08 January, 2017

ලෝකල් මුජිකාට වඳුරෝ කොටයිද?

local-mujica-monkey-butts

පසුගිය වසර දෙක පුරාවට රට පුරා පැතිරුණු මහජනතාවට අතිශයින්ම පීඩාකාරී වූ වර්ජන, තර්ජන, ගර්ජන පිළිබඳව කතා කෙරුණු හැම විටෙකම දේශපාලන මතධාරීන් පැවැසූ ප්‍රධාන පොදු සාධනීය කරුණක් වූයේය. එනම් ඊනියා වර්ජන, තර්ජන, ගර්ජන පිටුපස අදිසි දේශපාලන බල හස්තයන් තිබෙනා බවය. පසුගිය සතියේ මේ අදිසි දේශපාලන බල හස්තය නමැති බළලා මල්ලෙන් එළියට පැන්නේය.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මාධ්‍ය හමුවේ කියා සිටියේ තමා මේ ආණ්ඩුව පෙරළා දමන බවය. මෙතෙක් හැංගි, හැංගි බැඳි රාජ්‍ය විරෝධී නාඩගම දැන් ප්‍රසිද්ධියේම නටන තත්ත්වයට පැමිණ ඇත්තේය.

දැන් යහපාලන රජයට වසර දෙකකි. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරය හැරදමා නව නගර ශාලාවට පැමිණි මෛත්‍රිපාල සිරිසේන නම් වූ පොදු අපේක්ෂකයා හැඟුම්බර කතාවක් ජනතාව ඉදිරියේ පැවැසුවේය. එවක රජයේ ප්‍රබල ඇමැති ධුරයක් සහ පක්ෂ ලේකම් ධුරය දරමින් සිටියදී තමා මානසික පීඩනයට සහ අපහාසයට පත්වූ අයුරු ඔහු ජනතාව හමුවේ තැබුවේ ඉතා සංවේදීවය.

මෛත්‍රිපාල සිරිසේනට වුවමනා වූයේ ශ්‍රී ලංකාවේ හොසේ මුජිකා වන්නටය. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වූ පසු ඔහුට අවශ්‍ය වූයේ අසීමිත වූ ඒකාධිපති බලය අතහරින්නටය. අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්නටය.

තමන් සතු අසීමිත බලය ඉවත් කිරීමට ජනපති මෛත්‍රි ගෙන ආ 19 වැනි සංශෝධනයට ඊනියා වහසි දෙටුවෝ විරුද්ධ වූහ. උත්තරීතර පාර්ලිමේන්තුව රාත්‍රි සමාජ ශාලාවක සිරිය ගත්තේය.

බලය අතහරින්නකුට විරුද්ධව බලයට අතිශයින්ම කෑදර වූ, තණ්හාධිකයකුගේ නිරුවත මේ නිහීන විරෝධය තුළ පැහැදිලිව තහවුරු වූයේය. ජනපති මෛත්‍රිපාලට 19 වැනි සංශෝධනය සම්මත කරගත හැකි වූයේ කනින් කොනින්ය. එයද අතුරු ආබාධ සහිතවය.

බලය අතහැරීම, අල්පේච්ඡ ජීවිතයක් ගෙවීමේ ගොවියා පුතු මෛත්‍රිපාලගේ හොසේ මුජිකා සිහින කෙමෙන් බිඳ වැටෙමින් තිබේ.

හොසේ මුජිකා යනු උරුගුවේ රාජ්‍යයේ හිටපු ජානාධිපතිවරයාය. උරුගුවේ රාජ්‍යයේ මිලියන 3.3ක ජනගහනයක් වෙසෙති.

ජනතා වරමකින් හොසේ මුජිකා උරුගුවේ ජනාධිපති වූයේ 2009 වසරේදීය. ඔහු බලයට පැමිණියද තමන්ගේ ජීවන චර්යාව අබමල් රේණුවක වෙනසකට ලක් නොකළේය.
ගරා වැටුණු නිවාසයට අමුණන ලද රෙදි සෝදන ස්ථානයට ජලය සැපයෙන්නේ පිටුපස ලඳු කැලෑවේ පිහිටි ළිඳෙනි.

