25 March, 2017

“වෙස්ටන් මියුසික් ඉගෙන ගත්තේ රූකාන්ත බාප්පාගෙන්” ඉතාලියේ සැඟවුණු චන්ද්‍රෙල්ඛාගේ පුතා කියන කතාව

yohan perera

චන්ද්‍රලේඛා පෙරේරාට පුතෙක් ඉන්නවා කියලා බොහෝ දෙනෙකු නොදන්නවා වුණත් ඔහු ඉතාලියෙ ලාංකිකයින් දන්න ගායකයෙක්. ඔහු යොහාන් පෙරේරා. සංගීතය ඔහුගෙ ජීවිතය කර ගනිමින් ඉතාලියේම සංගීත කටයුතු කරන ඔහු සමග කළ සංවාදයක් මේ.

යොහාන් මොකද මේ ඉතාලියට වෙලා හැංගිලා?

එහෙමත් නැහැ ඉතින්. රස්සාවයි හැමදේම තියෙන්නේ ඉතාලියේ. ඉතාලිය හොඳයි කියලා හිතෙනවා. මගේ බෑන්ඩ් එක තියෙන්නේ මෙහෙ. මෙහෙත් මං මියුසික්ම තමයි කරන්නේ. වෙනම මම මෙහෙ ‘රිසෙප්ෂන් හෝල්’ එකක් එහෙමත් කරනවා. ව්‍යාපාරික කටයුතු මියුසික් වැඩ කරගන්නයි මට ඉතාලියේ ඉන්න එක ලේසියි. ලංකාවට එන්නේ නැතිව නෙවෙයි. අවුරුද්දකට සැරයක් ඇවිදින් අලුත් නිර්මාණයක් එහෙම කරලා ඇවිත් යනවා. ජිවිතේ මෙහෙ තමයි ඉතින්.

ඉතාලියට යන්නේ කොයි කාලේ ද යොහාන්?

මම ඉතාලියට ආවේ 2010දි.

එතකොට මියුසික් කරන්න පටන් ගත්තේ කොයි කාලේ ද?

ස්කොලේ යන කාලේ ඉදන් මට මියුසික් කරන්න පුදුම අමාරුවක් තිබ්බේ. මම ස්කොලේ ගියේ හලාවත ආනන්දේට. පීරියඩ් මැද්දේ සින්දු කියන්න ගිහින් ප්‍රින්සිපල් මාව කොරිඩෝව දිගේ කණෙන් ඇදගෙන ගිහින් හිටන් තියෙනවා. අපේ පන්තියේ කවුරු හරි බෙරයක් ගහනවා ඇහුනත් ඇදන් යන්නේ මාව. ඒ කාලේ ඉදන්ම එහෙමයි. මම ස්කොලේ යන කාලේ නම් රාගධාරී සංගීතය කරා. වෙස්ටන් මියුසික් නම් පොඩි දෙයක් හරි ඉගෙන ගත්තා නම් ඉගෙන ගත්තේ රූකාන්ත බාප්පාගෙන්. ඊට පස්සේ බෑන්ඩ් එකක් එහෙම පටන් ගත්තේ හරියට මියුසික් කරන්න පටන් ගත්තේ බොහොම මෑතකදී. ඒ අවුරුදු 06,07කට වගේ කලින්. මියුසික් බෑන්ඩ් එක මොකක් මගේ බෑන්ඩ් එක ‘වී’නෝ. අපේ බෑන්ඩ් එකේ මම රිදම් ගිටාර් වාදනය කරනවා. බෑන්ඩ් එක පැත්තෙන් ගත්තොත් මං ටාර්ගට් කරන්නේ යුරෝපේ තියෙන ප්‍රසංග. යුරෝපය ඇතුළේ තියෙන ගොඩක් ප්‍රසංග අපි කවර් කරනවා. ලංකාවේ නම් ගොඩක් බෑන්ඩ්ස් තියෙන විශාල තරඟයක් තියෙනවනේ. ඉතින් මේ රටවලටත් ලංකාවේ බෑන්ඩ් ආවට මෙහෙ අයට අපිව තෝරා ගන්න ලේසියි. මොකද ලොකු වියදමක් යනවා මෙහෙ අයට ලංකාවෙන් බෑන්ඩ් එකක් වෙනම ගේන්න ගියාම. බෑන්ඩ් එකේ අපිට 08 දෙනෙක් ඉන්නවා. අපිව සම්බන්ධ කරගන්නවා නම් අපේ ‘ෆේස්බුක් පේජ්’ එක තියෙනවා, එහෙම නැතිනම් මාව සම්බන්ධ කරගන්නත් පුළුවන්. අපේ ‘යු ටියුබ්’ චැනල් එකක් තියෙනවා. යොහාන් පෙරේරා විත් විනෝ කියලා. ඒ හරහා අපේ නිර්මාණ රසවිඳින්නත් පුළුවන්.

ලංකාවට ඇවිදින් නිර්මාණ කරලා යනවා කිව්වානේ. මොනවද ඒ නිර්මාණ ?

