16 January, 2017

අපි ඉන්නෙ අවාසනාවන්ත තැනක

duminda-dissanayaka-article-2017-01-16

2020දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ ශ්‍රී .ල.නි.ප. අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනව ඔබ යෝජනා කළේ ඇයි..?

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුද තවදුරටත් පවත්වාගත යුතුද කියන කාරණය සම්බන්ධයෙන් අපේ පක්ෂය තුළ සාකච්ඡාවක් ඇතිවී තිබෙනවා. ඉදිරියේදී සිදුකිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයේදී පළාත් සභාවලට ලබාදෙන බලය වැඩි කිරීමට යෝජනා වී තිබීම නිසා එහිදී විධායක ජනාධිපති ධුරයේ කාර්යභාරය වැදගත් විය හැකි බවට අදහසක් මතුවී තිබෙනවා.

බලය බෙදාහැරීමේ සීමාව ගැන අවසන් තීරණයකට තවමත් පැමිණ නැහැ. එනිසා විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරනවද..? බලතල තවදුරටත් කප්පාදු කරනවද..? කියන එක ගැන තීරණයක් අරගෙන නැහැ. 19 වැනි සංශෝධනයෙන් අපි ජනාධිපති බලතල අඩු කළා. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස පොරොන්දු වුුවද ජනමත විචාරණයකට තුඩුදෙන සංශෝධනයන් නොකරන බව "මෛත්‍රි පාලනයක්" ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් කර තිබුණා. 19 වැනි සංශෝධනයට එහා යනවා නම් ජනමත විචාරණයකට යෑමට සිදුවෙනවා. දැන් එතැන තමයි අපි නැවතිලා ඉන්නේ.

මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස පැහැදිලිව සඳහන් කළා යළි ජනාධිපතිවරණයක් පැවැත්වුවද තමන් තරග නොකරන බව..?

2020 ජනාධිපතිවරණයක් පැවැත්වීමට සිදුවෙයිද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. හදිසියේ පැවැත්වුණොත් ශ්‍රී .ල.නි.ප.යට ඉන්න සුදුසුම අපේක්ෂකයා තමයි මෛත්‍රිපාල සිරිසේන මහත්තයා. අපේ පක්ෂයේ නායකයා. අපි නම යෝජනා කළේ එතුමගෙන් අහල නම් නෙමේ.

එහෙත් ශ්‍රී .ල.නි.ප. මුල සිටම දැරූ ස්ථාවරයක් වුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවයි. ඔබේ පක්ෂයේ හිටපු නායකයන් වුණ සිරිමාවෝ මැතිනිය, චන්ද්‍රිකා කුමාරතුංග හා මහින්ද රාජපක්ෂ සෑම ජනාධිපතිවරණයකදීම පෙනී සිටියේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නේද..?

ඔව්. එහෙත් ශ්‍රී .ල.නි.ප.ට ආණ්ඩු බලය හිමිවීමෙන් පසු විවිධ හේතුන් නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නොහැකි වුණා. චන්ද්‍රිකා ජනාධිපතිනිය එදා ඉදිරිපත් කරපු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන ව්‍යවස්ථා කෙටුම්පතට එ.ජා.ප.ය විරුද්ධ වීම නිසා ඒක සම්මත වුණේ නැහැ.

අනතුරුව බලයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතාට යුද්ධය නිසා ඊට අවස්ථාව ලැබුණේ නැහැ. 18 වැනි සංශෝධනයෙන් ඔහු ජනාධිපතිවරණයට වාර දෙකකට වැඩි ගණනක් ජනාධිපතිවරයාට ඉදිරිපත් විය නොහැකිය යන වගන්තිය ඉවත් කිරීම හරහා මතුවූ අර්බුදය නිසා තමයි හදිසි ජනාධිපතිවරණයකට මහින්ද මහත්තයා ගියේ. ශ්‍රී .ල.නි.ප. යේ මහලේකම් මෛත්‍රිපාල සිරිසේන සමඟ ආණ්ඩුවෙන් අපි එළියට බැස්සේ වෙනසක් අවශ්‍යව තිබූ නිසයි. පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ඉදිරිපත් වුණේ ඒ වෙනස කිරීමටයි.

