07 January, 2017

ජේම්ස් ටේලර්ගෙ තේ ගසට අවුරුදු 150යි තාමත් දුම් දමන ලංකාවේ තේ කෝප්පය



'සිලෝන් ටී' යන වචනය කවුරුත් හොඳින් අසා ඇති වචනයකි. මේ වචනය ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම ජනතාව අතර ඉතාම ජනප්‍රියය. එයට හේතුව වනුයේ ලෝකයේ ඉස්තරම්ම තේ නිෂ්පාදනය කරන රට ලංකාව වීමයි. මීට දශක දෙක තුනකට පෙරදී නම් ලංකාවේ තේවලට අභියෝග කරන්නට ලෝකයේ වෙන කිසිම රටකට හැකියාවක් තිබුණේ නැත. නමුත් මේ වන විට චීනය, ඉන්දියාව, කෙන්යාව, ටැන්සානියාව වැනි රටවල් තේ වගාව කෙරෙහි විශාල උනන්දුවක් දක්වයි. එබැවින් දැන් ලංකාවට ඒ හැම රටක් සමඟම තරග කරන්න සිදුව තිබේ.

ශ්‍රී ලංකාවේ තේ වගාවේ ඉතිහාසය වසර 150ක් තරම් අෑතට දිව යන්නේය. ලංකාවට මුලින්ම තේ ගස හඳුන්වා දුන්නේ ජේම්ස් ටේලර් විසින්ය. ඒ තේ ගසට දැන් අවුරුදු 150කි. එබැවින් ශ්‍රී ලංකා තේ මණ්ඩලය මේ වසරේදී තේ කර්මාන්තයේ 150 වැනි සංවත්සරය සමරයි. අද වන විට ලෝකයේ බොහෝ රටවල පානය කරන්නේ ශ්‍රී ලංකාවේ වැවෙන සහ ලංකාවේ නිෂ්පාදනය කරන තේ කොළය.

තේ කර්මාන්තය ආරම්භ කළ නිශ්චිත දිනයක් කිසිදු මූලාශ්‍රයක සටහන් නොවී ඇති බැවින් වර්ෂය සැලකිල්ලට ගැනෙයි. එලෙසින් මේ ගෙවෙන්නේ තේ ගසේ 150 වැනි වසරයි. මෙම 150 වැනි සංවත්සරය නිමිතිකොටගෙන ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 70ක පමණ තේ සැණකෙළියක් පවත්වන්නට ශ්‍රී ලංකා තේ මණ්ඩලය සූදානම්ය.

ඒ පිළිබඳ අපට අදහස් දැක්වූයේ ගාල්ල තේ මණ්ඩලයේ සහකාර කොමසාරිස් වයි. ජී. ඉන්ද්‍රජිත්ය.

'ලංකාවට තේ ගස හඳුන්වලා දීලා මේ වසරට වසර 150ක් සම්පූර්ණ වෙනවා. ඒ වෙනුවෙන් අපි වැඩසටහන් ගොඩක් සංවිධානය කරලා තියෙනවා. ඒ අනුව ජනවාරි 19 වැනිදා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රධාන ශාඛාවේ ජේම්ස් ටේලර්ගේ උඩුකය සහිත පුවරුවක් විවෘත කරනවා. එතුමා නිසා අද ලංකාව තේ කර්මාන්තයේදී ලෝකයේ ඉහළින්ම සිටින්නේ ඒ නිසා.

ඒ ගෞරවය එතුමාට හිමිවිය යුතුයි. ඊට අමතරව තවත් විශේෂ දෙයක් කරන්න සූදානම්. ඒ තමා ලංකාව ඇතුළුව ශ්‍රී ලංකා තානාපති කාර්යාල ස්ථාපිත සියලුම රටවල එකම දිනයකදී තේ පැන් සංග්‍රහයක් පැවැත්වීම. ඒ තේ පැන් සංග්‍රහය උදේ සහ සවස ලෙස පවත්වනවා. ලංකා තේ කර්මාන්තයේ වසර 150 මැයෙන් සමරු පොතක් ප්‍රකාශයට පත් කරන්නටත් අපි සූදානම්. ඊට අමතරව හොඳම තේ දලු, හොඳම තේ දලු නෙළන්නා, රසම තේ වැනි විවිධ තරග අංශ යටතේ තරග පවත්වා තේ දලු නෙළන අයට තෑගිබෝග දෙන්නත් කටයුතු සූදානම් කරලා තියෙනවා.

ලොව වැඩිම පිරිසකගේ ප්‍රියතම පානය බවට ඇති 'තේ' මුලින්ම සොයාගෙන ඇත්තේද චීන රාජ්‍යය විසිනි. දහ වැනි සියවසේදී පමණ ජීවත් වූ අධිරාජ්‍යයකු වූ හුයියුන් (1100 - 1126) සැබෑම තේ රසවතෙක් සේ සැලකේ. තේ යන වචනය නිර්මාණය වී ඇත්තේ ෆියුජියානු වචනයක් වූ 'ටේ' (ඊඥ) යන වචනයෙනි. මහා පරිමාණයෙන් තේ අලෙවි කරනු ලැබූ මුල්ම ජාතිය වන්නේ ලන්දේසීන්ය. ඊට හේතුව වනුයේ මුදල් ඉපැයීමේ මාර්ගයක් ලෙස තේ වගා කළ ෆීජි දූපත ලන්දේසීන්ගේ යටත් විජිතයක් බවට පත්වීමය.

