17 September, 2017

ටැටූවල අලංකාරය සහ පිළිකාවේ භීතිය

tattoo

ටැටූ හෙවත් පච්චා කොටා ගැනීම අද සුලභව දැකිය හැකි ශරීර අලංකරණ කලාවකි. තමන්ගේ සම මත කරවා ගත් රූපයක අලංකාරය භුක්ති විඳීම තුළ තිබෙන්නේ අහිංසක සතුටක් මිස අන් කවර දෙයක්දැයි කියා කෙනෙකුට සිතෙන්නට පුළුවන. පච්චා හෙවත් ටැටූ කරවා ගැනීම ගැන අප දැරූ ඒ මතය වෙනස් කරගන්නට දැන් කාලය එළඹ ඇත. ඒ අන් කිසිවක් නිසා නොව සම මත ටැටූ කරවා ගැනීම පිළිකා ඇති වන්නට හේතුවකැයි තහවුරුව ඇති බැවිනි. එය තහවුරු වී තිබෙන්නේ ප්‍රංශයේ සින්කොට්‍රෝන විකිරණශීලීතාව පිළිබඳ යුරෝපීය ආයතනයේ විද්වතුන් පිරිසකගේ ද මැදිහත් වීමෙන් කරන ලද පර්යේෂණයකිනි.

පිළිකා ඇති වන්නට හේතු වන්නේ ටැටූ කරවා ගැනීමේදී භාවිතයට ගන්නා රසායනික ද්‍රව්‍යයයි. එහිලා කැපී පෙනෙන්නේ ඊට උපයෝගී කරගන්නා තීන්තය. ටැටූවක් කිරීමේදී චර්මය තුළ මිලි මීටර 3ත් 5ත් අතර ගැඹුරකින් එම තීන්ත ස්ථිරවම තැන්පත් කෙරේ. චර්මයෙහි එම ගැඹුර ප්‍රමාණය තුළ ස්වේද ශ්‍රාවි ග්‍රන්ථි (දහදිය ගැලීමේ ක්‍රියාවලිය සිදු කරන ග්‍රන්ථි) පවතින බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. මේ අන්දමට තැන්පත් කෙරෙන තීන්තවල අඩංගු රසායනික කොටස් රුධිරය සමඟද මුසු වේ. රුධිර සංසරණයත් සමඟ එම රසායනික කොටස් වසා ගැටිති කරා පැමිණෙන්නට වැඩි ඉඩක් ඇත. එවැනි තත්ත්වයක් මතු වුණු විටදී වසා ගැටිති ඉඳිමෙන්නට පටන් ගන්නා බව පර්යේෂකයෝ පෙන්වා දෙති. වසා ගැටිති එවැනි ඉඳිමීමකට ලක් වූ විට ඒවායේ ක්‍රියාකාරිත්වය ඇන හිටී.

