17 April, 2017

පෞද්ගලිකත්වය හංගන බොහෝ දෙනාගේ ජීවිතවල හැංගිච්ච රහසක් තියෙනවා

Shashika Nisansala

සුභාවිත සංගීතයෙන් සම්මානයට පාත්‍ර වන අතරම, ජනප්‍රිය ධාරාව තුළ ඉහළ තලයකට යා හැකි නම් සැබැවින්ම එය භාග්‍යයක්. එවන් භාග්‍යවන්තියක් විදියට සශිකා නිසංසලා හඳුන්වන්නට පුළුවන්. කාලෙකට පස්සේ අපි සශිකා අපේ කතාබහට එකතු කරගන්න හිතුවේ ඇගේ අලුත්ම තොරතුරු ගැන විමසා බලන්නයි. සැමියයි දරු දෙදෙනයි සමග ගෙවී යන තමන්ගේ පවුල් ජීවිතය ගැන වගේම සංගීත ජීවිතය ගැනත් සශිකා අපත් සමග කතා කළේ කිසිම රහසක් හංගන්නේ නැතිවයි.

සශිකා ගීත ගැයීමේදී තෝරා බේරා ගැනීමක් කරනවාද?

ටෙලි නාට්‍ය, චිත්‍රපට ගී ඇරුණාම මම වසරකට ගීත එකක් විතරයි කරන්නේ. එතැනදි ජනප්‍රිය ධාරාව ගැන හිතලයි ඒ නිර්මාණය කරන්නේ. ඒත් සුභාවිත ගීතවලටත් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා.

සුභාවිත ගී සම්මානයට පාත්‍ර වුණාට ජනප්‍රිය නැහැ නේද?

විද්‍යුත් මාධ්‍ය අද හැම වෙලාවෙම ජනප්‍රිය ගීත රැල්ල පස්සෙයි පන්නන්නේ. ඔවුන් සුභාවිත ගීතය අමතක කරලා. ඔබ ඔය කියන විදියට සුභාවිත ගීතය ජනප්‍රිය නොවන්නේ එවැනි ගීතවලට විශාල විදියට ඇගයීම් සම්මාන ලැබෙනවා.

ඔබ සම්මානනීය ගායිකාවක්. තෝරා බේරා ගැනීමක් නැතුව ප්‍රසංග වේදිකාවට සහභාගි වන්නෙ ආර්ථික වාසි ගැන හිතලාද?

මට නියමිත සාධාරණ මුදල ලැබෙනවා. හැබැයි ප්‍රසංගයක ආරාධනා ලැබුණාම වාදක කණ්ඩායම කුමක්ද කියලා බලනවා. ඒ හැරුණාම ඉතින් එළිමහන් ප්‍රසංගවල ලොකු තෝරා ගැනීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

පසුගියදා ලැබුණු සම්මානය ගැන කතා කළොත්?

Slim Nielsen people Awards - 2017 දී මට ජනතාවගේ ගායිකාව විදියට සම්මාන ලැබුණා. එදා ඒ සම්මානයට නිර්දේශ වුණේ නන්දා ඇන්ටි (නන්දා මාලිනි) සහ මම. මම මීට කලිනුත් මේ සම්මානය ගත්තා. අවුරුදු ගණනක් පිට පිට ඒ සම්මානයට නිර්දේශ වුණා.

Shashika Nisansala-Family

ජනතාව අතරට යාමට 'ජනප්‍රිය චරිතයක් වීමට දක්ෂතාවට අමතරව ආකර්ෂණයත් වැදගත් කියලා ඇතැම් අය කියනවා. ජනප්‍රිය චරිත තමන්ගේ ආදර සම්බන්ධතා පවා හංගන්නේ ජනප්‍රියත්වය අඩුවේවි කියන බයට. මේ ගැන මොකද කියන්නේ?

