15 November, 2016

දුවව මට පෙන්නද්දී මට එකපාරට කියවුණා දුව මම වගේනේ කියලා

ඔබේ කැදැල්ලත් කිරි සිනාවකින් ඉතිරෙන්න අරගෙන. දූ පැටික්කි පවුලට එකතු වුණ සතුට ගැන මුලින්ම කියමු?

අපිට දුවෙක් ලැබුණා. 7 වැනිදා තමයි දුව ඉපදුණේ. අම්මා කෙනෙක් කියන්නේ කවුද කියලා තේරුම් ගන්න කොච්චර උත්සාහ කළත් ඇත්තටම අම්මා කෙනෙක්ගේ හැඟීම ඇත්තටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපි අම්මා කෙනෙක් වුණාම. දරුවෙක් ගැන මට ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. හරිම වෙලාවේ මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා කියලා හිතනවා. ඒක පුදුම ආශිර්වාදයක්. සතුටක්.

දුව ලැබෙන වෙලාවේ හස්බන්ඩ් ළඟ හිටියද?

ඔව්. එයා මගේ ළඟම හිටියා. ඒක මට පුදුම ශක්තියක්. මම ටිකක් බයෙන් හිටියේ. සැමියා මට දරුවා ලැබෙන්න සුදුසු විදියට හැම පහසුකමක්ම උපරිම හදලා දුන්නා. මට කිසිම අඩුපාඩුවක් ඔහු කළේ නැහැ. හැමදේම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් ඉෂ්ට වුණා. මම දෙවියන්ට වගේම මගේ මහත්තයටත් පින් දෙනවා.

හා හා පුරා කියලා පවුලට දුවෙක් එකතු වෙනවට උපේක්‍ෂා කැමැති වුණාද?

මුල්ම කාලේ නම් මහත්තයයි මමයි එහෙම කැමැත්තවල් හදාගෙන හිටියා. හැබැයි ඊට පස්සේ අපි හිතුවේ දුවෙක් වුණත් පුතෙක් වුණත් නිරෝගී දරුවෙක් ගැන. අපි දරුවා නිරෝගීද කියලා බලලා නිරෝගී දරුවෙක් ලබන්න කැපවුණා.

දුවව මුලින්ම දකිද්දී දැනුන හැඟීම කොයි වගේද?

මුලින් දුවව පෙන්නද්දී දුව සුවඳයි කියලා කියවුණා. එයාව හෝදලා කිරි පොවන්න මට ගෙනත් දුන්නම හිතේ බයෙන් වගේ අතට ගත්තේ. ඒත් එයා එකපාරට ළඟට ඇවිත් හරියට පුරුදු කරලා වගේ කිරි බොන්න ගත්තා. එතකොට දැනිච්ච හැඟීම කියා ගන්න තේරෙන්නේ නෑ.

දුව කවුරු වගේ කියලද කියන්නේ?

දුවව මට පෙන්නද්දී මට එකපාරට කියවුණා දුව මම වගේනේ කියලා. ඒත් මගේ අම්මා යාළුවෝ එහෙම කියනවා දුව තාත්තා වගේ කියලා. ඒත් එයා කවුරු වගේද කියන්න තාම කල් මදි.

ඉපදුණ ගමන් දුවට නමකුත් තියලනේ?

අපි ජ්‍යෝතිෂය මුකුත් බලන්න ගියේ නැහැ. දරුවා බඩේ ඉද්දී මට එයාව දැනුණ විදියක් තිබ්බා. ඒත් එක්ක අපි නම්වල තේරුම් බලලා එයාට ධනුජි ෂැනන් පෙරේරා කියලා නම තිබ්බා. සිංහලකමට හුරු නමක් විදියට තමයි ධනුජි කියන නම දැම්මේ. පිටරටක ගිහින් පාවිච්චි කරන්න පහසු විදියට ෂැනන් කියලා දැම්මා.

ජ්‍යෝතිෂය ගැන විශ්වාසයක් නැද්ද?