විශේෂයෙන්ම ආසාදනවලට එරෙහිව ක්‍රියාත්මක වීමට වසා ගැටිතිවලට තිබෙන හැකියාව අඩු වී යන බව පර්යේෂණයෙන් තහවුරුව ඇත. එමෙන්ම වසාවලින් කෙරෙන රෝගකාරක විෂ බීජ පෙරා හැරීමේ කාර්යය ද අඩපණ වේ. මේ තත්ත්වය ඇති කරන්නට වඩාත් බරපතලව හේතු වන්නේ ටැටූ කලාවේදී භාවිතයට ගන්නා තීන්තවල තිබෙන ටයිටේනියම් ඩයොක්සයිඩ් නැමැති රසායනිකයයි. ටයිටේනියම් ඩයොක්සයිඩ් ටැටූ වර්ණකවලට ඇතුළත් කරන්නේ පැහැය ලබා ගැනීම සඳහා බව දැක්වේ. එවැනි රසායනිකයන් මෙන්ම ඩයි වර්ගත් ටැටූ වර්ණකවල අන්තර්ගතය. සම මත ඇති කරන තුවාලය මෙවැනි දේ නිසා ඉතා ඉක්මනින් සුව වන්නේ ද නැත. එමෙන්ම සම මත කසන සුළු ස්වභාවයක් ඇති කරන්නටත් එම රසායනික හේතු වේ. ටැටූ කරවා ගත් පිරිසක් ඉතාමත් ප්‍රබල එක්ස් කිරණ පරීක්ෂාවන්ට ලක් කරමින් පර්යේෂකයෝ මතු දැක්වූ පර්යේෂණය සිදු කළහ. එම එක්ස් කිරණ පරික්ෂා කිරීම්වලදී පර්යේෂකයන්ට දකින්නට ලැබී තිබෙන්නේ ටයිටේනියම් ඩයොක්සයිඩ් සහ බැර ලෝහ සමෙහිත් වසා ගැටිතිවලත් රැඳී පවතින බවකි. වසා ගැටිති ආශ්‍රිතව වැඩිම ප්‍රමාණයක් දක්නට ලැබුණේ ටයිටේනියම් ඩයොක්සයිඩ් බව පර්යේෂකයෝ පෙන්වා දෙති. එමෙන්ම ටැටූ කරවා ගත් පුද්ගලයන්ගේ සම මතු පිට දක්නට ලැබුණ එවැනි රසායනිකවල අංශු විවිධ ප්‍රමාණවලින් යුක්ත වූ බවත් පර්යේෂකයන්ට නිරීක්ෂණය කළ හැකිව තිබිණ. සමට ඇතුළු කිරීමෙන් පසු මේ අන්දමට සම මත බහුලව පවතින රසායනික අංශු රුධිර සංසරණයත් සමඟ වසා ගැටිති වෙත පැමිණ තැන්පත් වන බව ඔවුහු සැක හැර පෙන්වා දෙති. අනෙකක් තබා ටැටූවට භාවිත කළ වර්ණවලින් වසා ගැටිත්තත් වර්ණවත් වී පැවතුණ අවස්ථා මේ පර්යේෂකයන්ට දක්නට ලැබී තිබේ.

පර්යේෂක බර්න්හාර්ඩ් හෙස් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ මෙවැන්නකි.

“... මේ අංශුවල නැනෝ තත්ත්වය හේතුවෙන් කවර ආකාරයේ දෙයක් අපේ සිරුරට සිදු වෙනවාද කියන කාරණය අපි දන්නේ නැහැ. රසායනික අංශු මේ තත්ත්වයේ තිබෙන විට දක්වන හැසිරීම නෙවෙයි, ඒවා නැනෝ තත්ත්වයට පත් වුණාම දක්වන්නේ. නැනෝ ස්වරූපයට පත් වුණු එම අංශු දක්වන ප්‍රතික්‍රියාව අපි දන්නේ නැහැ. ඒක ලොකු ගැටලුවක්. ...”

ටැටූවක් හෙවත් පච්චයක් සම මත කරවා ගන්නට අවශ්‍ය වූ විට අප බොහෝ දෙනෙකු කරන්නේ අපට විශ්වාසවන්තම රූපලාවාන්‍යාගාරයට ගොස් එය කරවා ගැනීමයි. එහිදී අප වඩාත් සැලකිලිමත් වන්නේ පච්චය කෙටීම සඳහා භාවිතයට ගන්නේ ජීවානුහරණය කළ කටුද, වෙනත් කෙනෙකු වෙනුවෙන් භාවිතයට නොගත් කටුද යන්න ගැන සොයා බැලීම සඳහා පමණි. නමුත් ඒ කිසිදු අවස්ථාවකදී අපි අපේ ශරීරයට ඇතුළු කරන රසායනිකයෙහි සංයුතිය කවරක්ද යන්න සොයා බැලීමට උත්සුක නොවන්නෙමු. එය බරපතල වරදක් බව මේ පර්යේෂණය සිදු කළ පර්යේෂකයෝ පෙන්වා දෙති.

