07 January, 2017

වාවන්නේ කොහොම මේ දුක දෙවියන්නේ නීතිය ඇයිද මේ විදියට වල් වැදුණේ

a-man-who-was-imprisoned-for-lawlessness

මැදියම් රැය උදාවෙමින් තිබිණි. අනුරාධපුරයට නුදුරු ප්‍රදේශයක පිහිටි බැංකුවක් කඩා එහි ඇති මුදල් සොරා ගෙන යෑමේ සොර කණ්ඩායමක සැලසුමක් ක්‍රියාත්මක වෙමින් තිබුණේ එම මැදියම් රැයේය.

නියමිත වේලාව බලා බැංකුවට ඇතුළුවන සොර කණ්ඩායමේ ප්‍රධාන ඉලක්කය වන්නේ එහි සේප්පුව කඩා මුදල් සොරා ගෙන එම ස්ථානයෙන් ඉතා ඉක්මනින් පැන යෑමය. එහෙත් ඔවුන්ට ඒ සඳහා පැය කීපයක් ගතකිරීමට සිදුවන්නේ ඔවුන් සිතූ වෙලාවට එම සේප්පුව කඩා ගැනීමට නොහැකිවීම හේතුවෙනි.
කෙසේ හෝ පැය කීපයක් ගතවීමෙන් පසුව සිය ක්‍රියාන්විතය අවසන් කරන සොර කල්ලියේ ඊළඟ ඉලක්කය වන්නේ සොරාගත් මුදල්ද ගෙන හැකි ඉක්මනින් එම ස්ථානයෙන් පලා යෑමය.

සිද්ධිය සම්බන්ධයෙන් ඒ වන විටත් පොලිසියද දැනුවත්ව තිබිණි. ඒ බව දැන ගන්නා සොර කල්ලිය මත්පැන් බෝතල් කීපයක්ද රැගෙන එම බැංකුවට සැතපුමක් පමණ ආසන්නයේ පිහිටි කැලෑ රොදකින් වටවුණු හේනක පැලක් වෙත යන්නේ එම අවස්ථාවේ තවදුරට යෑම අවදානම් සහගත බැවින් පසුදා එළිය වැටුණු විගසම පලායෑමේ අදහසිනි.

කිසිදු බාධකයක් නොමැතිව සිය ක්‍රියාන්විතය ඉටුකර ගැනීමට හැකිවීම පිළිබඳව උදම් අනමින් සිටි සොර කල්ලිය පැල තුළ වැතිරී සුවබර නින්දකට වැටෙන්නේ සිය පී්‍රතිය භුක්ති විඳීම සඳහා රැගෙන ගිය මත්පැන් බෝතල් කීපය උගුරට දෙකට සප්පායම් වීමෙන් අනතුරුවය.

සුවබර නින්දක පසුවුණු සොර කල්ලිය හදිසියේ අවදිව තත්ත්පරයක්වත් එහි නොසිට සොරාගත් මුදල්ද රැගෙන කඩිමුඩියේ පලා යන්නේ ඔවුන්ට නොදැනීම වටින්ගොඩින් එළිය වැටී තිබූ බැවිනි.

උදේ සවස වෙහෙසෙමින් සිය ගොවිතැන් කටයුතුවල නියැළෙන කිරිබණ්ඩා නොහොත් හේනේ අයිතිකරු වන කිරිමාමා හේන වෙත පැමිණෙන්නේ සොර කල්ලිය ඔහුගේ හේනෙන් පලායෑමෙන් විනාඩි කීපයකට පසුවය.

"මම නැති වෙලාවේ ඊයේ රාත්‍රියේ කවුරුහරි මගේ පැලට ඇවිල්ලා කාලා බීලා ගිහින් තියෙනවා" ඒ පිළිබඳව සිතිවිල්ලෙන් පසුවන කිරිමාමා සිද්ධිය ගැන එතරම් තැකීමක් නොකරන්නේ ගමේ රස්තියාදුකාර තරුණ ගැටව් මීට පෙරද කිරිමාමාගේ පැලට පැමිණ එසේ කාබී ගොස් තිබුණු බව ඔහු හොඳහැටි දන්නා නිසාවෙනි.
"ඒකම තමයි වෙන්න ඇත්තේ" ඒ පිළිබඳව තව දුරටත් සිතීමෙන් පලක් නොවන බව සිතූ කිරි මාමා සුපුරුදු පරිදි සිය ගොවිපළේ වැඩ ඇල්ලීමට උදැල්ල බිම තැබුවා පමණි.