ජ්‍යෝතිෂය ඇත්තත් ඇති. ඒත් මම හිතන්නේ අපි කරන පින්වල ශක්තිය, කර්ම ශක්තිය එක්ක ජීවත් වෙනවා නම් අපිට වරදක් වෙන්නේ නෑ.

දැන් දෙන්නා තුන්දෙනා වෙලා දරුවෙක් එක්ක වගකීම් වැඩිවෙලා. ඒ වගකීම් උපේක්‍ෂාට දැනෙනවද?

ඇයි නැත්තේ. මගේ ජීවිතේ එහෙම් පිටින් කණපිට ගැහුවා වගේ. දරුවෙක් කියන්නේ ලොකු වගකීමක්. අද වගේ සමාජයක දරුවෙක් හදනවා කියන්නේ පහසු දෙයක් නෙමෙයි. පුදුම කැපවීමක් තියෙන්න ඕන දරුවෙක් වෙනුවෙන්. මට මගේ අම්මගේ රැකවරණය විතරයි තිබුණේ. මවුපියන්ගේ වගකීම් අතහැරුණ අවස්ථා මම අත්දැක්කා. ඒ දේවල් එක්ක මම මගේ දරුවට කිසිම අඩුපාඩුවක් නොවෙන්න වගබලා ගන්නවා. දරුවා මගේ මුළු ලෝකයම කරගෙන එයාව හොඳින් හදනවා. හොඳ විනයක්, ආදරයක්, රැකවරණයක් දීලා ජීවිතේ අමාරු තත්ත්ව කියාදීලා දරුවව හදන්න මම කැපවෙනවා.

දරුවගේ තාත්තත් ඒ වගකීම් කරට අරගෙනද?

මගේ මහත්තයා කියන දේට වඩා කරන දේ ප්‍රබලයි. එයා පුදුම වගකීමක් ඉෂ්ට කරන්නේ. මම පින් කරලා තියෙනවා පරක්කු වෙලා හරි හොඳ සැමියෙක් ලබන්න. මගේ දරුවත් වාසනාවන්තයි ඒ වගේ තාත්තා කෙනෙක් ලබන්න. මම හැමදාම දෙවියන්ගෙන් ඉල්ලන්නේ මේ දේ රැකලා දෙන්න කියලා.

දැන් රංගනයට කොච්චර කල් නිවාඩු දෙනවද?

මම සෞඛ්‍යමය අතින් නිරෝගියි. හැබැයි මාස තුනක්වත් යනකල් මම දරුවා ළඟ ඉන්න ඕන. මම කලාවේ නියැළෙන්න ආසයි. මම මට කරන්න පුළුවන් නිර්මාණ ඊට පස්සේ කරනවා.

එතකොට දරුවා වෙනුවෙන් ඉෂ්ට කරන්න ඕන වගකීම් මිස් වෙන එකක් නැද්ද?

මම මොන දේ කළත් දරුවට මුල් තැන දෙනවා. මම කැමැති දරුවගේ වැඩ මගේ අතින්ම කරන්න. මගේ අම්මත් උදව් කරනවා. ඉතින් දරුවගේ වැඩවලට බාධාවක් නොවෙන්න නිර්මාණ කටයුතු තෝරගෙන කරන්න මම උත්සාහ කරනවා.

දුවගේ අනාගතය ගැන හීන ඇති?

ගුණ යහපත්, ජීවිතේ වටිනාකම දන්න දරුවෙක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

දුව කවදාහරි නිළියක් වෙනවට කැමැතිද?

ලංකාවේ හිඟමන් කලාකරුවෙක් කරන්න ආස නැහැ. මම කලාව හෑල්ලු කරනවා නෙවෙයි. ලංකාවේ කලාවට කර්මාන්තයක් විදියට පිළිගැනීමක් නැහැ. දුවගේ ආසාව මොකක්ද කියලා දැනගෙන එයාට අවබෝධයකින් හොඳ ස්ථාවරයකින් ඒ තැනට යන්න මම උදව් කරනවා.


upeksha-swarnamali-article-mother-2




තිළිණි කෞෂල්‍යා විජේසිංහ_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දුවව මට පෙන්නද්දී මට එකපාරට කියවුණා දුව මම වගේනේ කියලා"

    Post a Comment