චීනයේදී තේ හඳුන්වනු ලබන්නේ 'චා' යන වචනයෙනි. රුසියාවේදී 'වායි' ලෙස තේ හඳුන්වයි. ලංකාවද තේ නිසා වසර 150ක කීර්තියක් අත්පත් කර ගත් රටක් ලෙස ජනප්‍රියය. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වැවිලි අතරින් මුල් ස්ථානය හිමි කර ගන්නේද තේ වගාවයි. තේ වගාව සම්බන්ධ රැකියාවල සේවකයන් දස ලක්ෂයක් පමණ නිරතව සිටින්නේය.

කැමෙලියා සිනෙන්සිස් (ඛ්චථඥතතඪච ඉඪදඥදඵඪඵ) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන තේ පැළය ඉන්දියාවට ආවේණික යැයි සැලකේ. එය ඉන්දියාවේ හිමාල කඳු පාමුල ඇසැම් පළාතේ වනාන්තරවල වැවී ඇත. ලංකාවට මුල්ම තේ බීජය ගෙන එන ලද්දේ 1824දීය. දෙවැනි වරට ලංකාවට තේ බීජය නැවැත රැගෙන එන ලද්දේ 1939දීය. මෙම අවස්ථා දෙකෙහිදීම තේ බීජ ගෙන එන ලද්දේ පර්යේෂණ අරමුණකින් සඳහා මිසක වගා කිරීමේ අරමුණකින් නොවීය. එබැවින් මෙම තේ බීජ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පැළ කළ අතර ඒවා නිදහසේ වර්ධනය විය.

පසුව ජේම්ස් ටේලර් විසින් 1867දී මුල් වරට ලංකාවේ වාණිජ තේ වගාවක් ආරම්භ කළේය. එබැවින් ලංකාවේ තේ වගාවේ පියා ලෙස ජේම්ස් ටේලර් සැලකීම වරදක් නොවන්නේය. ජේම්ස් ටේලර් විසින් මුල්ම වරට ලංකාවේ මහනුවර පළාතේ හේවාහැට ලුල්කඳුර වතුයායේ තේ වගාව ඇරැඹුවේය. එය අක්කර 100ක් පුරා විහිදුණු බව කියැවේ.

දැනට ශ්‍රී ලංකාවේ තේ වගා කරන ප්‍රදේශ ලෙස සැලකෙන්නේ නුවරඑළිය, මහනුවර, තලවකැලේ, රත්නපුර, ගාල්ල, මාතර, මාතලේ, මොනරාගල, කුරුණෑගල, බදුල්ල, කෑගල්ල, හම්බන්තොට වැනි ප්‍රදේශයි. ශ්‍රී ලංකාවේ තේ අපනයනය සඳහා 1990 වර්ෂය වාර්තාගත වර්ෂයක් ලෙස සැලකේ. එම වර්ෂයේදී ශ්‍රී ලංකාව තේ කිලෝ ග්‍රෑම් ටි්‍රලියන 215.6ක් අපනයනය කරමින් ලොව අධිකතම තේ ප්‍රමාණය අපනයනය කළ රට බවට පත්ව තිබේ. එය විශාලතම තේ නිෂ්පාදනය වන ඉන්දියාවද අභිභවා යෑමකි.

1873 වසරේදී ලංකාව මුල්ම වරට තේ කිලෝග්‍රෑම් 10.5ක් අපනයනය කර රුපියල් 58ක ආදායමක් ලබා ගෙන තිබේ. ඉන් වසර දහයක් ගතවූ පසු තේ වගාව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. 1875දී අක්කර 500ක් පමණ තිබූ තේ වගාව 1887 වන විට අක්කර 1,50,000 දක්වා ව්‍යාප්ත විය. 1890 වන විට බොහෝ කඳුකර ප්‍රදේශවල තේ වගාව ව්‍යාප්ත වූවා පමණක් නොව විශාල දියුණුවක්ද ඇතිවිය.

පළමු වැනි ලෝක යුද්ධයෙන් පසුව තේ වගා කරන රටවල් එකතු වී තිබූ තේ තොග ලන්ඩන් හා අනෙකුත් වෙළෙඳපොළවලට නිකුත් කිරීම නිසා තේ මිල විශාල ලෙස පහත බසින්නට විය. 1920 පමණ වන විට නැවැත තේ මිල ඉහළ යෑමට පටන් ගැනිණි.

එබැවින් අලුතින් තේ වගා කිරීමට යළිත් උනන්දු විය. 1929දී ඇති වූ ලෝක ආර්ථික පරිහානිය නිසා තේ අපනයනය පහත වැටීම නිසා ආදායම බොහෝ සෙයින් අඩු වුවද 1980 වන විට ලංකාවේ අපනයන වෙළෙඳ ද්‍රව්‍ය අතර තේ වලට විශේෂ තැනක් හිමි විය. 1997 වසරේදී ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 258 දක්වා වැඩි වූ අතර එයින් ලැබූ ආදායම රුපියල් මිලියන 40,425ක් විය.

තේ වගාවේ වසර 150ක ඉතිහාසය තුළ තවත් බොහෝ දේ සිදුව තිබුණද මේ එහි සංක්‍ෂිප්තයක් පමණි. සැබැවින්ම ජේම්ස් ටේලර් නොසිටියේ නම් අද කඳුකරයේ වෙනත් බෝගයක් වැවෙන්න ඉඩ තිබිණි.

ඉංග්‍රීසීන් රටට අවැඩක් සිදු කළා යැයි කියන අයට ජේම්ස් ටේලර් විසින් මෙරට ප්‍රධාන ආර්ථික භෝගය හඳුන්වා දුන්නේ යැයි කියන්නට සිදුවීමම සැබැවින්ම අරුමයකි.

අකිලා නදීශානි බණ්ඩාර_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ජේම්ස් ටේලර්ගෙ තේ ගසට අවුරුදු 150යි තාමත් දුම් දමන ලංකාවේ තේ කෝප්පය"

    Post a Comment