"අනේ බුදු සර් ඇත්තම කියන්නම් ගහන්න එපා සර්. අයියෝ අනේ ගහන්න එපා සර්" එම විලාප හ¾ඩින් විමතියට පත්වෙන කිරිමාමා අතට ගත් උදැල්ල එක්වරක්වත් නොඔසවා මේ හිමිදිරි උදයේ සිදු වන්නේ කුමක්දැයි පුදුමයට පත්ව බලන විට ඔහුට දකින්නට ලැබෙන්නේ පොලිස් නිලධාරීන් පිරිසකගේ ග්‍රහණයට ලක්වෙමින් ඔහුගේ හේන වෙත රැගෙන එන මදාවි පෙනුමැති පස් හය දෙනකුගෙන් සමන්විත පිරිසක්ය.

"දැන් ඉතිං කියාපියව් කොහෙද තියෙන්නේ කියලා" එසේ තර්ජනය කර පොලිස් නිලධාරියකු දුන් මුෂ්ටි පහරකින් හෙම්බත් වන එම කණ්ඩායමේ සිටි පුද්ගලයකු "අනේ සර් අන්න තියෙනවා. මම අරගෙන දෙන්නම් සර්. අනේ ගහන්න එපා" කියමින් ඔවුන් පෙරදා රාත්‍රියේ රැඳී සිටි පැල්පතේ වහලය මත රඳවා තිබූ ස්වයංක්‍රීය පිස්තෝලයක් හා අත්බෝම්බයක් පොලිසිය වෙත පෙන්වන්නේ කිරිමාමගේ හදවතේ ගැස්ම වැඩි කරවමිනි.

"හා හා දැන් ඉතිං තමුසෙත් ලෑස්ති වෙනවා අපිත් එක්ක යන්න." පොලිසිය කළ තර්ජනයෙන් කිසි දෙයක් වටහා ගැනීමට නොහැකි වූ කිරිමාමා "අනේ මහත්තයෝ මම... මේ කිසි දෙයක් .... දන්නේ නෑ" යනුවෙන් කෙඳිරි ගෑවේය. "හා... හා.... තමුසෙගේ කතාවලින් අපිට වැඩක් නැහැ නඟිනවා ජීප් එකට. ඒවා පොලිසියට ගිහින් බලා ගමු" එසේ කියමින් තමාව පොලිසිය වෙත ගෙන ගොස් ඇත්තේ පෙරදා රාත්‍රියේ එම ප්‍රදේශයේ බැංකු කොල්ලයක් නිසා බව කිරිමාමාට දැන ගන්න ලැබෙන්නේ පොලිසිය ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසුවය.

"ඊයේ රාත්‍රියේ සිදුවූ බැංකු කොල්ලයට කිරිමාමාත් හවුල් වෙලාලු. දැන් ඉන්නේ පොලිසියේලු" කිරි මාමා අත්අඩංගුවට ගත් සිද්ධිය ගමේ කනින් කොනින් ගොස් කිරි මාමාගේ බිරිය මැණිකාට හා කුඩා දියණියට දැනගන්න ලැබෙන්නේ ඒ විදිහටය.

"සතෙකුට සිව්පාවෙකුට කවදාවත් හිංසාවක් නැති මගේ මනුස්සයා අත්අඩංගුවට ගන්නේ මොන එහෙකටද. ඊයේ රාත්‍රියේ ඒ මනුස්සයා ගෙදරනේ හිටියේ" මැණිකා සිය දැරියද තුරුලු කරගෙන එසේ හඬාවැටෙන විට අසල්වැසියන්ද දුක් වුණේ කිරිමාමා ගමේ ඉතා අහිංසක, කාටවත් අත නොපා ජීවත්වන හිත හොඳ පුද්ගලයකු බව ඔවුන්ද හොඳාකාරවම දන්නා බැවිනි.

"මගේ මනුස්සයා හරි හම්බ කරගත් මුදල්වලින් අපි ඉතා අමාරුවෙන් ජීවත් වුණා. දැන් මටත් මගේ දරුවටත් කාගේ පිහිටක්ද? කාගේ ආරක්ෂාවක්ද?" නොසිතූ මොහොතක සිදුවූ අසාධාරණ සිද්ධියෙන් කම්පාවට පත් මැණිකා හා දැරිය කිරිබණ්ඩා බන්ධනාගාර ගත කළ දිනයේ සිටම ජීවත් වූයේ සිය නිවෙසේ ඇති දැඩි කළ කුකුළු පට්ටියේ බිත්තර විකිණීමෙන් ලබාගත් සොච්චම් මුදලෙනි.

එසේ දුක්බර ජීවිතයක් ගෙන යමින් දිනපතාම සිය සැමියා පිළිබඳ මතකයෙන් නින්දට යන මැණිකාට පසුදින අවදිවන විට දක්නට ලැබෙන්නේ තවත් හද කම්පා කරවන දසුනකි. ඒ පෙරදින රාත්‍රියේ නිවෙසේ කූඩුවක රඳවා සිටි කුකුළු පට්ටිය කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති අයුරුය.

