04 July, 2017

නෙක් බාධක මැද තේජාන්විතව වැජඹෙන පාහියන්ගල

Pahiyangala

වැසි සුළං ගංවතුර නායයාම් ආදියෙන් පිරි රුදුරු දින කිහිපයේ අඳුරු සෙවණැලි තවමත් ශේෂව පවතී. කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල මැතිවරණ කොට්ඨාසයේ, බුලත්සිංහල අතුර නගරයේ සිට පරගොඩ පාරේ කිලෝමීටර කිහිපයක් ගිය විට හමුවන යටගම්පිටිය නමැති සුන්දර ගැමි පරිසරය තුළ ප්‍රතාපවත් ලෙස නිහඬව බලා හිඳිනා කඳු ගැටයකි. කඳුගැටය මුදුනේ සුවිසල් ගල් පර්වතයකි. මේ ගල හඳුන්වන්නේ පාහියන්ගල ලෙසිනි. අනුරාධපුර රජ සමයේදී චීනයේ සිට මෙහි පැමිණි පාහියන් නම් වූ චීන භික්ෂුවක් මේ පර්වතයෙහි වූ සුවිසල් ලෙනෙහි කලක් වැඩවාසය කිරීම නිසා, මෙය පාහියන්ගල ලෙස ප්‍රකට විය.

තවමත් පරිසරය තෙත බරිත ය. පාහියන් ලෙන දක්වා දෙපස ඝනව වැවී ඇති තුරු ලතා පිරි වන පියස සිප සිසිල් සුළං රැළි හමා යයි. රැහැයියන්ගේ හඬ, කුරුලු කූජන දෙසවන පුරා ගලා එයි.

පාහියන් ලෙන වෙත පිවිසීම සඳහා ගල් පඩි 500ක් පමණ තරණය කළ යුතු ය. පර්වතයෙහි වූ ස්වාභාවික ලෙන දඹුලු ලෙනටත් වඩා තුන් ගුණයක පමණ විශාලත්වයෙන් යුක්ත ය. ස්වභාව ධර්මයෙහි අසිරිමත් නිර්මාණයක් වන පාහියන් ලෙන, ආසියාවේ විශාලතම ගල් ලෙන වේ.

ලෙන තුළ මිනිසුන් 3000කට වුව එකවර රැස්ව සිටිය හැකි ය. ගල් ලෙන දිගින් අඩි 282 ක් පමණ වන අතර, පළලින් අඩි 175ක් පමණ වේ. ලෙන තුළ වූ විහාරයේ සැතපෙන යෝධ බුද්ධ ප්‍රතිමා වහන්සේ දකින ඕනෑම කෙනකුගේ හද, බැතියෙන් ඇළලී යයි. සිත ශ්‍රද්ධාවෙන් ප්‍රමුදිත වෙයි. ලෙන තුළ අනෙක් පස සමවත් සුවයෙන් වැඩ හිඳින බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකි. එම මන්දිරය පැරැණි චිත්‍ර කලාවන්ගෙන් ඔපවත් වී ඇත.

පාහියන් ලෙන තුළ පුරාවිද්‍යා කැණීම් පිළිබඳ මූලික අදහස් පහළ වූයේ බුලත්සිංහල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ඕ.එස්.පෙරේරා මැතිතුමන් මන්ත්‍රී ධුරය හොබවන සමයේදී ය. එවකට හිටපු පුරා විද්‍යා කොමසාරිස් මහාචාර්ය ශිරාන් දැරණියගල (ශිරාන් දැරණියගල, බලංගොඩ මානවයා සොයා ගත් මහාචාර්ය පී.ඊ.පී.දැරණියගල මහතාගේ පුත්‍රයෙකි. ) නියෝජ්‍ය පුරා විද්‍යා කොමසාරිස් එම්.එච්.සිරිසෝම, සහකාර පුරාවිද්‍යා කොමසාරිස්(කැණීම්) ඩබ්ලිව්. විජයපාල යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් පාහියන් ලෙන තුළ කරන ලද කැණීම්වලින්, ලෝකයේ කිසිදු රටක කළ පුරාවිද්‍යා කැණීමකදී මෙතෙක් හමු නොවූ විරූ, රතු වර්ණයෙන් යුක්ත වූ හිස් කබලක් හමු විය.