ගරා වැටුණු, නිවෙසේ වසන උරුගුවේ ජනාධිපතිවරයාගේ බිරියගේ ආරක්ෂාවට සිටිනුයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ 'මැනුවෙලා' නමැති පාද තුනක් ඇති බල්ලා පමණි. ජනතාව 'පොපේ නමැති සුරතල් නාමයෙන් හඳුන්වන උරුගුවේ ජනාධිපති හොසේ මුජිකා සිය සුව පහසු ජනාධිපති මන්දිරය අතහැර සිය බිරියටද අයිති උරුගුවේ අගනගරය වන මොන්ටේ වීඩියෝ නගරයට පිටතින් පිහිටි ගොවිපොළේ කුඩා නිවෙසේ ලැගුම් ගෙන අල්පේච්ඡ ජීවිතයක් ගත කරයි.

උරුගුවේ ජනාධිපතිවරයා සිය මාසික වැටුපෙන් සියයට අනූවක්ම තම රටේ සමාජ සේවා කටයුතු වෙනුවෙන් ප්‍රදානය කර තිබේ. හොසේ ජනාධිපතිගේ මාසික වැටුප පවුම් 7,500කි. පුණ්‍ය කටයුතු සඳහා මුදල් පරිත්‍යාග කළ පසු ඉතිරි වන සියයට දහය වන්නේ පවුම් 485ක් තරම් වන සුළු මුදලකි. එය සාමාන්‍ය උරුගුවේ ජාතිකයකු ලබන මාසික වැටුප වන ඩොලර් 775කට සමාන මුදලකි.

2009 වසරේ ජනාධිපතිවරණයෙන් ජයගත් හොසේ මුජිකා 1960-70 දශකයේ කියුබානු විප්ලවයෙන් ජව ගැන්වුණු වාමාංශික ආයුධ සන්නද්ධ ගරිල්ලා කණ්ඩායමක් වූ 'ටුපාමාරොස්' හි සාමාජිකයකු වූයේය. සීනි කර්මාන්තශාලාවල දුප්පත් කම්කරුවන්ගෙන් සහ සිසුන්ගෙන් සැදුම්ලත් 'ටුපාමාරොස්'හි සෙබළකුව සිටියදී සය වතාවක් වෙඩි කෑ මුජිකා රාජ්‍ය විරෝධී ගරිල්ලා කණ්ඩායමක සාමාජිකයකු වීම නිසා වසර 14ක් හිරබත් කෑවේය. එක් අවස්ථාවක වසර දෙකකට වැඩි කාලයක් ඔහු ළිඳක් තුළ සිරකරනු ලැබුවේය. උරුගුවේ රාජ්‍ය හමුදා පාලනයෙන් මිදී 1985දී ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙද්දී මුජිකාට නිදහස ලැබිණි.

ජනාධිපති මුජිකාගේ ගොවිපොළේ නළ ජල පහසුකම් නොමැති නිසා වතුර ඇද ගැනීම සිදු කරන්නේ ඔහුමය. රෙදි සේදීම, කෑම පිසීම ආදී ගෙදර දොරේ වැඩකටයුතු සිදු කරගන්නේද මුජිකා විසින්මය. රෙදි වේළාගන්නට රෙදි සෝදන යන්ත්‍රයක් නොමැත. රෙදි වේළාගන්නේ වැලට දැමීමෙනි.

ජනාධිපති හොසේ මුජිකා රාජකාරි සඳහා අගනුවරට පැමිණෙන්නේ ගොවිපොළේ සිටය. ඒ 1987 වසරේ නිෂ්පාදනය කෙරුණු වොක්ස්වැගන් බීටල් මෝටර් රථයෙනි. ගොවිපොළේ වැඩකටයුතු සඳහා මුජිකා සතුව ට්‍රැක්ටරයක් ඇත්තේය.

2010 වසරේදී උරුගුවේ ජනාධිපතිගේ වත්කම් ප්‍රකාශනය අනුව ඔහුගේ වත්කම ඩොලර් 1,800කි. එය ඔහුගේ මෝටර් රථයේ මිලට සමානය. 2014 වසරේ වත්කම් ප්‍රකාශනයට ජනාධිපති හොසේ මුජිකා සිය බිරියගේ වත්කම වන ගොවිපළ ඉඩම, ට්‍රැක්ටරය සහ නිවෙසද ඇතුළු කර මුළු වත්කම ඩොලර් දෙලක්ෂ පහළොස් දහසක් ලෙස දක්වා ඇත.