මම නම් ඔය කාරණය දකින්නේ මේ විදියට. අපි කාගේ හෝ ගීතවලට හඬට ආදරය කරනවා නම් එයාගේ පෞද්ගලික ජීවිතය ගැන උනන්දු වීම සාමාන්‍ය දෙයක්. එතැනදී පුද්ගලයා ආකර්ෂණයට එයාගේ ඇඳුම්, හැසිරීම, පැවැත්ම, බලපානවා. මම සුජාතා අත්තනායක මහත්මියට පුදුමාකාර ඇල්මක් දැක්වූ කෙනෙක්. ඇය අඳින විදිය, වැදගත් හැසිරීම් රටාවට මම ආදරේ කළා. ඇය බිරිඳක් විදියට, මවක් විදියට ගෙවන ජීවිතයට ආදරය කළා. ඇය කිසිදාක කිසිම කට කතාවක් හදා ගත්තෙ නැති ගායිකාවක්. මගේ පරමාදර්ශී චරිතය වුණේ ඇය. අද මටත් මගතොටේදී හමුවන රසික පිරිස විශේෂයෙන් මට වඩා වයසින් වැඩිහිටි අය කියන දේවල් තුළින් මගේ පෞද්ගලික පැවැත්මට ඒ අයගේ ආදරය ලැබෙන බව මට දැනෙනවා. මගේ ඇඳුම් ඒ අය අගය කරනවා. මහත්තයයි දරුවො දෙන්නයි එක්ක සාර්ථක ජීවිතයක් ගෙවන එක අගය කරනවා. තමන් හොඳින් ඉන්නවා නම් කට කතා වුණත් හැදෙන්නේ නෑ.

ඔබ එහෙම කිව්වාට මිනිස්සුන්ට වැදගත් තමන්ගේ කලා නිර්මාණ මිසක් පෞද්ගලිකත්වය ‍නෙවෙයි කියන අය කලාවේ ඉන්නවා.

ඒ කතාවෙන්ම තේරෙනවා. ඒ අයගේ පෞද්ගලිකත්වය තුළ මොකක්දෝ හැංගිච්ච රහසක් තියෙනවා කියලා. කලා ක්‍ෂේත්‍රය අනික් ක්‍ෂේත්‍රවලට වඩා සංකීර්ණයයි. ඒ තුළ විවිධාකාරයේ අය ඉන්නවා. වැඩිපුර ගැවසෙන්නේ පිරිමි. කාන්තාවන්ට වැඩිපුර ගනුදෙනු කරන්න වෙන්නේ පිරිමි එක්කයි. පෞද්ගලික ජීවිතය තුළ ප්‍රශ්න ඇති නොවන විදියට ඉන්න තමන් දැන ගන්න ඕනේ. එහෙම වුණොත් පෞද්ගලික ජීවිතයට ජනතාවගේ ආදරය ගෞරවයට ලබාගන්න බැරි නැහැ.

ඔබේ පෞද්ගලික ජීවිත තොරතුරු දැන ගන්නත් ආදරණීය රිද්ම පාඨකයෝ කැමති වෙයි.

මගේ සැමියා සුරංග මතඟවීර. කලිින් රැකියාවක් කළා. දැන් ඒකෙන් ඉවත් වෙලා ව්‍යාපාරයක් කරගෙන යනවා. මගේ සියලුම කටයුතු වෙනුවෙන් මගේ ළඟම ඉන්න ඕන හින්දයි එයා රැකියාවෙන් ඉවත් වුණේ. ලොකු පුතා මිහින්. දැන් දෙක වසරේ ඉගෙන ගන්නවා. ‍පොඩි පුතා හිරුන්. මොන්ටිසෝරි යනවා. දෙදෙනාම සපුගස්කන්දේ යොෂිඩා ජාත්‍යන්තර පාස‍ලේ ඉගෙන ගන්නවා.

ආරියවංශ කුලතිලක

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පෞද්ගලිකත්වය හංගන බොහෝ දෙනාගේ ජීවිතවල හැංගිච්ච රහසක් තියෙනවා"

    Post a Comment