25 April, 2017

වලපනේ රෝහලට ගෙනගිය හදවත් ලෙඩා කිසිම ප්‍රතිකාරයක් නැතිව පැය 2ක් ට්‍රොලිය උඩ

Walapone Hospital

හදිසි හෘදයාබාධයකට ලක්වූ අයෙක් වලපනේ ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගිය පසු වෛද්‍යවරයකු නැති බව පවසමින් පැය 2ක් තිස්සේ ට්‍රොලියක දමා සිට පිට රෝහලකින් ගෙන්වා ගත් ගිලන් රථයකින් නුවරඑළිය මහ රෝහලට රැගෙන යනවිට මියගොස් තිබී ඇත. එය වලපනේ රෝහලේ නොසැලකිල්ල නිසා සිදුවූ දෙයක් බවට ඥාතීහු චෝදනා කරති. ඔවුන් මේ සම්බන්ධයෙන් නුවරඑළිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂට පැමිණිලි කර ඇත.

ඉකුත් 19 දින මෙසේ මියගොස් ඇත්තේ වලපනේ මහ උෟව ජනපදයේ පදිංචිව සිටි පී.බී.එම්. සමරසේකර නමැති 52 හැවිරිදි අයෙකි.

මියගිය අයගේ ඥාති පුත්‍රයකු වන මහ උෟව ජනපදයේ සමන් මහතා එම සිදුවීම විස්තර කළේ මෙසේය.

ඉකුත් 19 වැනිදා දවල් 12.45ට විතර පපුවේ අමාරුවක් හැදිලා මාමාව වලපනේ රෝහලට ඇතුළු කළා. ඒ වෙලාවේ ඉඳලා එයාට කිසිම ප්‍රතිකාරයක් කළේ නෑ. ඔක්සිජන් එකයි සේලයින් එකකුයි දීලා ට්‍රොලියක දාලා තිබ්බා. පරීක්ෂා කළේවත් වාට්ටුවකට දැම්මේවත් නෑ. එතැන වෛද්‍යවරයෙක් හිටියෙත් නෑ. මාමාට ගොඩාක් අමාරු වෙලා හිටියේ. මාමාව පැය දෙකක් විතර කිසිම ප්‍රතිකාරයක් කරන්නේ නැතිව තියන් හිටියා. "එම්බියුලන්ස්" එකක් නෑ කිව්වා.

මට සැක සිතුණා, ඒ වෙලාවේ වෛද්‍යවරයා රෝහලේ ඉඳලා. එයාට මේ ලෙඩා ගැන කවුරුවත් කිව්වේ නැද්ද නැත්තම් කිව්වම ආවේ නැද්ද කියලා. අපි ඒ වෙලාවෙම නුවරඑළිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂට පැමිණිල්ලක් කළා.

මේ සම්බන්ධයෙන් විස්තර කළ තවත් ඥාතියකු වූ සුමිත් රත්නායක මහතා පැවැසුවේ මෙය වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා සිදුවූ අකල් මරණයක් බවයි.

"ඇත්තටම මේ මරණයට හේතුව මේ රෝහලෙන් සිදුවූ දේ කියලයි මම කියන්නේ. මේ පළමුවැනි එක නෙවෙයි. මීට ඉස්සරවෙලත් ගොඩක් මෙහෙම සිද්ධ වෙලා තියෙනවා. ඒවා වෙන්නේ මේ වගේ අහිංසකයන්ට තමයි. සල්ලි තියෙන අය නම් කොහේ හරි යයි. ගිහින් බේත් ගනියි.

මේ සම්බන්ධයෙන් අප නුවරඑළිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතාගෙන් විමසූවිට ඒ මහතා කියා සිටියේ එවැනි පැමිණිල්ලක් ලැබුණු අතර මේ වනවිට ඒ සම්බන්ධයෙන් මූලික සොයා බැලීමක්ද කළ බවයි.

"රෝහල භාර වෛද්‍ය නිලධාරිතුමා මැදිහත් නූනා කියලා තමයි තියෙන්නේ. ඒ වගේම වළක්වා ගන්න පුළුවන් එකක් නෙවෙයි කියලත් තියෙනවා. කෙසේ වෙතත් මෙහෙම දේවල් නොවෙන්න වගබලාගන්න එක අපේ යුතුකමක්. ඒ නිසා දෙපාර්තමේන්තු පැත්තෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා යොමු කරලයි තියෙන්නේ."

හාවාඑළිය _ චන්ද්‍රසිරි මහගම (mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වලපනේ රෝහලට ගෙනගිය හදවත් ලෙඩා කිසිම ප්‍රතිකාරයක් නැතිව පැය 2ක් ට්‍රොලිය උඩ"

    Post a Comment