'ලෝකයේ දුප්පත්ම ජනාධිපති කියලා මට කියනවා. නමුත් මට දුප්පත් බවක් දැනෙන්නේ නැහැ. මිල අධික ජීවිතයක් ගෙනියන්න උත්සාහ කරන අයයි දුප්පත්. ආශාව අඩු වුණහම ඔබට ඔබ ගැන සිතන්න කාලය එනවා. ඔබට මාව විකාර මහල්ලෙක් වගේ පෙනේවි. නමුත් මම නිදහසේ ජීවත් වෙනවා.'
ජනාධිපති මුජිකා සැහැල්ලුවෙන් පවසයි.

ජනපති මුජිකාගේ වොක්ස්වැගන් බීටල් රථය අරාබි රාජ කුමාරයකු ඩොලර් මිලියනයකට මිලදී ගැනීමට කැමැත්ත පළ කර ඉල්ලුම් කළේය.

'මම මගේ තාත්තාගේ සවල සහ මිටිය තවමත් පණ වගේ සුරැකිව තබා ගෙන සිටිනවා. ඒ වගේම තමයි මගේ කාර් එක. එය මගේ ජීවිතය. එය මං කුමන හේතුවක් නිසාවත් විකුණන්නේ නැහැ. මගේ කාර් එක වර්තමානයේ මිලෙන් අඩු වුවත් මගේ ජීවිතයේ එයට ඉහළ වටිනාකමක් තියෙනවා'
අරාබි රාජකුමාරයාට ජනාධිපති මුජිකාගේ පිළිතුර එසේ වූයේය. උරුගුවේ නීතිය අනුව ජනාධිපති මුජිකාගේ ධුර කාලයේ 2014 අවසන් වූයේය. යළිත් වරක් ජනාධිපති ධුරයට පත්වීමට ඔහුට නීතියෙන් ඉඩක් නොලැබේ. ඉඩක් ලැබුණද තමා ඉදිරිපත් නොවන බව මුජිකා පැවැසුවේය.

එසේ හෙයින් මේතාක් කාලයක් අර්ධකාලීන ගොවියකු ලෙස සරල ජීවිතයක් ගෙවූ උරුගුවේ ජනාධිපති හොසේ මුජිකා සම්පූර්ණයෙන්ම ගොවිපොළ ජීවිතයට පිවිසියේය. 2015 වසර ලබන විට සිය ගොවිපොළේ නිවෙස ඉදිරිපිට පැරැණි පුටුවක සිය පාද තුනේ ආරක්ෂකයා වූ 'මැනුවෙලා' සුනඛයාද පසෙකින් තබා වාඩිගෙන සිටින ලොව දුප්පත්ම ජනාධිපතිවරයා ලෙස විරුදාවලි ලැබූ හොසේ මුජිකා දැක ගත හැකි විය.

දේශපාලනයට පිවිස වස්තුව රැස්කළ ටියුනීසියාවේ හිටපු ජනපති බෙන් අලි සහ සරල දිවිපෙවෙතක් ගෙවූ උරුගුවේ හොසේ මුජිකා අතර ජීවිත පරස්පරය කෙතරම්ද?

ගොවි ජනපද ව්‍යාපාරය යටතේ අතිශය දුෂ්කර සමයක පොළොන්නරුවට සංක්‍රමණික වූ ගොවියකුගේ පුතකු වූ මෛත්‍රිපාල සිරිසේන වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වූයේය. ඔහුගේ වෘත්තිය වූයේ ග්‍රාම නිලධාරිකමය. ගතකළේ සුව පහසු ජීවිතයක් නොවේ. අතිශය කටුක දිවිපෙවතකි. තවමත් ඔහුට ඒ අතීතය හොඳින්ම මතකය. ඔහු ජනාධිපති මන්දිරයේ පදිංචියට ගියේ නැත. කොළඹින් මහා පීකොක් මන්දිර මිලදී ගන්නට තැත් කළේද නැත. ජනපති ධුරයෙන් පසු පොළොන්නරුවේ මහ ගෙදර තමාට සුවදායක වන බව තවමත් නිහතමානීව පවසන්නේය. ජනපති මෛත්‍රි නිහතමානි සරල බව ප්‍රජාතන්ත්‍රවාදී බව බල වැද්දෝ හෑල්ලුවට ගෙන ඇති බව නම් පෙනේ.

