21 July, 2017

තරුණ කෘෂි ව්‍යවසායකයින් බිහි කිරීමට රජයෙන් වැඩපිළිවෙලක්

Agro chemicals

මෙරට ජාතික නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දායකත්වය ඉහළ මට්ටමින් පවත්වාගෙන යාමේ අරමුණින් වාණිජ මට්ටමින් කෘෂිකර්මාන්තයේ යෙදිය හැකි ව්‍යවසායකයින් බිහි කිරීමේ ව්‍යාපෘතියක් 'ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන' යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

එහි නියමු ව්‍යාපෘතිය යටතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ තෝරා ගනු ලබන තරුණ ව්‍යවසායකයින් 100 දෙනෙකු සඳහා නවීන තාක්ෂණික කෘෂි උපකරණ ඇතුළු සම්පත් සපයා ගැනීමට සහන ණය පහසුකම් ලබා දීමටත්, එම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත වයඹ, උතුරුමැද හා නැ‍ඟෙනහිර යන පළාත්වලින් තරුණ ව්‍යවසායකයින් 1,000ක්ද, ඊළඟ අදියරේදී දිවයින පුරා තරුණ තරුණියන් 10,000ක්ද සම්බන්ධ කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

නවීන තාක්ෂණය උපයෝගි කරගනිමින් වාණිජ මට්ටමින් කෘෂිකාර්මික කටයුතුවල යෙදීමෙහි සමත්, ව්‍යවසායකත්ව හැකියාවන්ගෙන් යුත් තරුණ ගොවි ප්‍රජාවක් රට තුළ සංවර්ධනය වී නොමැති වීම මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අඩු ඵලදායිතාවට සෘජුවම බලපාන ගැටලුවක් වශයෙන් හඳුනා ගනු ලැබ තිබේ.

කෘෂිකර්ම විද්‍යාල හා විශ්වවිද්‍යාලවල කෘෂිකර්ම පීඨවලින් සැලකිය යුතු තරුණ පිරිසක් වාර්ෂිකව සුදුසුකම් සම්පූර්ණ කරන නමුත්, වෙනත් ක්ෂේත්‍ර හා සසඳන කල කෘෂිකර්ම ක්ෂේත්‍රය ලාභදායි නොවීමත්, එම ‍ක්ෂේත්‍රයේ කටයුතු කිරීම සමාජයේ එතරම් පිළිගැනීමට ලක් නොවීමත් හේතුවෙන් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සෘජුවම කෘෂිකර්මාන්තයේ නිරත නොවන බව අනාවරණය වී ඇත. (derana)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "තරුණ කෘෂි ව්‍යවසායකයින් බිහි කිරීමට රජයෙන් වැඩපිළිවෙලක්"

    Post a Comment