28 September, 2017

පරිසරයෙන් සමුගන්නා අපේ පලතුරු - බැදි වරකා

capparis-brevispina-bedi-waraka

මේ වන විට අපේ දේශීය වන පලතුරු විශේෂ අතරින් බොහොමයක්‌ විශේෂ වන බිම් තුළින් වඳ වෙමින් පවතින බව අමුතුවෙන් පහදා දිය යුතු නොවේ. එය මේ වන විට බොහෝ දෙනෙක්‌ දන්නා කරුණකි. වනාන්තර ගිනි තැබීම, ගහකොළ කපා බිම හෙළමින් සිදුකරන වන විනාශය වැනි මිනිස්‌ ක්‍රියාකාරකම් මීට හේතු වී තිබේ. අපේ දේශීය වන පලතුරු විශේෂ අතර "බැදි වරකා" ශාකයට හිමිවන්නේ විශේෂ තැනකි. අතීතයේ මෙරට වන බිම් තුළ සුලභ ශාකයක්‌ වූ "බැදි වරකා" ශාකය අද නම් දකින්නටවත් නැති තරමට දුලභ ශාක ගොන්නර අතරට වැටී තිබේ.

කැප්පාරිස්‌ බ්‍රිවිස්‌ පිනා (Caචච්රසි ඉරුඩසි චසබ්) යන උද්හිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන බැදි වරකා ශාකය, ඉංගී්‍රසි බසින් ෂබාස්‌බ Caචැර යන නාමයෙන් හැඳින්වේ. සුදු වෙල්ලන්ගිරිය ශාකයට නෑකම් කියන මේ ශාකය බැලූ බැල්මට දෙහි පවුලට අයත් ශාකයක්‌ ලෙස පෙනෙන්නට තිබුණත්, එම ශාකයේ ඵලයේ හෝ වෙනත් කිසිදු කොටසකින් පැඟිරි සුවඳක්‌ වහනය වීම සිදු නොවේ. එහෙත් ශාකයේ බාහිර පෙනුම සලකා ඇතැමුන් මෙය "වල් දෙහි" යන නාමයෙන්ද හඳුන්වන බව ඇතැම් විට අසන්නට ලැබේ.

ශ්‍රී ලංකාව හැරුණු විට මේ ශාකය දකින්නට ලැබෙන අනෙක්‌ රට නම් ඉන්දියාවයි. ශ්‍රී ලංකාවේ පොළොන්නරුව, අනුරාධපුරය වැනි වියළි කලාපයේ ඉතාමත් වියළි ශුෂ්ක වන බිම් ඇසුරේ මෙම ශාකය අපට හමුවේ.

ශාකයේ බාහිර ලක්‌ෂණ

"බැදි වරකා" ශාකය මීටර් 1 - 3 පමණ උසට පඳුරක්‌ ලෙස වැඩෙන ශාකයකි. පත්‍ර ඉලිප්සාකාර ලන්සාකාර හැඩයක්‌ ගන්නා අතර, පත්‍රයක්‌ දිගින් සෙ. මී. 5 - 11 අතර වේ. එසේම පත්‍රයක්‌ අත්තට සම්බන්ධ වන ස්‌ථානයෙන් බොහෝa විට කටු දෙකක්‌ පැන නඟින අතර, මෙම කටු දෙක පත්‍රය සම්බන්ධ වන ස්‌ථානයට දෙපසින් පිහිටයි. ශාකයේ පුෂ්ප සුදු පැහැයක්‌ ගන්නා අතර, පරිණත පුෂ්ප මධ්‍යයේ දම් පැහැයක්‌ දකින්නට ලැබේ. හැඩය ඕකිඩ් මලකට සමානය. ඵලයේ හැඩය අවිධිමත්ය. මාලු මිරිස්‌ කරලක හැඩයට සමානකමක්‌ දක්‌වයි. පැසුණු ඵල කහ පැහැයෙන් යුක්‌ත වන අතර, හොඳින් ඉඳුණු ඵල දීප්තිමත් රතු පැහැයකට හැරේ.

ඵලය/ රසය හා ව්‍යාප්තිය(-

හොඳින් රත් පැහැ වී ඉඳුණු ඵලය තුළ බීජ ගණනාවකි. බීජ වටා සුදු පැහැති මාංශල පිහිටා තිබේ. මෙසේ එක්‌ ඵලයක්‌ තුළ කුඩා මදුළු 30 - 50 ත් අතර සංඛ්‍යාවක්‌ දකින්නට ලැබෙන අතර, මදුළු එම ශාකයටම ආවේණික වූ පැණි රසකින් යුක්‌තය. ව්‍යාප්තිය බීජ මගින් සිදු වේ.

බැදි වරකා ශාකයේ කොටස්‌ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර සඳහා යොදා ගැනෙන අතර විවිධ පණු රෝග, සන්ධි අමාරු සහ රුධිර නාළ තුළ තෙල් තැන්පත් වීම වැනි රෝග සඳහා යොදා ගැනේ.

බැදි වරකා අද මේ වන විට වඳ වී යමින් පවතින අපේ දේශීය ශාක ගොන්න අතරට එක්‌වෙමින් පවතින ශාකයකි. මේ නිසා දුටු තැනක්‌ ඇත්නම් එවැනි ශාක එම ස්‌ථානවලම රැක ගැනීමට කටයුතු කිරීම අප කාගෙත් යුතුකමක්‌ මෙන්ම වගකීමකි.

මාදම්පේ චන්ද්‍රපාල අතලගේ (දිවයින)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පරිසරයෙන් සමුගන්නා අපේ පලතුරු - බැදි වරකා"

    Post a Comment