ජනපති මෛත්‍රි, අගමැති රනිල් යහපාලන ආණ්ඩුවේ නිදහස් මත දැරීමේ පිළිවෙත නිසා අද බලවැද්දෝ ජනපති පතුරු ගසති. කුණු බැනුම් බනිති. එදා අවනීතික දණ්ඩන සමයේ දෙකොනම දෑතින් තද කර ගෙන සිටි බත් බැලයෝ අද පිනුම් ගසමින් ජනපතිට අපහාස අවලාද නඟති. යහපාලන ආණ්ඩුවේ දෝරෙ ගලන ප්‍රජාතන්ත්‍රවාදී නිදහස හමුවේ බාල් නටන්නේ එදා අවනීතික රජයේ ගොළුවෝය.

ජනාධිපති මෛත්‍රි ආරක්ෂා කරන මුවාවෙන් තැන තැන නන්‍ෙදාඩවන වඳුරු ආරක්ෂකයන් කිහිපදෙනකු පක්ෂය තුළම සිට ජනපති - අගමැති සහජීවනයට අකුල් හෙළන්නේය.

එදා 2015 අගෝස්තුවේ මහින්ද රාජපක්ෂගේ නොනිල නායකත්වයෙන් යුතු සන්ධානය ජය නොගතහොත් තමන් වස බොන බව ප්‍රකාශ කළ ඩිලාන් පෙරේරා වැන්නකු තමන්ගේ පක්ෂයේ ප්‍රකාශකයා ලෙස පත්කිරීමට තමන්ට මඩ ගා ගැනීමක් බව ජනපති මෛත්‍රිට තම පාලනයට දෙවසර පිරෙන මොහොතේවත් තේරුම් යා යුතුය. පැරැණි ජන කතාවට අනුව වඳුරා රජුගේ සිරුරේ වැසූ මැස්සකු එළවීම සඳහා කඩුව භාවිත කළ නිසා රජු මරු දුටුවේය. එහෙත් යහපාලන විරෝධී ප්‍රකාශ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇතැම් මැති ඇමැතිවරුන් දේශපාලනඥයන් කරන ප්‍රකාශ තුළ අර වඳුරා තුළ තිබූ අවංකකමවත් නොමැත.

බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය පසුගියදා මෙසේ පවසනු මාධ්‍ය තුළින් දැකගත හැකි වූයේය.
'මේ පක්ෂ දෙකේ හඳහන් ගැළපෙන්නේ නෑ. තවත් දිගට මේ දීගය කන්න බැහැ. මට හිතෙන්නේ පළාත් පාලන මැතිවරණය තරම්වත් මේ දීගය කන්න ලැබෙන එකක් නෑ'

මෙසේ කියන්නේ කොහේදෝ මුල්ලක සිටියදී මහ ඇමැතිකම ජනපති මෛත්‍රි විසින් අඬගසා දුන් ඉසුර දේවප්‍රියය.

මහින්ද රාජපක්ෂගේ ඊනියා රජය පෙරැළීමේ බියකරු සිහිනය සැබැවි. දේශපාලන කුණාටුවකින් රටේ බල පෙරැළියක් සිදුවී යළිත් රාජපක්ෂ රෙජීමයට පාලනය අත්පත් වන්නේ යැයි අබ ඇටයක තරමින් හෝ සිතුවහොත් මේ මැති ඇමැතිවරුන් මෛත්‍රිපාල සිරිසේන අත්හැර මහින්ද රාජපක්ෂ දෙපාමුල පොදි කකා වැඳ වැටෙනු හරි අපූරුවට දැකගත හැකි වනු ඇත.

