17 April, 2017

ඒජන්සිකරු මගේ පඩි වංචා කරලා අරගෙන - අහපුවාම ඔපිස් එකට අරගෙන ගිහින් අතවර කළා

Inoka Udayangani Kuwait

මැද පෙරදිග ගෘහ සේවයට ගොස් විවිධ වධහිංසාවට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවක් ලෙබනන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්වීමෙන් දිවයිනට පැමිණියාය.

කටුනායක ගුවන්තොටුපොළේ සිට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කටුනායක සහන පියසට ඇය කැඳවා ගෙන පැමිණ තිබූ අතර වසර 15 ලෙබනන් රටේදී විඳි දුක් ගැහැට පිළිබඳව වරාගොල්ල හසලක පදිංචි ඉනෝකා උදයංගනී (34) මෙනවිය මාධ්‍ය වෙත මෙලෙස පැවසුවාය.

"මම ලංකාවේ ලියාපදිංචි විදේශ රැකියා ආයතනයක් මඟින් 2002 වර්ෂයේදී ලෙබනන් ගෘහසේවයට ගියා. ඒජන්සිකරු මගේ වයස අඩුවෙන් දාල අකාමා (කොන්ත්‍රාත් වීසා) හදලා තිබුණා. ඒ නිසා හිරේ නොගිහින් බේරුණේ පූරුවේ පිනකට. ලෙබනන් ගෙවල් කීපයක මට වැඩ කරන්න සිදුවුණා. පඩි ගෙව්වේ නැහැ. වසර කීපයක් ගෙවිලා ගියා. ආයේ පඩි ඉල්ලුවාම හොඳටම මට ගැහුවා කටේ දත් තුනක් කැඩුවා. අවසානේ ගෙදරින් පැනලා ඒජන්සියට ගියා. ආයෙත් වැඩට දැම්මා. ඒජන්සිකරු මගේ පඩි සල්ලි වංචා කරලා අරගෙන. ඒ ගැන අහපුවාම ඔපිස් එකට අරගෙන ගිහින් ඒජන්සිකරු මට අතවර කළා. ගැහුවා පසුව මම එම්බසියට ගියා. මට එයාලා උදවු කළා. ඒත් ලංකාවට එන්න ටිකට් එක ගන්න අනුන්ට අතපාන්න වුණා. ටිකක් වැඩ කළා. "

ඒ සල්ලි දීලා ගුවන් ටිකට්පත රැගෙන හිස් අතින් ලංකාවට පැමිණි බව ඇය වැඩිදුරටත් කීවාය. ලෙබනන් ගෘහ සේවයට ගොස් වසර 15 පසුව පැමිණි මෙම කාන්තාව භාර ගැනීමට ඇයගේ මවුපියෝ දෙපළ කටුනායක සහන පියසට පැමිණ සිටියහ.



(කටුනායක -ලක්මාලි මුතුකුඩ-mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to " ඒජන්සිකරු මගේ පඩි වංචා කරලා අරගෙන - අහපුවාම ඔපිස් එකට අරගෙන ගිහින් අතවර කළා"

    Post a Comment