිය කාලය පුරා ලක්බිම ඔන් ලයින් මගින් පළ කරන ලද ලිපි පෙළ අපි මහත් උනන්දුවෙන් කියැවීමු. ඊට හේතුව ගම්පහ ටියුෂන් අධ්‍යාපනය හා සැබැඳි මෙතෙක් සමාජය හමුවේ අනාවරණය නොවූ තවත් පැතිකඩක් ඉන් හෙළිදරව් කොට තිබූ බැවිනි.

ගම්පහ නගරයේ උපකාරක පන්ති ආචාර්යවරුන් වන අපගේ ප්‍රධාන කාරිය වී ඇත්තේ අප වෙතට පැමිණෙන සිසු සිසුවියන් සඳහා අදාල විෂය පථය සම්බන්ධ විශිෂ්ට විභාග ප්‍රතිඵලයකට ඉවහල් වන අධ්‍යාපනයක් ලබා දීමත් ඊට අමතරව සිසුන්ගේ විනය සංවරය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමත්ය. එම කටයුතු ගම්පහ උපකාරක පන්ති පවත්වන සෑම ආචාර්ය වරයකුගෙන්ම ප්‍රශස්ථ මට්ටමකින් සිදුවන බව අපගේ වැටහීමය. ඒ සඳහා එම අධ්‍යාපන ආයතන වල භාරකාරත්වයන්ගෙන් සහ පරිපාලනයෙන් ලැබෙන සහයද අතිවිශිෂ්ටය.

පාසල් අධ්‍යාපනයේදී පවා ගුරු ගෞරවය කෙලෙසා ගත් ගුරුවරුන් සේම විදුහල්පතිවරුන් පිළිබඳ පුවත් වරින් වර මාධ්‍ය මගින් අපට අසන්නට ලැබෙයි. එහෙත් එවන් තත්වයක් තුළ ඉතා වගකීමෙන් යුතුව කිව යුත්තක් ද තිබේ. එනම් එදා මෙදා තුර ගම්පහ නගරයේ උපකාරක පන්ති කරන කිසිදු ආචාර්යවරයකු ගේ හෝ ආයතනික පරිපාලකයකුගේ චරිතය සම්බන්ධ එවන් චෝදනාවක් එල්ල වී නොමැති බවය.

මෙවන් පසුබිමක් යටතේ වුව ගම්පහ උපකාරක පන්තිවල අධ්‍යාපනය ලබන සිසුන් ගේ ගෘහ සහ බාහිර ක්‍රියාකාරකම් පිළිබඳ පූර්ණ අධීක්ෂණයක් කිරීමට එම පාසල් වල විදුහල්පතිවරුන් ප්‍රමඛ ආචාර්ය ප්‍රජාවට හෝ උපකාරක පන්ති ආචාර්යවරුන් වන අපහට ප්‍රමාණවත් අවකාශයක් නොමැති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ගම්පහ ටියුෂන් සිසු සිසුවියන් අතර ලිංගික උප සංස්කෘතියක් පිළිබඳ ලක්බිම ඔන් ලයින් ලිපි පෙළ දිග හැරෙනුයේ අපහට අවලෝකනය නොවන එම අඳුරු පරිසරය මුල් කර ගනිමිනි. එබැවින් එහි එන කරුණුවල සත්‍යතාව පිළිබඳ අදහස් දැක්විමෙන් අපි වැලකී සිටිමු. ඒ නොදන්නා දෙයක් පිළිබඳ වාද විවාද වලට එළඹීමට අපට නොහැකි බැවිනි.

එහෙත්, ඒ සම්බන්ධයෙන් අප තුළ පැන නඟින ප්‍රබල ගැටළු කිහිපයක් වෙයි. ඒ ලක්බිම ඔන් ලයින් විමර්ශනය සඳහා ගෝචර කලාපය ලෙස ගම්පහ උපකාරක පන්ති ආශ්‍රිත පරිසරය තෝරා ගැනීම තුළ ගම්පහ උපකාරක පන්ති සඳහා පැමිණෙන සිසුන් ගේ විනය සහ සදාචාරය පිරිහීම මුල් කොට ප්‍රබල සමාජ කතිකාවකට මුල පිරීමය. අපෙගේ වැටහීම අනුව දැනටමත් උද්ගත වී ඇති එම තත්වය තුළ ගම්පහ උපකාරක පන්ති අධ්‍යාපනයේ හොඳ නමට යම් අයහපත් බලපෑමක් සිදුව තිබේ. අප මෙසේ පවසනුයේ ලක්බිම ඔන් ලයින් ලිපි පෙළ මගින් සමාජගත වූ කරුණු මුල් කොට එදිනෙදා ජීවිතයේ දී බොහෝ දෙනකු අපගෙන් ඒ පිළිබඳව සෘජුවම විමසා සිටින බැවිනි. විශේෂයෙන් ගම්පහ නගරයේ උපකාරක පන්තිවලට දරුවන් එවන සහ එසේ එවීමට අපේක්ෂා කරන දෙමාපියෝ විවිධ ස්වරූපවලින් අපගෙන් මෙම කරුණ පිළිබඳව විමසති. එම විමසීම් වලින් ජනිත වන පොදු කරුණ වනුයේ දැන් ‘ගම්පහ ටියුෂන්’ මෙච්චරම නරකද යන්නය?. එවිට අපට කීමට ඇත්තේ අප ද ඒ සම්බන්ධයෙන් ලක්බිම ඔන්ලයින් මගින් පමණක් කරුණු දැන හිදින බව පමණි. අප එසේ කියන්නේ ඒ පිළිබඳව හෙළි කිරීමට ඇති සත්‍යයද එය පමණක් වන බැවිනි.