එපමණක් නොවේ මහින්ද රාජපක්ෂ කියන ඕනෑම චෝදනාවක් මෛත්‍රිපාල සිරිසේනට එල්ල කිරීමට කිසිසේත්ම පසුබට නොවනු බව ඒකාන්ත නියතයකි.

මේ සරල සත්‍ය වටහා ගන්නට තමන්ගේ පාලනයට දෙවසර පිරෙනදා ජනපති මෛත්‍රි සමත් විය යුතුය.
උතුරේ ජාතිවාදී ප්‍රශ්නයක් ඇති කිරීමට දරන උත්සාහයන්ට සමගාමීව දකුණේ ආගම්වාදී ප්‍රශ්නයක් ඇති කිරීමට මේ දිනවල උත්සාහයක් දරන බව පෙනේ.

නර්ස් නිකායේ මහනායකවරුන්ගේ සංඝ ආඥාවද එවැන්නකි. මේ රට යළිත් ජාතිවාදී, ආගම්වාදී, විනාශයකට නොයා යුතුය. අර්බුද මාලාවක් නිර්මාණය කිරීම අගතිගාමී බලලෝභීන්ගේ එකම අරමුණය.

හම්බන්තොට වරාය සිද්ධිය පිළිබඳව සන්ධානයේ ලේකම් ඇමැති මහින්ද අමරවීර මාධ්‍යයට පැවැසුයේ සබුද්ධික වූ ජනතාව සහ පාලකයන් දෙවරක් සිතිය යුතු අදහසකි.

'හම්බන්තොට වරාය විකුණන බව කියන එක අසත්‍ය ප්‍රකාශයක්. කිසිදු ආකාරයකට සම්පත් විකිණීමකට අප ඉඩ දෙන්නේ නැහැ. තාම අවසන් ගිවසුමකට එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලයටවත් තාම ඇවිත් නැහැ. මේ රටේ ඉඩම් විකුණන කිසිම තීන්දුවක් ගන්න මෛත්‍රිපාල ජනාධිපතිතුමාවත් අපිවත් ඉඩ තියන්නේ නැහැ. දැනට තියෙන්නේ නිලධාරි මට්ටමේ සාකච්ඡා. දැනට තීන්දුවක් අරගෙන තියෙනවා අමාත්‍ය මට්ටමේ කමිටුවක් පත්කරන්න. මේ කමිටුව තමයි ඉදිරියේදී අධ්‍යයනය කරලා කැබිනට් මණ්ඩලයට වාර්තා කරන්න බලාපොරොත්තු වෙන්නේ.'

'මට එක දෙයක් පේනවා. මේක හරහා ගැටුමක් නිර්මාණය කරන්න හමුදාව පොලිසිය ගෙන්නලා වෙඩි තියාගන්න වුවමනා කණ්ඩායමක් ඉන්න බව අපිට පේනවා. මිනිස් ජීවිත බිල්ලට දෙන සැලසුමක් තිබෙන බව අපිට වාර්තා වෙනවා.'

අමරවීර ඇමැතිතුමාගේ කතාව හරියටම හරිය. ඒ දැක්ම නිවැරැදිය.

බලයෙන් මත් වූ අන්තවාදී බලලෝභීන්ට මිනිස් ජීවිතවල කිසිදු වටිනාකමක් නැත. ලේ සාගරයක පිහිනා හෝ ඔවුන්ට අවශ්‍ය කෙසේ හෝ බලය ලබා ගැනීමය.

භීතියේ ගංවතුර මැඬලනු පිණිස අපේ රටේ ජනතාව ධෛර්යයේ සහ සත්‍යයේ පවුරු බැඳගත යුතු තීරණාත්මක මොහොතකට යහපාලනයේ දෙවසරට පැමිණි මොහොතේ පිවිස ඇති පමණක් පැවැසිය හැකිය.
මේ බල වියරුවේ තණ්හාධික රකුසු ස්වරූපය මෛත්‍රි - රනිල් පාලනයට දෙවසර පිරෙන මොහොතේ වහ වහා තේරුම් කර දිය යුතුම වන්නේය.

_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලෝකල් මුජිකාට වඳුරෝ කොටයිද? "

    Post a Comment