01 April, 2017

රන්පුහුලාව නම් සොඳුරු ඉසව්ව


ලෝකයාගෙන් වසන් වූ කැලෑවක් මැද පිහිටි ඓතිහාසික උරුමයක් ඇතැයි සැලකෙන සුන්දර ඉසව්වක් දැක බලා ගැනීමේ අවස්ථාවක් පසුගිය දිනෙක අප හට උදාවිය.

දුන්හිද දියඇල්ලට නෑකම් කියන බදුලු ඔයේ අවසන් භාගයේ පිහිටි රන්පුහුලාවල මේ අපූරු ඉසව්වයි.

බදුල්ල මහියංගණ මාර්ගයේ බදුල්ල සිට කිලෝමීටර් 16ක් පමණ ගමන් කළ විට හමුවන ගල්ගේලන්ද හංදියෙන් වම්පසට වැටී, බදුලු ඔයට සමාන්තරව දිවෙන පරණ නුවර නම් වූ පටු මාර්ගය ඔස්සේ කිලෝමීටර් දහයක් පමණ ගමන් කිරීමෙන් මෙම ස්ථානය වෙත පැමිණිය හැකිය.

එසේත් නැතහොත් කන්දකැටිය, මාලියද්ද මාර්ගයේ වැවැතැන්න පාසැල ආසන්නයෙන් දිවෙන අලියාවැටුණුතැන්න මාර්ගයේ කිලෝමීටර් තුනක් පමණ ගමන් කිරීමෙන්ද මෙම ස්ථානය වෙත පැමිණිය හැක.

මෙම කුමන මාර්ගයක පැමිණියත් ගමනේ යෙදෙන්නන්ට මාර්ග දුෂ්කරතා විඳගෙන මෙම ඉසව්ව කරා ළඟාවීමට සිදුවන අතර, ජීප් රථ, ත්‍රිරෝද රථ, යතුරුපැදි ආදිය ගමන සඳහා බෙහෙවින්ම යෝග්‍ය වන බවද කිවයුතුම කරුණකි.

එතරම් උස් නොවූවත් මනරම් දසුනක් මවාපාමින් ඇදහැලෙන සුන්දර දියඇල්ලකින් සේම අක්කර ගණනාවක් පුරා පැතිර ගිය නිල් ජලය රැඳි සුවිසල් තටාකයකින්ද, තවත් පරිවාර ජල තටාක රැසකින්ද සමන්විත වූ රන්පුහුලාවල සොබාදහමේ අපූරු දායාදයකි.

කලකට පෙර බදුල්ල සිට මහනුවර දක්වා ඉදිවී තිබූ ප්‍රධාන මාර්ගයක්ද මේ ආසන්නවම ගමන් ගන්නා අතර, අද වන විට එය දැඩි සේ අබලන්ව අඩි පාරක තත්ත්වයට පත්ව ඇති අයුරු මේ ගමනේදී දැකගන්නට ලැබේ.

මෙම මාර්ගයේ පිහිටීම නිසාම මෙම ස්ථානයේ කිසියම් ඓතිහාසික බවක් ගැබ් වී ඇතැයි ගැමියන් තුළ පවත්නා විශ්වාශයද අපට කිසිසේත් බැහැර කළ නොහැක.

පුහුලක හැඩය ගත් විශාල ජල තටාකයත්, එහි පිහිටි වතුර වළෙන් විටෙක මතුවෙතැයි කියන රන් පුහුලක් නිසාත් මෙම ස්ථානයට මේ නම ලැබී ඇතැයි ප්‍රදේශයේ තරුණයෙකු වූ ඩී.එම් දිසානායක පැවසීය

ප්‍රදේශයේ ජනතාව රන්පුහුලාවල ගැන දක්වන්නේ අසීමිත බියකි. වසරකට වරක්වත් මෙම ස්ථානයේ මිනිසෙකු බිලිගන්නා බවද අවට ගම්වල ජනතාව පවසති.