වර්තමාන සමාජ ආර්ථික සංස්කෘතික පසුබිම යටතේ නව යොවුන් පරපුර වෙත ලිංගිකත්වය පෙර නොවූ අයුරින් සමීප වී ඇති බව කිසිවකුටත් රහසක් නොවේ. ඒ අනුව නූතන යොවුන් පරපුරේ චින්තන, සංනිවේදන සහ චර්යා රටාවන් කෙරෙහි අතීතයට සාපේක්ෂව ලිංගිකත්වය දැඩිව බලපාන බව සත්‍යයකි. ඒ අනුව එය ලිංගික උප සංස්කෘතියක් ලෙස හැදින්වීමේ කිසිදු වරදක් ද නැත. නමුත් අප ඔබෙන් අසන පැනය මෙයයි. නව යොවුන් වියට උරුම ලිංගිකත්වයත් එම උප සංස්කෘතියත් බලපානුයේ ගම්පහ ටියුෂන් අධ්‍යාපන ලබන සිසු දරුවන්ට පමණද?

මෙම සමාජ සංස්කෘතික බලපෑම අප රටේ සෑම සමාජ ඒකකයක් වෙතම විවිධ අයුරින් සම්ප්‍රේෂණය වී ඇති බව නොරහසකි. එහෙත් එම බලපෑමට එරෙහි ප්‍රබල ප්‍රතිරෝධයක් තවමත් බටහිර සංස්කෘතියෙන් එල්ල නොවේ. එහෙත් ඊට සාපේක්ෂව අපගේ සාම්පුදායික සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ඊට ප්‍රබල ප්‍රතිරෝධයක් එල්ල වීම පොදුවේ දක්නට ලැබෙන්නකි. අප කවුරුත් අවිවාදයෙන් පිළිගත යුතු වන පරිදි ගම්පහ උපකාරක පන්ති වලට පැමිණෙන සිසු සිසුවියන් අතරින් බහුතරය නියෝජනය කරනුයේ එම සමාජ සංස්කෘතික පසුබිමය.

අප මෙහි දී අප සමාජයේ සෙසු සංස්කෘතික සංදර්භයන් විවේචනයට ලක් නෙකරන නමුදු බටහිර සංස්කෘතික බලපෑම සහිත අපරටේ ඉහළ නාගරික මධ්‍යම පාන්තික සමාජයේ ඇතැම් තරුණ දූ දරුවන් තම දෙමාපියන් ගේ විරෝධයකින් තොරව පුළුල් ලිංගික නිදහසක් භුක්ති විදින බව ප්‍රසිද්ධ රහසකි. සමහර දූ දරුවෝ දෙමාපියන් හා හරි හරියට තරඟකාරී ලෙසින් සම්මත සදාචාර කඩඉම් ඉක්මවා ලිංගිකත්වයට වහ වැටී සිටිති. එවන් සමාජ වතාවරණයක් යටතේ අපරටේ සාම්ප්‍රදායික සිංහල බෞද්ධ ග්‍රාමීය සමාජය නියෝජනය කරන ගම්පහ උපකාරක පන්ති ශිෂ්‍ය ප්‍රජාව පමණක් ඉලක්ක කොට සිදු කෙරෙන මෙවන් අනාවරණයන් තුළ පොදු සමාජයීය විශ්ලේෂණයක් ගැබ්ව නොමැති බව ද තර්ක කිරීමට අපට ඇති හැකියාව ද ඔබට පහසුවෙන් බැහැර කළ නොහැක.

ගම්පහ ටියුෂන් සිසුන්ගේ ලිංගික උප සංස්කෘතියක් යනුවෙන් ‘මුද්‍රා තබන ලද’ ලිපි පෙළක් අන්තර්ජාලය මගින් ප්‍රකාශයට පත් කිරීම පොදු සමාජ දර්ශකයක් නිරූපණය නොකෙරෙන අතිශය අන්තගාමි ක්‍රියාවක් වශයෙන් අප තරයේම කියා සිටිනුයේ එබැවිනි.

ගම්පහ උපකාරක පන්ති අචාර්යවරුන් පිරිසක්.

සබැඳි - 

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලිංගිකත්වයක් ඇත්තේ ගම්පහ ටියුෂන් සිසුන්ට විතරද?"

    Post a Comment