දින සියයේ වැඩපිළිවෙළ යටතේ ජනාධිපතිතුමා 19 වැනි සංශෝධනය සකස් කරලා සම්මත කරගැනීමෙන් පෙරොන්දු ඉටුකළා. අධිකරණය සීමා පැනවීම නිසයි පුළුල් බලතල කප්පාදුවකට යා නොහැකි වූයේ. ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටයි.

අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමේදී හෝ ව්‍යවස්ථා සංශෝධනයකදී ජනමත විචාරණයකට යෑමට ශ්‍රී .ල.නි.ප. විරුද්ධද..?

නැහැ. එහෙත් "මෛත්‍රි පාලනයක්" ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේද සඳහන් කර ඇත්තේ ජනමත විචාරණයකට යෑමට සිදුවන ව්‍යවස්ථා සංශෝධනයක් නොකරන බවයි.

ඒ කියන්නේ ඉදිරියේදී නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන්නෙත් නැහැ. පුළුල් ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවන්නෙත් නැහැ කියන එකද..?

ව්‍යවස්ථාවක් අලුතෙන් හදලා සම්මත කර ගන්නවා කියන එක අසීරු වැඩක්. චන්ද්‍රිකා මැතිනිය ගත් උත්සාහය සාර්ථක වුණේ නැහැ. එදා එ.ජා.ප.ය, ජ.වි.පෙ ඇතුළු විවිධ කොටස් ඊට විරුද්ධ වුණා. අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නැහැ කියලා තමයි අද සමහරුන් කියන්නේ. අඩුම ගණනේ ඔවුන් පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටත් කැමැති නැහැ. 19 වැනි සංශෝධනයේදී පවා ආණ්ඩුව ඇතුළේම පරස්පරතා මත මතුවුණා. විපක්ෂය සංශෝධන යෝජනා රැසක් ඉදිරිපත් කළා. එහෙමනම් පුළුල් ව්‍යවස්ථා සංශෝධනයකට යෑමේදී කෙතරම් විරෝධතා එල්ල වෙයිද..?

දැනටමත් කෙතරම් විරෝධතා එල්ල වී තිබෙනවාද..? 1978 ව්‍යවස්ථාව එක්ක පෙරට යා නොහැකියි කියලා රටේ අති බහුතරය පිළිගන්නවා. එහෙත් ව්‍යවස්ථා සංශෝධනවලට සමස්තයේම එකඟතාව අවශ්‍යයි. ඇතැම් කාරණාවලට පාර්ලිමේන්තුවේ සියලුදෙනා එකඟ වුවද ඇතැම් කාරණාවලට සමහරුන්ගේ එකඟතාව නැහැ.
ශ්‍රී ල.නි.ප.යේ පිරිසක් එකතුවෙලා අලුත් පක්ෂයක් හදාගෙන නේද..?

ඔව්. සුළු පිරිසක් එතැන ඉන්නවා. ඔවුන් ශ්‍රී .ල.නි.ප. සාමාජිකයන් ඒ වටා එකතු කර ගන්න හදනවා. අපි පාක්ෂිකයන්ට කියන්නේ ශ්‍රී .ල.නි.ප.ය එකදිගට අවුරුදු 20ක් රට පාලනය කළා. මේ වෙනකොටත් අපි හවුල් ආණ්ඩුවක ඉන්නවා. අපේ පක්ෂයේ නායකයා රටේ ජනාධිපතිවරයා. ආණ්ඩුවේ ඉන්න ඒ වගේම විපක්ෂයේ ඉන්න ශ්‍රී .ල.නි.ප.යේ සියලුදෙනාට තියෙන ලොකුම හයිය පක්ෂයේ සභාපති ජනාධිපති වීමයි. පුද්ගලයෙක් පස්සේ හඹා ගිහින් වැඩක් නැහැ. ප්‍රතිපත්ති හා අනාගත වැඩපිළිවෙළ මතයි පාක්ෂිකයාට ඉදිරි ගමනක් තියෙන්නේ.

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම ශ්‍රී ල.නි.ප.යට චෝදනා කරනවා රට බෙදීමට එ.ජා.ප.යට උදවු කරනවා කියලා. චෝදනාව පිළිගන්නවාද..?