ඩී.එම් දිසානායක තවත් විස්තර රැසක්ම අප හා පැවසීය.



''මෙතන තියෙන විශාල වළේ නිධානයක් තියෙනවලු. ඒ වගේම කාලෙකට සැරයක් මෙතනින් රත්තරන් පුහුල් ගෙඩියක් උඩ එන බවත් එය ගන්නට ගිය කීපදෙනෙක්ම මේ වළට වැටිලා මිය ගිය බවත් අපේ සීයලා අපිට කියල තියෙනවා. මේ වළට වැටෙන විශාල වතුර පාර යන තැනක් පේන්න නැහැ. ඒ නිසා මේ වළට වැටුණොත් ගොඩ එන්න විදිහකුත් නැහැ.

හුඟදෙනෙක් මෙතෙනට එන්නේ බයෙන්. මෙතන බිලිගන්නවා කියල ගොඩදෙනෙක් විශ්වාස කරනවා. මේ ගල්තලාවේ හැමතැනම එක එක ප්‍රමාණයේ විශාල වළවල් තියෙනවා. ඒක ස්වාභාවික පිහිටීමක් කියල කියන්න අමාරුයි. මේවා කවුරු හරි ඉස්සර හාරපුව කියල තමයි හුඟදෙනෙක් කියන්නේ.

ඒ වගේම මේ ගලේ උඩහ පැත්තේ මිනිස් පා සටහන් වගයක් කොටල තියෙනවා. එහෙම කොටල තියෙන්නේ කාට හරි යන්න පහසු වෙන්නයි. මේ අඩි පාරවල් වල හැටියට ඉස්සර කාලේ විශාල පිරිසක් මේ ස්ථානය හරහා කොහේ හෝ ගමන් කර ඇති බව තමා හිතන්න තියෙන්නේ''

රන්පුහුලාවල අවට කොතරම් ගුප්ත බවක් ගැබ්වී තිබුණද එහි ඇති සුන්දරත්වයද අපමණය. සුන්දර ගල්තලාව, එහි හැපී ගලා වැටෙන දිය දහරවල්, තැන තැන පිහිටි කුඩා ජල තටාක, අවට පරිසරයේ පිහිටි ගහකොළ , එම ගහකොළ අතර සැරිසරණ අනේක විද විහඟුන් මේ පරිසරයට එක් කරන්නේ අපූරු සුන්දරත්වයකි.

වචනයෙන් කිසි ලෙසකත් වැනිය නොහැකි මේ සුන්දර ඉසව්ව බදුලු පුරවරයට පැමිණෙන ඔබ අනිවාර්යයෙන්ම නැරඹිය යුතු බව මෙහි පැමිණියහොත් ඔබට සිතෙනු නොඅනුමානය.

මෙහි පැමිණෙන්නේ නම් ඔබට දිය යුතු උපදෙසක් තිබේ. ඉඳහිට පිරිසක් මෙහි පැමිණියද තවමත් මෙම පරිසරයට ඔවුන්ගෙන් කිසිදු හානියක් සිදුවී නැත. පොලිතීන් කැබැල්ලක්, වීදුරු බෝතලයක් හෝ මිනිසුන් රැගෙන එන කිසිදු දෙයක් මේ පරිසරයේ තවමත් දක්නට නොමැත. ඒ තත්ත්වය ඉදිරියටත් සුරැකීම ඔබගේද යුතුකමකි.

එසේම මෙහි ඇති ඇතැම් ගල්තලා මෙන්ම වතුර වළවල් මත ගමන් කිරීම අතිශය අනතුරුදායකය. ඒවා මගහැර ආරක්ෂිතව රැඳී සිටින්නට, දිය නාන්නට ඕනෑතරම් ස්ථාන මෙහි ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වීමට ඔබ තරයේ වග බලාගත යුතුය.










එන්.කේ නිශ්ශංක මීගහකිවුල - ada.lk

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රන්පුහුලාව නම් සොඳුරු ඉසව්ව"

    Post a Comment