එය අවුරුදු විසි දහසකට පැරැණි බැව් නිර්ණය කෙරිණි. හිස් කබල් වර්ණ ගැන්වීම සඳහා රත් හිරියල් අඹරා ගැනීමට භාවිත කළ ඇඹරුම් ගල් කිහිපයක් හා අත්ගල් කිහිපයක් ද කැණීම්වලදී හමු වී ඇත.

1986 සිට කරන ලද කැණීම්වලින් ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ මානවයන්ගේ අස්ථි කොටස්, එම මානවයන් විසින් ආහාරයට ගන්නා ලදැයි සැලකෙන නොයෙකුත් සත්වයන්ගේ ඇටකටු, බාගෙට තම්බාගත් ගොළුබෙල්ලන්ගේ ගොළුබෙලි කටු, පිළිස්සූ කැකුණ ඇට විශාල වශයෙන් හමු වී ඇත. ගල් ලෙනේ ජීවත් වූ ආදි මානවයන් භාවිත කළ බවට සැලකෙන ගල් අවි කිහිපයක් ද කැණීම්වලදී හමු වී ඇත. මේ පරීක්ෂණ සඳහා අමෙරිකාවේ කොර්නෙල් විශ්වවිද්‍යාලයේ සුප්‍රකට පුරාවිද්‍යාඥයකු වූ මහාචාර්ය කෙනත් කෙනඩි මහතා ද සහභාගි වී ඇත.

පාහියන් ගල් ලෙන තුළ කළ පුරා විද්‍යා කැණීම්වලදී, ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමු වූ පැරැණිම පූර්ණ ඇටසැකිල්ල සොයා ගත්තේ 2013 වර්ෂයේදී ය.

පර්යේෂණ අනුව පාහියන්ගල මානවයා බලංගොඩ මානවයාටත් වඩා බෙහෙවින් පැරැණි බැව් දැන් සනාථ වී ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ වාසය කළ ආදිම මානවයා, බුලත්සිංහල පාහියන්ගල මානවයා බවත්, පාහියන්ගල මානවයා අවුරුදු තිස්හත්දාහකට වඩා පැරැණි බවත් පර්යේෂණ මඟින් සනාථ වී, ඉතිහාසගතවී ඇත.

සොබා දහමේ සොඳුරුතාව කොතරම් ආස්වාදනීයද? එසේ ම, සොබාදහමේ අති බිහිසුණු ක්‍රියාදාම ද අපට තේරුම්ගත නොහැකි ය. අවට පරිසරය වැසිබර ය. පාහියන්ගල කඳු ගැටය තෙතබර ය. චිත්‍රා, කසුන්, ප්‍රසන්න සහ මම, පාහියන්ගල කන්ද මැදින් තැනූ ගල් පඩි බසිමින් ආපසු පැමි‍ණෙමින් සිටිමු. සමහර විට මේ ගල් පඩි ඉදිකර ඇත්තේ අවුරුදු තිස්හත් දහසකටත් වඩා පැරැණි අපේ ආදිම මීමුත්තන් දඩයමේ ඇවිද ගිය අඩි පාර මතින් ම විය හැකි ය.

එවන් ප්‍රෞඪ අතීතයකට හිමිකම් කියන පාහියන්ගල, සොබාදහමේ සරදමකට දෝ අද නාය යාමේ තර්ජනයකට ලක් වී ඇති බැව් හඳුනාගෙන ඇත. මේ ප්‍රාග් ඓතිහාසික සම්පත නාය ගියහොත්, පුරා විද්‍යා සාක්ෂි සම්භාරයක් විනාශ වී යා හැකි ය. එබැවින්, පාහියන්ගල සංරක්ෂණය කිරීම පිළිබඳ කඩිනම් අවධානය යොමු විය යුතු ය. ඒ සඳහා, මේ වනවිටත් රජයේ අවධානය යොමු වී තිබීම සතුටට කරුණකි. සියලු දුක් දොම්නස් විඳිමින් සැනහෙන පාහියන්ගල, අදත් තේජාන්විත හා ප්‍රතාපවත් අයුරින් අප දෙස බලා සිටී.

Pahiyangala - 02

බී.ඒ.ප්‍රේමතිලක
ඡායාරූප කසුන් ප්‍රභාත් ප්‍රේමතිලක (dinamina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නෙක් බාධක මැද තේජාන්විතව වැජඹෙන පාහියන්ගල"

    Post a Comment