09 August, 2017

සැබෑ ත්‍රස්ත­වා­දියෝ කවුද?

Adams creation picture - 02

ආයෙමත් උතුරේ කොටි භීතියක් ගැන කතාවක් පටන් අරන්. මේ අලුත් පටන් ගැනිල්ලට ආසන්නම හේතු වුණේ පහුණු දවස්වල පිට පිටම වගේ සිදුවුණ සාහසික ක්‍රියා කීපයක්. ප්‍රධාන වශයෙන්ම යාපනේ විනිසුරුගේ ආරක්ෂකයාට වෙඩි තියපු සිද්ධිය හා ඊට පස්සේ රාලහාමිලා කිහිප දෙනෙකුට පහර දීම යන සිද්ධි දෙක රටේ ලොකු ආන්දෝලනයකට තුඩු දුන්නා. විශේෂයෙන්ම දෙවන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පුනරුත්ථාපනය නොවූ කොටි සාමාජිකයන් බව පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. කොටි ව්‍යාපාරය යළිත් හිස ඔසවනවාද කියන ප්‍රශ්නය දැන් රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙන්නේ මේ පසුබිම මතයි.

මම ඒ සංවාදය ඉදිරියට ගෙන යන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද ඉදිරි පරීක්ෂණවලින් තවදුරටත් කරුණු හෙළිදරව් වීමට නියමිත නිසා කරුණු කාරණා හරියට නොදැන අදහස් පළකිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් බවට පත් විය හැකි නිසයි. ආරක්ෂක අංශ වහාම ක්‍රියාත්මක වී ‍එවැනි උවදුරක් යළි මතුවන ලකුණු ඇත්නම් ඊට පියවර ගත යුතුයි. ඒ වගේම වාර්ගික ගැටලුව පිළිබඳව නිසි විසඳුමක් සඳහා ගත යුතු දේශපාලන තීන්දු තීරණ ගැනීමට රජය තවදුරටත් පමා නොවිය යුතු බවත් මේ අනතුරු හැඟවීම මඟින් කියාපාන බවත් අමතක නොකළ යුතුයි.

පුනරුත්ථාපනය නොවූ කොටි සාමාජිකයන් ගැන සඳහන් වූ නිසා මෑතකදී අසන්න ලැබුණු කතාවක් ඔබට ඉදිරිපත් කරන්න මේක සුදුසු අවස්ථාවය කියා මට හිතුණා. මේ කතාව මට ඊමේල් කළේ මීට පෙරත් එංගලන්තයේ සිට මට තොරතුරු ලියූ සෙල්වරාජ් සහෝදරයාමයි. ඔහු මට මෙය එව්වේ ඉදිරියේදී ලියන කෙටිකතා සංග්‍රහයකදී ප්‍රයෝජනයට ගත හැකි අපූරු කතා පුවතක් ලෙසටයි. ඇත්තටම එය කෙටිකතාවකට ඉතාමත් සුදුසු කතාවක් තමා. නමුත් පුනරුත්ථාපනය කළ හා නොකළ කොටි සාමාජික සාමාජිකාවන් ගැන තක්සේරුවක් ඇතිකර ගන්න මේ කතාව අපට ප්‍රයෝජනවත් වෙයි කියා සිතුණු නිසා මා ඔබට එය ඉදිරිපත් කරන්න කල්පනා කළා.

යුද ගැටුම් පැවති සමයේ කොටි සංවිධානයෙන් මිදී එංගලන්තයට පැන ගිය කොටි සාමාජිකයෙක් ගැනයි මේ කතාව. සටන් බිමේදී තුවාල ලබා සිටි ඔහුගේ අතක් හා පාදයක් සැත්කමකින් ඉවත් කරන්න එංගලන්ත වෛද්‍යවරුන්ට සිද්ධ වුණා. කෘතිම අතක් හා පාදයක් සහිතව දේශපාලන රැකවරණය ලැබූ මේ තරුණයාට බ්‍රිතාන්‍ය රජය ආබාධිතයන්ට පිරිනමන පවුම් 200 ක ජීවනාධාරය ද හිමිවෙනවා. නමුත් ඒ ජීවනාධාරය ප්‍රතික්ෂේප කරන තරුණයා බ්‍රිතාන්‍යයේ විශාල ඇඟලුම් කම්හලක කම්කරුවෙක් ලෙස සේවයට බැ‍ඳෙනවා. රජය විසින් පිරිනමනු ලබන පවුම් 200 ක සතියක දීමනාව වෙනුවට කම්හල සතියකට ඔහුට ගෙවන්නේ පවුම් 150 යි.

කෘතිම අතක් හා පයක් සහිතව ඔහු කම්හලේ පිරිසිදු කිරීමේ කම්කරුවකු ලෙස ඉතා හොඳින් සේවය කරනවා. ඔහු කිසිම විටක තමා ආබාධිතයකු නිසා පහසු වැඩක් දෙන ලෙස පාලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ නැහැ. මෙසේ මාස ගණනක් වැඩ කරන විට ආයතනයේ හිමිකරුවාට මේ තරුණයා සමඟ කතා කිරීමට සිතක් පහළ වෙනවා. දෙමළ භාෂාව පමණක් දන්නා තරුණයා සමඟ කතා කිරීමේදී භාෂා පරිවර්තකයා ලෙස කටයුතු කිරීමේ කාර්යය පැවරෙන්නේ අප මිතුරු සෙල්වරාජාට.

