25 April, 2017

මෙගා පොලිස් ඇමැති හරිම උසයි: සරම කොටයි හැබැයි වැඩ ටිකයි

Rohitha Abeygunawadana-2017-04-25_7-52-06

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා රට ඉඳල ඇවිත් මීතොටමුල්ලෙ ජනතාව බලන්න ගියේ කටට 'හොම්බක්' දාලා. ඒ කියන්නේ මුඛවාඩමක් දාගෙන යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා කීවේය. පසුගිය 21දා කළුතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී පැවැති රැස්වීම අමතා රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේද කීවේය.

'එදා කැබිතිගොල්ලෑවේ මිනිස් බෝම්බයකට අහුවෙලා 65 දෙනකු විතර මැරිලා මස් කෑලි පාර පුරා, දරුවන්ගෙ බඩ බොකු එළියට ඇවිත්. ලේ ගලනවා. ඒක බලන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගියා. ලේ පෙරාගත්ත මිනිස්සු ළඟට එතුමා ගියේ. දරුවෝ වඩාගෙත පණදෙන්න කියල මිනිස්සු විලාප දුන්නා. අමු අමුවේ ලේ තියෙද්දි මහින්ද රාජපක්ෂ මුඛවාඩම් දාගෙන ගියේ නැහැ. ගඳයි, ලේ අප්‍රියයි කියලා එතුමා කිව්වේ නැහැ. රටක නායකයකු, වීරයකු වගේ මේ මැරිලා තියෙන්නෙ මගේ මිනිස්සු, මගේ ජනතාව, ඒ ජනතාවට යමක් කළ යුතුයි කියල කිව්වා. එදා තමයි ත්‍රස්තවාදය, අවසන් කරනවා කියලා තීන්දුවක් ගත්තෙ. අපිට හිටියේ එහෙම නායකයෙක්. එහෙම නායකයකු හිටපු රටේ අද මෙහෙම නායකයෝත් පහළ වෙලා තියෙනවා.

මීතොටමුල්ල කුණුකන්ද දින 100න් ඉවර කරනවා කිව්වා. මේ දවස්වල හැම අවුරුදු උත්සවයකම සැඟවුණු අමුත්තා මරික්කාර්, හිරුණිකායි දෙන්නයි. ටිකක් පෙනුම තියෙන කෙල්ලෙක් දැක්ක ගමන් අහනවා ඔයා සැඟවුණු අමුත්තා හිරුණිකා නේද? කියලා. කොණ්ඩෙ කොටට කපලා තියෙන කොල්ලෙක් දැක්ක ගමන් සැඟවුණු අමුත්තා මරික්කාර් ඔයා නේද? අහනවා.

වෙසක් පෝයට කලින් කැබිනට් සංශෝධනයක් කරල සියලු බලාපොරොත්තු ඉටුවන නව මුහුණුවරක් දෙනවා කියලා ජනාධිපතිතුමා කියල තියෙනවා. ෂුවර් එහෙනම් ලබන සතියේ ඉඳලා මල් පිපෙයි, ගෙඩි හැදෙයි. ගෙඩි වැටෙයි. අඩු පාඩුවක් නැතිවම හරියයි.

මේ ආණ්ඩුවට වැඩිය දුර යන්න බැහැ. මේ ආණ්ඩුව හරියට නැට්ට කැඩිච්ච නයා වගෙයි. කාට දෂ්ට කරන්නද? කියල බල බලා ඉන්නවා. කිසිම වැඩපිළිවෙළක් නැති ආණ්ඩුවක් බවට පත්ව තියෙනවා. කරපු සංවර්ධනයක් නැහැ. අපි ඉදිකළ ඒවත් විවෘත කරගන්න මෙයාලට බැහැ.

ගිනි කඳු, පස් කඳු, මේවා කඩා වැටිලා මිනිස්සු මැරෙනවා. නමුත් කුණු කඳු පුපුරල මිනිස්සු මැරෙන්නේ කලාතුරකින්. කාගෙ පිනද? පින ලබපු දෙපළක් ඉන්නවා. රට භාරගත්ත දවසෙ ඉඳලා මේ ඔබලගේ පින මිනිසුන්ට පළ දෙනවා. අරණායක පවුල් පිටින් පොළවට පස්වෙලා ගියා. කොටි බෝම්බ ගහද්දීත් හානියක් නොවුණු සාලාව ආයුධ ගබඩාව පුපුරලා ගියා. කොටි ගැහුවේ නෑ. ඉබේ පුපුරලා මිනිස්සු මැරිල දේපළ විනාශ වුණා. බේරුවල කතෝලික බැතිමතුන් වසර හැට ගණනක් ඉඳලා හැම අවුරුද්දකම මුහුදට ගිහිල්ල පූජාව තියල එනවා. නමුත් මෙදා බෝට්ටුව පෙරළිලා 18ක් 20ක් දෙනා විනාශ වුණා. කාගෙ පිනටද? මේ ඩබලගෙ පිනයි. කුණු කන්දට යට වෙලා මැරිච්ච ගණනවත් තවම හොයා ගන්න බැහැ.

කුණු කන්ද ගැන පාච රණවක මොනවත් දන්නෙම නැහැ. ඉසුර දේවප්‍රියයි පාච රණවකයි කුණු කන්ද බෙදාගන්න බැරුව ගහගන්නවා. පාච රණවක හිටපු පරිසර ඇමැති බව එයාට අමතක වෙලා. දැන් තොත්ත බබා වගේ කතා කළාට මෙයා හිටපු පරිසර ඇමැති බව අමතකයි. අපේ ආණ්ඩුවේ පරිසර ඇමැති පාච රණවක බව අමතක වෙලා. එයා එදා මීතොටමුල්ලෙ කුණු දකින්න නැතිව ඇති.

දැන් එයා කියනවා මේකෙ ලස්සන උද්‍යානයක් හදනවා කියලා. මෙගා පොලිස්නෙ. එයා හරි උසයි. සරම කොටයි. මෙගා පොලිසිය දාල ලස්සන උද්‍යානයක් හදනවා කියනවා. මෙයාගේ මෙගා පොලිස් ඇමැති කමට අවුරුදු දෙකයි මාස හතරයි. උද්‍යාන හැදිල්ල කෙසේ වෙත්ත හදල තියෙන උද්‍යානවල කොළ ටිකවත් එකතු කරගන්න බැරි වෙලා තියෙනවා.

ආණ්ඩුවත් රටේ දේපළ විකුණන්න හදනවා. වරාය විකිණීමට යනවා. ජල සම්පාදනය දෙන්න යනවා. ඊළඟට තෙල් පිරිපහදුව විකිණීමට යනවා. අවුරුදු දෙකයි මාස ගණනට හතර වරන් ගහපු ආණ්ඩුවක් බවට පත්ව තියෙනවා.

මතුගම - වසන්ත කුමාර (mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මෙගා පොලිස් ඇමැති හරිම උසයි: සරම කොටයි හැබැයි වැඩ ටිකයි"

    Post a Comment