04 July, 2017

රැකියාව හැර යන බ්‍රිතාන්‍යයේ හෙදියෝ

British nurses

අයහපත් සේවා තත්වයන් සහ අඩු වැටුප් හේතුවෙන් බ්‍රිතාන්‍යයේ හෙදියන් සහ වින්නඹු මාතාවන් විශාල පිරිසක් රැකියාව හැරයමින් සිටින බව අලුත්ම සංඛ්‍යාලේඛන අනුව අනාවරණය වේ.

හෙද සේවය සහ වින්නඹු මාතා මණ්ඩලය (NMC) නිකුත්කළ නව සංඛ්‍යාලේඛනවල දැක්වෙන පරිදි සේවයෙන් ඉවත්ව යන හෙද හෙදියන් සහ වින්නඹු මාතාවන්ගේ ප්‍රමාණය, අලුත්ම සේවයට එක්වන ප්‍රමාණයට වඩා වැඩිය.

ඒ අනුව මේ වසරේ මාර්තු මාසය දක්වා කාර්තුව තුළ හෙද හෙදියන් සහ වින්නඹු මාතාවන් 1,783 ක් සේවය හැර යාමත් සමග මේ වනවිට රට පුරා ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) රැකියාවේ නිරතව සිටි සංඛ්‍යාව 690,773 කි.

ඉන් අනතුරුව මේ වසරේ අප්‍රේල් සහ මැයි මාසවල තවත් 3,264 ක් සේවයෙන් ඉවත්වූහ.
කෙසේ නමුත් 2010 වසරේ දීට වඩා හෙද හෙදියන් 13,000 ක් මේවනවිට එංගලන්තයේ රෝහල්වල සේවය කරමින් සිටින බව බ්‍රිතාන්‍ය ආණ්ඩුව පවසයි.

විශ්‍රාම ගැනීම හැරුණු විට ඔවුන් බොහෝ දෙනා සේවය හැර යාමට ප්‍රධානම හේතුව සේවක පිරිස ප්‍රමාණවත් නොවීම සහ වැඩ අධිකවීම වැනි අයහපත් සේවා තත්වයන්ය.

පෞද්ගලික හේතු, ප්‍රතිකාරවල ගුණාත්මකභාවය පිළිබඳව කලකිරීම, අඩු වැටුප් සහ රටින් බැහැරව යාම හෙද හදියන් සහ වින්නඹු මාතාවන් සිය සේවය හැර යන අනෙක් ප්‍රධාන හේතු බව සේවය හැර ගිය 4,500 ක පිරිසක අදහස් විමසා සකස් කරන ලද සමීක්ෂණ වාර්තාවක දැක්වේ.

ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) පාලක මණ්ඩල නියෝජනය කරන NHS Providers සංවිධානයේ අධ්‍යක්ෂිකා සෆ්රෝන් කෝඩ්රි අදහස් දක්වමින්, මෙය බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ ඉවත්වීමේ බ්‍රෙක්සිට් ක්‍රියාදාමය හේතුවෙන් සිදුවන්නක් නොවන බව කියා සිටියාය.

"වැඩිපුරම ඉවත්වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍යවාසීන්. අනික විශේෂයෙන්ම මේ තරම් තරුණ පිරිසක් සෙන් ඉවත්වෙන්න තීරණය කිරීම බොහොම කණගාටුදායක තත්වයක්," යනුවෙන් ඇය සඳහන් කළාය.

සේවකයන් ප්‍රමාණවත් නොවීම සහ අයහපත් සේවා තත්වය හමුවේ "විෂම චක්‍රයකට" සිර වීම ඔවුන් මෙසේ සේවය හැරයාමට හේතුව බව පවසන හෙද අධ්‍යාපනය සම්බන්ධ රාජකීය විද්‍යාලය (The Royal College of Nursing - RCN), ඔවුන් ඉවත්වීමෙන් ඇතිවන පුරප්පාඩු සඳහා විදේශීය සේවකයන් බඳවා ගැනීම ගැටලුවට විසඳුම නොවන බවත් සඳහන් කරයි.

"අනාගත හෙදියන් පුහුණු කිරීම සඳහා ලබා දෙන අරමුදල් (ආණ්ඩුව) කපා හැරලා තියෙනවා," විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරිනී ජැනට් ඩේවිස් සඳහන් කළාය.

හෙදියන්ගේ වැටුප සම්බන්ධ තීරණය 'දේශපාලන තීරණයක්' බව පවසන ඇය, බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමු වතාවට ලබන සැප්තැම්බර් මාසයේ විද්‍යාලයට බැඳෙන ශිෂ්‍යාවන්ට සිය අධ්‍යාපනය සඳහා ණය මුදලක් ලබාගැනීමට සිදුවනු ඇති බවත් පවසන්නීය.

"ලෝක මට්ටමේ සෞඛ්‍ය සේවයක්" පවත්වා ගැනීම පිණිස අවශ්‍ය තරම් හෙද හෙදියන් ප්‍රමාණයක් සේවයේ තබාගැනීම සහ අනාගට්‍ර්හ හෙදියන් පුහුණු කිරීම පිණිස අවශ්‍ය සියලු කටයුතු ඉටුකරන බව එම විවේචනවලට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශිකාවක පැවසීය. (බීබීසී)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "රැකියාව හැර යන බ්‍රිතාන්‍යයේ හෙදියෝ"

    Post a Comment