29 September, 2017

ඓතිහාසික තිස්‌සපබ්බතාරාමය නිධන් හොරුන්ගෙන් රැකගමු

historical-tisapabbatararamaya

ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික තෝරවමයිලෑව තිස්‌සපබ්බතාරාමය වලගම්බා රජ සමයට අයත් ඉපැරැණි පුණ්‍ය භූමියකි.

අක්‌කර ගණනාවක්‌ පුරා විහිදුණු ඓතිහාසික නටබුන් බොහොමයක්‌ මෙම විහාරස්‌ථානය සතුව පවතී. ඒ තුළ සැඟවී ඇති ඉපැරැණි පුරාවෘත ගණනාවක්‌ ඇති බව පැහැදිලිව දක්‌නට ලැබේ.

තිස්‌සපබ්බතාරාම විහාරස්‌ථානයට විශාල වැව් තුනක්‌ හා අමුණු 32 කුඹුරු යායක්‌ අයිති බව එහි ඇති ඉපැරැණි සෙල්ලිපියක සඳහන් වේ.

තිසාවිය, රණවිය, දළටවිය යන වැව් හා කරිස අටක භූමි ප්‍රමාණයක්‌ විහාරස්‌ථානයට අයිති බව සෙල්ලිපියේ සඳහන් වේ. විහාරයේ ඇති ඓතිහාසික වැදගත්කම පිළිබඳව වර්තමාන විහාරාධිපති කැලේගම විමලානන්ද හිමියෝ මෙසේ පැවසූහ.

මෙම විහාර භූමිය පුරා පැරැණි සෙල්ලිපි විශාල ප්‍රමාණයක්‌ දක්‌නට ලැබෙනවා. බොහෝ සෙල්ලිපි නියමාකාර සංරක්‍ෂණයක්‌ නොමැති නිසා විනාශ වෙමින් පවතිනවා.

අක්‌කර 125 ක්‌ විතර මේ තිස්‌සපබ්බතාරාම විහාරස්‌ථානයට අයිති වෙනවා. මුළු භූමිය පුරාම දකින්නට ලැබෙන්නේ ඉපැරැණි නටබුන් පුරාණ ගල් ගුහා විසිපහක්‌ තිහක්‌ විතර ප්‍රමාණයක්‌ තියෙනවා. අතීතයේ ගල් ගුහා ඇතුළත භික්‍ෂූන් වහන්සේලා එකසිය පනහක්‌ පමණ බණ භාවනා කරමින් හිටපු බවට සාධක තියෙනවා. නකායි නමැති සෙනවියකු මූලිකත්වය ගෙන මේ විහාරස්‌ථානය ඉදිකරවූ බව තමයි, පොත පතේ සඳහන් වෙන්නේ.

මනස්‌කාන්ත සුන්දර කඳු මුදුනක්‌ මත මෙම ඓතිහාසික තෝරාවමයිලෑව තිස්‌ස පබ්බතාරාම විහාරස්‌ථානය පිහිටා තිබේ. පන්සල් භූමියේ සිට පහළ බලන විට සුන්දර වට පිටාවක්‌ දක්‌නට ලැබේ. සරුසාර කෙත් වතු සහ වැව්වල දසුන දකින කවුරුත් ඒ දර්ශනයෙන් මත් වී ඒ දෙස බොහෝ වේලා බලා සිටින්නේ නිරායාසයෙනි.

තිස්‌සපබ්බතාරාම විහාරස්‌ථානයට වසර ගණනාවක්‌ සිට නිධන් හොරුන්ගේ බලපෑම නිසා වටිනා සම්පත් විනාශ වෙමින් පවතී. විහාර ගේ තුළ තිබූ බුද්ධ ප්‍රතිමා වහන්සේලා කඩා බිඳ දමා කීප අවස්‌ථාවකදීම නිධන්වස්‌තු සොරා ගනු ලැබීය. විහාරස්‌ථානයට සම්බන්ධ දායක පිරිස්‌ එම කඩා බිඳ දමන බුද්ධ ප්‍රතිමා ඔවුන්ට හැකි පමණින් ප්‍රතිසංස්‌කර ණය කර විහාරස්‌ථානය රැක ගන්නට නිරන්තර වෙහෙසක්‌ දරති.

මේ වන විටද විහාරස්‌ථානයට නිධන් හොරුන්ගෙන් එල්ලවී ඇති බලපෑම අඩුවී නොමැත. ජාතියේ සම්පතක්‌ වූ මේ පුණ්‍ය භූමිය විනාශ වී යැමට නොදී මතු පරපුර වෙනුවෙන් ආරක්‍ෂා කරදීම සඳහා පුරාවිද්‍යා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුව තිබේ.

ඉපලෝගම - ඡේ. බී. ඒකනායක
සංස්‌කරණය නිශාන්ත අමරසිංහ (දිවයින)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඓතිහාසික තිස්‌සපබ්බතාරාමය නිධන් හොරුන්ගෙන් රැකගමු"

    Post a Comment