කුකුළු බිත්තරයක් හෝ විකුණා සිය ජීවිතය ගෙනගිය මැණිකාගේ පවුල එවන් අසරණ තත්ත්වයකට පත් වුවද සෑම නඩු වාරයකටම අධිකරණය වෙත රැගෙන එන කිරිබණ්ඩා දැක බලා ගැනීමට යෑමට ඇය කිසි දිනක අමතක නොකළේය.

"සර් මාව දැන් අවුරුදු ගාණක් උසාවියට ගේනවා. එත් මට මගේ බිරිය දරුවා සමඟ වචනයක්වත් කතා කරන්න බැරි වුණා. සර්ට පුළුවන් නම් මට ටිකක් කතා කරන්න ඉඩ දෙන්න" කිරිබණ්ඩා එම කාරුණික ඉල්ලීම කරන්නේ එදින අධිකරණයට ගෙනෙන ලද සිරකරුවන්ගේ ආරක්ෂාවට පැමිණි බන්ධනාගාර නිලධාරි ගාමිණී නිශ්ශංකගෙනි.

"හරි හරි එහෙනම් ඉක්මනින් කතා කරන දෙයක් කතා කරගන්න" සිය කාකි ඇඳුම ඇතුළේ සැඟව තිබූ මනුස්සකම එළියට දැමූ නිශ්ශංක ඔවුන්ට එම අවස්ථාව ලබා දුන්නේ ඔවුන් කියනා කරනා දේ ඔහුට ඇසෙනා මානයක සිටිමිනි.

"කුකුළු පට්ටියත් හොරු අරගෙන ගියා මට නම් කොහොම හරි බඩගින්නේ ඉන්න පුළුවන්. ඒත් මට මේ කෙල්ල බඩගින්නේ ඉන්නකොට වාවන්නේ නැහැ" මැණිකා සිය දියණියගේ හිස අතගාමින් එසේ පවසන විට ඇයගේ දෙකොපුලෙන් ගලා හැලෙන කඳුළැලි ඔහු පිස දැම්මේය.

බැංකුව කඩා මුදල් සොරාගත් සැකකරුවන් පිරිසට සිරගතව කෙටි කලක් යෑමට මත්තෙන් ඇප මත නිදහස්ව යෑමට හැකියාව ලැබුණ නමුත් කිරිබණ්ඩාට එසේ යෑමට නොහැකි වන්නේ ඔහු වෙනුවෙන් නීතිඥයකු ඉදිරිපත් කිරීමට තරම් මැණිකාට ආර්ථික ශක්තියක් නොවූ නිසාවෙනි.

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී යමින් තිබිණි. ගිනි අවියක් හා බෝම්බයක් සන්තකයේ තබා ගැනීම හා බැංකුවක් කැඩීමට උදවු උපකාර කිරීම යන චෝදනා මත එසේ වසර හතරකට ආසන්න කාලයක් බන්ධනාගාර ගතකර සිටි කිරිබණ්ඩාට එම සිද්ධියෙන් පූර්ණ නිදහස ලැබෙන්නේ ඔහුගේ ඉල්ලීමකට අනුව නීති ආධාර කොමිෂන් සභාව මඟින් ඔහු වෙනුවෙන් පෙනී සිට කරුණු දැක්වීම හේතුවෙනි.

එසේ නිදහස ලැබූ කිරිමාමා කූඩුවකින් මුදා හළ කුරුල්ලකු මෙන් සිය නිවෙස වෙත ගියේය. ඔහුට අහල පහළ අයවලුන්ගෙන් දැන ගැනීමට ලැබෙන්නේ ඊට දින කීපයකට පෙර ඔහුගේ බිරිය හා දියණිය ගෙවල් ‍දොරවල් අතහැර ගමෙන් පිටව ගිය අදහාගත නොහැකි දුක්බර පුවතය.

ඉතා අසාධාරණ ලෙස බන්ධනාගාර ගත කෙරුණු කිරි මාමා ගම හැර දමා ගිය බිරිය හා දරුවා සොයා ගැනීම සඳහා ගමක් නගරයක් පාසා සැරි සැරුවද කිසිවකුත් හමුවූයේ නැත.

මන්ද මානසික පුද්ගලයකු මෙන් සිය බිරිය හා දරුවා සොයා තැන තැන ඇවිද කොල්ලො කුරුට්ටන්ගේ උසුළු විසුළුවලට ලක්වූ කිරිමාමාට අවසානයේ සිදුවූයේ කාත් කවුරුවත් නොමැති පුද්ගලයකු මෙන් මහමඟ මිය යන්නටය.

විශ්‍රාමික බන්ධනාගාර නිලධාරී ගාමිණි නිශ්ශංක (සාම විනිසුරු) මහතාගේ නම හැර සෙසු නම් ගම් මනංකල්පිතය.

කුමුදු උපුල් ශාන්ත_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වාවන්නේ කොහොම මේ දුක දෙවියන්නේ නීතිය ඇයිද මේ විදියට වල් වැදුණේ "

    Post a Comment