අපිට ඕනෑකමක් නැහැ ඒගොල්ලන්ට උත්තර බඳින්න. මේ වගේ චෝදනාවලට හේතුව ආණ්ඩුවේ මතය සමාජගත නොවීම. ඒක අපේ වැරැද්ද. ආණ්ඩුව කරන සංවර්ධන වැඩ, බලය බෙදීම ඇතුළු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ගැන, අනාගත සැලැසුම් ජනතාවට පැහැදිලි කරදීම සිදුවෙන්නේ අඩුවෙන්. ආණ්ඩුවේ මතය කියලා සමාජගත වෙන්නෙ එක එක්කෙනාගේ පෞද්ගලික අදහස් උදහස්. අනෙක් පැත්තෙන් දේශපාලන පක්ෂවලට වගකීමක් තිබෙනවා ජනතාව මුළා නොකර යථාර්ථයත් එක්ක කටයුතු කිරීමට. "බලය" වෙනුවෙන් යම් පක්ෂයක්, යම් කණ්ඩායමක් බොරු ප්‍රචාර, වැරැදි මත රටට කියනවා නම් එක අතකට ‍දොස් කියන්න බැහැ. ආණ්ඩුව දැනගන්න ඕනෑ ඒවාට පිළිතුරු දෙන්න.

හම්බන්තොට සිද්ධියත් මේ දුර්වලකමේ ප්‍රතිඵලයක්ද..?

හම්බන්තොට වෙන්නේ මොකක්ද?; ආණ්ඩුවේ මතය රටට කියන්න ඕනෑ. ආණ්ඩුව මේ කරන්න යන්නේ මොකක්ද ඒක හොඳ වැඩක්ද නරක වැඩක්ද කියලා. සමහර වෙලාවට එදා පාරට බැස්ස ජනතාව තමන්ගේ ඉඩම නැතිවෙයි කියන බයට ආපු අය වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ ව්‍යාපෘතියට ඒ අයගේ ඉඩම අයත් නොවෙන්නත් පුළුවන්. මේ හම්බන්තොට ජනතාව කර්මාන්තපුරයක් හදන්න මහින්ද රාජපක්ෂ මහත්වරුන් සැලසුම් කළ බව මීට කලින් සාකච්ඡා කරපු බව මීට කලින් ඉඩම් අඳුනගත්තු බව මේ සියල්ලම දන්නවා. ආණ්ඩුවේ මතවාදය වැඩපිළිවෙළ මොකක්ද කියන එක අපි හරියට සමාජගත නොකිරීම නිසා වෙනත් මතවාදවලට පිළිගැනීමක් ලැබිලා තියෙනවා. සමහර වෙලාවට මමත් සමහර දේවල් දකින්නේ පත්තරෙන්.

විදේශ ආයෝජනවලට ශ්‍රී .ල.නි.ප.යෙන් විරෝධතා මතුවෙන්නේ එ.ජා.ප.යට විරුද්ධ වීමක් ලෙසටද..?
අපි පුරුදුවෙලා හිටියෙ ජනාධිපති ධුරය සහ මුදල් ඇමැති ධුරය එක් පුද්ගලයකු ළඟ තිබීම ගැනයි. එවැනි තත්ත්යක් උඩ මූල්‍ය කටයුතු පිළිබඳ හැම කාරණාවක්ම ප්‍රකාශ වුණේ රාජ්‍ය නායකයාගෙන්.

හැබැයි දැන් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විධායක බලතල අයින් කරගන්න හදනවා වගේම මුදල් අමාත්‍යාංශයට වෙනම ඇමැතිවරයකු, අනෙකුත් අමාත්‍යාංශවලට වෙනම ඇමැතිවරුන් පත්කරලා ඒවාට ඇඟිලි ගහන්නේ නැතිව බොහොම ස්වාධීනව මේ වැඩේ කරගෙන යනවා. එතකොට රටේ ආර්ථික කටයුතු පිළිබඳව මැදිහත් වීම කරන්නේ මුදල් අමාත්‍යාංශයෙන්. මුදල් ඇමැතිවරයා කරන දේවලදී ආයෝජන කටයුතුවලදී ප්‍රතිපත්ති සැලසුම්වලදී හවුල් ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එ.ජා.ප.යත් අනෙකුත් පක්ෂත් නියෝජනය කරමින් මේ සියල්ල නිවැරැදිකරගෙන ඉදිරියට යන්නේ්.

වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ලංකාවේ පිහිටුවන බව කියා ආණ්ඩුව බොරු කරනවාද..?

කොම්පැනියක් ආයෝජනයට මේ රටට එනකොට මේ රටේ කාර් එකලස් කරන්න යනකොට අපි මේකේ නරකම දේවල් ටික හොයනවා. කවුරුත් මේකේ හොඳ හොයනවාද..? මෙහි ආයෝජනය කොයිතරම්ද..? මෙමඟින් රැකියා කීයක් ලැබෙනවාද..? මෙහි වාහන කීයක් නිෂ්පාදනය වෙනවාද..? මේ වාහන නිෂ්පාදනය වුණාම ලංකාවේ අඩු මුදලකට වාහනයක් මිලදී ගන්න පුළුවන්කම තියෙනවාද?. අපි මේවා නේද කතාබහ කරන්න ඕන. ආයෝජනයක් මේ රටට එනවා කියන්නේ අපේ රටට රුපියලක්වත් වියදම් වෙලා නෑනේ. අපි මේවායේ ගණන් මිනුම් හදන්න ඕන රටට මේකෙන් කොච්චර වාසියක් වෙනවද කියන කාරණය අනුව නේද..? හැබැයි අපි හොයන්නේ මොනවාද..? වොක්ස්වැගන් එක මේකට කැමැති වුණාද..? වොක්ස්වැගන් එක මොකක්ද මේකට කීවේ..? වොක්ස්වැගන් එක කියන්නේ ඇත්තම වොක්ස්වැගන්ද නැත්තම් බොරු වොක්ස්වැගන්ද..? මේ රට කොච්චර අවාසනාවන්ත තැනකද තියෙන්නේ බලන්න. හොඳ දේට වටිනාකමක් දෙන්නේ නැහැ. හොඳ දේ ගැන කතා කරන්නේ නැහැ. මේ රටේ බහුතර ජනතාව ඇයි මේ හැම තිස්සෙම සෘණාත්මක දේ ගැන කතා කරන්නේ. ධනාත්මකව හිතන්න ජනමාධ්‍යයෙන් ඉඩක් දෙන්නෙත් නැහැ. දේශපාලනඥයන් ඉඩක් දෙන්නෙත් නැහැ. ධනාත්මක පැත්තට මිනිසුන්ව හරවන්න කවුරුත් සහායක් දෙන්නේ නෑනේ.

මේ ආයෝජනය පිළිබඳව අගක් මුලක් නොදැන රැවටීමක් වෙලා අතරමඟදී නවතා දැමුණොත්..?
ආයෝජනයක් අතරමඟ නැවතුණොත් ඔබට පාඩුද..? මට පාඩුද..? රටට පාඩුද..? කාටද පාඩු.

ආයෝජකයාටනේ පාඩු. ලංකාව රුපියලක්වත් වැයවෙනවා නම් ලංකාවේ බැංකුවකට ණයවෙලා නම් ඒක අපේ රටට පාඩුයි. ආයෝජකයන් ආයෝජනය කරන්නේ ලාබයක් ගන්න බලාගෙනනේ. රටේ ලෝකෙම පිළිගන්නවා අයෝජකයෙක් එන්නේ ලාබ අරමුණකින් කියලා. ඇයි අපි නරක පැත්තම හිතන්නේ. නවත්වයිද දන්නේ නැහැ. මොනවා වෙයිද දන්නේ නැහැ. ඇයි අපි ඒ පැත්ත හිතන්නේ. ඇයි සමහර වෙලාවට ඒක වෙන්න තියෙන ඉඩ සීයට පහක සම්භාවිතාවක්. ඇයි ඒකම හිතන්නේ අපි. ඇයි අපට ධනාත්මකව බලන්න බැරි..? අපට ඉවසන්න තියෙන්නේ අවුරුදු දෙකයිනේ. අවුරුදු දෙකක් දීලා තියෙනවා නම් කර්මාන්ත ශාලාව හදන්න. ඒ දේ කරන්නේ නැතිව ඇයි අපි සමාජය නරක පැත්තකට තල්ලු කරන්නේ.

_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "අපි ඉන්නෙ අවාසනාවන්ත තැනක"

    Post a Comment