09 August, 2017

පැහැරගැනුණු නිරුපිකාව මුදාහැරේ: 'මැදපෙරදිගට විකිණීමේ තැතක්'

Chloe Ayling

ඉතාලියේදී කල්ලියක ග්‍රහණයට ලක්ව සිටියේ යැයි පැවසුණු බ්‍රිතාන්‍ය නිරූපිකාව "ලිංගික කටයුතු" සඳහා මැදපෙරදිගට අලෙවි කෙරෙනු ඇතැයි එම පිරිස පවසා ඇති බව ඇයගේ නීතිඥයෝ කීහ.

දකුණු ලන්ඩනයේ පදිංචිව 20 හැවිරිදි ක්ලෝයි එයිලින්ග් නිදහස් කිරීමට පෙර පැහැරගත් තැනැත්තා විසින් ඇයව සාප්පු සවාරියක ගෙනයද්දී දැඩි පීඩනයකට හසුව ඇය සිටි ආකාරයද නීතිඥ ෆ්‍රාන්සෙස්කෝ පෙශි පැහැදිලි කළේය.

Black Death (කළු මරණය) යැයි තමන්ව හඳුන්වාගනු ලබන කල්ලියක් විසින් ඇයව පැහැරගන්නා ලදුව දින පහකට පසුව මුදා හැරීය.

ඒ අනුව, ඡායාරූප​ සැසියකට එක්වීම සඳහා ඉතාලියේ මිලාන් වෙත ගොස් දින 26කට පසු ක්ලෝයි එයිලින්ග් ඉරිදා (අගෝස්තු 6 ) යළි එක්සත් රාජධානිය වෙත පැමිණියාය.

යමින් බැඳ

පුද්ගලයින් දෙදෙනෙකුගේ ප්‍රහාරයට ලක්වූ ක්ලෝයි කෙටමින් නම්වූ ද්‍රව්‍ය දීමෙන් මත්කොට පැහැරගෙන යන ලද බවත්, පසුව අන්තර්ජාලය ඔස්සේ ඇයව අලෙවියට සුදානම්ව සිටි බවත් ඉතාලි පොලිසිය පැවසීය.

පවුම් 230,000 ට (රුපියල් මිලියන 46ක් පමණ) අන්තර්ජාලය හරහා ඇයව අලෙවි කිරීමට සැරසුණු කල්ලිය ඇගේ නියෝජිතයාගෙන් කප්පමක් ද ඉල්ලා තිබිණි.

"ලිංගික කටයුතු සඳහා මැදපෙරදිග කෙනෙකුට විකුණුවා" යැයි ක්ලෝයි වෙත දන්වා ඇති බව ඇයගේ නීතිඥයා පැවසීය.

පැහැරගත් තැනැත්තා සමග ක්ලොයිට සාප්පු සවාරියක් යාමට සිදුවුයේ ඇයට මරණ තර්ජන එල්ල කිරීම නිසා බව නීතිඥ පෙශි සඳහන් කළේය.

"නිතර පිරිසක් ඇස යොමාගෙන ඉන්න බවත් ඇය යමක් කිරීමට උත්සාහ කළොත් මරා දමන බවත් ඇයට කියා තිබෙනවා"

"මේ නිසා ඇය හිතුව වැඩි කලබලයක් නැතුව පැහැරගත් කෙනාට හොඳ මුණ පෙන්නන්න, ඇයිද කීවොත්, කොයි වෙලාවක හරි ඇයව නිදහස් කිරීම තමන්ටත් අවශ්‍ය බව ඔහු ඇයට පවසා තිබෙනවා" ක්ලෝයිගේ නීතිඥයා පැවසීය.
මේ "බියජනක අත්දැකීම" පුරාම තමන්ගේ ජීවිතය ගැන බියක් දැනුනු බව ක්ලෝයි එයිලින්ග් ඉරිදා පැවසුවාය.

"මට කරදරයකින් තොරව නිදහස ලබාගන්න ඉතාලියේ වගේම එක්සත් රාජධානියේ බලධාරීන් ගත්ත පියවර ගැන මම ඒ හැමෝටම ස්තුති කරනවා"

මේ සිදුවීමට අදාළව ඉතාලි, පෝලන්ත සහ එක්සත් රාජධානි බලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.

ඉතාලි පොලිසිය පවසන පරිදි මෝටර් රථයකින් වයඹ දිග ටියුරින් හි පිහිටි ප්‍රදේශයක නිවසක් වෙත ගනගොස් ඇති ඇයව දින හයක් පුරා එම නිවසේ කාමරයක අතට මාංචු ලා රඳවා තබා ඇත.

කෙසේවෙතත්, පසුව මිලාන් හි පිහිටි බ්‍රිතාන්‍ය කොන්සල් කාර්යාලය වෙත ගෙන එමෙන් පසුව ඇයව නිදහස් කෙරිණි.

මේ අතර, මෙම පැහැරගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් නැගෙනහිර මිඩ්ලන්ඩ්ස් හි ඔල්ඩ්බරි ප්‍රදේශයේ විසු ලූකස් හෙර්බා නම්වූ පෝලන්ත ජාතිකයකු අත්අඩංගුවට ගත් බව නිලධාරීහු පැවසූහ. (බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පැහැරගැනුණු නිරුපිකාව මුදාහැරේ: 'මැදපෙරදිගට විකිණීමේ තැතක්'"

    Post a Comment