දැනට මම ගිය අවුරුද්දේ ඇවිදින් සින්දු දෙකක් ඉවර කරා. එකක් තමයි දෙයක් කියන්නම් සද සාවියේ, සුන්දරයි මගේ ජිවිතේ. කියන සින්දු දෙක. ඒකට ලැබෙන ප්‍රතිචාර සෑහෙන්න හොදයි. ලංකාවේ ඒ සින්දු දෙක ‘ප්ලේ’ වෙනවා. නමුත් අපි ලංකාවේ නැති වීම නිසා ඒ සින්දු ගොඩක් වෙලාවට මිනිස්සු අතරට යනවා අඩුයි. මේ අවුරුද්දේ මම එනවා ලංකාවට. මේ පාර ඇවිල්ල ඒ සින්දු ටිකත් ‘අප්’ කරලා තව සින්දු ටිකක් කරලා යන්න ඕනි. ඒ වගේම මේ අවුරුද්දේ අම්මිලා කරන ‘රූ සද රෑ’ ප්‍රසංගයත් තියෙනවා ජුලිවල. ඒ ප්‍රසංගයේ ‘සින්ග්’ කරන්නත් එක්ක මම මේ අවුරුද්දේ ලංකාවට එනවා.

ලංකාවේ හිටියා නම් මීට වැඩිය දුර ගමනක් යන්න තිබුණා කියලා හිතෙන්නේ නැද්ද?

ලංකාවේ හිටියා නම් මෙහෙමයි. මියුසික් පැත්තෙන් ඇත්තෙන්ම ගොඩාක් දුර ගමනක් යන්න තිබ්බා. මොකද ඒකට හේතුව අම්මලාගේ උදව් එක්ක අම්මලත් ලංකාවේ හොද තැනක ඉන්න නිසා බොහොම ඉක්මණින් හොඳ තැනකට එන්න තිබුණා. නමුත් ඒ පැත්තට වඩා මට ගොඩක් ව්‍යාපාරික පැත්තෙන් ගොඩක් දේවල් කරගෙන තියෙනවා. ලංකාවේ හිටියා නම් මම මට කියලා ‘සවුන්ඩ් සෙට් අප්’ එකක් ජීවිතේට හදන්නේ නැහැ. ඉතින්, මෙහෙ මම ලොකු ‘රිසෙප්ෂන් හෝල්’ එකක් හදනවා. ලංකාවේ හිටියා නම් මම මගේ ජීවිතේ මේ වගේ තැනක් හදා ගන්න උත්සාහ කරන එකක් නැහැ කවදාවත්. හැමදාම සින්දු කියා කියාම ඉඳීවී.

අම්මා එක්ක එකතු වෙලා සින්දුවක් කරන්නේ නැද්ද ?

අම්මි එක්ක සින්දුවක් කරන්න ආසයි. කරන්නත් ඕනි. මම අම්මි එක්ක කියලත් තියෙනවා. වැඩේ ඇවිල්ලා අපි හම්බෙන්නේ බොහොම කලාතුරකින්. අම්මි ඉන්නේ ඇමරිකාවේ. මම ඉන්නේ ඉතාලියේ. මගේ අක්කා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. රයිනි නංගි ඉන්නේ ලංකාවේ. අපි හතර ගොල්ලෝ හතර පැත්තක ඉන්නේ. අපේ අම්මි මේ පැත්තේ ‘ෂෝ’ එකකට එහෙම ආවොත් ටක් ගාලා ඇවිල්ලා, මාව බලලා එහෙම යනවා. මම ලංකාවට යනවා නම් අපේ අම්මිලා ලංකාවට එනවා. කරන්න පුළුවන්, බැරි කමක් නැහැ. ඒත් ඕකට වෙලාවක් නිදහසේ හදා ගන්න එක තමයි අමාරු. අනිවාර්යෙන් මැරෙන්න මොහොතක් තියලා හරි අම්මා එක්ක සින්දුවක් කියනවා.

යාමි අක්කානම් ඉස්සර ක්ෂේත්‍රයේ පේන්න හිටියා. හැබැයි දැන් එයත් නැහැ නේද?

අක්කා බැඳලා එයාගේ හස්බන්ඩ් සුසන්ත එක්ක හොඳට ඉන්නවා ඕස්ට්‍රේලියාවට වෙලා. බබාලා තුන් දෙනෙකුත් ඉන්නවා දැන්. මේ රටවල්වල ඉද්දි මම කරන්නේ මගේ ජොබ් එක මියුසික් නිසා මට ප්‍රශ්නයක් නැහැ. එයාල එහෙ වෙන ජොබ් කරන ගමන් පවුලේ දේවල් එක්ක මියුසික් කරන්න ටිකක් අමාරුයි.

යොහාන්ගේ ජිවිතේට පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය මොන වගේ ද?

මියුසික් පැත්තෙන් සහයෝගයක් මම එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. උදව්වක් විදියට ගත්තොත් නම් ඉතින් රූකාන්ත බාප්පා “පුතේ මේ සින්දුවක් තියෙනවා ටක් ගාලා මෙහෙම කරමු” කියලා කරනවා. මගේ දෙයක් කියන්නම් ‘සඳ සාවියේ’ ගීතය නිර්මාණය වුණෙත් එහෙම. ඒ ඇරෙන්න අපි අරයාට කියලා අරහෙම මෙහෙම කරගන්නවා කියන තැන ඉඳලා නැහැ කවදාවත්. අපේ ගෙදර හැමෝම තමන්ගේ තමන්ගේ දක්ෂතාවය අනුව ඉස්සරහට එනවා.

yohan perera-02

උපුටා ගැනීමකි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“වෙස්ටන් මියුසික් ඉගෙන ගත්තේ රූකාන්ත බාප්පාගෙන්” ඉතාලියේ සැඟවුණු චන්ද්‍රෙල්ඛාගේ පුතා කියන කතාව"

    Post a Comment