ටැටූ හෙවත් පච්චා කෙටීමේදී භාවිතයට ගන්නා වර්ණකවල අඩංගු ද්‍රව්‍යය විශ්ලේෂණය කර ඒවායේ වැඩිපුර පවතින්නේ කවර රසායනිකද යන්න විද්‍යාඥයන් මේ වන විට අනාවරණය කරගෙන ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ එම වර්ණකවල අඩංගු වැඩිම රසායනික අතර දෙවැනි ස්ථානයේ තිබෙන්නේ ටයිටේනියම් ඩයොක්සයිඩ් බවය. ටයිටේනියම් ඩයොක්සයිඩ් කිසිවක් සුදු කිරීමේ සහ උකු බවට පත් කිරීමේ හැකියාවෙන් යුත් රසායනික ද්‍රව්‍යයකි. මේ ගුණයන් නිසා සේදුම් ද්‍රව්‍යය, සුවඳ විලවුන්, තීන්ත වර්ග, එයාර් ෆ්‍රෙෂ්නර් ආදිය නිෂ්පාදනයේදී ටයිටේනියම් ඩයොක්සයිඩ් යොදා ගැනේ. එමෙන්ම ශීතකරණවල සිසිලනය පවත්වා ගැනීමට ඉවහල් වන ද්‍රවවලත්, මෝටර් රථවලට යොදන ලිහිසි තෙල්වලත් ටයිටේනියම් ඩයොක්සයිඩ් අන්තර්ගතය. නිතර භාවිතයට ගන්න පාරිභෝගික භාණ්ඩ විශාල ප්‍රමාණයක ටයිටේනියම් ඩයොක්සයිඩ් අඩංගුව පවතින බැව් මෙයින් පෙනේ. එසේ වුවත් මේ වසරේ ජුනි මස 09 වැනිදා යුරෝපීය රසායනික ඒජන්සිය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ටයිටේනියම් ඩයොක්සයිඩ් අඝ්‍රණය වීමෙන් පවා පිළිකා ඇති වන්නට ඉඩක් ඇති බවකි.

මේ හැරුණු විට, චර්මයෙහි ඇතැම් ක්‍රියාකාරීත්වයන්ට ටැටූවලින් බාධා පැමිණෙන බැව් මෙයට පෙර කරන ලද පර්යේෂණ කිහිපයකින්ම සනාථව තිබේ. එය විශේෂයෙන්ම බාධාවක් වන්නේ දහදිය දැමීමේ ක්‍රියාවලියටය. ටැටූ කොටන ලද සමකින් නිපදවෙන්නේ අඩු දහදිය ප්‍රමාණයක් බවත් එලෙස නිපදවෙන දහදියවල සෝඩියම් වැඩි ප්‍රමාණයක් ඇති බවත් අමෙරිකා එක්සත් ජනපදයේ අල්මා කොලිජියෙහි විද්වත්හු පිරිසක් පර්යේෂණයක් මඟින් අනාවරණය කළහ. කෙනෙකුගේ දහදිය දැමීමේ ක්‍රියාවලිය දිගින් දිගටම අඩු මට්ටමක පැවතීම ඔහුගේ හෝ ඇයගේ හෝ සිරුරට ඇති කරන්නේ කවර ආකාරයේ බලපෑමක්ද යන්න ගැන ස්ථිර තොරතුරු නැත. එසේ වුවත් දහදිය දැමීමේ ක්‍රියාවලිය හරහා නියාමනය කෙරෙන්නේ කෙනෙකුගේ සිරුරේ උෂ්ණත්වයයි. වැඩි උෂ්ණත්වයක් දේහය තුළ පැවතීමෙන් අඝාත ආදී තත්ත්ව වුව ඇතිවන්නට ඉඩ තිබෙන බව මෙහිදී බැහැර නොකළ යුතු කාරණයකි.

mail online ඇසුරෙනි (මංජුලා විජයරත්න-දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ටැටූවල අලංකාරය සහ පිළිකාවේ භීතිය"

    Post a Comment