04 July, 2017

බංග්ලාදේශයට හතුරුසිංහ විශ්වාසයිලු

Chandika Hathurusingha-03

තම මවුබිම වන ශ්‍රී ලංකාවෙන් චන්දික හතුරුසිංහ මහතා එරට ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබුණද බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් හතුරුසිංහ මහතා ඉවත් නොවනු ඇතැයි එරට ක්‍රිකට් බලධාරීහූ විශ්වාසය පළ කරති.

“හතුරුසිංහ ඕනෑම රටකට ඔවුන්ගේ පුහුණුකරු ලෙස අවශ්‍ය වෙන්න පුළුවන්. එහෙත් අපි ලංකාව සම්බන්ධයෙන් ඔහු සමඟ කතා බහ කර නැහැ” යැයි බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් මහතා ඩකාහිදි පැවැසීය.

“අපි චන්දික හතුරුසිංහ මහතා සමඟ 2019 ලෝක කුසලානය දක්වා කොන්ත්‍රාත් අත්සන් කර තිබෙනවා. ඒ දක්වා ඔහු අපි සමඟ සිටිනවා කියලා අපිට විශ්වාසයි” යැයි බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ සභාපතිවරයා පැවැසීය.

නස්මුල් හසන් මහතා මේ බව ප්‍රකාශ කළේ චන්දික හතුරුසිංහ මහතා සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාකච්ඡා පවත්වන බවට ශ්‍රී ලංකා මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබියදීය.

දකුණු අප්‍රිකාවේ ග්‍රැහැම් ෆෝඞ් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත්වීමත් සමඟ එම පුරප්පාඩුව පිරවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවකු වන චන්දික හතුරුසිංහ මහතාගේ නම යෝජනා වී තිබේ.

ජූනි මස අගදී ග්‍රැහැම් ෆෝඞ් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉවත්වූයේ ඔහුගේ මාස 45 ක කොන්ත්‍රාත් කාලයේ හරි අඩක් අවසන්වීමටත් පෙරය, ශ්‍රී ලංකා කණ්ඩායම ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වී සති දෙකක් ඉක්ම යාමෙනි.

සිම්බාබ්වේ කණ්ඩායම හා දැන් පැවැත්වෙන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන ප්‍රධාන පුහුණුකරු වශයෙන් පන්දු රැකීමේ පුහුණුකරු නික් පොතාස් මහතා කටයුතු කරයි.

නික් පොතාස් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර දක්වා උසස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙන ඒ අතරවාරයේ තවත් පිරිස් සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානි තිලංග සුමතිපාල මහතා පැවැසීය.

එම තනතුර සඳහා ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබෙන බව ද ඔහු කීය.

චන්දික හතුරුසිංහ මහතාගේ ගුරුහරුකම් ලබන බංග්ලාදේශ කණ්ඩායම ලොව ප්‍රබලම කණ්ඩායම් පරාජයට පත් කරමින් පෙරළිකාර ජයග්‍රහණ රැසකට හිමිකම් කී අතර අවසන් වරට එංගලන්තයේ පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අර්ධ අවසාන පූර්ව වටයටද සුදුසුකම් ලැබීය. (kelimandala)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බංග්ලාදේශයට හතුරුසිංහ විශ්වාසයිලු"

    Post a Comment