තම රැකියා කටයුතු නිම වූ පසුව කසළ බහාලුම්වල ගොඩගසා ඇති ඉවතලන රෙදි කැබලි එකතු කර ගැනීමට මේ තරුණයා ආයතන හිමිකරුගෙන් අවසර ලබාගත් බව සෙල්වරාජාට දැනගන්න ලැබෙනවා. ඒ රෙදි එකතු කරන්නේ කුමක් පිණිසදැයි සෙල්වා තරුණයාගෙන් විමසූ විට ඔහු දෙන්නේ මෙබඳු පිළිතුරක්.

“මම ලොකු රෙදි කෑලි ඔක්කොම ගෙදර අරන් යනවා. මාසයකට විතර සැරයක් මේ රෙදි ඔක්කොම මම ලංකාවට නැව්ගත කරනවා. ඒවා යාපනයේ හා මඩකළපුවේ ඇඳුම් මහලා ජීවත්වෙන අපේ සහෝදරියන්ට ලැබෙනවා. ඒ අය ඔක්කොම කොටි සංවිධානෙට සම්බන්ධ වෙලා හිටපු අය. පුනරුත්ථාපනය වුණාට පස්සේ ඒගොල්ලන්ට මැහුම් ගෙතුම් උගන්නලා, මැෂින් දීලා තියෙනවා. මේ රෙදිවලින් ඇඳුම් මහලා දැන් ඒගොල්ලෝ හුඟක් ලාබ ලබනවා.”

“සුමානයකට පවුම් 200 ක් දෙන්ඩ ආණ්ඩුව කැමති වෙද්දීත් ඇයි ඊට වඩා අඩු පඩියකට රස්සාවකට ගියේ?” සෙල්වරාජ් තරුණයාගෙන් ඇසූ ඊළඟ ප්‍රශ්නය.

“සමාජය මාව ආබාධිතයෙක් කියලා හඳුන්වනවාට මම කැමති නැහැ. අනික මම සටන්කාමියෙක්. යුදබිමේ විතරක් නෙමේ මගේම ජීවිතය ඇතුළෙත් මම සටන්කාමියෙක්. ආණ්ඩුවේ දීමනාව ගත්තොත් මට රස්සාවක් කරන්න තහනම්. මට රස්සාව වැදගත්. මේ ‍රස්සාව නිසා මට ලංකාවේ ඉන්න අපේ සහෝදරියන්ට උදව් කරන්න පුළුවන් වෙලා තියෙනවා. දීමනාවක් අරන් නිකං කකා බිබී විනෝද වෙනවාට වඩා මගේම ශක්තියෙන් යමක් හම්බ කරන්න පුළුවන් වීම ගැන මට සතුටුයි. ඒ වගේම ආබාධිතයෙක් වුණත් මගේ සමාජයට ප්‍රයෝජනවත් මිනිහෙක් වෙන්න පුළුවන් වීම ගැනත් මට හුඟක් සතුටුයි.”

කෙටිකතාවක් ලියන්නය කියලා මේ කතා පුවතට මට එවපු සෙල්වා මගෙන් අන්තිමට මෙහෙම අහනවා. “මේ තරුණයා ගැන ඔබට මොකක්ද හිතෙන්නෙ. ඔහුට ත්‍රස්තවාදියෙක් කියා ඔබට කිව හැකිද? ඔහු ආයුධ අතට ගත්තත්, ඔහුගේ හදවත මානව දයාවෙන් පිරුණු එකක් බව නේද පෙනෙන්නේ? අතක් හා පයක් අහිමි වුණත් ඔහු තමාගේ සමාජ වගකීමට කැපවෙන්නේ මොන තරම් දැඩි අධිෂ්ඨානයකින්ද?”

මම සෙල්වරාජ්ට මෙහෙම පිළිතුරක් යැව්වා. “මට හිතෙන විදිහට ඔය තරුණයා වගේ අධිෂ්ඨානශීලී දෙමළ වගේම සිංහල තරුණ තරුණියන් දහස් ගණනක් ත්‍රස්තවාදීන් බවට පත්කළේ වැරදි සමාජ දේශපාලන ප්‍රතිපත්ති විසිනුයි. සන්නද්ධ අරගල කරන තරුණ ජනයා පුනරුත්ථාපනය කරනවාට වඩා වැදගත් වන්නේ තරුණ ප්‍රජාව ආයුධ අතට ගැනීම නතර කරන සමාජ ක්‍රමයක් ගොඩනැඟීම නේද?” (කමල් පෙරේරා-දිනමිණ)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සැබෑ ත්‍රස්ත­වා­දියෝ කවුද?"

    Post a Comment